

මීට අවුරුදු දස දහස් ගණනකට හෝ මිලියන ගණනකට පෙර පෘථිවියේ ජිවය කෙසේ පවතින්නට ඇතිද? එවක සිටි සත්වයින් සහ තිබුණු ශාක මොන ආකාරයේ වන්නට ඇතිද? මේ අභිරහස් විසඳන්නට තියෙන එක මගක් තමයි පොසිල. පොසිල කියන්නේ මීට වසර දස දහස් ගණනක් හෝ මිලියන ගණනකට පෙර ජිවත් වූ සත්ව හා ශාකවල දිරා ගිය කොටස් බව අපි දන්නවා.රූප රූප සටහනේ පෙන්වා තිබෙන්නේ පොසිලයක්. පොසිලයක් හමුවූ පසු එක කෙතරම් ඈත අතීතයකට උරුමකම් කියනවද කියන දේ ඉතාම වැදගත් දෙයක්. එමගින් තමයි අතීත තොරතුරු සොයා ගන්න හැකි වෙන්නේ.මෙවන් පොසිලයක් කෙතරම් පැරණිද කියල සොයා ගන්න ක්‍රමවේදය තමයි කාබන් කාල නිර්ණය හෙවත් carbon dating ලෙසින් හඳුන්වන්නේ. මෙය විකිරණශීලි කාලනිර්ණ ක්‍රමවේද වලින් එකක්.
කාබන් කාලනිර්ණය සඳහා පදනම් කර ගන්නේ කාබන්-14 (C-14) සමස්ථානිකයේ විකිරණශීලිතාවයයි. මිහිපිට සිටින හෝ සිටි සියළුවම ජීවින් (සත්ව හා ශාක) තුල කාබන්-14 සමස්ථානිකය අන්තර්ගතව තිබෙනවා. මෙවන් ප්‍රාණ වස්තුවක් (organism) මරණයට පත්වූ මොහොතේ සිට කාබන්-14 සමස්ථානිකයේ විකිරණශීලිතාවය ද මියයන්නට පටන් ගන්නවා. මෙම විකිරණශිලිතාවය අඩුවීම සිදුවන්නේ එක්තරා රටාවකට. එනම්, සෑම වසර 5730කට පමණ වරක් එහි විකිරණශීලිතාවය 50%කින් අඩු වෙනවා. මෙය half-life ලෙසින් හඳුන්වනවා. මේ අනුව, සොයාගත් පොසිලයේ ඇති කාබන්-14 සමස්ථානිකයේ විකිරණශීලි මට්ටම මැන එය එම මුලද්‍රව්‍යයයේම සාමාන්‍ය තත්වයේ ඇති විකිරණශීලිතාවය සමග සැසඳීමෙන් පොසිලයේ වයස ගණනය කරනවා. මෙහිදී ගණනය කරන්නේ එම ජිවියා මියගිය අවස්ථාවේ සිට වයසයි.
කාබන් කාලනිර්ණය ලොවට හඳුන්වා දුන්නේ නම් විලාඩ් ලිබි නම් ඇමෙරිකානු ජාතික විද්‍යාඥයා, ඒ 1940 ගණන්වලදී. මේ වෙනුවෙන් ඔහුට නොබෙල් ත්‍යාගයක් ද පිරිනැමුණා 1960 වසරේදී.
මෙම ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ යම් කලෙක ජිවය පැවති දෙයක් (ශාකයක් හෝ ජීවියෙක්) කෙතරම් කාලයකට පෙර මියගොස් ඇතිද යන්න තීරණය කිරීමට පමණයි. අජීවී වස්තු සඳහා මෙය භාවිතා කළ නොහැකි අතර ඒ සඳහා වෙනත් විකිරණශිල කාලනිර්ණ ක්‍රමවේදයක් භාවිතා කරන්න වෙනවා.
ප්‍රේමය සාහසික ඝාතකයෙක්ය
ඉන් මා මරා දමා බොහෝ කල් ගොසින් ය
අනෝරා වැස්සක් වැටුණාක් මෙන්
කලුළු ගලා වැටුණ පසු
මුලු හිතම නිසොල්මන්ය
දරාගෙන මතකයන් දෙස බලා
සුසුම් පමණක් හෙලන්නේ
තවමත් නුඹ හිත් කොනක තබාගෙනය
නුඹ හදාගත් හේතු මත
යන්නට අවැසි බව කියා
නුඹ ගියත් මා තවම එතනමය
මට මමත් නැති උන කලෙක
නුඹ ගිය එකත් පුදුමයක් නැතිය.
ඇස රැදුණු හැම තැනකම
මන් නුඹව සෙව්වා එදා මෙන් අදත් එහෙමය
නුඹ සිතින් අත්හල පසුත් මා
තවමත් සිතින් පෙම්කරන නුඹ
අවාරයේ මට හමු උනා විතරක්මය
ඒ තැන්වල නුඹ මා විඳි සුවය තවමත්
මගෙ පපුවෙ එහෙමමය.
