නහර ගැටගැසීමේ තත්ත්වයෙන් ඔබත් පීඩා විඳිනවා ද?

නහර ගැටගැසීමේ තත්ත්වයෙන් ඔබත් පීඩා විඳිනවා ද?

ශරීරයේ රුධිරය ගමන් කරන නාලයන් අවරෝධ වී, ඉදිමීමෙන් ගැට වැනි ආකාරයට ඉලිප්පී දිස්වීම Vericose vein නොහොත් නහර ගැටගැසීම ලෙසට ප්‍රායෝගික ව්‍යවහාරයේ හඳුන්වනු ලැබේ. 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල ‘ශිරා ග්‍රන්ථි’ හෝ ‘ශිරාජ ග්‍රන්ථි’ යන නමින් හඳුන්වන මෙම රෝගී තත්ත්වය බොහෝවිට තරුණ හා මැදිවියේ කාන්තාවන් බහුලව පීඩාවට පත්කරන රෝග අවස්ථාවකි. 

රුධිරය හා රුධිර නාල සම්බන්ධිත, රක්ත ධාතුවේ කෝප වීම මෙම රෝග අවස්ථාවේදී ප්‍රමුඛව දක්නට ලැබේ.

දූෂිත රක්තය, පිත හා එක්ව වාතය හා කඵ දෝෂයද විකෘති කොට හෘදය ආශ්‍රිතව නිරන්තරයෙන් විඩාවට පත්වන රුධිර නාල හා දුර්වල ශිරා වල තැන්පත්ව අවරෝධතා ඇති කිරීමෙන් ‘ශිරා ග්‍රන්ථි’ තත්ත්වය ඇතිවන බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල සඳහන් වේ.

සිරුර තුල ව්‍යාන වාත දෝෂයේ විෂම ක්‍රියාකාරීත්වය හේතුවෙන් රුධිර සංසරණය අක්‍රමවත් වීමෙන්, ක්‍රමවත් රුධිර සංසරණය හෙවත් රුධිර නාල තුල නිසියාකාරව ලේ ගමන් කිරීම  සිදු නොවීම මෙම රෝගයේදී සිදුවේ. 

අධික බර එසවීම, පාද වලට ලබා දෙන අධික මහන්සිය, ශිරා ආශ්‍රිත පිටත පටකයන්හි පවතින දුර්වලතාවයන් නිසා රුධිර නාල ඉදිමී පිම්බෙන ස්වභාවයක් හටගනු ලබන අතර දීර්ඝ කාලීනව එකම හේතු කාරණා යෙදීම හේතුවෙන් ඉදිමුණ ශිරාවන් යථා තත්ත්වයට පත්වීමට නොහැකි වී ප්‍රත්‍යස්ථ බව ගිලිහීයාම මෙහිදී සිදුවේ.

ගෙදර දොර වෙහෙස මහන්සි වන ගෘහණියන්ට මෙන්ම මුරකරුවන්, සොල්දාදුවන්, පොලිස් නිලධාරීන්, ගුරුවරුන් ආදී නිතරම සිටගෙන සිටින ඉරියව්වෙන් රැකියා සිදුකරන පුද්ගලයන් මෙන්ම බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් හිඳගෙන රැකියාවේ නියුතු පුද්ගලයන් අතරද බහුල රෝගී අවස්ථාවකි.

රුධිරය ඉතා සෙමෙන් ගලා යාමත්, බොහෝ වේලාවක් එකම ස්ථානයේ රැඳී තිබීමත් හේතුවෙන් ශිරා අභ්‍යන්තරයේ රුධිර කැටි නිර්මාණය වීම මෙහිදී සිදුවිය හැකිය.

එමෙන්ම රුධිර නාල තුල රුධිරය එක් රැස් වී පැවතීම හේතුවෙන් රුධිර නාල මත නිරන්තරයෙන් පීඩනයක් යොමුව තිබීම නිසා එම නාල සතු ප්‍රත්‍යස්ථ බව (elasticity of blood vessels) නැතිවී යාම සිදුවිය හැක.

හෘදයෙන් පොම්ප කරනු ලබන ඔක්සිජන් අඩංගු පිරිසිදු රුධිරය සිරුර පුරා ගලා ගොස් නැවත අපිරිසිදු රුධිරය හෘදය කරා පැමිණි පසු පෙනහලු හරහා ශ්වාස නාලය දිගේ ප්‍රාශ්වාශ වාතය ලෙස මුදාහරින ක්‍රියාවලියේදී පාද කරා ඔක්සිජනීකෘත රුධිර සංසරණය පහසු වුවද නැවත ශිරා ඔස්සේ පාදයේ සිට ඉහළට රුධිරය ගෙන ඒම ගුරුත්වයට එරෙහිව සිදුවන තරමක් අසීරු ක්‍රියාවකි. පාදවල සිට ඉහළ අතට රුධිරය තල්ලු කරමින් රැගෙන ඒමට පාදයේ මාංශපේශීන් මෙන්ම ශිරා තුල පිහිටා ඇති කපාටද උපකාරී වේ.

නමුත් ‘ශිරා ග්‍රන්ථි’ තත්ත්වයේදී රුධිර නාල තුල රුධිරය රැස් වී තිබීම හේතුවෙන් ශිරා වල පිහිටි කපාට මතද පීඩනයක් යෙදීම හේතුවෙන් කපාටයන්හි සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩපණ කරනු ලැබේ.

ශිරා තුල පිහිටි කපාට දුර්වල වීමත්, නිසි ලෙස නොවැසී යාම හා රුධිර නාල බිත්ති වල ප්‍රත්‍යස්ථ බව ගිලිහී යාමත් යන හේතූන් නිසා පාදවල සිට හෘදය තෙක් රුධිරය ගෙන යාමට බාධා ඇතිකරමින්, අපිරිසිදු රුධිරය හුවමාරු නොවී පාද ආශ්‍රිතව පැවතීම මෙනිසා සිදුවේ.

එලෙස දූෂිත රුධිරයේ එක් රැස් වීම නිසා පාදයේ වලළුකර ආසන්නයේ හටගනු ලබන තුවාල මෙම රෝගීන් අතර සුලබව දක්නට ලැබේ.

එමෙන්ම ශිරා ග්‍රන්ථි රෝගීන්ගේ පාදවල හටගැනෙන එවැනි තුවාල සුව කිරීම ඉතා අපහසු වේ.

පාදයේ හා කලවා ප්‍රදේශයේ බහුලව දක්නට ලැබුණද සිරුරේ ඕනෑම ස්ථානයක ශිරා ග්‍රන්ථි තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

ගුද මාර්ගය ආශ්‍රිතව හටගනු ලබන අර්ශස් රෝගී තත්ත්වයද මෙබඳු නහර ගැටගැසීම් තත්ත්වයක් නිසා හටගනු ලබන රෝග අවස්ථාවකි.

ශිරා කපාට වල පිහිටීමට අදාල ජානමය හේතූන් නිසාත් පවුලේ සාමාජිකයන් අතර මෙම රෝග අවස්ථාව හටගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද පිලිගැනේ. පවුල් ඉතිහාසයේ නහර ගැටගැසීමේ තත්ත්වයක් පවතීනම් මේ පිලිබඳව සැලකිලිමත් වීම සුදුසු ය.

ස්ත්‍රීන්ගේ ආර්තවාහරණයේදී සිදුවන හෝර්මෝන වෙනස්වීම් නිසා මැදිවියේ කාන්තාවන් අතර නහර ගැටගැසීමේ තත්ත්වයන් බහුලව දක්නට ලැබේ.

එමෙන්ම ගර්භණී කාලයේ ස්‍රාවය වන ඇතැම් හෝර්මෝන හේතුවෙන් මෙන්ම ගර්භයේ පීඩනය හේතුවෙන් හට ගැනෙන ශිරා ග්‍රන්ථි තත්ත්වය ගර්භණීභාවය අවසන් වීමත් සමග බොහෝවිට සුව වී යයි. නමුත් ඇතැම්විට එසේ සුවවීමක් සිදු නොවේ.

රෝග හේතු:-

– අති ස්ථුල බව ( ශරීර බර වැඩි බැවින් පාද වලට අමතර පීඩනයක් ඇති වේ.)

– අධික රුධිර පීඩනය

– දිගු වේලාවක් හිටගෙන හෝ ඉදගෙන සිටීම ( මේ නිසා හෘදය වෙත රුධිරය පොම්ප කිරීමේ බාධා ඇති වේ.)

