Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

නාලන්ද ගෙඩිගේ

         මං අද ඉන්නේ ලංකාවෙි හරි මැද…. ලංකාවෙි මධ්‍ය ලක්ෂ්‍යය පිහිටි තැන….. නාලන්ද ගෙඩිගේ…. එහෙම කිවුවාම කවුරුත් දන්නවානේ…. ඉතිං අපි මැගසින් එක ඔස්සේ මම මෙවරත් ඔයාලට අරන් ආවෙි අපේ රටෙි ඓතිහාසික වැදගත්කමක් වටිනාකමක් ඇති මණරමි භූමියක් වන නාලන්දේ පිහිටි නාලන්ද ගෙඩිගේ ගැන…..

නාලන්ද ගෙඩිගෙය නැරඹීමට යන මාර්ගය පිළිබඳ මුලින්ම සඳහන් කළහොත් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ , මාතලේ සිට දඹුල්ලට කිලොමිටර් 35 යාමේදී හමුවෙන කිලෝ මීටර 48 කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයේ කිලෝ මීටර 1.2 පමණ ගමන් කිරීමෙන් පසුව නාලන්ද ගෙඩිගෙයට ළඟා වෙන්න පුළුවන්

මධ්‍ය පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රදේශිය ලේකමි කොටිඨාශයේ නාලන්ද කියන ග්‍රාමයේ තමයි මෙි නාලන්ද ගෙඩිගේ පිහිටලා තියෙන්නේ.. අපුරු පරිසරය පද්ධතියක්….. ඉන්න හිතෙන එන්න හිතෙන්නේ නැති පරිසරයක්…. හිත නිවාලන වටපිටවක්.. ඇත්තටම මට මෙහෙම දෙයක් හිතුනා.. හිතුනා විතරක් නෙවෙයි හිතට දැණුන හැඟිමක් එක්කම මට එ කතාවෙි සත්‍යතාවයක් ඇති බවක් හැඟුනා…. ලංකාවේ මධ්‍ය කේන්ද්‍රය කියල බොහෝ දෙනා සලකනුයේ මාතලේ නාලන්දාව යි. නාලන්දා ගෙඩිගෙය ලංකාවේ හරි මැද ලක්ෂ්‍යයේ පිහිටා තිබෙන බව පුරාණයේ සිටම සමහරු තාමත් විස්වාස කරනවා… තවත් විශ්වාසයකට අනුව රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් තමන්ගේ යාග හෝම කටයුතු සඳහා මේ ස්ථානය භාවිත කළ බවත්, මේ ස්ථානයේ විශ්ව ශක්තියක් ගැබ්ව ඇති බවත් කියවෙනවා.

නමුත් මුලාශ්‍ර වල සදහන් නොවන සගවා ඇති අපේ රටෙි ඉතිහාස කතා බොහො ඇති නිසා සමහර අය පිළිගන්නේ නෑ…. වසර අටදහසකට⁣ පෙර ඉතිහාසය ගැන සොයා යාම තරමි රසවත් කුතුහලය දනවන දෙයක් මට නමි නොමැති තරමි… එ තරමට මගේ සිත ඉතිහාසය පිළිබදව බැදී ඇත්තේ ගෞරවයක් එක්කමයි…. ඉතිං මං නමි එ දේවල් විස්වාස කරනවා…

මාතලේ කියන්නේ මම උපන් ප්‍රදේශය… මාතලේ ප්‍රධාන බස් නැවතුම අඹගහා ස්ටැන්ඩි එකෙන් දඹුල්ල බස් රථයකට උදැසනින්ම මම ගොඩ උනේ අපේ රටෙි හරි මැදට යන්න… තනිව ගිය ගමනක්, තනිව කිවුවට මගේ පුංචි ටෙඩිබෙයා බින්ඩිත් එක්ක…. බස්රථය පැමිණියෙ හෙමින් නිසා පැයකට වඩා වෙිලාවක් මට කිලොමිටර් 48 කණුව අසලට එන්න ගතවී තිබුණා…..

