Api-Slide-53-1
Api-Slide-53-2
previous arrow
next arrow

‘අර්ශස්’ රෝගයෙන් ඔබත් පීඩා විඳිනවාද?

‘අර්ශස්’ රෝගයෙන් ඔබත් පීඩා විඳිනවාද?

වත්මන් සමාජයේ ඉතා සුලභ, ඉක්මන් නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවන රෝගී තත්ත්වයක් ලෙස ‘අර්ශස්’ රෝගය හැදින්වීමට පිළිවන. ප්‍රසිද්ධියේ මෙම රෝගී තත්ත්වය පිළිබඳ කතා කිරීමට රෝගීන් පසුබට වුවද අද සමාජයේ බොහෝ දෙනෙක් අර්ශස් රෝගයෙන් පීඩා විඳින බව නොරහසකි. 

කුඩා අවධියේ සිට වයස් ගත වියපත් අවධිය දක්වා පුද්ගලයින් හට අර්ශස් රෝගය වැළඳීමට හැකියාව ඇති බැවින් ස්ත්‍රී – පුරුෂ භේදයකින් හා වයස් භේදයකින් තොරව මෙම රෝගයෙන් පීඩා විඳින රෝගීන් අද සමාජය තුළ බහුලව වාර්තා වේ. නමුත් අර්ශස් රෝගය යනු කල්තියා නිවැරදි රෝග විනිශ්චය තුළින් හඳුනාගෙන ඉතා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් ඉක්මනින් සුව කර ගැනීමේ හැකියාව පවතින රෝගී තත්ත්වයකි.

ආයුර්වේද මතානුකූලව අර්ශස් රෝගය, වාතාදී දෝෂයන් විෂම වී සම, මස, මේදස් දූෂණය කොට ගුද මාර්ගය ආශ්‍රය කොට ගෙන ඇතිවන රෝගී තත්ත්වයකි. 

‘අරිවත් ප්‍රාණාත් ශෘණාති හිනස්ති ඉති අර්ශඃ’

ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වන අයුරින් ‘සතුරෙක් මෙන් පණ නසාලනුයේ, එය අර්ශස් නම් වේ’.

අර්ශස් අංකුර නොහොත් ගෙඩි(ඛීල)වලින් ගුද මාර්ගය අවුරා පුද්ගලයාට සතුරෙකු මෙන් හිංසා කරන හෙයින් මෙම සංස්කෘත නිර්වචනය ලබා දී ඇත. එමගින් රෝගියා අර්ශස් රෝගයෙන් පීඩාවට පත්වන ප්‍රබලත්වය හා අර්ශස් රෝගයේ බැරෑරුම්කම කියා පානු ඇත.

රෝගියා කායිකව හා මානසිකව පීඩාවට පත් කරමින් හට ගන්නා වේදනාකාරී රෝගී අවස්ථාවක් වූ හෙයින් අර්ශස් රෝගය ආයුර්වේදයේ සඳහන් ‘මහා රෝග’ වන 

‘වාත ව්‍යාධීෂ්මරී කුෂ්ඨ ප්‍රමේහෝදර භගන්දරම් ග්‍රහණ්‍යාර්ශාංසි..’  යන රෝග 8න් එක් රෝගයක් ලෙසට සැළකේ.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව අර්ශස් රෝගය Piles හෝ Hemorrhoids ලෙස හැඳින්වෙන අතර සාමාන්‍ය ව්‍යවහාරයේ මූලගාය, මූලග්ගින්න ලෙසද, සංස්කෘතික පර්‍යාය ලෙසට දුර්නාම, මූල ව්‍යාධී, මාංසාංකුර, ගුදාංකුර, මාංස ප්‍රරෝහ ලෙසද අර්ශස් රෝගය හඳුන්වනු ලැබේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අර්ශස් රෝගය ගුද මාර්ගයට පමණක් සීමා නොවන රෝගී තත්ත්වයකි. එනම් ගුදය, ලිංග, යෝනි, නාසා, තාලු, ගෙල, චර්මය, මුහුණ, ඇස්, කන්, අත්, පා ආදියෙහි ද අප්‍රධාන වශයෙන් අර්ශස් හට ගැනෙන බව ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වේ.