– ගර්භණී තත්ත්වය (ගර්භණී සමයේ හෝර්මෝන වෙනස්වීම හා ගර්භය නිසා ඇති කරන පීඩනය නිසා)

– ව්‍යායාම අඩු බව

– වයස්ගත වීම (වයස්ගත වීම හේතුවෙන් ශිරා කපාට දුර්වල වීම)

යන හේතූන් බටහිර වෛද්‍ය විද්‍යාව තුල දක්වා ඇති අතර ආයුර්වේද මූලග්‍රන්ථයන්හි සඳහන් පරිදි,

ස්නිග්ධ බව වැඩි, ඇලෙන සුළු ආහාර නිතර ආහාරයට ගැනීම, මී කිරි, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, මස් වර්ග, ක්ෂණික ආහාර, ශීතකල ආහාර නිතර පරිභෝජනය,

කෘතිම පැණි බීම, මද්‍ය වර්ග නිතර භාවිතය,

අධික මහන්සිය, 

බොහෝ දුර පයින් ගමන් කිරීම, බර එසවීම 

වැනි ආහාර-විහරණ සිදු කිරීමෙන් ශිරා ග්‍රන්ථි රෝගය හටගන්නා බව දක්වා ඇත.

රෝග ලක්ෂණ :-

– පාද, කලවා ආශ්‍රිත තද කරන්නාක් බඳු වේදනාව (Aching pain)

– නහර ඉදිමී, සම මතුපිටට ඉලිප්පී මතුවීම,ගැටිති වැනි ස්ථාන දක්නට ලැබීම

– නහර ආශ්‍රිතව කැසීම් ඇතිවීම

– සමේ වර්ණය වෙනස් වී කලු/ නිල් පැහැයක් දිස්වීම

– පාද වල බර ගතිය (Heaviness)

– මස්පිඬු පෙරලීම

– පාද වල හිරිය (Numbness)

– තුවාල හට ගැනීම

– සිරුරේ මහන්සිය

– ශිරා ආශ්‍රිත සම රතු/ තද නිල්/ කළු/ දුර්වර්ණ පැහැ ගැනීම

ඇතැම්විට රුධිර නාල තුල පීඩනය අධිකවී පිපිරී යාමෙන් හදිසියේ ලේ වහනය සිදුවන අවස්ථාවන්ද දැකිය හැක. වරින්වර සිදුවන මෙවන් රුධිර වහනයන් හේතුවෙන් රක්තහීනතාව හා ශරීරයේ දුර්වල බව නිතර ඇතිවිය හැක.

රුධිර නාල තුල ලේ ගමනාගමනය අඩපණ වී රුධිරය එක් රැස් වී තිබීමෙන් රුධිර කැටිති ඇති වී ඒවා රුධිර නාල තුල සිරවීමෙන් නාල මත පීඩනයක් ඇති කිරීමත්, එම ලේ කැටිති කැඩී ගොස් මොළය/ හෘදය වැනි ඉන්ද්‍රියන් වෙත රුධිරය සපයන ප්‍රධාන නාල තුල සිරවීමෙන් බරපතල රෝගී අවස්ථාවන් ඇතිකිරීමේ අවධානම මෙම රෝගී තත්ත්වය සතු වේ.

මුල් අවස්ථාවේදී ‍රෝග ලක්ෂණ ලෙස නහර ගැටගැසී ඉලිප්පීම දක්නට තිබුණද බොහෝ රෝගීන් මෙම අවස්ථාව නොසලකා හරිනු ලැබේ. නමුත් පසු කාලීනව හටගනු ලබන දෙපාවල අධික වේදනාව හේතුවෙන් ප්‍රතිකාර කරා යොමුවීම දක්නට ලැබේ.

එමෙන්ම රුධිරය හා පිත් දෝෂය අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධතාව හේතුවෙන් බොහෝ විට පිත් දෝෂයේ කෝප වීම මත ශරීර දාහය, කැසීම නිරන්තරයෙන් හටගනු ලැබේ. මේ හේතුවෙන් සම මත කුඩා තුවාල පහසුවෙන් හටගනු ලබන අතර ගැටගැසුණු රුධිර නාලිකා ආශ්‍රිතවද තුවාල හටගැනීමෙන් සුව වීම පවා කල්ගත වේ.

ශිරා ග්‍රන්ථි රෝගීන්ට ඇතැම්විට අධි රුධිර පීඩනය, අර්ශස්, ආහාර මාර්ගයෙන් රුධිර වහනය වීම (esophageal varices), වෘෂණ කෝෂ ආශ්‍රිත ශිරා ග්‍රන්ථි තත්ත්ව (vericocele) යනාදී රෝග තත්ත්වයන් පැවතීමේ ඉඩකඩක් ද තිබිය හැක. එම නිසා රෝගී තත්ත්වය නිසි ලෙස හඳුනා ගැනීමත් ප්‍රතිකාර සඳහා යොමුවීමත් සිදු කල යුතුය.

රෝගය වලක්වා ගැනීම සඳහා :-

දිගු වේලාවක් හිටගෙන හෝ හිඳගෙන පාද එල්ලාගෙන සිටීමෙන් වැලකීම,

නිතර හිටගෙන සිටින රැකියා වලදී පැයකට වරක් හෝ දෙපා වලට විවේකයක් ලබාදීම,

ඉරියව් නිතර මාරු කිරීම,

රාත්‍රී නින්දට පෙර ඖෂධීය තෙලක් ආලේප කොට පාද ඇගිලිවල සිට උඩු අතට මෘදු සම්භාහනයක් සිදු කිරීම,

නිදා ගැනීමේදී කකුල් දෙක එසවෙන සේ පාද කොට්ටයක් මත තබා ගැනීමෙන් රුධිර සංසරණය පහසු කිරීම,

උසට සරිලන සිරුරේ බර පවත්වා ගැනීම,

නිසි ව්‍යායාම වල නිරත වීමෙන් ක්‍රමවත් රුධිර සංසරණය හා මාංශපේශීන්ගේ ශක්තිමත් බව වැඩි කිරීම,

සම්පීඩන මේස් හෝ ක්‍රේප් බැන්ඩේජ් භාවිතා කිරීම

තුවාල ඇත්නම් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීම,

පවුලේ සාමාජිකයන් හට මෙම රෝගී තත්ත්වය පවතීනම් විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත් වේ.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව එන්නත් ලබාදීම, ලේසර් ප්‍රතිකාරය මෙන්ම ශල්‍ය කර්ම මගින් ප්‍රතිකාර සිදුකරන අතර ආයුර්වේද ප්‍රතිකාර පද්ධතිය තුල සුවිශේෂී ප්‍රතිකාර විධි දක්වා ඇත.

වාතය ප්‍රධාන රෝගී තත්ත්වයක් නිසා ‘වේෂ්ඨන’ නොහොත් වෙලීම සුදුසු බව ආයුර්වේද චිකිත්සාව තුල දක්වා ඇත. (wrapping of cloth or crape bandage)

මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රතිකාරයේදී පහසු වන අතර රෝග උපද්‍රව ඇතිවීම අවම කරගත හැකිය.

රක්තශෝධිත, පිත් හා වාත ශමන අභ්‍යන්තර ඖෂධ වර්ග මෙන්ම ගුගුල් අඩංගු ඖෂධ ප්‍රයෝගය ඉතාම සුදුසු බව ආයුර්වේද මූලග්‍රන්ථයන්හි දක්වා ඇත.

රසකිඳ, නෙල්ලි, රණවරා, බෙලිමල්, ඉරමුසු, ලුණුවරණ, පොල්පලා ආදී ඖෂධ තම්බා පානය කිරීම ඉතා සුදුසු වන අතර එමගින් දූෂිත රක්තය ශෝධනය කෙරේ. 

බාහිර ප්‍රතිකාර ලෙසට සුවිශේෂී තෛල වර්ග අභ්‍යංග කිරීම, පත්තු/ආලේපන වර්ග යෙදීම, ඖෂධීය ජලයෙන් සේදීම, ඖෂධීය ජලයේ පාද ගිල්වා සිටීම, ඖෂධීය ජලය පාද වලට වත්කිරීම යනාදී ප්‍රතිකාර ක්‍රම මගින් රෝගයට ප්‍රතිකාර සිදුකෙරේ.

පංචකර්ම චිකිත්සාවේ අන්තර්ගත රක්තමෝක්ෂණ ප්‍රතිකාරය ශිරා ග්‍රන්ථි රෝග අවස්ථාව සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රථිඵල ලබාදේ. ගැටගැසුණු ශිරා වලින් නහර විද ලේ හැරීම/ කූඩැල්ලන් මගින් දූෂිත රුධිරය ඉවත් කිරීම මෙහිදී සිදු කරන අතර වෛද්‍යවරයෙක්ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකල යුතු  සුවිශේෂී ප්‍රතිකාරයකි.