බස් රථයෙන් බැස ත්‍රිරොද රථයකින් මම ගෙඩිගේ ඇති භූමියට පැමිණියේ කුතුහලය වගේම එ ස්ථානය දැකගැණිමෙි ඇති ආසාවෙන් මුළු හිතම තව තවත් පිරි යද්දි… ත්‍රිරොද රථයෙන් පැමිණෙන විට එහි උපුල් නමි රියදුරු මහත්තයා මට මෙි භූමිය හා බැදි ඇති විශ්ව ශක්තිය පිළිබදවත් රාවණ රජුගේ සමිබන්දතාවයත් පැවසූවෙි මහත් භක්තියකන්….

හිතට දැණුනේ පුදුමාකාර නිදහසක්…. පොය දවසක් නිසා අනුරාධපුර යන නඬ කීපයක්ම මම යන විටත් එහි සිටියත් එහි නිස්කලංක බවට කිසිදු බලපෑමක් නෑ…. හිත නිවන භූමියක් නිසාම පැමිණි පිරිස්ගේ කතාබහා උවත් නැවතී තිබුණා…..

කැණිමකින් හමුවු ගල් උළුවස්සෙන් ඇතුල්වෙලා ගෙඩිගෙය ඇති භූමියට ඇතුල් උනේ හිතම අමුතු හැඟිමකින් පිරි යද්දි….. ගෙඩිගෙයට යන මාර්ගයේ මම බොහො වෙිලාවක් නැවති සිටියේ සියඹලා වගේම මා නොදන්නා තවත් ගස් කොලන්වලින් වගේම එ අසලම ඇති බෝවතැන්න ජලා⁣ශයෙන් හමා එන සිසිලස මදක් විද ගන්න හිතට නැගුණ ආශාව නිසා…

මාර්ගය දෙපස කැණිමි වලින් මතු කරගන්නා ලද ගල් කැටයමි බොහොමයක් තබා තිබෙනවා.. වම් පසින් එවැනි කැටයමි මතු කරගන්නට ඇතැයි සිතෙන එකල විහාර ගෙයක් තිබෙන්නට ඇතැයි සිතෙන නටබුන් දෙසත් බලා සිටි මම හෙමින් ඇවිද ගියා ඉදිරියට…. පුජා භූමි හැම තැනකම වගේ මෙතැනත් රිලවුන්ගෙන් නමි අඩුවක් නෑ….  ගෙඩිගෙය ඇති සංකීර්ණයට ඇතුල් වෙන තැනම ඇති පුවරුවටයි මගේ දැස් මුලින්ම යොමු උනේ…

” සිරි ලකඟන නැබ මඩුලු මෙන් ගැනෙන බිමි පෙදෙසේ පල්ලව ඉදිකිරිමි ආරට අටවන සියවසේ නිමහමි කරන ලදුව එදා සිට දෙස් විදෙස්හි මහාජන විමසුමට ලක්වු නාලන්ද ගෙඩිගෙය………..

ලෙසට පුවරුවක් දැකගන්න පුළුවන්…. එහි සදහන් වෙනවා කාන්තාවකගේ නැබ නොහොත් නාබිය ( පෙකනිය ) ලෙස යනුවෙන්… එයින් අරුත දක්වන්නේ ලංකාවෙි මැද ලෙස නොවෙිද…

අත්තිවාරමෙි ඉදන් වහලයත් සමගම සමිපුර්ණ ගල්ම පමණක් යොදා නිම කර තිබෙන නිසා මෙයට ගෙඩිගෙය යැයි පැවසෙනවා… මුලින්ම ඉදිකර ඇත්තේ අටවන සියවසයි දහා වන සියවසයි අතර කාලයේ , දැනට වසර 1350කට වඩා වැඩි කාලෙකට ඉහතදී බවත් , මෙය ඉදිකිරිමට හේතුව ලංකාවෙි හරි මැද නිගමනය කිරිමට බවත් , ලංකාවෙි මැද නිසා සෑදු ස්මාරකයක් බවත් පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයට අයත් විහාරයක් ලෙසත් එහි සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහත්මයෙකු මා හට පැවසූවා…