ශරීරයේ නොයෙකුත් තැන්හි, නොයෙක් ඉන්ද්‍රියයන් ඇසුරු කොට ගනිමින් අර්ශස් රෝගය හට ගත්තද පොදුවේ ‘අර්ශස්’ යැයි කියූ පමණින් එය ගුද මාර්ගය හා සම්බන්ධ රෝගී තත්ත්වය ලෙසට බහුලව සළකනු ලැබේ.

මහාන්ත්‍රයේ අවසාන කොටසෙහි එනම් ගුදයේ ඉහළ සිට පහළට පිහිටා ඇති මල කොටස් බැහැරට ඇද දැමීම සිදුකරන රැලි ගැසුනු පිහිටීම් ගුද වලි ලෙසට හඳුන්වන අතර එම වලි ත්‍රිත්ත්වය ප්‍රවාහිණී, විසර්ජණී, සංවරණී ලෙසට නම් කෙරේ. ගුද අර්ශස් ඇතිවනුයේ මෙම ගුද වලිත්‍රය ආශ්‍රය කොටගෙනය.

ආයුර්වේද මූල ග්‍රන්ථයන්හි සඳහන් අයුරින්,

ප්‍රවාහිණී- ගුදය අභ්‍යන්තර වලිය ලෙස හැඳින්වේ. තැටමීමේදී මල පහළට තෙරපා හරිනුයේ මෙම වලියෙනි. මෙහි හටගැනෙන අර්ශස් සුව කිරීම අපහසු බව ආයුර්වේද ග්‍රන්ථයන්හි දක්වා ඇත.

විසර්ජණී- ගුදයේ මැද වලියයි. තැටමීමේදී මල පදාර්ථ නිසා දිග හැරී මල පිට කිරීම මෙම වලියෙන් සිදුවේ. මෙහි හටගන්නා අර්ශස් සුව කිරීම පහසු වන අතර උග්‍ර වුවහොත් ශල්‍යකර්ම කිරීමෙන් සුව කළ හැක.

සංවරණී- ගුදයේ අවසාන වලිය වේ. තැටමීමේදී මල පිටවූ පසු මල මාර්ගය වසාලීම කරනුයේ සංවරණී වලියෙනි. මෙහි හටගන්නා අර්ශස් කෂාය, ලේප, ධූම, ස්වේද, ගුද වැටි යන ආයුර්වේද ප්‍රතිකර්මයන් මගින් පහසුවෙන් සුවකළ හැකිය.

මෙම වලි තුන ආශ්‍රය කරමින් එම බිත්ති වල තිබෙන ශිරා හා ඇතැම් කේෂ නාලිකා රුධිරය එකතු වී පිම්බීම හා තැටමීමේදී රුධිර නාලයන් ගුද විවරය තුළින් පිටතට පැමිණීම සිදුවේ. ඒවා අර්ශස් ගෙඩි ලෙසට සැළකේ.

එමෙන්ම බටහිර මතයට අනුව ගුද මාර්ගයේ හෝ ගුදය අවට රුධිර නාල හා පටක ප්‍රදාහයට ලක් වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස අරශස් රෝගය වර්ධනය වන බව දක්වයි. ගුදය අවට ශිරාග්‍රන්ථිමය තත්ත්වයක් හට ගැනීමෙන් රුධිරය පිරුණු රුධිර නාල ගුද විවරයෙන් පිටතට තල්ලු වීමෙන් රුධිරය පිරි ගෙඩි ගුද මාර්ගයේ හා ඒ අවට පිහිටීමෙන් රෝගියා හට මල පිටකිරීම වේදනාකාරී අත්දැකීමක් බවට පත්කිරීම මෙම රෝගයේ ප්‍රධානතම ලක්ෂණයයි.