නිශා
අවශ්‍ය ද්‍රව්‍ය
ඝනකම පාන් පෙති 4 (අඟල් තුන්කාලක් පමණ)
ham slice 4
Emmantal/gruyere cheese 50g
Bechamel 50 ml
බටර් 25g
බිත්තරයක්
සාදාගන්නා ආකාරය
Bechamel එක සාදා ගන්නා ආකාරය පහුගිය කලාප වල පළ විය ඒ ආකාරයට සකසා ගෙන පසෙකින් තබන්න. මුලින්ම පාන් පෙති දෙකක් ගෙන එයට bechamel ගාගන්න. ඉන්පසු ham slice දෙකක් ගෙන එය පාන් පෙත්ත වැසෙන ආකාරයට තබාගන්න. ඉන්පසු එයට උඩින් grated චීස් ටික දමා ගන්න. ඉන්පසු අනිත් පාන් පෙත්ත උඩින් තබා තරමක් තද කරගන්න. මෙය අවන් එකක් තුළද පැන් එකක් තුල හෝ සකසා ගත හැක. oven එකක සාදනවා නම් මේ සකසා ගත් සැන්විච් එක එක අවන් ඇතුලට දමා විනාඩි පහක් අංශක 180 ට බේක් කරගන්න. ඉන්පසු එළියට ගෙන bechamel ටිකක් ගෙන යලිත් උඩින් තවරා තවත් විනාඩි දෙක තුනක් පමණ අවන් එක තුල තබන්න. ඉන්පසු මෙය ්‍රිකෝණාකාරය ට එන සේ දෙකට කපා ගත් කල croque monsieur වෙයි. පෑන් එකක් ගෙන එයට බිත්තරක් කඩා උඩින් තැබූ පසු මෙය croque madame වේ. මුලින්ම එක්දාස් නමසිය ගණන් වල ප්‍රංශයෙන් පටන් ගෙන මුළු ලෝකය පුරා ඉතා ප්‍රසිද්ධ ඕනෑම කෙනෙකුට පහසුවෙන් සාදාගත හැකි සැන්විච් එකක් වේ.
MANOJ FERNANDO
HEAD CHEF
ST’ IVES LODGE
LONDOM
Srilankan pipe snake
Cylindrophis maculatus
Cylindrophiidae කුලයේ ශ්‍රී ලංකාවේ දී දැකබලාගත හැකි එකම විෂේශය ලෙස Cylindrophis maculatus යන විද්‍යාත්මක නාමයෙන් ද “දෙපත් නයා/ වට උල්ලා” යන සිංහල නාමයන්ගෙන් ද හඳුන්වන ඉතා අලංකාර අර්ධ පාංශුවාසී සර්ප විශේෂය හැඳින්විය හැක. නිශාචර, සර්ප විශේෂයක් වන දෙපත් නයින් තෙත්, වියළි සහ අතරමැදි යන දේශගුණික කලාපයන්හි දැකගත හැකි අසල ගති පැවතුම් පෙන්වන හානියක් නොමැති නිර්විෂැති, ආවේණික සර්ප විශේෂයක් ලෙස තවදුරටත් විස්තර කළ හැක. සාවද්‍ය අර්ථකථනයන් සහ සුවිශේෂී චර්‍යා රටාවන් හේතුවෙන් මිත්‍යා මත කිහිපයක් ම කරපින්නා සිටින සර්ප විශේෂයක් වන අතර එම මිත්‍යා මතයන් අතර, දෙපත් නයින් සිරුරේ පූර්ව මෙන්ම අපර කොටසෙත් හිස් ඇති දෙපසට ම සංචරණය සිදු කළ හැකි අරුම පුදුම සත්ත්ව විශේෂයක් ලෙසත් *විෂ සහිත සර්පයෙක් ලෙසත් පවතින මිත්‍යා මතයන් පෙන්වා දිය හැක. නමුත් සැබැවින් ම ඒවාගේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර විකෘතිතාවක් හේතුවෙන් මිස එලෙස හිස් දෙකක් සහිත සර්ප විශේෂයක් මේ වන තෙක් ලෝකයේ කොතැනක හොල් සොයාගෙන නැති බව සඳහන් කළ යුතුයි; මතු දිනයක හෝ එවැනි සර්ප විශේෂයක් සොයාගැනීම ද සිදුනොවිය හැක්කක් බව සියල්ලන්ට ම වැටහෙන්නකි. බිය වූ හෝ කලබල වූ අවස්ථාවන්හි ආරක්ෂාව සඳහා ශරීරය පැතලි කොට වල්ගය පෙනයක් සේ පෙන්වා, තමන් විෂ සහිත සර්පයෙක් ලෙස පෙන්වීමට අනුගමනය කරනා සුවිශේෂී චරියාව හේතුවෙන් ඉහත සඳහන් කළ දෙවැනි මිත්‍යා මතය * සකස්ව පවතින්නක් විනා කිසිදු සත්‍යතාවක් නොමැති මිත්‍යාවක් පමණක් බව නැවතත් සඳහන් කළ යුතුය. වටකුරු හොම්බක් සහිත පැහැදිලි ගෙලක් නිරීක්ෂණය කළ නොහැකි සිලින්ඩරාකාර දේහයකින් සහ ඉතා කෙටි වල්ගයකින් යුතු මෙම සර්ප විශේෂයේ අලංකාර වර්ණ රටාවන් පෘෂ්ඨීය ව මෙන් ම උදරීය ව ද නිරීක්ෂණය කළ හැක. පෘෂ්ඨීය ව ගඩොල් රතු හෝ තද තැඹිලි වර්ණයක් ගන්නා අතර ගෙලේ සිට වල්ගය කෙළවර තෙක් කශේ කොරළ පෙළ තද දුඹුරු හෝ කළුය. තවද කළු පැහැ දාරයක් සහිත පුල්ලි යුගල 35-55 පමණ නිර්මාණය කරන පෘෂ්ඨීය රේකා ජාලයකි. හිස සහ වල්ගය කෙළවර කළු පැහැයක් ගන්නා අතර ගෙල ප්‍රදේශයේ සුදු පැහැ වළල්ලක් නිරීක්ෂණය කළ හැක. උදරීයව සුදු හෝ ලා රෝස පැහැ වන අතර කලු හරස් පටි හෝ ජලාකාර වටාවක් සහිතය. ආහාර වශයෙන් ගැඩවිලුන්, වේයන් සහ කෘමි සතුන් මත යැපීම සිදු කරයි. මීට අමතරව දෙපත් නයින් සර්ප භක්ෂණය පෙන්වන සත්‍ත්ව විශේෂයක් වන බැවින් වෙනත් කුඩා සර්ප විශේෂයන් මතද යැපීම සිදු කරන අවස්ථාවන් වාර්තා වෙයි. අන්ඩජාලාබුජතාවය මගින් පැටව් බිහිකරන මෙම සර්ප විශේෂය වරකට පැටවුන් 1-15 අතර සංඛ්‍යාවක් ප්‍රසූත කිරීම සිදු කරයි.
