Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

අප්පච්චි… 

චිතකයේ ගිනිදළු නැගෙයි. මම ඒ දෙස බලාගෙන උන්නෙමි. මෙතෙක් වෙලා පැහැබරව තිබුනු අහසින් එකවරම පතිත වූයේ වර්ශාවකි. එයද තප්පර ගානකි. 

‘මල් වැස්සක්… හොඳ ආත්මයක් ලබලා ඇති.. 

ඇතැමෙක් එසේ කියද්දී….

‘මෙච්චර කල් නාකපන වැහි වැටුනා. අද උදේ ඉදන් හොඳට පායනවා. ජීවත් වෙලා ඉන්න කාලෙ මහත්තයා නරකයි කියලා දෙයක් කලේ නෑ….

ඒ තවත් කෙනෙකි.. වටින් විටින් මෙවැනි කතා ඇහෙද්දී අප්පච්චිගේ චිතකයේ හෝ ගා දැවී යයි. සිරුරේ පණ ගිලිහී නොයන්නේ හිතේ හයියට වග මා දනිමි. අප්පච්චීගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර මේ වෙද්දී දැවී අළු වී යන වග සිතද්දීත් මගේ දෑස් වලින් ගලන කඳුලු වලට වඩා හිත හයියෙන් හඬයි.

‘අප්පච්චී, ආයෙත් එන්න.. තව අවුරුදු පහක් ජීවත් වෙන්න… 

මගේ හිත කෑගහයි. ඒත්, යලිත් නොඑන බව කියමින් සුසානභූමියේ දුම් රොටු අහසට නැගෙයි. මම අම්මා දෙස බැලුවෙමි. ගෙවුනු දෙමසක් පුරාවටම ඇය අප්පච්චී වෙනුවෙන් කල කැපකිරීම් වල මහන්සියත් අප්පච්චී අහිමි වීමේ වේදනාවත් නිසා ඒ මුහුණේ ඇත්තේ වචනයෙන් විස්තර කල නොහැකි වේදනාවකි. 

‘ මම දැන් තනි වුනා පුතේ.. අප්පච්චී මමයි ඔයාව බලන්න එන්න හිටියේ..’

අම්මා තවත් මොනවාදෝ කියද්දී මම එහෙමම සුසානභූමියේ ගල් පඩියක වාඩි වූයෙමි. මළගමට පැමිනි මිනිසුන් එකා දෙන්නා නික්ම යද්දී සමීපතමයින් පමනක් අප අසලම රැදුනි. 

‘දුව.. කොච්චර හිතුවත් අප්පච්චි ආයෙත් එන්නෙ නෑ. මේ එයා ගෙනාව ආයුශ. දැන් අම්මව බලන්න.. 

‘අප්පච්චි බේරගන්න ඔයාලා හැමදේම කලා ඒත් දැන් මොනවා කරන්නද?

නෑදෑයින් මා අසලට පැමින විවිධ දේ පවසන්නේ හිත හදන්නට වූවත් ඒ වචනත් මට මහා වදයකි. අප්පච්චී නැතිව යලිත් නිවසට යෑම මට මහත් වදයකි. ඔලුව හැරුනු අතේ යන්නට සිතුනත් අම්මා තනි කරන්නට හිත් නොදෙයි. 

‘අප්පච්චී, හැම ආත්මෙකම මගේ අප්පච්චි වෙන්න.මේ ආත්මෙට ඔය විදියට ගියාට ආයෙත් නම් එහෙම වෙන්න එපා.. 

සිය දහස් දස දහස් වෙනි වතාවටත් එසේ සිතූ මම වාඩි වී සිටි ගල් පඩියෙන් නැගිට්ටෙමි. දැන් නම් පෙර මෙන් අහස් කුස පුරා දුමක් නැත. එනම්, අප්පච්චීගෙ නිසල වූ සිරුර දැවී අවසානය… 

අප්පච්චී හිටපු උසස් පොලිස් නිලධාරියෙකි. ගෙවුනු වසරේ විශ්‍රාමදිවියට පත්වෙද්දී මා තරම් සතුටු වූ කෙනෙක් තවත් නොවීය. ඒ අම්මාත් අප්පච්චීත් එංගලන්තයට ගෙන්වා ගැනීමට හැකි නිසාය. 

‘මම ඉස්සර රග්බි වලට ඉන්ග්ලන්ඩ් ආවා.. දැන් එහේ ගොඩක් වෙනස් වෙලා ඇති නේද පුතේ?

‘අප්පච්චිම ඇවිත් බලන්නකෝ. මේ පාර ආවම මාස හයම ඉදලා යමු. අවුරුදු කීයක් බලාගෙන හිටියද මම ඔයාල දෙන්නා එනකම්… 

‘හ්ම්ම්.. පාස්පෝට් අළුත් කරන්න දීපිකා නංගි ෆෝම්ස් එව්වා. ඒවා ඉක්මනට යවන්නම් මම.. 

අප්පච්චිත් මාත් අතර වූ අවසාන සංවාදය එයයි. ඉන් දෙදිනකට පසුව මට ඇමතුමක් ආවේ මගේ එකම සහෝඳරයාගෙනි. 

‘අක්කේ අප්පච්චී ඇවිදිනකොට බැලන්ස් නෑ. එයා එහෙමම වාඩි වුනා දැන් නැගිටින්න බෑ.. 

එදා මගේ මුලු වතම දහඳියෙන් තෙමී යන්නට විය. 

‘මේ දැන්ම අප්පච්චිව හොස්පිට්ල් අරන් යන්න මල්ලි.. බලාගෙන ඉන්න එපා.