අර්ශස් රෝගයේ ප්‍රබේද 6ක් පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව විස්තර වේ. එනම් වාතජ, පිත්තජ, කඵජ, ත්‍රිදෝෂජ, රක්තජ හා සහජ අර්ශස් වේ.

මෙම ප්‍රබේදයන් ගුද ඛීලයන්ගේ වර්ණය, ස්වභාවය, හැඩය, තද හෝ මෘදු බව, වේදනාව පවතීද, දැවිල්ල පවතීද යන බව, රුධිරය වහනය වන්නේද යන බව සළකා ප්‍රමුඛ දෝෂ තත්ත්වය අනුව ප්‍රබේද කොට ඇත.

වයස් භේදයකින් තොරව අර්ශස් රෝගය උපතේදීම සහජයෙන් උරුම වන අවස්ථාවන්ද වාර්තා වේ. තවද ගර්භනී කාලයේදී ගර්භයේ වැඩීමත් සමග ඒ ආසන්නයේ ශිරාවන්ගේ තද වීම හේතුවෙන් ගර්භනී මව් වරුන් අර්ශස් රෝගයෙන් පීඩා විඳීම බහුලව ප්‍රකට වේ.

රක්තජ අර්ශස් ප්‍රබේදය වත්මන් සමාජයේ බහුලව දක්නට ලැබෙන අතර මල පිට කිරීමට අධිකව තැටමීමේදී බද්ධ මල හේතුවෙන් ගුද චක්‍රයේ ලේ පිරී ඇති රුධිර වාහිනී තෙරපීමට ලක්වේ. එහිදී රුධිර වාහිනී බිඳ වැටීමෙන් වේදනාවෙන් මල සමඟ ලේ පිටවීම ආරම්භ වේ.

පිත්තජ හා රක්තජ අර්ශස් වලදී වෙනත් අර්ශස් ප්‍රබේද වලට වඩා අධික ලෙස රුධිරය වහනය වීම, ගුද මාර්ගය අවට අසාමාන්‍ය ලෙස තැනින් තැන ඉදිමීම් නිරීක්ෂණය සහ මල පිටකිරීමට පෙර හා පිටකල පසුව අධික දැවිල්ලක් හට ගැනීම දක්නට ලැබේ.

වාතජ අර්ශස් අවස්ථාවේදී ගුද මාර්ගය අවට ව්‍යාප්තව කුඩා ඉන්නන් වැනි ස්වරූපගත් අර්ශස් ඛීල පවතී.

කඵජ අර්ශස් තරමක් විශාල අර්ශස් ගෙඩි වන බැවින් ගුද මාර්ගයෙන් පිටතට පහසුවෙන් පැමිණේ. ගෙඩි වලින් ලේ ගැලීමක් නොවුනද තෙත් බවින් යුක්ත වේ. එමනිසා යට ඇඳුම් නිතර තෙත් වීම රෝගී ලක්ෂණයක් ලෙසට රෝගීන් ප්‍රකාශ කරයි.

අර්ශස් රෝගයේ ප්‍රමුඛ රෝග ලක්ෂණ 

මල පහ කිරීමේදී වේදනාව, දැවිල්ල, ගුද මාර්ගයේ තෙතමනය හා කැසීම.

මල පහ කිරීමේදී රුධිරය පිටවීම.

අර්ශස් ගෙඩි ආකාරයෙන් ගුදයෙන් පිටතට පැමිණීම.

මල බද්ධය.

බඩ පුරවා දැමීම.

නිතර කේන්තියාම හා අධික නොසන්සුන් බව.

මල පහ කිරීමේදී හෝ කිරීමෙන් පසු යටිබඩ හා කොන්ද ආශ්‍රිතව අධික වේදනාවක් දැනීම.

මල පිටකළ පසු තවදුරටත් මල පිට කිරීමේ අවශ්‍යතාව දැනීම.

ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයෙන් දීර්ඝ කාලයක් පීඩා විදීම.

අර්ශස් රෝගීන් තුළ බොහෝ විට මලබද්ධය නොහොත් මල පිටකිරීමේ අපහසුව දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයකි.

රෝගියා මල පිට කිරීමට අධිකව තටමන විට ගුද මාර්ගය අභ්‍යන්තරයේ අර්ශස් ගෙඩි පවතීනම් එතුළින්ද මල පිටතට ඇද දැමීමට බාධා ඇති කෙරේ. එබැවින් රෝගියාට ඇතිවෙන වේදනාකාරී තත්ත්වය අතිමහත්‍ ය. මෙම අවස්ථා වලදී ගුද මාර්ගයෙන් රුධිරය පිටව යාම සිදුවේ.

මෙම රෝග ලක්ෂණ සමග රෝගියාගේ කායික, මානසික සමතුලිත බව සහමුලින්ම බිඳ වැටෙන්නට හේතු වේ.

බටහිර මතය අනුව External Haemorroids සහ Internal Haemorroids ලෙස අර්ශස් දෙයාකාරයකි.

External Haemorroids එනම් බාහිර අර්ශස් යනු ගුද මාර්ගයේ බාහිරින් පවතින අර්ශස් වේ. ආයුර්වේදානුකූලව සංවරණී වලිය ආශ්‍රිතව හටගන්නා අර්ශස් මේ යටතට ගැනේ. මෙම අර්ශස් ප්‍රබේදය වේදනාවෙන් හා ප්‍රාමාණිකව විශාලත්වයෙන් වැඩි වේ. රුධිර වහනය අවම අතර පිටතට විදාරණය වීම පහසුවෙන් සිදුවේ.

Internal Haemorroids නොහොත් අභ්‍යන්තර අර්ශස් ගුද මාර්ගයේ අභ්‍යන්තරයේ ඇතිවේ. වේදනාවෙන් අඩු අතර විශාලත්වයෙන් කුඩා අර්ශස් වේ. නමුත් රුධිර වහනය වැඩි අර්ශස් අංකුර ලෙසට සැළකේ. ප්‍රවාහිණී හා විසර්ජණී ගුද වලි ආශ්‍රය කරමින් ඇතිවන අර්ශස් හා සමාන ලක්ෂණ පෙන්නුම් කෙරේ.

අර්ශස් ඇතිවීමට මූලික හේතු

1. ඇතැම් උදරගත අර්බුද නිසා අන්ත්‍රවල සිට අක්මාව වෙත රුධිරය ගෙන යන ප්‍රතිහාරිණී මහා ශිරාව ඇහිරීමෙන් අධෝගත ප්‍රදේශයේ පීඩනය වැඩිවී ගුද ශිරා තුළ රුධිරය රැස්ව පැවතීම

2. දීර්ඝ කාලීනව පවතින මලබද්ධතාව (Habitual constipation)

3. අධික මද්‍යයපානය, දුම් පානය

4. කෙඳි සහිත ආහාර භාවිතය අවම වීම

5. දවසේ වැඩි කාලයක් කය වෙහෙසීමකින් තොරව එක තැන වාඩිවී සිටීම (එම නිසා ඉහළ අවයව වල බර උසුළා සිටීමෙන් ගුද කලාව තෙරපීමට ලක් වීම)

6. මල-මූත්‍ර වේගධාරණය කිරීම

7. ව්‍යායාම නොකිරීම 

8. සහජ හේතු- දෙමාපියන්ට රෝගය පැවතීම හේතුවෙන් දරුවන්ට රෝගය උරුම වීම (ප්‍රවේණිගත හේතු)

වර්තමානයේ අර්ශස් රෝගී තත්ත්වය මෙතරම් බහුල වීමට හේතුව වනුයේ වත්මන් සමාජය තුළ අනුගමනය කරන අක්‍රමවත් ආහාර හා විහරණයි. විශේෂයෙන්ම වයස්ගත වීමේදී අර්ශස් රෝගය වැළඳීමේ වැඩි ස්ම්භාවිතාවයක් පැවතුනද ඕනෑම වයස් කාණ්ඩයකදී පත්‍ය නොවූ ආහාර-විහරණ හේතුකොට ගෙන අර්ශස් රෝගය හට ගනී.