හඳුනා ගැනීම – කුඩා, පෘෂ්ඨිමත්, සිලින්ඩරාකාර දේහය. පළල්, පෘන්දෝදරීයව පැතලි, පාත්විකව
මොට කුඤ්ඤයක හැඩැති (wedge-shaped) හිස. හොම්බ පෘෂ්ඨියව වටකුරුය. පැහැදිලි ගෙලක් රහිතය. ඉලිප්සාකාර කණීනිකාවක් සහිත ඉතා කුඩා ඇස්. පෘෂ්ඨියව පිහිටි ඉතා කුඩා නාස් විවර. ඉතා කෙටි, ශංක්වාකාර (conical) වලිගය.
වර්ණය – පෘෂ්ඨියව ගඩොල් රතු හෝ තද තැඹිලි. ගෙලේ සිට වල්ගය කෙළවර තෙක් කශේ
කොරල පෙළ තද දුඹුරු හෝ කළුය. කළු පැහැති දාරයක් සහිත පුල්ලි යුගල 35-55ක් පමණ
නිර්මාණය කරන පෘෂ්ඨිය රේඛා ජාලයකි. හිස සහ වල්ගය කෙළවර කළුය. ගෙල ප්‍රදේශයේ සුදු වළල්ලකි. උදරීයව සුදු හෝ ලා රෝස වන අතර කළු හරස් පටි හෝ ජාලාකාර රටාවක් පිහිටයි.
දිග – උපතේදි මි.මී. 100-150, වැඩුණු සතුන් මි.මී. 300-650.
හැසිරීම – නිශාචර පාංශු සර්පයෙකි. දිවාකල කොලරොඩු, කොටන් හා ගල් ආදිය යට ගතකරයි. අලසය, නොකිපෙනසුලුය. කලබල වූ විට සිරුර පැතලි කර දඟර ගැසී, හිස දඟරය තුළ හොවා ගනී. වල්ගය කෙළවර ඉදිරියට නම ඉහළට ඔසවයි. මෙලෙස සිරුරෙන් 1/8-1/ 4 ක පමණ කොටසක් ඉහළට එසවිය හැක. මෙම පෙනයක් වැනි වගය හේතුවෙන් මොවුනට දෙපත්නයා යන නම පටබැඳි ඇත. ඇතැම්විට කහ පැහැති, දුගඳවත් දියරයක් ජම්බාලියෙන් පිටකරයි. අණ්ඩජාලාබුජ වන අතර වරකට පැටවුන් 1-15ක් පසුත කරයි.
ආහාර – ගැඩවිලුන්, උභයජීවින්, කමින් හා වෙනත් නිර්විෂ සර්පයින්.
විෂ – නිර්විෂැතිය. බොහෝවිට සපා කෑමට තැත් නොකරයි.
ව්‍යාප්ති කලාපය, හමුවී ඇති ප්‍රදේශ සහ තත්ත්වය –
මෙරටට ආවේනික විශේෂයකි. ම.ම.උමී. 1000 ක් පමණ උච්චත්වයක් වන තෙක් පිහිටි වියළි. අතරමැදි හා තෙත් කලාපවලට අයත් ප්‍රදේශවල හමුවේ. පුත්තලම, පොළොන්නරුව, අනුරාධපුර මුන්ඩල, නාඋල, පොල්ගහවෙල, බෙල්ලන්විල, බලංගොඩ, බෙරගල, කොග්ගල මෙන්ම මහනුවර සහ රන්තපුරය අවට ප්‍රදේශ රැසකින්).
සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර
– දරු සම්පත –
පංසලේ කෝවිලේ දවස ගෙවලා
නොදුටු දෙවිවරු සැමට පුදලා
දොලොස් වසරක් පෙරුම් පුරලා
පොකැට්ටුවත් දැන් හොඳට හිඳිලා
අටවා ගත් පැල උකසේ තියලා
රටේ නැති විටමින් ඇයට පොවලා
බලනවා නිති ස්කෑන් කරලා
පුංචි සතුටකි අඹු පාට වැටිලා
දොම්නසින් මුළු දිවිය වැහිලා
දෙන්නගෙම දැන් කෙසුත් පැහිලා
වැඩ කළත් කන්තෝරුවේ ඉඳලා
දරුවෙක්ගෙ සුරතල් හිතේ මැවිලා
රට්ටු කියයි දැන් වයස පැනලා
රිස්ක් එකක් ගන්නට එපා කියලා
කියනවුන්ගෙ හොම්බටම ඇනලා
කියනු රිසි ආතල් නෙමෙයි කියලා
දෙදෙනගෙම වරදක් නෑනෙ කියලා
ඩොක්ටර් කිව්වත් රිපෝට් බලලා
බෝඩ් ගැහුවත් බෙල්ලේ එල්ලා
ගම්මු ඉන්නවද උන්ගෙ කටක් වහලා
එදත් උදේ දෙවි බඹුන් වැඳලා
බලන් උන්නා රාහුත් යනවා පැනලා
අඹු සමඟ මීටර් ටැක්සියක නැගලා
ගියා අපි ඩොකටර් හමුවටය කියලා
මගේ සුබ පැතුම නුඹට පුත කියලා
ඩොක්ටර්ගෙ අත මෙමට දික්කරලා
කිව් වදනින් අප දෙසවන්ද පිරිලා
අඹුගෙ නෙතඟින් කඳුළු වැක්කිරිලා
දින සති මාස මෙලෙසින්ම ගෙවිලා
අඹුගේ බඩ දැන් ඉදිරියට නෙරලා
ඈ කන්න ආස හැම කෑම දීලා
නිරෝගිව මා පුතු ඉපදෙන්න කියලා
කිරි කැටි පුතුගේ කට හඬක් ඇහිලා
දොර ලඟ සිටි මගෙ ලෝකයම පිරිලා
දුවගොස් පිය බිරිගෙ හිස සිඹලා
කීවා අවසන ජීවිතෙ දිනුවා කියලා
ගමේ තැන තැන පද හොඳට හදලා
දැන් දුටුවිට යනවා බෙලි බිමට නමලා
තරහක් නෑ උඹලට අනුකම්පාම කරලා
තාත්තෙකි මමත් ආඩම්බරෙන් කියලා
මාස හයේදී ඩොක්ටර් හමුවෙන්න කියලා
ගියේ වුණ භාර සැම ඔප්පු කරලා
පුතුව චෙක් කර හදවත් සිදුරක්ය කියලා
අඹු සිහසුන්ය එතන ඇද වැටිලා
ක්ෂණයෙන් මුළු ලෝකෙ කඩා වැටිලා
දෙවියනේ ඇයි අපිට දඬුවම් කරලා
දැන් මොකද ඩොක්ටර් කරන්නේ අහලා
දෙඅත් බැඳ මම එහි දණින් වැටිලා
තව දින දෙක තුනයි තියෙන්නේ කියලා
ඩොක්ටර් ගියා ලොකු සුසුමකුත් හෙලලා
ඇඳේ වැතිර සිටි පුතුව තුරුළු කරලා
අඹු අහනවා පුතු යයිද අපිව දමලා
ඉස්පිරිතාලෙම ඉතිරි දින ටිකත් ගෙවිලා
පුතුගේ හැමතැන බට නොයෙක් ගහලා
දොස්තරලා ඇවිත් හැමදේම බලලා
නිරුත්තරව යයි මා පිටට තට්ටු කරලා
අවසන් මොහොත පුතුගේ එළඹිලා
ගහපු බට එකින් එක ගැලවිලා
අඹු හඬා වැටේ අනේ පුතු කියලා
පියෙකි මම කිමද අසරණ කරලා
මව්ගෙ සෙනෙහස අසීමිතය කියලා
දැනුණෙ මට අඹුගෙ විලාපය ඇහිලා
මව්ගෙ හඬට හද රිදුමෙ වැඩි වීලා
පණ අදින පුතුටත් දැන් එයම දැනිලා
______චරියාගේ පන්හිඳ______
චරිත් විජේමාන්න
ප:ලි: යමෙකුට දරු සම්පත් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ පෙර කළ කුසල අකුසලයන් හේතුකොටගෙනය. එබැවින් දරු සම්පත් නොලද හිතෙන් පීඩා විඳින මිනිසුන් ගැන තැන තැන අදහස් ප්‍රකාශ කිරීමෙන් හෝ උපහාසයට ලක් කිරීමෙන් වළකින්න. එය ඔවුන් සතු ප්‍රශ්නයකි. ඔවුන් එය විසඳා ගනු ඇත. ඔබ එසේ කරන්නේ නම් මෙලොවදීම ඔබට එය විඳවීමට හේතුවක් වනු නොඅනුමානය.
පළමු කොටස
අපි කවුරුත් ගස් වලට ආසයි, තව ලස්සන මල් වලට ආසයි, එතැනින් එහාට ගිහාම මේවා ලස්සන කරන සත්තුන්ටත් ආසයි. කුරුල්ලෝ, බත්කූරෝ, පාට පාට චූටි කුරුමිණියෝ වගේම අපේ ඇස් දෙක දුවන තවත් කට්ටියක් තමයි මේ සමනල්ලු කියන්නේ.
කවුද මේ සමනල්ලු? ලස්සන ලස්සන පාට තියෙන පියාඹන්න පුලුවන් කෘමියෝ රංචුවක් කිව්වොත් කවුරුත් පිළිගනිවී. ඒත් ඇත්තටම මේ ජීවි කාණ්‌ඩෙට මේ නම ලැබුනේ කොහොමද කියන්න කවදා හරි හිතලා තියෙනවද?
“සමාන නාල දෙකක් ඇති හෙයින් සමනලයා යැයි කියනු ලැබේ”. මොනාද මේ නාල? ඔයාලට සමනලයෙක් ගාවට ලන්වේලා බැලුවොත් මෙයාලගේ ඔලුවට සවි වෙලා තියෙන එක සමාන කූරු දෙකක් පේන්න තියෙයි. සමනල්ලු ගැන කතා කරද්දි අපි මේවාට කියන්නනේ ස්පර්ෂක (Antennae) කියලා. ඉතින් මේ පුංචි දූපතේ ඔය වගේ සමනල්ලු කීයක් නම් ඇත්ද? සිය ගනන් දහස් ගනන් ඈතට පියාඹගෙන යද්දි මේ සමනල්ලු කෙහෙද ඉන්නේ? මෙහෙම පාට වුනේ කොහොමද? මෙයාලගේ නම් මොනාද? වගේ ප්‍රශ්ණ පේලියක් හිතට ගලාගෙන එනවා ඇති. ඒ ප්‍රශ්න වලට පිළිතුරු මේ “සමනලුන්ගේ වත ගොත” එක්ක ඉස්සරහට යද්දි ඔයාලට හමුවෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි සමනල් සවාරිය පටන් ගමු.