ශිරා ග්‍රන්ථි රෝග අවස්ථාව ආයුර්වේද හා කටු චිකිත්සාව මගින් සාර්ථකව සුව කරගත හැකි රෝග අවස්ථාවකි.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS – Colombo (SL)

භගන්දර රෝගයෙන් ඔබත් පීඩා විඳිනවාද..?

භගන්දර රෝගයෙන් ඔබත් පීඩා විඳිනවාද..?

ගුද ප්‍රදේශය ආශ්‍රිතව හටගනු ලබන සුලබ රෝගී තත්ත්වයක් ලෙසට ‘භගන්දර’ රෝගය හැඳින්වීමට පුළුවන. 

‘භග-දාරණ’ රෝගය ‘භගන්දර’ ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල නම් කර ඇත.

එනම්, භග හෙවත් ගුදය ආසන්නයේ/ අද්දර හටගනු ලබන සැරව, රුධිරය, පිටවන මාර්ගයක් සහිත රෝගය භගන්දර රෝගය යි.

භගන්දර නම් රෝගී තත්ත්වය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල “මහා” රෝගයක් ලෙස දක්වා ඇත. රෝගියා අධික වේදනාව හේතුවෙන් බොහෝසෙයින් පෙලන රෝගයක් ලෙස තවදුරටත් විස්තර කොට ඇත.

ගුදය ආශ්‍රිතව ගුද පිඩකාවක්, සැරව පිරි කුඩා ගෙඩියක් ලෙස ආරම්භ වී, පැසවා පුපුරා ගොස්, ගුද මාර්ගය වෙතට විවෘත වීම මෙහිදී සිදුවේ. 

ගුද විද්‍රධියකට නිසියාකාරව ප්‍රතිකාර නොකිරීම නිසා විද්‍රධිය තුල වූ සැරව සම්පූර්ණයෙන් පිටතට ගමන් නොකොට අභ්‍යන්තරයට මාර්ගයක් ඔස්සේ ගමන් කිරීම නිසා භගන්දර රෝගය හටගත හැකි බවත් උෂ්ණ හා වාත කෝපකර ආහාර භාවිතයට ගැනීම, බාහිරව තට්ටම් ප්‍රදේශයේ කටු වැනි යමක් ඇනී තිබීම, මල පිටකිරීමේදී නිතර තැටමීම සිදුකිරීම, උත්කුටකයෙන් වාඩිවී (තට්ටම් පහලට හෙලා යටිපතුල් මගින් ඉඳගැනීම) බොහෝ වේලාවක් සිටීම, අති ස්ථුල බව යන රෝග හේතූන් නිසා රෝගය පහසුවෙන් වැලඳීමේ හැකියාවක් පවතින බව ආයුර්වේද මූලග්‍රන්ථ වල දක්වා ඇත.

ගුද මාර්ගය වටා අංගුලී 2ක(අඟල් 1/2-2) සීමාව තුල ගැඹුරු මූලයක් සහිත පිඩකා/ ගෙඩි හටගැනීමෙන් අනතුරුව පැසවා පිපිරී යාමෙන් පසු ඉතා වේදනාව සහිත නාඩියක් හෙවත් සිදුරු සහිත මාර්ගයක් හට ගැනීම මෙහිදී සිදුවේ. 

මුල් අවදියේ රෝග ලක්ෂණ සමඟ සිරුරේ උණ ස්වභාවයක් පවතින අතර ගුදය ආසන්නයේ ඇතිවන මෙම සිදුරු සහිත මාර්ගය තට්ටම් ප්‍රදේශයේ වෙනත් තැනක හෝ ගුද මාර්ගයට විවෘත වීමක් සිදුවේ.

මෙම මාර්ගයේ විවරය තුලින් සැරව හා ලේ වැගිරවීම දක්නට ලැබේ.

ගුද මාර්ගයට සිදුර විවෘත වන අවස්ථාවේදී එම සිදුරු තුලින් මල පිටවීම, වාතය පිටවීම පවා සිදුවේ.

ඇතැම් විට ගුදය ආසන්නව මෙවැනි සිදුරු සහිත මාර්ග රැසක් පවතින අවස්ථාවන්ද පවතී.

තරුණ හා මැදි වියේ පුද්ගලයන් අතර බහුලව වාර්තා වන රෝගී තත්ත්වයක් වුවද බොහෝ වේලාවක් උණුසුම සහිත, රළු පෘෂ්ඨ මත හිඳගෙන සිටින පුද්ගලයන් හට භගන්දර රෝගය වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතී.

රෝග ලක්ෂණ :-

• සැරව සහිත විසර ගෙඩියක්/ බිබිලක් ගුද මාර්ගය ආශ්‍රිතව මතුවීම

• උණ, කුද්දටි, ශාරීරික වේදනා ඇතිවීම

• ක්‍රමයෙන් බිබිල පැසවා, පිපිරී තුවාලයක් බවට පත්වීම

• විටින් විට බිබිල තුලින් සැරව ගැලීම

• ගුද මාර්ගය වටා වේදනාව, කැසීම, ඉදිමුම පැවතීම

• මලබද්ධය, 

• මල මාර්ගය ආශ්‍රිතව වේදනාව 

• භගන්දර මාර්ගයෙන් රුධිරය පිටවීම

• බොහෝ කාලයක් සුව නොවී පැවතීම

• අභ්‍යන්තර නාඩි/ මාර්ග සහිතව පැතිරීම

• සැරව, රුධිරය පිටතට පැමිණීම

• නැවත නැවත ගුද විද්‍රධි හටගැනීම

ගුද මාර්ගයේ සිට ගුද මාර්ගය අවට සම්බන්ධක පටකය දක්වා අසාමාන්‍ය ලෙස සම හරහා නාලයක් සේ සම්බන්ධ වීමෙන් භගන්දර නාඩිය සෑදෙන අතර ඇතැම් විට කාලයක් තිස්සේ පවතින අර්ශස් තත්ත්වය භගන්දර බවට පත්විය හැකි අවස්ථාද වේ.

ගුද මාර්ගය තුල මල පිටවීම ලිහිසි කිරීමට පිහිටා ඇති ශ්ලේෂ්මල ස්‍රාවී ග්‍රන්ථි ආසාධනය වීම නිසා වරින් වර සැරව ගෙඩි/ විද්‍රධි හට ගැනෙන අවස්ථාවන්ද මෙම රෝගීන් අතර බහුලව වාර්තා වේ. 

ගුද ප්‍රදේශයේ හටගනු ලබන මෙම නාඩිය හෙවත් සිදුරු සහිත නාලය සුව වීම කල්ගත වේ. ප්‍රතිකාර සමඟ තාවකාලික ලෙස වැසී ගොස් පැවතියද, සැරව එම මාර්ග වල රැඳී තිබී ක්‍රමයෙන් එක් රැස් වී නැවත පැසවීමට ලක් වීමෙන් රෝගය නැවත නැවත ඇතිවීමත්, අධික වේදනා ගෙනදීමත් සිදු වේ. එමනිසා සම්පූර්ණ සුවය ලබන තෙක් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා ගතයුතු රෝගී අවස්ථාවකි.

වාත, පිත, කඵ දෝෂ තත්ත්ව අනුව භගන්දර රෝගයේ ප්‍රබේද කිහිපයක් පවතින අතර ‘ශතපෝනක භගන්දර’ ප්‍රබේදය ඉතා සංකීර්ණ මෙන්ම වේදනාකාරී ප්‍රබේදය වේ. මෙහිදී සිදුරු විශාල සංඛ්‍යාවක් ගුද මාර්ගය අවට දක්නට ලැබේ.

බටහිර වෛද්‍ය විද්‍යාත්මකව fistula-in-ano ලෙස හඳුන්වන මෙම රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාරයේදී ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබා දීම  පලමුව සිදු කෙරේ. 

මීට අමතරව ශල්‍ය කර්ම මගින් කැපීම හා විස්‍රාවණය සිදුකිරීම, seton placement ( surgical thread application), Advanced Flap procedure, Fibrin glue injection, Laser surgery මගින් fistula වසා දැමීම හෝ අභ්‍යන්තරයට විවෘත වීම ආවරණය කිරීම තුලින් ප්‍රතිකාර සිදු කරනු ලැබේ.