ලාංකික වැඩිහිටි ජනගහණයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් අර්ශස් රෝගයෙන් පීඩා විඳින බවත්, නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු නොවීමත් කණගාටුවට කාරණයකි. තවද, රෝගය සඳහා ප්‍රතිකාර අඛණ්ඩව සිදු නොකිරීමත්, රෝගය ඇති වීමට බලපාන හේතූන්ගෙන් වැළකීම සිදු නොකිරීමත් නිසා රෝගය නැවත හටගැනීමට හේතු සැකසේ.

ඇතැමෙක් ගුද මගින් රුධිරය පිටවීම දුටු සැනින් අර්ශස් ලෙසට රෝග විනිශ්චය කරනු ඇත. නමුත් එය එසේ නොවන අවස්ථා රාශියකි. භගන්දර(Fistula), ගුදාර්බුධ (tumours), ගුදමග පැලීම්(Anal fissures), ගුද පිඩකා(Anal abscess), ගුදගත පිළිකා(Anal cancers) යන රෝග අවස්ථාවන්හිදීත් ගුද මාර්ගයෙන් රුධිරය වහනය බහුලව සිදුවේ. රුධිරය විදීමක් හෝ වැඩි පරිමාවකින් රුධිරය(Fresh blood) ගුද මාර්ගය ඔස්සේ පිටවීම එහිදී සිදුවේ.

එමෙන්ම, මල කළු පැහැයෙන් හෝ තාර පැහැයෙන් වර්ණ ගැන්වී පිටවේ නම් එම තත්ත්වය අර්ශස් තත්ත්වයක් නොව ආහාර ජීර්ණ පද්ධතියේ ගුදයට ඉහළ අන්ත්‍ර කොටසේ රෝගී තත්ත්වයක් හේතු කොටගෙන විය හැකිය.

එමනිසා රෝගියා විසින් කළයුතු වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී රෝග ලක්ෂණ නිවැරදිව, නොසඟවා පවසා නිවැරදි රෝග විනිශ්‍චය අප්‍රමාදව ලබා ගෙන ප්‍රතිකාර සඳහා යොමුවීමය.

ප්‍රතිකාර ප්‍රමාද වීමේදී කුඩා අර්ශස් අංකුර ක්‍රමයෙන් විශාලත්වයෙන් වැඩි වේ. කාලයක් තිස්සේ රුධිර වහනය වීම නිසා රක්තහීනතාවය (Anemia) ඇතිවේ.

එමෙන්ම අත් පා ඉදිමීම, කාමලා නොහොත් සෙංගමාලය (Jaundice), ශරීරය කෘශවීම හා දුර්වල වීම හා පසු කාලීනව භගන්දර(Fistula), පරිකර්තිකා(Anal fissure), ගුද භ්‍රංශ(Anal prolapse) වැනි වෙනත් ගුදගත රෝග ඇතිවීමද සුලභ වේ.

පෙර සඳහන් අයුරින් අර්ශස් රෝගය මල බද්ධය නිසා ඉතා පහසුවෙන් හට ගැනෙන අතර, රෝගය නිසා නැවත රෝග ලක්ෂණයක් ලෙසද මලබද්ධය හට ගනී. එමනිසා අර්ශස් සුව කිරීමේදී මල බද්ධය තුරන් කිරීම ප්‍රධාන ලෙසම කළ යුතුය. නැතහොත් චක්‍රානුකූලව නැවත මලබද්ධය හේතුකොට ගෙන අර්ශස් නැවත නැවතත් හට ගනු ඇත. එබැවින් සුව වීමක් සිදු නොවනු ඇත.