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටන නිවර්තන කලාපීය රටක් වන බව අප සැම දන්නා කාරුණකි. මේ දිවයින ඉතා වටිනා කියන සම්පත් රැසකින් සමන්විත සුර පුරයක් යැයි කිවහොත් නිවැරදි. ඒ සම්පත් අතුරින් අපගේ නෙත් දිනාගත් සම්පතක් ලෙස අප අවට සිටින සත්වයින් හැදුන්වන්න පුලුවන්. මේ මාලාවෙන් දිගහරින්න යන්නේ ද ඒවැනි වු අලංකාර දර්ශනයක් ලබාදෙන සමනලුන් පිළිබදවයි. මෙම දිවයිනේ අන්තර් ගත බොහෝ දෑ ඉගෙන ගැනීමේ දි එය පහසු කිරීම සදහා මෙය දේශගුණික කලාප 4 ක ට වෙන් කර දක්වා තිබේ. එනම්, තෙත් කලාපය, අතරමැදි කලාපය, වියලි කලාපය හා ශුෂ්ක කලාපය යි. මේ සියලු කලාප ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ දැනට සමනලුන් විශේෂ 248 ක් වාර්ථා වේ. එයිනුත් විශේෂ 32 ක් මේවන විට ලංකාවට ආවේනික වේ.
සමනලුන් ගේ වර්ගීකරණය ගත් කල මොවුන්ගේ ආදි මුතුන් මිත්තන් මෙන්ම මොවන් ද කෘමී වාංශිකයන්ගෙන් පැවතෙන ලෙපිඩෝටෙරා (Lepidoptera) ගොත්‍රයට අයත් සත්ව කාණ්ඩයක්වේ. මොවුන් ගේ අධ්‍යනය පහසු කිරීම සදහාත් ඔබ අප සැමගේ තේරුම් ගැනීම පහසු වීමත්සදහාත් මොවුන් කුල ගනනාවකට වෙන් කර දක්වා ඇත. මේ අතරින් ශ්‍රී ලංකාව තුල කුල වර්ග 6 ක් දැක ගැනීමට හැකිවේ. ඒවා නම් Papilionidae, Pieridae, Nymphalidae, Lycaenidae, Hesperiidae සහ Riodinidae වේ. මෙසේ සමනලුන් මෙවැනි කුල වලට වෙන් කර ගැනීමට ප්‍රධාන වශයයෙන් බලපා ඇත්තේ මොවුන්ගේ රූපවිද්‍යාත්මක සාධක වේ. ඒ පිළිබදව කතා කලහොත්, Papilionidae කුලයේ දක්නට ලැබෙනුයේ ශරීර ප්‍රමානයෙන් විශාල සමනලුන් වේ. විශාල දිගු පියාපත් හා එහි පිහිටන දිගු වල්ගයක් (tornus tail) ද මොවුන්ට පිහිටයි. ඒ වගේම වර්ණය අතින් ද විශාල පරාසයක වර්ණ සහිත සමනලුන් මෙම කුලයට අයිති වේ.
Pieridae කුලය ගත් විට එහි ප්‍රධාන වශයෙන් ම දැකගත හැක්කේ සුදු හා කහ පැහැති සමනලුන් වේ. මෙම කුලයේ ද සමනලුන් හට ඔවුන්ටම ආවේනික වු ලක්ෂණ රැසක් දක්නට ලැබේ. Lycaenidae කුලයේ අපට දක්නට ලැබෙනුයේ ඉතා කුඩා ප්‍රමාණයේ සමනල්ලු විශේෂ වේ. මොවුන් පියාපත් සලන විට පියාපත් ඇතුලත දීප්තිමත් නිල් වර්ණයක් දිස් වේ.මේ හේතුවෙන් මෙම සමනලුන් Blues යනුවෙන් ද හදුන්වන අතර ලංකාවේ වැඩිම සමනලුන් සංඛ්‍යාවක් සිටින කුලය වශයෙන් හැදින්වීමට හැකිය.
Hesperiidae කුලයේ සිටින සමනලුන් ව්‍යාජ සමනලුන් ලෙස හදුන්වනු ලබයි. මොවුන් පෙනුමෙන් සමනලුන් මෙන් නොපෙනෙන අතර පෙනුම බොහෝ සෙයින් සළඹයිනක් ගේ පෙනුමට සමාන වෙති. නමුත් මොවුන් තුල ඇති යම් යම් ලක්ෂණ හේතුවෙන් මෙම විශේෂය සමනලුන් අතරට පැමිණ ඇත. Riodinidae කුලය. මෙම කුලයේ විශේෂත්වය වනුයේ එක් විශේෂයක් පමනක් මෙරටින් හමු වීමයි. අවසාන වශයෙන් Nymphalidae කුලය, මෙම කුලයේ විවිධ වු සමනලුන් විශාල සංඛාවක් දක්නට ලැබේ. දිවයින තුල හමුවන දෙවනුවට විශාල සමනල වීශේෂ ගනණක් හමුවන කුලය යනුවෙන් හැදින් විය හැක. මෙවැනි විවිධ ලක්ෂණ සහිත සමනලයන් විශේෂ සිය ගණනක් ලංකව පුරා පැතිර සිටින අයුරු අපට දැකගත හැක.
ඉතින් ලංකාවේ අපිට දකින්න ලැබෙන සමනල්ලු මෙන්න මේ විදිහට කුල වලට බෙදලා වෙන් කරලා තියෙනවා. සමනල්ලු කියන්නේ ඇත්තටම හරිම ලස්සන සත්තු කාණ්ඩයක්. එයාලා ගැන දැන ගන්න අපි කවුරුත් වගේ කැමති. මෙයාලගේ කුල ගැන තියෙන තවත් රස කතා එක්ක ඊලඟ කලාපයේ හමුවෙමු.