බොහෝ රෝගීන් මෙම රෝගය සඳහා ශල්‍ය කර්ම වලට යොමුවන අතර මෙහිදී තට්ටම් ප්‍රදේශයේ නාඩිය සහිත කොටස කපා ඉවත් කිරීම මගින් රෝගයට ප්‍රතිකාර සිදුකෙරේ.

Inflammatory bowel disease ( Crohn’s disease ), TB, Radiation therapy, හදිසි අනතුරු, පෙර සිදුකර ඇති ශල්‍ය කර්ම හේතු කොට ගෙනද පසු කාලීනව භගන්දර තත්ත්වයක් හටගැනීමේ හැකියාව පවතින බව නව්‍යව පිලිගැනේ.

රෝගී පරීක්ෂාවේදී MRI, USS පරීක්ෂණ මඟින් පහසුවෙන් භගන්දර නාඩිය හඳුනා ගත හැකි වන අතර එමගින් ප්‍රතිකාරය වඩා පහසුවෙන් සිදුකිරීමේ හැකියාව පවතී.

සුශ්‍රැත සෘෂි මතයට අනුව භගන්දර චිකිත්සාව සඳහා ශල්‍ය ප්‍රතිකාරය උචිත බව දක්වා ඇති අතර ශස්ත්‍ර උපකරණ මගින් කපා ඉවත්කිරීම පිලිබඳ පැහැදිලිව සඳහන් වේ.

වර්තමානයේ ශල්‍ය ප්‍රතිකාර සිදු කලද රෝගියාගේ ආහාර-පාන, ඇවතුම්-පැවතුම් හේතුවෙන් රෝගය නැවත ඇතිවී රෝගී බවින් රෝගියා නැවත නැවත පීඩා විඳින අවස්ථාවන් භගන්දර රෝගීන් අතර බහුල වශයෙන් වාර්තා වේ.

ආයුර්වේද මූලග්‍රන්ථ තුල සඳහන් පැරණි විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමවේදයක් වන ‘ක්ෂාර ප්‍රතිකාරය’ භගන්දර චිකිත්සාව තුල වර්තමානයේ ප්‍රත්‍යක්ෂ සාර්ථක ප්‍රතිඵල ගෙන දේ.

ක්ෂාර වස්ති, ක්ෂාර සූත්‍ර, අවගාහ චිකිත්සා ක්‍රමවේද තුලින් රෝගයට ස්ථිර සුවයක් ලබා ගැනීමේ හැකියාවක් පවතින අතර රෝග පරීක්ෂාව නිවැරැදිව සිදුකොට රෝග හේතූන් හඳුනා ගැනීමත්, අදාල චිකිත්සාව මූලධර්මානුකූලව ප්‍රතිකාර පද්ධතිය අවසන් වන තෙක් අනුගමනය කිරීමත් තුලින් රෝගය සුව කර ගතහැකි වේ. 

එබැවින්, නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමෙන් භගන්දර රෝගය නැවත ඇතිවීමේ ඉඩකඩ අතිශය ලෙස සීමා වේ. 

මෙහිදී ක්ෂාර වර්ග ලෙස අපාමාර්ග ( Achyranthus aspera) නොහොත් ගස් කරල්හැබ ක්ෂාර, දලුක් කිරි ( Euphorbia antiquorum ) සහ කහ චූර්ණය දින 21 ක් පුරාවට විශේෂ ක්‍රමවේදයකට, නිසි ප්‍රමිතියට අනුව, සුවිශේෂී තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින්, ඖෂධ වර්ග ආලේප කොට සකසාගත් නූලක් භාවිතා කර ප්‍රතිකාර කරනු ලැබේ. 

භගන්දර නලය/ මාර්ගය දිගේ මෙම ඖෂධීය නූල/ සූත්‍ර (thread) ඇතුල් කොට යම් නිශ්චිත කාලයක් රඳවා තැබීම සහ නැවත ප්‍රතිකාරයේදී ක්ෂාර සූත්‍ර මාරු කරමින් ප්‍රතිකාරය අඛණ්ඩව සිදුකරනු ලැබේ.

මෙම ක්ෂාර නූල ආලේපිත ඖෂධයන්හි ඡේදනය හා රෝපණය යන ඖෂධීය ගුණ අන්තර්ගත වේ. එනම් ඡේදනය නොහොත් කැපීම මගින් නරක් වූ පටක හා රෝගී පටක ඉවත් කිරීමත්, රෝපණය මඟින් අලුත් නීරෝගී පටක නැවත වර්ධනය උත්තේජනයත් සිදු වේ. 

මෙම විශේෂ ඖෂධීය ගුණ හේතුවෙන් භගන්දර මාර්ගය තුල තුවාලය සුව වෙමින්, අලුත් පටක ඇතිවීම සිදුවෙමින් භගන්දරය සම්පූර්ණයෙන් සුව වීම සිදුවේ.

තවද ත්‍රිඵලා, ගස්කරල් හැබ යන ඖෂධ තම්බා පානය කිරීමත්, නුග, බෝ, අට්ටික්කා, ගංසූරිය පොතු තැම්බූ ඖෂධීය ජලයේ අවගාහ කිරීමත් ( sitz bath), මානසික සුවතාවය සඳහා යෝග අභ්‍යාස හා භාවනා ක්‍රම අනුගමනයත් ඉතා සුදුසු ය.

බලමාළු, හුරුල්ලන්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, දෙල්, මුරුංගා, තක්කාලි, අන්නාසි, අච්චාරු, සැමන් වැනි උෂ්ණ, විදාහී ආහාර, පාන වලින් වැලකීමත්, ජලය වැඩි වශයෙන් පානය කිරීමත්, කෙඳි සහිත එලවළු, පලා වර්ග, කොහිල, කෙහෙල්මුව, දඹල, වැටකොළු, කොමඩු, තැඹිලි, කුරුම්බා, සව්, බාර්ලි, කොත්තමල්ලි, කොළකැඳ ආහාරයට වැඩි වශයෙන් එකතු කරගැනීමත් ඉතා යෝග්‍ය වේ.

අභ්‍යන්තර කෂාය යෝග හා බාහිර ප්‍රතිකාර ක්‍රම මෙන්ම ආයුර්වේද පංච කර්ම අනුගමනය කිරීම තුලින් භගන්දර රෝගය සුව කිරීමේ සුවිශේෂී හැකියාව ආයුර්වේද ප්‍රතිකාර පද්ධති තුල අන්තර්ගත වේ.

කල්තියා රෝගය පිලිබඳ දැනුවත් වීම තුලින් භගන්දර නම් මහා රෝගය හටගැනීම වළක්වා ගැනීම රෝගයට ප්‍රතිකාර සෙවීමට වඩා ඉතා වැදගත් වේ. 

එමෙන්ම භගන්දර රෝගයෙන් පීඩාවිඳින රෝගීන් සඳහා ප්‍රතිකාර තේරීමේදී ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමුවීමේ යෝග්‍යතාව පිලිබඳ දැනුවත් වී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත නොපමාව ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පහසුවෙන් සුව කරගත හැකි රෝගී තත්ත්වයකි. 

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS -Colombo(SL)

2024-07-08

කායිකව මෙන්ම මානසිකව වද දෙන සමේ රෝග

වර්තමානයේ බොහොමයක් රෝගීන් සම ආශ්‍රිතව හටගනු ලබන සමේ රෝග නිසා බොහෝසෙයින් පීඩා විඳී.

රෝගීන් හට ශාරීරිකව මෙන්ම මානසිකව පීඩාවන් ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස චර්ම රෝග නොහොත් සමේ රෝග හැඳින්වීමට පුළුවන. 

සාමාන්‍ය ව්‍යවහාරයේ දද, කුෂ්ඨ, පලු, බිබිලි, පිඩකා, ගඩු, හොරි, කබර ලෙසට හැඳින්වෙන සම ආශ්‍රිතව හටගනු ලබන විවිධ වූ සමේ රෝග සංඛ්‍යාත්මකව විශාල ප්‍රමාණයකි.

සම යනු ස්පර්ශ සංවේදන ඉන්ද්‍රියකි. ස්වේද ග්‍රන්ථි විශාල ප්‍රමාණයක් පිහිටා ඇති සිරුරේ විෂ කොටස් බහිස්‍රාවය මඟින් පිට කිරීමට ඉවහල් වන මුළු ශරීරයම ආවරණය වන අයුරින් පිහිටා තිබෙන මිනිස් සිරුර සතු විශාලතම ඉන්ද්‍රිය ද වේ. සම මගින් සිරුරට ලබා දෙන අනෙකුත් ප්‍රයෝජනයන් අතුරෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ක්ෂුද්‍ර ජීවී ආසාධනයන්ගෙන්, තද හිරු රශ්මියෙන් හා බාහිර පරිසරයේ නොයෙකුත් අහිතකර බලපෑම් වලින් ආරක්ෂා කිරීම ප්‍රධාන වේ.