        නාලන්ද ගෙඩිගේ පුරාවිද්‍යා භූමියේ පිහිටි කෞතුකාගාරයේ තැනිපත්ව ඇති ටැම්ලිපියෙහි දක්වන්නේ විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත් මිනීමරුවන්, සොරුන් විහාර භූමියට වැද්ද නොගත යුතු බවත් විහාරයේ සියළු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවත් එහි සදහන් බවයි පැවසෙන්නේ.. අක්ෂර විකාශනය අනුව මේ ලිපිය ක්‍රි.ව. 9-10 සියවස් වලට අයත් බව නිගමනය කර තිබෙනවා..

නාලන්ද ගෙඩිගේ මෑත කාලීන ඉතිහාසය සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටවූ කාලයේදීම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල් මහතාගේ අවධානය මෙයට යොමු වූ අතර ඒ යටතේ 1893 දී රජයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවෙන් පස්වලින් යටව තිබුණු ගෙඩිගේ දකුණු පස කොටස් රාශියක් පාදා ගන්නා ගෙන තිබෙනවා.

1911 දී බෙල් මහතා මෙහි පස් වලින් යටව තිබූ සියලු කොටස් පාදා ගත් අතර තහවුරු කිරීමකට උපයෝගි කරගත හැකි අන්දමින් එම කොටස් එතුමාගේ මග පෙන්වීමෙන් තැන්පත් කෙර ඇත. බෙල් මහතා විශ්‍රාම යාමත් සමග නැවතත් නාලන්දා ගෙඩිගේ පිලිබඳව අවධානය යොමු නොවුණු අතර සෙනරත් පරණවිතාන මහතාගේ සමයේදී එනම් 1953 දී ගෙඩිගෙයි මළුවේ පනා බැමි මතුකර ගෙන ඇති අතර පෙර දැක්වූ පරිදි ස්තූපයද ප්‍රතිසංස්කරණය කෙර ඇත.

පසුව ගෙඩිගේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් වූයේ 1970 දශකයේ කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන්, ගෙඩිගේ තිබුණු කුඹුරු ප්‍රදේශය බෝවතැන්න ජලාශයට යටවීමට තිබුණු හෙයිණි. ඒ යටතේ ගෙඩිගෙය රැකගැනීමට මිසරයේ අස්වාන් වේල්ල ඉදිකිරීමේදී අබුසිම්බල් දෙවොල ගලවා ඉවත් කර වෙනත් ස්ථානයක ඉදිකළ පරිද්දෙන් සියළුම කොටස් වල සංකේත යොදා ගලෙන් ගල ගෙඩිගෙය ගලවා පුරාවිද්‍යා කාර්යාල භූමියේ තැන්පත් කෙර, එය ජලාශයට යට නොවන වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට යෝජනා වුව ද එම අදහස වෙනස් කර මුලින් පිහිටි ස්ථානයේම ඉදි කිිරීමට යෝජනාවි, එ අනුව පිහිටි ස්ථානයේ වෙිදිකාවක් ලෙස අඩි 23ක හතරැස් බිම්කඩක් හා ඒ උසින්ම මාර්ගයක් ඉදිකර ඒ මත නාලන්ද ගෙඩිගෙය සංරක්ෂණය සිදු කර තිබෙනවා…

නාලන්ද ගෙඩි ගෙය ශෛලමය නිර්මාණයක්.  දිගින් මීටර් 15  පමණ ද පළලින්  මීටර් 11  ක් පමණ ද වන පාදමක් සහිත වේදිකාවක්  මත මීටර් 10 පමණ උසට මේ ගොඩනැගිල්ල නිමවා තිබෙනවා… මේ පාදම කැටයම් සහිත ගල් වලින් නිමවා තිබෙනවා. වේදිකාවට වැටෙන ජලය පිට කිරීමට සිංහ කැටයමින් අලංකාර කර ඇති පිහිලිද දැකගන්න පුළුවන්… 