අග්‍රගන්‍ය කළාකරුවකු වන ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් වන මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ගීතය ගායනා කරනු ලබන්නේ රෝහණ වීරසිංහ මහතාය.
ගීතය පුරාවටම ඇත්තේ අමිහිරි අත්දැකීමක් මිහිරි ලෙස දුටු ඉතා සංවේදී පිරිමි හදවතක දෝංකාරයයි…. වචනයෙන් වචනයට… මෙන්ම සංගීතයද හිතට අමුතුම හැගීමක් ගෙන දෙන්නේ ඒ නිසාය
මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේණී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිලී….
වැහි ලිහිණියන් ඉගිලෙන පුංචි මල් වැස්සක පාරක ඇවිදගෙන යන එක් ආදරණීය මිනිසෙකුට, රියක නැගී යන ගැහැණියකගේ නෙතට නෙත ගැටෙන්නේ රියේ කවුළුව අතරින්ය. ඒ දුටු විගසම ඔහුගේ නෙත් ඇදුනේ ඈත අතීතයටය.. ඒ සොදුරු අතීතයටය….
අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ
අඳුර ගලාගෙන එන වැස්සක තෙමි තෙමී මහනුවර පාරවල් දිගේ දෙදෙනා ඇවිදපු ඒ අතීතය කෙසේනම් අමතක කරන්නද… ආදරය ඉදිරියේ ඕනෑම ගැටළුවක් ඉමිහිරිය .. සොදුරුය … ඉතින් එදා ඒ වැස්ස ඔවුන්ට දැනුනේ ආදරයේ මධු වැස්සක් ලෙසය. දිය දහරා පෙනුනේ දේදුන්නේ පාට වලින්ය ..
ඒ ආදරයේ සොදුරුතම බවයි..
ඒත් එදා එකට ගිය දෙදෙනා එවැනිම වැස්සක අද මාවත් දෙකකය
රිය ඇතුළේ
උණුසුම ඔබට දිදී
නහවයි මා
රියසක මඩ වතුරේ…”
මේ නෙතට නෙත ගැටුනේ අහම්බයකින්ය.. ඒ මේ මෝටර් රථයේ රෝදයෙන් ඉසුනු මඩ පහරින් මේ මිනිසා නැහැවුනු නිසාය. තම ආදරයේ වර්ථමාන අයිතිකාරයා… ඒ ආදරයට රිය ඇතුලේ උණුහුම දිදී වැස්සෙන් ආරක්ෂා කරගෙන, තමන්ව මඩ වතුරෙන් නාවලා යන හැටි බලා මේ මිනිසාට තරහවක් නොදැනුනේ ඔහුගේ ආදරය ඒ තරමටම අව්‍යාජ එකක් වීම නිසාමය..
නෑ හිත රිදුණේ
අදත් එදා සිහිවී
අපේ සබඳකම්
නෑ රිය සක දන්නේ
තමන්ට ආදරය අහිමිකර අද වෙනකෙක් ලඟ සැනසෙන තමන්ගේ ආදරය , අතීතයේ තමන් හා සිටි හැටි ඔහුට මතක්වුනේ හිතට අමුතුම සැනසීමක්ද ලබාදෙමිනි. අද වෙනකෙකුගේ වී, හරි උජාරුවෙන් තමන්වද මඩ වතුරේ නාවා ඉගිලී යන ඇය ගැන මොහුගේ හිතෙ වෛරයක් ඇති නොවුනේ ඔහුගේ හිත ඒ තරමටම නිවී සැනසී තිබූ නිසාය.. යථාර්තය තෙරුම් ගත හැකි උසස් මනසක් ඔහු සතු වුනු නිසාය.
අවංකවම ඔහු ඇයට ආදරේ කල නිසාය
එදා ඔවුන් අතර තිබූ බැඳීම, ආදරය..ඔවුන්ගේ ආදරයේ අතීත ඉමිහිරි මතකයන් වාහනයේ රෝද කේසේනම් දැනගන්නද ….ඒ නිසා මේ සිදුවූ සිදුවීම ගනනකට ගතයුතු නැත
ඔහු සිත සනසාගත්තේ එලෙස සිතමින්ය ..
මෙවැනි සොදුරු මිනිසුන් සැබෑ ලෝකයේ සිටින්නේද ? ….
ඔබෙත් මගෙත් පිලිතුර නැත යන්නයි…
නමුත් …….
අප නිවැරදි නැත … මේ සත්‍යය සිදුවීම සිදුවූයේ ඒ අග්‍රගන්‍ය කළාකරුවා වන ලූෂන් බුලත්සිංහලයන් හටය ..ඔහු අතින් මේ ගීතය ලියවුනේ ඒ අත්දැකීම නිසාය
ඔබ මොන දේ කොහොම කරත් ඔබ අවට අය එය දකින්නේ අඩුපාඩුක් දකින ආකාරයටයි.
ළදරුවකුව සිටියදී;
”අපෝ ඒ බබාගෙ මහත, අම්ම පිටි කිරිම දීලද කොහෙදෝ”
” අපෝ ඒ ළමයගෙ කෙට්ටු.. මන්දපෝෂණේද කොහෙද? අම්මගෙ හැටියටනෙ ඉතිං ළමයා”
” ඒ බබාගෙ මූණ ඇදයි නේද?”