වර්තමානයේ පරිසර දූෂණය, නොයෙකුත් රසායනික ද්‍රව්‍යය භාවිතය හා කාර්‍යයබහුල ජීවන රටාව හේතුවෙන් වයස් භේදයකින් තොරව අලුත උපන් බිළිඳාගේ සිට මහළු පුද්ගලයන් දක්වා චර්ම රෝග වැලඳීම බහුලව සිදුවේ.

එමනිසා සමේ පැහැපත් බව කෙරෙහි උනන්දුවීමට වඩා සමේ නිරෝගීබව කෙරෙහි අවදානය ලබාදීම වඩා වැදගත් වේ.

යම් රෝගයකදී සම කිලිටිව, පිළිකුල්ව පවතීද එම රෝගී තත්ත්වය ‘කුෂ්ඨ’ ලෙසට ආයුර්වේද ඉගැන්වීම් තුල දක්වා ඇත. සම ඇසුරු කරමින් හටගත්ත ද රෝගයට යථාකල ප්‍රතිකාර නොකොට උපේක්ෂා කිරීම නිසා අනෙකුත් ශරීර ධාතූන් කරා රෝගය පැතිරගොස් එම ධාතූන් කුපිත කොට සම පිපිරී, ස්‍රාව සහිතව කිලිටි කරන රෝගය ‘කුෂ්ඨ’ ලෙසට අර්ථ ගන්වා ඇත.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව චර්මය නොහොත් සම ස්ථර 7කින් සමන්විත වන බව දක්වා ඇත. අවභාසිනී, ලෝහිතා, ශ්වේතා, තාම්‍රා, වේදනී, රෝහිණී හා මාංශධරා ලෙසට නම්කර ඇති මෙම ස්ථරයන්හි ඝනකම සහ එක් එක් ස්ථරයන්හි පහසුවෙන් වැළඳෙන කුෂ්ඨ/චර්ම රෝගයන්, ඒවායේ රෝග ලක්ෂණ හා ප්‍රතිකාරයන් පිලිබඳව ආයුර්වේද මූලග්‍රන්ථයන්හි පැහැදිලිව දක්වා ඇත.

බොහෝ සමේ රෝගයන් වලදී ප්‍රධාන ලක්ෂණ ලෙසට සම පිපිරීම, ඉරිතැලීම, විවර්ණ වීම, කැසීම, බිබිලි හටගැනීම, ස්‍රාව ගැලීම, දැවිල්ල දක්නට හැක.

කුෂ්ඨ යනු ප්‍රධාන ලෙසම අහිතකර ආහාර හා විහරණ රටාව නිසා නිසිලෙස ආහාර පරිපචනය සිදු නොවී, රුධිරය දූෂණය වී, ලේ කෝප වීම හේතුවෙන් හටගනු ලබන රෝග අවස්ථාවකි. ඇතැම් රෝග දෙමාපියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වන අතර ඇතැම් රෝග සහජයෙන් ඇතිවිය හැක.

රෝග හේතු :-

තම ප්‍රකෘති තත්ත්වයට අහිතකර ආහාර-පාන හා විහරණ,

කෘත්‍රිම අහාර-පාන,

මානසික ආතතිය,

අධික අව් රශ්මිය,

මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය,

සත්ත්ව/ශාක විෂ ඇතුළු විෂ රසායනික සංයෝග ශරීර ගතවීම 

යන හේතූන් නිසා චර්ම රෝග හටගැනීම, උත්සන්න වීම මෙන්ම පසුකාලීනව කල්පවත්නා රෝග බවට පත්වීම සිදුවිය හැක.

මීට අමතරව ඇතැම් ඖෂධ වර්ග භාවිතයේ උපද්‍රව ලෙසද චර්ම රෝග ඇතිවිය හැක.

‘කුෂ්ඨ’ යනු, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් ආකාරයට මහාරෝග 8න් එක් රෝගී අවස්ථාවකි. එනම් එය ප්‍රබල රෝග අවස්ථාවකි. ‘කුෂ්ඨ’ යටතේ සමේ රෝග විශාල ප්‍රමාණයක් දක්වා ඇති අතර කුෂ්ඨ ප්‍රබේදකරණයේදී මහා කුෂ්ඨ 7ක් හා ක්ෂුද්‍ර කුෂ්ඨ 11ක් ලෙස තවදුරටත් වෙන්කර දක්වා ඇත.

කපාල කුෂ්ඨ, උදුම්බර, මණ්ඩල කුෂ්ඨ, සෘෂ්‍ය ජිහ්ව, සිධ්ම කුෂ්ඨ, පුණ්ඩරික, කාකණ, ඒක කුෂ්ඨ, ගජ චර්ම, කිටිභ, වෛපාදිකා, අලසක, චර්ම දළ, දධ්‍රැ මණ්ඩල, පාමා, කච්ඡු, විස්ඵෝඨ, ශතාරු, විචර්චිකා යනාදී ලෙසට එක් එක් කුෂ්ඨ රෝග ලක්ෂණ පහැදිලිව දක්වා ඇති අතර එම රෝගයන් සඳහා ප්‍රතිකාර පද්ධති ආයුර්වේද චිකිත්සා ක්‍රමවේද තුල අන්තර්ගතව ඇත.

ඇතැම් චර්ම රෝග ක්ෂුද්‍ර ජීවී ආසාදන තත්ත්වයන් නිසා හටගනු ලබන අතර, ආසාදනය සම හරහා සිරුර තුළට ගමන් කොට අභ්‍යන්තර ඉන්ද්‍රිය හානිවීම් පවා සිදුවන අවස්ථා පවතී. මෙවැනි සංක්‍රමණික රෝග කුෂ්ඨ යටතේ සැලකීම සිදු නොකරන අතර කුෂ්ඨ රෝගීන්ගේ සමෙහි රෝගීබව හේතුවෙන් පසු කාලීනව ආසාධන තත්ත්ව පහසුවෙන් හටගැනීමේ අවධානමක් පවතී. 

ඇතැම් සමේ රෝග තවත් අයෙකුට බෝවීම පහසුවෙන් සිදුවන අතර ඇතැම් සමේ රෝග බෝවීමක් සිදු නොවේ.

තවද ආසාත්මිකතාවයන් නිසා හටගන්නා චර්ම රෝගයන්ද බහුලව දැකිය හැකි අතර, ආසාත්මික පරිසරය හා ද්‍රව්‍යය හා ගැටීමෙන් පසු රෝග ලක්ෂණ ක්‍රමයෙන් පහල වීමත්, එමෙන්ම පෙර පැවති චර්ම රෝගයන් ආසාත්මික ද්‍රව්‍යය හා ගැටීමෙන් අනතුරුව උත්සන්න වීමත් බොහෝවිට සිදුවේ.

ඇතැම් අභ්‍යන්තර ඉන්ද්‍රිය අක්‍රමිකතා හා දියවැඩියාව වැනි වෙනත් රෝග තත්ත්වයන් නිසාත් සමේ විවිධ වෙනස්වීම් දැකිය හැකි බැවින්, සමේ වෙනස්කම් ඇති කරන සියලුම රෝග අවස්ථා කුෂ්ඨ ලෙස සලකා ප්‍රතිකාර සිදු නොකල යුතු වන අතර වෛද්‍යවරයා විසින් නිවැරදි රෝග විනිශ්චය අනිවාර්යයෙන්ම සිදුකල යුතු වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව රෝගය උත්සන්න වීම සමඟ රෝගය එක් එක් ධාතුගත වීම සිදුවේ. රෝගය ධාතුගත වීම අනුව පහල වන රෝග ලක්ෂණ වෙන් වෙන් වශයෙන් දක්වා ඇති අතර ප්‍රතිකාර කිරීම ඊට අනුරූපව සිදුකිරීමෙන් ඉක්මන් සුවය ලබාගැනීමේ හැකියාව පවතී.

පළමු අවස්ථාවේදී සම ආශ්‍රිතව විවර්ණතා ඇතිවීම, රූක්ෂ බව, සමේ හිරිගතිය, රෝම හර්ෂය (හිරිගඩු පිපීම), දහඩිය දැමීම අධික වීම දැකිය හැක.