ක්‍රි.ව. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 9 වැනි සියවස දක්වා ඉන්දියාවේ පල්ලව අධිරාජ්‍යය සමයේ පැවැති පල්ලව ගෘහ නිර්මාණ ශිල්පය වර්ධනය වුණා. එහි දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් (මාමල්ල ශෛලිය) රජුගේ කාලයේ ගෘහ නිර්මාණ ශෛලියට අනුව ගෙඩිගේ නිර්මාණය කර තිබෙනවා. දකුණු ඉන්දියාවේ පාලර් නදී මුවදොර, මහාබලිපුරම්හි කඳුගැටයක පිහිටි මාමල්ල ශෛලියේ නිර්මාණ සම්පූර්ණ කළු ගලින් නිමවා තිබෙනවා.  ඒ අතර නාලන්දට සමාන ගොඩනැගිලි හමුවෙනවා. මෙහි වහලය ශිඛරයක් ආකාරයෙන් සකස් කර තිබෙනවා. ශෛලමය වහල ශිඛරයක් ලෙසින් නිර්මාණය කිරීම පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතාව දක්වන සලකුණක්. මේ ලක්ෂණ නිසාම නාලන්ද ගෙඩිගෙය පල්ලව සම්ප්‍රදායට අයත් යැයි පිළිගැනෙනවා.

මෙය හින්දු මෙන්ම බෞද්ධ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ද ඇතුළත් ගොඩනැගිල්ලක්. ගොඩනැගිල්ලේ ඉදිරිපස පිවිසුම බෞද්ධ විහාරයක් මෙන් නිර්මාණය කර තිබෙනවා. එහි ප්‍රවේශය සඳකඩ පහණ, කොරවක්ගල, සහ පියගැටපෙළකින් යුක්ත යි. කොරවක් ගලෙහි ලියවැලකින් යුක්ත මකර රුවක් ද කැටයම් කර තිබෙනවා.

බොහො දෙනෙක් නාලන්ද ගෙඩිගේ ගැන කතා කරන විට උනන්දුවක් දක්වන කැටයමක් තමයි ලිංගික ඉරියවුවක් දැක්වෙන කැටයම…. ඉන්දියාවේ කාජුරාහෝ වැනි දේවාලවල විවිධ ලිංගික ඉරියව් සුලබ නමුත් ලංකාවේ ඒවා හමුවන එකම ස්ථානය නාලන්ද පමණයි. මෙහි බිත්තියේ පහළ පේකඩයක තුන්දෙනෙක් පසුපසින් ලිංගිකව රමණය කරන ආකාරය දැක්වෙනවා. මෙම ස්ථානයේ කණුවක දක්නට තිබූ මෙවන් තවත් කැටයමක් පිළිබඳ 1910-11 වර්ෂ සඳහා වූ එච්. සී. පී. බෙල් මහතාගේ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවේ සඳහන් වන මුත් එය මේ වන විට සොයාගැනිමට නැහැ. මෙම ලිංගික කැටයම් නිසා මේ ස්ථානය තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් සිදු කළ ස්ථානයක් ලෙස සමහරු පවසනවා. ථෙරවාද බුදුදහමේ මෙවැනි ඉරියව් සහිත කැටයම් අනුමත කරන්නේ නැහැ..

ගර්භ ගෘහය වර්ග මීටර් 8ක් 10 ක් පමණ වන කුඩා එකක්… එහි මැද  පද්මාසනයක් මත වැඩ හිඳින හිටි බුදු පිළිමයක්, පසෙකින් ඉහල කොටස හානියට පත්ව ඇති තවත් හිටි පිළිමයක කොටසක් හා අනෙක් පසින් හානියට පත්වූ තවත් පිළිමයක කොටස් කීපයක් දැකගත හැකියි. මේ බෞද්ධ ප්‍රතිමා වලට අතිරේකව ගණ දෙවි පිළිමයක් හා අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් ද මේ කුටිය තුල තැන්පත් කොට තිබෙනවා.. ගර්භ ගෘහයේ පිටත බිත්ති ද කැටයම් වලින් යුක්තයි.. ගෝ පුරක් වැනි වහල කොටස ද ගල් වලින්ම නිර්මාණය කොට තිබෙනවා… වහල කොටසේ දෙපස ඉහලින් කැටයම් සහිත උල් හැඩයේ ගල් දෙකක් පිහිටුවා තිබෙනවා…  බිත්තිවල ද විවිධ කැටයම් ඇති අතර එක් කැටයමක් කුවේරගේ රුවක් යයි  සිතිය හැකයි බොහො අය පවසනවා…. අනෙක් පස කැටයම හඳුනා ගත නොහැකියි..    