අර්ශස් රෝගයේ මුල් අවස්ථාවේදී අර්ශස් ගෙඩි ගුද මාර්ගය තුළින් එළියට පැමිණීමක් සිදු නොවේ. නමුත් ගෙඩි පිහිටන ස්ථානය අනුව හා රෝගය උග්‍ර වීම අනුව මලපහ කිරීමේදී අර්ශස් ගෙඩි ගුද විවරයෙන් එළියට පැමිණෙන අතර තවදුරටත් රෝගය උත්සන්න වීමේදී මලපහ කිරීමේදී පිටතට පැමිණෙන අර්ශස් ගෙඩි නැවතත් ගුද වලි තුළට ගමන් කිරීම සිදු නොවී පිටතම රැඳී තිබෙනු ඇත. එයින් රෝගියා අධික ලෙස පීඩා විඳී.

බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලෙස අර්ශස් ගෙඩි බැඳතැබීම, රබර් පටි යෙදීම, ස්ටේප්ලර් යෙදීම, එන්නත් කිරීම, ලේසර් ප්‍රතිකාර හා ශල්‍ය කර්ම මගින් කපා ඉවත් කිරීම සිදු කරයි.

අර්ශස් ප්‍රබේදය, පැවති කාලය, සාධ්‍ය අසාධ්‍යතාව අනුව අර්ශස් සඳහා ආයුර්වේද ප්‍රතිකාරය වෙනස් වේ. වස්ති, විරේක, රක්ත ශෝධන හා ත්‍රිදෝෂ ශමන ප්‍රතිකාර අර්ශස් රෝගය සඳහා සුදුසු ආයුර්වේද ප්‍රතිකාරයන් වේ.

කෂාය ආදී ඖෂධ ප්‍රතිකාර මගින් සුව නොවන අර්ශස් ශල්‍ය, ක්ෂාර(භාෂ්මික් ද්‍රව්‍ය යෙදූ ප්‍රතිකාර), අග්නි(පිළිස්සුම් මගින් ප්‍රතිකාර කිරීම) චිකිත්සා ක්‍රම මගින් සුව කළ හැකිය.

බාහිර ප්‍රතිකාර ලෙස ආයුර්වේද ඖෂධීය තෙල් හෝ ලේප, ඒකීයව තලතෙල්, ඔලිව්තෙල් වැනි තෛල ගුදය වටා ආලේපය, කෝමාරිකා මද ස්ථානිකව ආලේප කිරීම, මද උණුසුම් ඖෂධීය ද්‍රවයක දිනපතා අවගාහය නොහොත් විනාඩි 15-20ක කාලයක් වාඩිවී සිටීමෙන්(Sit bath) ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැක.

අර්ශස් රෝගීන්ට සුදුසු ආහාර

කොහිල අල, කොහිල දළු, ගම් කිඩාරම් අල, හබරල අල, බතල, රතුළූණු, මුකුණුවැන්න, ගොටුකොළ, කතුරුමුරුංගා වැනි පලා වර්ග, හීන් උඳුපියලිය, කරල්සැබෝ කැඳ, කෙහෙල්මුව, දඹළ, වැටකොළු, නෙළුම්අල වැනි කෙඳි බහුල එළවළු, අළුපුහුල්, කැකිරි, ලබු, පිපිඤ්ඤා වැනි ජල ප්‍රතිශතය වැඩි එළවළු, ගස්ලබු, කොමඩු, බෙලි, කෙසෙල් වැනි පලතුරු, කොළකැඳ වර්ග පත්‍ය ආහාර වේ.

විටමින් C හා K, ෆෝලේට්, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම් බහුල ආහාර මල බැහැර කිරීමේ ක්‍රියාව පහසු හා ක්‍රමවත් කරන බව නවීන වෛද්‍ය විද්‍යාවට අනුව පිළිගන්නා බැවින් අර්ශස් රෝගීන් සඳහා හිතකර වේ.