රක්ත ධාතුගත වීමේදී, කැසීම, දුගඳ බව, අධික සැරව ඇතිවීම සිදුවේ. එමෙන්ම මාංශ ධාතුගත වීමේදී, කුෂ්ඨයේ ඝනකම හා කර්කෂ බව වැඩිවීම, ගඩු/ පිඩකා අධික වීම, අනින්නාක් බඳු වේදනාව, ඉරිතැලීම, හටගත් බිබිලි වල ස්ථිරබව දක්නට ලැබේ.

තවදුරටත් ප්‍රතිකාර නොකර සිටීමෙන් මේදස් හා අස්ථි ධාතුගත වී තුවාල ඔඩු දිවීමෙන් පැතිරී යාම, අත්, ඇඟිලි පවා බිඳ වැටීම (ලාදුරු වැනි රෝග අවස්ථා), ගමන් කිරීමේ අපහසුව, අවයව බිඳීම, ස්වර හානි වී කටහඬ පවා වෙනස් වීම, නාසය පවා බිඳීයාම සිදුවිය හැකි බව දක්වා ඇත.

අවසානයේ ශුක්‍ර ධාතු ගත වූ විට කුෂ්ඨය දීර්ඝ කාලයක් තිස්සේ බහුලව ව්‍යාප්තව පැවතීම නිසා දූෂිත වූ රුධිරය හා ශුක්‍ර ධාතු හේතුවෙන් එවැනි මව්පියන්ට උපදින දරුවන්ටද කුෂ්ඨ රෝග ඇතිවිය හැකි බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල සඳහන් වේ.

එබැවින් රස, රක්ත, මාංශ ධාතු ගත වූ අවස්ථාවේ පවතින කුෂ්ඨ රෝග, එක් දෝෂයක් පමණක් මූලිකව හටගත් කුෂ්ඨ රෝග පහසුවෙන් සුව කල හැකි සාධ්‍ය රෝග බවත්, මේදස් ධාතුගත වූ විට හා දෝෂ දෙකක් එක් වූ විට සුව කිරීම තරමක් දුරට අපහසු තත්ත්වයට පැමිණෙන අතර නිවැරදි ප්‍රතිකාර වලට ඉක්මනින්ම යොමු වීමෙන් රෝගය මැඩ පැවැත්වීම සිදුකල හැකිය. නමුත් සම්පූර්ණයෙන්ම සුව කිරීම අපහසු වේ.

තවද රෝගය මජ්ජා, අස්ථි ධාතුගත වූ විට එම කුෂ්ඨ ඖෂධ ප්‍රතිකාරයෙන් සුව කලනොහැකි බව දක්වා ඇත.

පණුවන් සහිත, කල්ගත වූ, කළු පැහැ ගැන්වී සැරව වෑහෙන ශරීර ඇති, කුසගිනි නොමැති, කෙළ වගුරවමින් සිටින, ස්වරභේද සහිත, නාසය බිඳී ඇති, ඇස් රත් පැහැ ගැන්වී ඇති රෝගීන්ද, වමනාදී පංචකර්ම වලින් පවා ප්‍රතිඵල රහිත රෝගීන්, ත්‍රිදෝෂයම ජනිත කුෂ්ඨ සහිත රෝගීන් අසාධ්‍ය බවත්, රෝගියා එම රෝගී අවස්ථාවෙන් මිය යන බවත් දක්වා ඇත.

ආයුර්වේද චිකිත්සාව තුල විශේෂිත කෂාය යෝග, වමන, විරේචන ඖෂධ යෝග, චූර්ණ, ගුලි, කල්ක, ක්වාත, රස ඖෂධ ශරීර අභ්‍යන්තරව ලබාදීමත්, බාහිරව ඇඟ සේදීමට, ස්නානයට, ශේක දීමට (ඖෂධීය ජලය ස්වල්ප වශයෙන් නිතර ඉසීමට සැලැස්වීම), ආලේපනයට විවිධ ඖෂධීය යෝගයන් දක්වා ඇත.

ඇත්තෝර මුල්, රණවරා දළු, රාබු ඇට, අත්තන ඇට, හීන් නිදිකුම්බා, ගෙන්දගම්, යවක්ෂාර වැනි ශාක හා පාර්ථිව ඖෂධ මේ අතර සුවිශේෂී වේ.

එමෙන්ම රෝග අවස්ථාව අනුව සුවිශේෂී තෙල් වර්ග අලේප කිරීමත් සිදු කෙරේ.

රෝග ප්‍රතිකාරයේදී රෝග ලක්ෂණ නිසි ලෙස පරීක්ෂා කිරීමත්,නිවැරදි රෝග විනිශ්චයත් ඉතා වැදගත් වේ. එම නිසා හිතුමතේ අත්බෙහෙත් වර්ග යොදා ප්‍රතිකාර සිදු නොකොට හැකි ඉක්මනින් නිවැරදි ප්‍රතිකාරයක් සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යාම අනිවාර්යයෙන්ම සිදුකල යුතු වේ.

රක්තය පිරිසිදු කිරීම මගින් රෝගයට හේතු වූ දෝෂ ඉවත්කිරීම චිකිත්සාවේදී ප්‍රධාන ලෙසම සිදු කෙරේ.

ශෝධන ප්‍රතිකාර මෙන්ම ඇතැම්විට ශමන ප්‍රතිකාර ක්‍රමද රෝග අවස්ථාව, පුද්ගල ප්‍රකෘතිය හා දෝෂ අනුබන්ධතාව සලකාබලා වෛද්‍යවරයා විසින් අනුගමනය කරනු ලැබේ.

තවද වමන, විරේචන, රක්තමෝක්ෂණ යන පංචකර්ම ප්‍රතිකාරයන්ද ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දේ.

නිදාන පරිවර්ජනය නොහොත් රෝග හේතු කාරක සම්පූර්ණයෙන්ම අත් හිටුවීම ප්‍රතිකාරයේදී අනිවාර්යය වේ. එමෙන්ම රෝග සුවයට හේතු වන සුදුසු ආහාර පාන, විහරණ භාවිතයත්, නුසුදුසු ආහාර හා විහරණ වලින් වැලකීමත් ප්‍රතිකාරයේ සාඵල්‍යතාව කෙරෙහි ඉවහල් වේ.

ඇතැම් චර්ම රෝග සුව වීමට සැලකිය යුතු කාලයක් ගත වන බැවින් රෝගය නැවත ඇති නොවන අයුරින් ප්‍රතිකාර පද්ධතිය අවසන් වන තෙක් ඉවසීමෙන් ප්‍රතිකාර ගැනීම රෝගියා සතු වගකීමක් ද වේ.

සමේ රෝග සහිත රෝගීන් යනු මානසිකව අතිශය පීඩා විඳින රෝගී කාණ්ඩයකි. එසේ වනුයේ ඔවුන්ගේ රෝග ලක්ෂණ රෝගියාටම නිරන්තරයෙන් දිස්වීමෙන් අතිශය කම්පාවට හා මානසික ආතතියට ලක්වන බැවිනි. ශරීර අභ්‍යන්තර රෝගී තත්ත්වයක මෙන් නොව මෙහිදී සම තුලින් බාහිරට නිරාවරණය වන රෝග ලක්ෂණ පවතින හෙයින් සමාජය තුලින් පවා අවධානයට ලක්වීමෙන් රෝගියා මානසිකව නිතර පීඩා විඳී.

එබැවින් රෝගියාගේ රෝග පීඩාව අනෙකුත් බරපතල රෝගයන්ටත් වඩා ඉතාමත් ඉහළ ය. එමෙන්ම සමේ රෝගයන්ගේ උත්සන්න වීම මානසික ආතතිය මත රඳා පවතින බැවින් රෝගී තත්ත්වය සුව වීම ප්‍රමාද වීමටත්, ක්‍රමයෙන් උත්සන්න වීමටත් එයම හේතුවක් විය හැකිය.

එමනිසා යෝග අභ්‍යාස, භාවනා ක්‍රම ආදිය අනුගමනය ඉතා යෝග්‍ය වන අතර නිරවුල් මානසික සෞඛ්‍ය පවත්වා ගනිමින් කෝපය, ද්වේශය, වෛරය යනාදී අයහපත් මානසික ආවේගයන්ගෙන් වැලකී සිටීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු වේ.