නාලන්ද ථෙරවාද හෝ මහායාන බුදු දහම සරණ ගිය බැති මතුන්ට මෙන්ම හින්දු ආගම අදහන බැතිමතුන්ට ද පොදුවේ වන්දනා මාන කළහැකිව තිබූ ආගමික මධ්‍යස්ථානයක්ව තිබෙන්නට ඇතැයි මෙහි දක්නට ලැබෙන කැටයම් හා ප්‍රතිමා අනුව විශ්වාස කළ හැකියි…

මෙයත් පැවසිය යුතුමයි… කාල පරාසයක් හරි හැටි නිගමනය කල නොහැකි පුරාවිද්‍යා වටිනාකමක් ඇති තැනක් නැවත ගලවා සවි කිරිම කලත් එය ප්‍රතිනිර්මාණයක් නිසා පෙර තිබුණු පෞරාණික බව නැතිවන බවයි මගේ අදහස… පිටතින් නොපෙණුනත් පෙර තිබු ලෙසටම නැවත සැකසූවත් හුබස් මැටි , එළගොම, දහයියා අළු වගේම ගස්වල ලාටු දමා සාදා ගන්නා බදාමය වෙනුවට ⁣සිමෙන්ති යොදා සැකසීම ගැලපෙන්නේදැයි සිතිම ඔබටත් බාරයි… ජලාශය නිසා ⁣වටිනා ස්මාරකයක් ගලවා නැවත සවි කරිම වෙනුවට එකල එ වැය කල මුදලින් ජලා⁣ශයේ ජලය කාන්දු නොවිමට බැමිමක් සැකසුවා නමි කොයිතරමි අගනේදැයි කනගාටුවෙන් උවත් සිතුනා මට…

ඈත අතීතයේ සිටම එන විස්වාසනිය පුරාවෘත කතා නමි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළදාරින් විස්වාස නොකරන බවත් එහි ගිය මොහොතේ මා හට වැටහිණා.. ඔවුන් රාවණ යුගයක් ලක්දිව තිබු බව එක හෙලාම හැල්ලුවට ලක් කර ප්‍රතික්ෂේප කරන්නේ අපේම අවාසනාවටදැයි මොහොතකට මට සිතුනා…. රටෙි ඉතිහාසය පත පොතේ පමණක් සදහන් විය යුතුමද? පුරාවෘත කතා නිකමි කතා විතරමද? ඇත්තෙන්ම බොහො අය පවසනා ලෙස නාලන්ද ගෙඩිගෙය විශ්ව ශක්තිය ගැබිව ඇති ස්ථානයක්ද?.. රාවණ රජු ඔහුගේ පුත් ඉන්ද්‍රජිත් හා විශ්‍රවස් මුණි වගේම අප කවුරුත් විස්වාස කරන බහිරවයා නොහොත් කුවෙරගේ සමිබන්දකමක් මෙහි නොමැතිදැයි සිතිමත් සත්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේන් පවසනා දෙය පමණක්මදැයි සිතිම ඔබටම මා බාර කරනවා…

යාපනේ නුවර A9 මාර්ගයේ යන ඔබ අමතක නොකර ගොඩවෙන්න නාලන්ද කිලොමිටර් 48 කණුව ආසන්නයේ ඇති නාලන්ද ගෙඩිගෙය නරඹන්න…. හිතන්න ඔබට භාරයි..

නිසංසලා රණසිංහ

Sign up for our newsletter