‘තෙල් නෑ අක්කේ.. කමක් නෑ මම කොහොම හරි තෙල් හොයාගෙන යන්නම්… 

සියල්ල ඇරඹුනේ එලෙසිනි. අප්පච්චී රෝහලේ නතර කර දෙදිනකින් අංශබාග රෝගියෙකු වූයේය. වෛද්‍යවරුන් පැවසුවේ අප්පච්චීගේ හදවත වැඩ කරන්නේ සියයට විස්සක් බවය. ගහක් ගලක් මෙන් ජීවත් වුනු අප්පච්චී ඇඳක වැටෙනවා බලන් ඉන්නට බැරිය. ඉතින් මම ලංකාවට ආවෙමි. 

එතැන් පටන් මාත් අම්මාත් මුණගැසිය හැකි සෑම වෛද්‍යවරයෙකුම මුණගැසුනෙමු. ඇතැම් වෛද්‍යවරුන් එක වරම අප්පච්චී සිටින තවත්වයත් සමඟ ඔහුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කල අතර තවත් වෛද්‍යවරුන් අප්පච්චී වෙනුවෙන් කැපවන්නට විය. කොළඹ මහ රෝහලත්, පොලිස් රෝහලේ සිටි වෙඳ හෙඳ කාර්ය මණ්ඩලය අප්පච්චී වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන්නට විය. විටෙක සුව අතට හැරෙන ඔහු තවත් විටෙක සම්පූර්ණයෙන්ම දුර්වල විය. ශරීරයේ වෙනස්කම් සමඟ අප්පච්චී හිටිය ප්‍රමාණයෙන් භාගයක් වෙද්දී මාත් අම්මාත් අප වටා සිටි අප්පච්චීට ආදරය කල හැමදෙනාමත් නොපෙනෙන දෙවියන් යැද්දේ අප්පච්චීගේ ජීවිතය ඉල්ලමිනි. 

‘දැන් නම් මහත්තයට අමාරුයි… බෙහෙත් නිසයි මෙහෙම හරි ඉන්නේ…. 

දෙමසක් ගෙවී යද්දී ඒ වචන පිට වූයේ වෛද්‍යවරුන්ගේ මුවෙනි.ඒ වචන අසා දෙදිනක් ගත වෙද්දී අප්පච්චී මෙලොව හැර ගියේ අගෝස්තු පලමු වනදා සවස් යාමයේදීය. එනම් අදින් දින හතකට පමන පෙරය. 

සිදු වූ සියල්ලම මට තවමත් සිහිනයකි. අප්පච්චී නැති නිවස පාලු කාන්තරයක් මෙනි. හිත හදන්නට වචන දහසක් ඇසුනත් ඒ දුක මා ජීවත් වන තුරාවට නිම නොවන්නේ මගෙත් අප්පච්චීගේත් උපන්දින යෙදෙන්නේ එකම දිනයට බැවිනි. 

‘සුභ උපන්දිනයක් මගේ පුතේ.. 

‘එසේම වේවා අප්පච්චී… 

යලිත් ඒ සුභ පැතුම මට නොඑන වග සිහි වද්දීත් හිත හදාගැනීම පෙනෙන මානයකවත් නැත. 

‘දුව බහින්න… ගෙදරට ආවා… 

අප්පච්චීගේ සහෝඳරයෙකු එසේ කියද්දී මම පියවි සිහියට ආවෙමි. අප්පච්චී නැති නිවස දෙස මම තත්පර කීපයක් බලාගෙන උන්නෙමි. වාහනයෙන් බැස්සේ ඉන් අනතුරුවමය. නිවසට ගොඩ වෙද්දී මල් මාලයක් දැමූ අප්පච්චීගේ ඡායාරූපයකි. පසෙකින් ඔහු සේවා කාලයේදී ලබා ගත් පදක්කම් සහිත පෙට්ටියකි. 

අප්පච්චීගේ ඡායාරූපයත් පදක්කම් සහිත පෙට්ටියත් මම දෑතට ගත්තෙමි. ඊටත් විනාඩි ගානකට පසුව මම ඒ දෙකම මා ගෙන ආ ගමන් මල්ලේ සඟවා ගත්තෙමි. 

දින විසි තුනකට පසුව….

සියලු දානමාන කටයුතු වලින් අනතුරුව යලිත් මම එංගලන්තයට ආවෙමි. අප්පච්චී මා එක්ක නාවට ඔහු අවසන් වතාවට පාවිච්චි කල බොහෝ දේ මා රැගෙන ආවෙමි. පදක්කම් පෙට්ටිය, පොලිස් තොප්පිය, අප්පච්චීගේ චායාරූප මෙන්ම ඔහු කියවූ නවකතා පොත්ද ඒ අතර විය. අප්පච්චී මතක් වන සෑම මොහොතකම මම ඔහුගේ පින්තූරය දෙස බලාගෙන හිදිමි. මේ ලියන මොහොතේදීත් ඔහුගේ රූපය මෙන්ම පදක්කම් පෙට්ටියද පෙනෙන මානයේය.

මැරුනු මිනිසුන් වෙනුවෙන් මැරුනු මිනිස්සු හිඟය. එහෙත් මැරුනු මිනිසුන් නිසා මැරි මැරී ඉපදෙන මිනිසුන් බොහෝය. ඊට හොඳම උදාහරණය මාය.. මගේ අම්මාය… අප්පච්චීට ආදරය කල සැමය… 

සමාප්‍තයි. 
තක්ෂිලා ඒකනායක.

Sign up for our newsletter