සමේ රෝග වලින් ආරක්ෂා වීමට :-

උෂ්ණාධික ආහාර පාන වලින් වැළකීසිටීම

නිතර ජලය වැඩි වශයෙන් පානය කිරීම

අව් රශ්මියෙන් සම ආරක්ෂා කරගැනීම

කෘතිම රසායනික ද්‍රව්‍යය ශරීරගත වීම අවම කරගැනීම ආසාත්මිකතා හඳුනාගෙන ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවීම හිතකර නැවුම් එලවලු, පලතුරු නිතර ආහාර සඳහා එක්  කරගැනීම

කොලකැඳ වර්ග පානය කිරීම

මානසික ආතතිය අවම කරගැනීම

පුද්ගල සනීපාරක්ෂාව සලසා ගැනීම

මසකට වරක්වත් ඖෂධීය ජල ස්නානය කිරීම (නුග පොතු, බෝ පොතු, අට්ටික්කා පොතු, ගංසූරිය පොතු තැම්බූ වතුරෙන්) 

ඉහත සඳහන් හිතකර පුරුදු වලට යොමුවීමෙන් සමේ රෝග වලින් වැලකී සිටීමත්, රෝග ලක්ෂණ හටගත් මුල් අවස්ථාවේදීම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙතගොස් ප්‍රතිකාර සඳහා යොමු වීමත් ඉතා වැදගත් වේ.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo -SL)

24-06-09

කොන්දේ සිට දිවෙන පාදයේ වේදනාවක් ඔබටත් තිබේද

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අසූවක් වූ, වාත දෝෂය ජනිත රෝගයන් අතුරෙන් ‘ගෘධ්‍රැසි’ නම් වූ වාත රෝගය වර්තමාන සමාජයේ බහුලව දැකිය හැකි රෝගී අවස්ථාවකි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ Sciatica / Sciatic neuritis ලෙසට හඳුන්වනු ලබන මෙම රෝගී තත්ත්ව ප්‍රධාන ලෙසම කටී ප්‍රදේශය ආශ්‍රිත ස්නායූන්ගේ තෙරපීම නිසා හටගනු ලබන වේදනාත්මක රෝගී අවස්ථාවකි.

ආයුර්වේද මූලග්‍රන්ථයන්ට අනුව කුපිත වූ වාත දෝෂය ගුධ්‍රැසිය නම් වූ සිරුරේ පවතින විශාලතම වාත නාඩිය ඇසුරු කරමින් හටගනු ලබන මෙම වාත රෝගය ‘ගෘධ්‍රැසි’ ලෙසට හඳුන්වා දී ඇත.

කොන්දේ සිට තට්ටම් ප්‍රදේශය මූලික කොටගෙන කෝපවූ වාතය පිළිවෙලින් උකුළ, පිට, කලවා, දණහිස්, බත්කෙණ්ඩ, පාද තෙක් තදගතිය, අනින්නාක් බඳු වේදනාව, කැක්කුම ඇති කරමින්, වරින් වර පාදය වෙව්ලීමට පවා භාජනය කරන බව ගෘධ්‍රැසි රෝග නිරුක්තිය පිළිබඳ ආයුර්වේද මූලග්‍රන්ථයක් වන ‘චරක සංහිතා’ ග්‍රන්ථයෙහි සඳහන් වේ.

රෝග ප්‍රබේද

ගෘධ්‍රැසි රෝග ප්‍රබේද 2කි. එනම්, 

• වාත දෝෂය ප්‍රමුඛ ප්‍රබේදය- තීව්‍ර වේදනාව, හිරිය ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස ප්‍රකට වේ.

• වාත-කඵ ජනිත ප්‍රබේදය- වේදනාවට අමතරව, තෙමැරිය, අවයවයන්හි බරබව, ආහාර අරුචිය, කුසගිනි නොදැනීම, ඛේට ස්‍රාවයන් වැගිරවීම යන ලක්ෂණයන්ගෙන් ද යුක්ත වේ.

කොන්දේ පහළ තුනටිය ප්‍රදේශයේ සිට තට්ටම් හා පාදයේ පිටුපසින්, පාදය දිගේ පහළට පතුල තෙක් දිවයන සිරුරේ පිහිටි දීර්ඝතම ස්නායුව වන Sciatic ස්නායුව තෙරපීමට හෝ ආතතියකට ලක්වීමෙන් බොහෝ විට මෙම රෝගී තත්තවය හටගැනීම සිදුවේ. පසුකාලීනව ස්නායුව ප්‍රදාහයට පත්වී ඉදිමීමට බඳුන් වේ. එමඟින් මෙම රෝගී අවස්ථාව හටගන්නා බව බටහිර වෛද්‍ය විද්‍යාත්මක පිලිගැනීමයි.

කොඳු ඇටපෙළෙහි පවතින කශේරුකාවන්ගේ පිහිටීමේ වෙනස්කම්, අන්තර් කශේරුක මඬල් පිටුපසට නෙරා ඒම, තට්ටම් ප්‍රදේශයේ මාංශපේශීන්ගේ තද බව, herniated disc, bone spurs, lumbar spinal stenosis( narrowing), degenerative disc disease, spondylolisthesis (කශේරුකා එක මත ලිස්සා යාම), tumors යනාදී රෝග අවස්ථාවන් හේතුවෙන් Sciatic ස්නායුව මත පීඩනයක් ඇතිවීමෙන් ස්නායුව තෙරපීම හා ඉදිමීම හේතුවෙන් ස්නායුව දිගේ වේදනාව දැනීම සිදුවේ.

පුද්ගලයකු යම් හදිසි අනතුරකට මුහුණ දීමෙන් අනතුරුව ක්ෂණිකව ගෘධ්‍රැසි රෝගී තත්ත්වය හටගැනීමේ අවධානමක් පවතිනවා සේම, කටී ප්‍රදේශයේ වේදනාව දීර්ඝ කාලයක් පැවතීමෙන් පසුව ක්‍රමයෙන් රෝග ලක්ෂණ පහළ වීමෙන් කාලයක් ගතවූ පසු රෝගය හටගැනීමද ඇතැම්විට සිදුවේ.

රෝග ලක්ෂණ අතර කටී ප්‍රදේශයේ හා පාදය පිටුපසින් දැනෙන වේදනාව විශේෂිත වේ. එකවර ඇතිවූ වේදනාවක් ලෙසට හෝ ක්‍රමයෙන් වර්ධනය වූ වේදනාවක් ලෙසට ගෘධ්‍රැසි රෝගයේ රෝග ලක්ෂණ ප්‍රකට වේ. එමෙන්ම වේදනාව ඇතැම්විට සුළු වේදනාවක් ලෙස හෝ, දරාගත නොහැකි තීව්‍ර වේදනාවක් ලෙස විය හැකිය. මුල් අවස්ථාවේදී කොන්දේ පහළ තුනටිය, තට්ටම්, කලවා, බත්කෙණ්ඩ යනාදී එක් එක් ප්‍රදේශයන්හි ස්ථානික වේදනාවක් පමණක් ඇතිවුවද පසු කාලීනව රෝග ලක්ෂණ තීව්‍ර වීම සිදුවේ.

මෙම වේදනාව තුනටියේ සිට කකුලේ පිටුපස ඔස්සේ පාදය දිගේ ක්ෂණිකව ‘විදුලියක් සේ’ දිව යන්නාක් බඳු වේදනාවකි.

එක් පාදයක් පමණක් ආශ්‍රය කොටගෙන ගෘධ්‍රැසි රෝගය හටගත්තද ඇතැම් විට පාදයන් දෙකෙහිම රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවන්ද සුලබව දක්නට ඇත. එවැනි රොගීන්හට ඇවිදීම ඉතාම වේදනාකාරීය. ගෘධ්‍රැසි රෝගීන්, ගිජුලිහිණියක සේ පාද දෙපසට තබමින් ඇවිද යන ගමන්විලාශයක් සහිත බැවින් මෙම රෝගයට ගෘධ්‍රැසි යන සංස්කෘත නම් ලැබූ බවද එක්තරා මතයකි.

මාංශපේශීන් නිසි පරිදි ක්‍රියා නොකිරීම හේතුවෙන් කල් යත්ම පේශී ක්ෂය වී පාදය කෙට්ටු වීම පවා පසුකාලීනව දක්නට ලැබේ.