”අම්මෝ ඒ ළමයගෙ පාට. අඟුරු වගේ. ඒ මදිවට ඇඟේ කොරපොතු වගේ හම”
”අප්පෝ ඒ බබාට තියෙන්නෙ කැරපොතු සුදක්”
” ඒ ළමය අඬනවා රෑ දෙගොඩහරියක් වෙනකම්. අපිට නිදාගන්නත් නෑ”
” අඬන්නෙම නැති ළමයෙක්. මොකක් හරි ලෙඩක්ද දන්නෙ නෑ” etc…
දරුවෙක් ලෙස වැඩෙද්දී;
” අපොයි ඒ ළමය කතා කරන්නවත් දන්නෙ නෑ. දෙමව්පියො හදල තියෙන හැටි තමයි”
”ඒ ළමයට මෙලෝ දෙයක් ඉගෙන ගන්න බෑ.වැඩ හරිම දුර්වලයිලු”
”ඒ ළමයා ආපු තැනක් ඇත්තම් වනසනවා. අපේ ළමයි එක්ක නම් තියන්න හොඳ නෑ. උනුත් නරක් වෙයි”
” ඒ ළමය ඉතිං බඩුවක් ගත්තොත් කඩනවානේ” etc..
තරුණ වියට එළබෙද්දී;
තරුණියකට නම්,
————
”අන්න අදත් සක්කරවට්ටම වගේ ඇඳගෙන යනවා. කොහේ යනවද දන්නෙ නෑ “
”ඔය කොන්ඩෙ ස්ට්‍රෙට් කරල පාට ටිකක් උලාගත්තම කොල්ලො පස්සෙන් එයි කියල හිතන් ඇත්තෙ.”
”ඔහොම හිටියට ඕලෙවල් වත් පාස් නැද්ද කොහෙදෝ”
” ගෑණු ළමයෙක් උනාම හැක හැක ගාල හිනා වෙන්ඩ හොඳ නෑ”
”මං ඊයෙත් දැක්ක කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා.කීවෙනි කොල්ලද දන්නෙ නැ. ආයෙ ඒකෙ දෙකක් නෑ හතර පහක් අමාරුවේ දාල ඇති. අම්ම වගේම නැතෑ”
”ඔය ශෝක් කරන්නෙ ඔය ගෙදර මහ මිනිහා අමාරුවෙන් හම්බ කරන සල්ලි”
”කැම්පස් යනව කියලා කොහේ යනවද දන්නෙ නැ. මොකද අපි එතනට ගිහින් බලනවයැ.”
” ඔය රස්සාවක් කියල සාරි බාරි පටලගෙන ගියාට ඇති මොකද්ද දන්නෙ නෑ කරන රස්සාව”
”තාම.බැඳලා නැත්තේ, බඳින්න බැරි වෙන තැනට වැඩ සිද්ද කරගෙන වෙන්න ඇති”
” ඉගෙන ගන්නත් බැරි වෙච්ච එකේ ඔය මිනිස්සුන්ට තියෙන්නෙ කාවහරි අල්ලලා බන්දලා දාන්න” etc…
තරුණයෙකුට නම්;
”ඔය කොල්ලා අර මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කරන තරම්”
”ඉගෙන ගත්තෙත් නෑනෙ. කුඩු ගහනවත් ඇති, ඇඟේ හැටි බලන්නකො”
” රස්සාවකුත් නැද්ද කොහෙදො”
” ඔය කොල්ල දන්න දවසෙ ඉඳන් කරේ නසරානි වැඩ”
” කෙල්ලො හය හතක් අමාරුවෙ දාල ඉන්නෙ ඔය”
” දැන් ඔය රට යනවා කියලා ගියාට, මතුරටද දන්නෙ නෑ ඉන්නෙ” etc..
විවාහක යුවලකට නම්;
”අරගොල්ලො බැඳලා මාස 5-6 වෙනවා.තාම ලමයි නෑ නේද”
”ජෝඩුව හිනාවෙලා හිටියට ගෙදරදි ගහ මරා ගන්නව ඇති. පේන්නෙ නැද්ද ගෑනි ඇදිල පැදිල ගිහිල්ල”
”ඔය දෙන්න එකතු වෙලා බිස්නස් එකක් කියල කරන්නෙ මොනවද දන්නෙ නැ. කුඩු විකුණනවද දන්නෙත් නෑ”
”ෆේස් බුක් එකේ ඔක්කොම දාන්නෙ අපිට පේන්න වෙන්න ඇති”
”කෑම හද හදා ඉන්ස්ටා දාන්නෙ බේකරියක් දාලද කොහෙද ගෙදර”
”අපි නම් ඔහොම ට්‍රිප් ගිහින් ෆොටෝ හැම තැනම දාන්නෙ නෑ. උන් ඉතිං සෝබනේනේ”
”ගෙදර උයලා කරල ළමයි බලාගන්න උන්ට වෙලාවක් නැතුව ඇතු නේද? ඇයි බැලුවොත් ෆේස් බුක් එකේනෙ”
”ඔය මනුස්සයා රස්සාවක් කරන්නෙ නැද්ද්ද් කොහෙද? ගෑනිගෙන් කකා ඉන්නව ඇති. රස්ස්වක් කරනව නම් කෝ යනව එනව පේන්න එපැයි”
etc…
මේ අප එදිනෙදා ජීවිතයේදි අප වටා සිටින්නන්ගෙන් අහන, ඇහෙන දේවල් වලින් ඉතාම අල්පයක්. උපන්දා සිට මරණය දක්වාම එහි වෙනසක් නැ. ඒ වගේම කිසි දිනක අපවටා ඉන්න අයගේ ආකල්ප වෙනස් කරන්නත් බෑ. කළ යුත්තේ අපේ සතුට අපි හොයාගැනීමයි.
ඔබ යම් දෙයකින් සතුටක් ලබනවා නම්, එය අන් අයට හානියක් නැත්තම් එය පවත්වාගන්න. එය විඳින්න.
ඔබට හොඳයි යැයි හැඟෙන දේ ඔබ කරන්න.
