Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

වලස් පුංචා ගේ පාසල් ගමන

අද කතන්දරය වලස් පුංචා ගේ පාසල් ගමන ගැනයි.

ඔන්න දරුවනේ වලස් පුංචා හරිම උනන්දුවෙන් ලෑස්ති වෙලා පාසල් යන්න පිටත් උනා. සතුටින් වගේම පුංචි බයකුත් නැතිවම නෙවෙයි. හෙමි හෙමින් තම පන්ති කාමරය වෙත ගිය පුංචා, ඔලුව උස්සලා බැලුවා. ගොඩක් අලුත් යහළුවන් පන්ති කාමරය පුරාම.

ගුරුතුමා ඇවිත් හැමෝවම ආදරෙන් පිළිගත්තා. අලුත් යහළුවන්ව හඳුනා ගන්න ගුරුතුමා උදව් කලා. පුංචි යාලුවෝ හැමෝටම අලුත් අත්දැකීමක්.

ඔන්න හැමෝම කැමති විවේක කාලය උදා උනා. කෑම ටිකත් ඉකමනින් කාලා ඉවර වුණ වලස් පුංචා සෙල්ලම් කරන්න හිතන් පිට්ටනිය වෙත දුව ගියා. හරිම අපුරුයි! ගොඩක් යාළුවන් ඉන්නවා සෙල්ලම් කරන්න. පුංචාට  හරිම සතුටු හිතුනා.

සෙල්ලම් කරන්න, යාළුවන් එක්ක මිතුරු වෙන්න ඕනා. එහෙම හිතන් යහළුවන් ලඟට යන්න හදද්දිම, එකපාරටම ආව පුංචෙක් අපේ වලස් පුංචාගේ තොප්පිය ගලවලා පැළඳ ගත්තා. එකපාරටම බය උනත්, බලාගෙන උන්නා මොකද වෙන්නේ කියලා. තොප්පිය ගත්තු යාළුවා එය අරන් දුවන්න පටන් ගත්තා. මේ යාලුවා මගෙත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්නද එහෙම කලේ. වලස් පුංචා හිතුවා. තොප්පිය අරන් දුවපු යාළුවා නැවත ආවා. ඇවිත් වලස් පුංචා ගේ ඔලුවට තොප්පිය දැම්මා. අයෙමත් තොප්පිය අරගෙන දුවන්න උනා. හරියට හිතා ගන්න බැරිව වලස් පුංචා බලන් උන්නා. මෙන්න අයෙමත් එනවා තොප්පිය අරගෙන. වලස් පුංචා මිතුරාට කතා කලා.

යාලුවේ ඔයාට තොප්පිය පැළඳ ගන්න කැමති නම් මගෙන් අහන්න. මම හරිම කැමති ඔයාට අවස්ථාවක් දෙන්න මෙය පැළඳ ගන්න. ඒවගේම සෙල්ලම් කරන්න, දුවන්න ඕනා නම් මට කියන්න මම කැමතියි සෙල්ලම් කරන්න දුවන්න. නමුත් මගේ තොප්පිය මගෙන් අහන්නේ නැතිව ගන්න එකට සහ එය අරන් දුවන එකට නම් මම කැමති නෑ.ඒ නිසා එහෙම නොකර අපි සෙල්ලම් කරමුද?අනෙක් යාළුවනුත් එකතු කරන්?.

දැන් තමයි වලස් පුංචාගේ යාලුවට තේරුම් ගියේ.. තමා කරපු දෙය හොඳ දෙයක් නොවන බව. සෙල්ලමට උනත්, තව කෙනෙක් අපහසුතාවයට පත් කරන එක හොඳ දෙයක් නෙවෙයි. වලස් පුංචාගෙන් සමාව අරන්, දෙන්නත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න වුණා.

වලස් පුංචාට හරිම සතුටුයි දවස හොඳින් ගෙවුණු නිසා… ඒ වගේම තමන්ට වුණ අපහසුතාව ගැන නිර්භීතව මිතුරට  කතා කරලා පැහැදිලි කල නිසාත්.

පුංචි දුවලා පුතාලාත් හොඳින් මතක තියා ගන්න සෙල්ලමට උනත් යාලුවන්ව අපහසුතාවයට පත් නොකර ඉන්න.හොඳද.

සතුටින් ඉන්න. අලුත් කතාවක් එක්ක හමුවෙමු.

තිලෝෂි ප්‍රනාන්දු.

Sign up for our newsletter