විටමින් K රුධිර කැටිගැසීම් නියාමනය කරන අතර රක්ත අර්ශස් අවස්ථාවේදී රුධිර වහනය අඩු කිරීමට හේතු වේ. එනිසා පලා වර්ග හා කොළ පැහැති එළවළු භාවිතය ඉතාමත් සුදුසු වේ.

අර්ශස් රෝගීන්ට නුසුදුසු ආහාර

ඉස්සන්, දැල්ලන්, බල මාළු, බල කරවල, සැමන්, හුරුල්ලන්, ඌරුමස්, හරක් මස්, අන්නාසි, තක්කාලි, අච්චාරු, විනාකිරි දැමූ ආහාර, දෙල්, මුරුංගා, ඇඹරැල්ලා වැනි උෂ්ණාධික ආහාර නිතර භාවිතය නුසුදුසුය. කෘත්‍රිම ආහාර පාන, රසකාරක යෙදූ අහාර, ක්ෂ්ණික ආහාර, තෙල් අධික බැඳුම් වර්ග, තේ, කෝපි, මත්පැන් පානය අර්ශස් රෝගයට සුදුසු නොවේ. මෙම ආහාර නැවත භාවිතයෙන් අර්ශස් රෝගී තත්ත්වය වැඩිවීමටත්, නැවත හටගැනීමටත් හේතු සැළසේ.

අර්ශස් රෝගීන්ට සුදුසු විහරණ

ව්‍යායාම වල නිරතවීම, නිතර නිතර ජලය පානය කිරීම, මල මූත්‍ර වේග දරා නොසිට වැසිකිලි යාමේ අවශ්‍යතාව දැනුන විටදී ප්‍රමාද නොකොට මලපහ කිරීම, මානසික සන්සුන් බව රැකගැනීමට භාවනා හා යෝග ක්‍රම අනුගමනය කිරීම පත්‍ය විහරණයන් වේ.

අර්ශස් රෝගීන්ට නුසුදුසු විහරණ

අධිකව කය වෙහෙසීම, බර ඉසිලීම, බොහෝවේලා ඇවිදීම හෝ බොහෝ වේලා හිඳගෙන සිටීම, මලපිට කිරීමේදී අධික තැටමීම, අධික මෙවුන්දම් සේවනය, තද ආසනයන්හි බොහෝ වේලා වාඩිවී සිටීම අපත්‍ය / නුසුදුසු විහරණයන් වේ.

අර්ශස් රෝගී තත්ත්වය මාරාන්තික රෝගයක් නොවුනද ඉන් පැන නගින උපද්‍රව මාරාන්තික වීමේ ප්‍රවණතාවක් පැවතිය හැකි බැවින් සුපරික්ෂාකාරීව නිසි ඉක්මන් ප්‍රතිකාර වලට යොමුවීම ඉතා වැදගත් වේ. 

වර්තමාන පුද්ගල ජීවන රටාවේ අනුචිත ආහාර විහරණ වෙනස්කම් නිසා සමාජය තුළ ප්‍රචලිත වූ ගුද රෝගයක් වන අර්ශස් රෝගය ආයුර්වේද වෛද්‍ය චිකිත්සා ක්‍රම මගින් දෝෂානුරූපීව යෙදෙන සුවිශේෂී ප්‍රතිකාර පද්ධතීන් ඔස්සේ සාර්ථක සුවයක් ලබා දිය හැකි රෝගී තත්ත්වයකි. කෙසේ වෙතත් රෝගය පිළිබඳ නිසි දැනුවත්භාවය තුළින් රෝගය ඇතිවීම වළක්වා ගැනීමත්, යම්හෙයකින් රෝගය හට ගතහොත් ඒසඳහා ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවීම තුළින් රෝගීබව නැවත ඇතිනොවන සේ නීරෝගී බව රැක ගැනීමත් පුද්ගල වගකීමකි.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

Sign up for our newsletter