ඔබේ ජීවන වුර්තිය ඔබට අවශ්‍ය ලෙස මිසක් අන් අයට අවශ්‍ය ලෙස තෝරා නොගන්න. ඔබ ලැජ්ජා විය යුත්තේ හොරකම් , මත්ද්‍රව්‍ය , නීති විරෝධී ව්‍යාපාර කිරීමට මිස ඔබ අභිමානවත් ලෙස කරගෙන යන රැකියාව හෝ ව්‍යාපාරය කිරිමට නොවේ.
ඔබ ඔබම වන්න. අපවාද , ගල්මුල් වැඩි වේවී..
“ඵල ඇති රුකටනේ ගල් වදින්නේ
ඔබේ සිහිනය ඔබ මිස අන් අයට දකින්නට ඉඩ නොදෙන්න.
ඇති නැති හැම අවස්ථාවකදීම ජීවිතය විඳින්න.
වෙනස් වන සෑම මොහොතක්ම, අවස්ථාවක්ම එය ඔබේ යහපතට සිදු වුනේ යැයි සිතන්න. එය විශ්වාස කරන්න. පරම සත්‍යය එයයි.
ඉතිං.. ඇයි තවත් පමා..
අපි ජීවිතය විඳිමු..
©️දිගැZ
පුංචි දුවලා පුතාලා ඔන්න අද අලුත් කතාවක් කියලා දෙන්නයි මේ හදන්නේ.
මේ කතන්දරය කැලෑවක තනි වූ කොටි හාමි කෙනෙක් ගැනයි.
ඔන්න ඉතින් කොටි හාමිට හරිම කම්මැලියි ඒ වගේම දුකයි. මොකද දන්නවාද කොටිහාමි ගොඩ දවසක් තනියෙම ම ජීවත් වුණ නිසා. තවදුරටත් මෙහෙම ඉන්න බෑ කියලා හිතුනා. ඉතින් කොටිහාමි හිතුවා මේ කැලෑවේ ඉන්න අනෙක් සතුන් සමඟ යාලු වෙන්න ඕන කියලා.
නමුත් කොටිහාමි ට බයයි අනෙක් සතුන් මා එක්ක මිතුරු වෙයි ද?. මට බය වෙයි ද කියලා..
ඔහොම කල්පනා කරමින් යන විට දැක්ක අලි රංචුවක් සෙල්ලම් කරනවා. හෙමි හෙමින් කොටිහාමි ලොකු කොළ කිහිපයක් අරන් ඇඟේ දවටා ගත්තා. දැන් මාව අලියෙක් වගේ පෙනේවි යයි කියා හිතුවා. හොඬවැල වෙනුවට ලී කැබැල්ලක් ගෙන කටින් අල්ලා ගත්තා.
වෙස්වළා ගැනීම නම් විශිෂ්ටයි ඔහු හිතුවා.
ටික ටික අලි රංචුව ළඟට කිට්ටු උනා. මේ යාලුවනේ මොකද්ද අද අපි කරන සෙල්ලම ඔහු ඇහුවා.
අලි රාළ කෙනෙක් හොඳින් කොටි හාමි දිහා බැලුවා. ඔබ අලියෙක් නොවෙයි. කොටියෙක් ඉතින් අපි ඔබ සමඟ සෙල්ලම් කරන්නේ නෑ. අලි රාළ කිව්වා. කොටි හාමි ට දුක හිතුනා. ඔහු හෙමි ට එතනින් ඉවත් උනා.
මේ විදියට එක් එක් ආකාරයේ සතුන් ලෙස වෙස් වෙලාගෙන එම සතුන් එක්ක මිත්‍ර වෙන්න කොටි හාමි උත්සාහ කළා. නමුත් ඔබ කොටියෙක් කවුද කොටියෙක් සමඟ මිතුරු වෙන්නේ කියලා සතුන් හැමෝම ඔහුව තනිකර දමා ගියා.
කොටි හාමි හරිම දුකෙන් ආපසු ගුහාව වෙත ගියා.
ටික වෙලාවක් යද්දි කැලෑව ඇතුලෙන් ශබ්දයක් ආවා. හිස ඔසවා බැලුවා මෙතරම් විශාල ශබ්දයක් මොකද්ද මේ.. අහා.. මම වගේමයි… කොටි රංචුවක් නේද.. කොටි රාළට හිතා ගන්න බැරි වුණා. ඔහුට හරිම සතුටු හිතුනා දුවගෙන ගියා එදෙසට…
නමුත් ඒ හිටියේ කොටි හාමිලා නම් නොවේ. ඇඟේ ඉරි ඇඳගෙන වෙස්වළාගෙන ඉන්න අනෙක් සතුන්.
ඒ හැමෝම ඇවිත් තියෙන්නේ කොටි හාමි දුකෙන් තනියම ඉන්නවා දැක්ක නිසා. ඔහුට ඇති බිය නිසා ඔහුව ප්‍රතික්ෂේප කළත්, අනෙක් සතුන් කොටි හාමි ට අවස්ථාවක් දෙන්න ඕන කියලා තීරණය කර තිබුණා.
ඉතින් කොටි හාමි ට හරිම සතුටුයි. ස්තූති කලා ඔහුව හොයන් ආවට. ඒ වගේම ඔහු පොරොන්දු වුණා ඔහු ගෙන් කිසිම අනතුරක් අනෙක් සතුන් ට නොවන බවටත්..
ඉතින් ඔන්න කොටි හාමි හැමෝ එක්කම සතුටින් සෙල්ලම් කළා. ආයේ කවදාවත් තනිවම දුකින් හිටියේ නෑ.
අලුත් කතාවක් එක්ක නැවැතත් හමු වෙමු.
පුංචි දුවලා පුතාලා සතුටින් ඉන්න.
තිලෝ ප්‍රනාන්දු.