බොහෝ විට අවුරුදු 30-55 අතර මැදිවියේ පුද්ගලයන් අතර සුලබ රෝගී අවස්ථාවක් ලෙස ප්‍රකට වුවද වැරදි ඉරියව් භාවිතය (බර එසවීමේදී දණහිස් වලින් පහත්වී බර එසවීම සිදු නොකට කොන්දෙන් නැවී බර ඉහළට එසවීම, වැඩි වේලාවක් රළු පෘෂ්ඨ මත හිඳගෙන සිටීම, බොහෝවේලා සිටගෙන සිටීම, ගැස්සෙන වාහන වල වාඩිවී දුරගමන් යාම, අතිශය සිනිඳු මතුපිට පෘෂ්ඨ සහිත තදගතියෙන් තොර මෙට්ට මත නිදාගැනීම, උස් අඩි පාවහන් නිතර පැළඳීම, නිවැරදි ව්‍යායාම අනුගමනය නොකිරීම වැනි), අති ස්තෞල්‍යබව, ගර්භණීභාවය, ව්‍යායාම අවම වීම, Scoliosis (කොඳුඇට පෙළෙහි ඇදවීම), අස්ථි සම්බන්ධ පෝෂණ ඌනතාවන් වැනි විවිධ හේතු කාරණා රෝගය හට ගැන්මට හේතුවිය හැකි බැවින් වර්තමානයේ වයස් භේදයකින් තොරව රෝගය ප්‍රකට වන අවස්ථාවන් බහුලව දක්නට ලැබේ.

දිගු වේලාවක් එකම ඉරියව්වකින් ඉඳගෙන හෝ සිටගෙන සිටීමේදී වේදනාව වැඩිවන බවත්, කැස්ස/ කිවිසුම් යාම/ තැටමීම/ බරක් එසවීම/ එක පැත්තකට හැරීම වැනි ක්‍රියාවන්හිදී වේදනාව වැඩි වශයෙන් දැනෙන බව රෝගීන් විසින් බහුලව පැමිණිලි කරන්නකි. තවද සිසිල් ජල ස්නානය හා ශීත ආහාර පාන භාවිතයෙන් රෝගය උත්සන්න වීම සිදුවේ. වර්ෂා කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදී වේදනාව ප්‍රමුඛ රෝග ලක්ෂණයන්ගේ වර්ධනයක් දක්නට ලැබේ.

ඇවිදීමේදී මෙන්ම කකුල දණහිස් සංධියෙන් නැවීමේදී වේදනාව තීව්‍ර වන බව ද  ගෘධ්‍රැසි රෝගීන් විසින් බහුලව පැමිණිලි කරන තවත් කාරණයකි.

රෝගියා සයනයක උඩු අතට නිදි කරවා දණහිසෙන් පාදය නැවීම සිදු නොකොට සම්පූර්ණ පාදය ඇඳ මට්ටමේ සිට ඇඳට සමාන්තරව තබා ගනිමින්, පසුව ඉහළට හෙමි හෙමින් එසවීමේදී වේදනාව පැමිණේදැයි පරීක්ෂා කිරීම රෝගී පරීක්ෂාවේදී වෛද්‍යවරුන් විසින් අනුගමනය කරන සරල පරීක්ෂාවකි.

ගෘධ්‍රැසි රෝගීන්හට පාදය ක්‍රමයෙන් එසවීමේදී උකුල් සංධිය, කොන්ද හා තට්ටම් ප්‍රදේශයෙන් හටගන්නා තීව්‍ර වේදනාව හේතුවෙන් අංශක 45° ක් පමණ කෝණයක පිහිටුම තෙක් ඉහළට එසවීමට හැකියාවක් නොමැත. මෙම ලක්ෂණය හේතුවෙන් වෛද්‍යවරුන් විසින් මෙම රෝගී තත්ත්වය පහසුවෙන් හඳුනා ගනු ලබන අතර රෝග නිර්ණය තහවුරු කරගැනීමට නවීන වෛකෘත පරීක්ෂණ ද යොදාගනු ලැබේ.

X-ray/ CT scan/ MRI scan යනාදී රෝග නිර්ණ පරීක්ෂණ මගින් (අස්ථීන්ගේ නෙරීම්) bone spurs/ herniated disc පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාව පවතින අතර EMG (electromyography) නම් වූ නවීන පරීක්ෂණ මගින් තෙරපීමට ලක්ව ඇති ස්නායු පවා පහසුවෙන් හඳුනා ගැනීමට හැකි බැවින් රෝග නිර්ණය කිරීම අපහසු නොවේ.

• ප්‍රතිකාර :-

ආයුර්වේද චිකිත්සා මූලධර්මානුකූලව රෝග නිදානාදී කාරණා, රෝග ප්‍රකෘතිය, පුද්ගල ප්‍රකෘතිය, රෝගියාගේ වයස හා බලාබලත්වය සහ රෝගියාට වැළඳී ඇති අනෙකුත් රෝග අවස්ථා සැලකිල්ලට ගෙන පුද්ගලානුබන්ධ චිකිත්සා පද්ධතියක් රෝග ප්‍රතිකාරයේදී භාවිතා වේ. 

ඖෂධීය තෛල අභ්‍යංග, තැවිලි පොට්ටනි මගින් ස්වේද දීම, පත්තු ආලේපය, ඒකාංග ධාරා, කටී වස්ති මගින් ඖෂධීය තෛල කොඳු ඇටපෙළ ආශ්‍රිතව රඳවා තබා ගැනීම වැනි විශේෂිත ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම බාහිර ප්‍රතිකාර ලෙසටත්, අභ්‍යන්තර ඖෂධ ලෙස කෂාය, ගුලි, කල්ක, ක්වාත, චූර්ණ, ගුග්ගුලු වර්ග ලබාදීමත් සිදු කරනු ලැබේ. මීට අමතරව පංච කර්ම චිකිත්සා ක්‍රම ගෘධ්‍රැසි රෝගය සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබාදේ.

නිසි ප්‍රතිකාර සිදු නොකර සිටීමෙන් ගෘධ්‍රැසි රෝගය ක්‍රමයෙන් වර්ධනය වී රෝග උපද්‍රව හටගැනීමෙන් ඇවිදීමට පවා බාධා ගෙනදිය හැකි රෝගී තත්ත්වයකි. එබැවින් රෝගය පිළිබඳ හොඳින් දැනුවත් වී, රෝග ලක්ෂණ හටගත් මුල් අවස්ථාවේදීම නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත නොපමාව ගොස් ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමෙන් පහසුවෙන් සුව කර ගැනීමේ හැකියාව පවතින සුඛ සාධ්‍ය රෝගී තත්ත්වයකි.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක

BAMS (Colombo -SL)

24-05-12

උරහිසට පීඩා දෙන අවබාහුක

වර්තමාන සමාජයේ තරුණ මෙන්ම වැඩිහිටි පුද්ගලයන්ගේ කාර්‍යයබහුල රැකියා නිසා නිසි විවේකයකින් තොරව දවසේ බොහෝ වේලාවක් එකම කාර්‍ය්යක නිරතවීම බහුලව දක්නට ලැබේ.

එකම ඉරියව්වකින් යුතුව, එකම කාර්‍යයේ නැවත නැවත යෙදීම, නිසි ව්‍යායාම නොමැතිවීම මෙන්ම හුරු එක් අතකින් පමණක් රැකියා ස්ථානවල කාර්‍ය්යන්හි හා ගෙදරදොර වැඩකටයුතු වල යෙදීම වැනි පුරුදු නිසා උරහිස් සන්ධිය හා ගෙල ආශ්‍රිත මාංශපේශීන්හට නිසි විවේකය නොලැබීයාමෙන් උරහිස් සන්ධිය හා බෙල්ල ආශ්‍රිත රෝගාබාධ පහසුවෙන් හටගනී.

ඉහත කී හේතූන් නිසා වාත දෝෂය කෝපවීමෙන් බාහුවේ ස්නායු, රුධිර වාහිනී, පටක, බන්ධනී සියල්ල අවරෝධ කිරීමෙන් බාහුව ක්ෂය වීම, ක්‍රියා කරවීමේ අපහසුව හා වේදනාව ඇතිකිරීම හේතුවෙන් “අවබාහුක” නම් රෝග තත්ත්වය හටගන්නා බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මූලග්‍රන්ථයන්හි සඳහන් වේ.

වාත හා කඵ දෝෂ ප්‍රමුඛ රෝගී තත්ත්වයක් වන අවබාහුක රෝගය පූර්ව ගාත්‍රාවල (උරහිස ආශ්‍රිතව) එනම් බාහුවල හටගනී. 

උරහිස් සන්ධිය යනු කුහර ගෝල සන්ධියකි. සම්පූර්ණ බාහුවේ පුළුල් චලන පරාසයක් මෙම සන්ධිය මගින් සිදු කෙරේ. අත උරහිස් සන්ධියෙන් ඉහළට, පහලට, ඉදිරියට, පිටුපසට -එසවීම, පහත හෙලීම, දික් කිරීම මෙන්ම රවුමට කැරකැවීම වැනි චලනයන් පහසුවෙන් සිදුකල හැකි විශේෂිත වූ සන්ධියක් වුවද රෝග ලක්ෂණ පහල වීමත් සමඟ වේදනාව හේතුවෙන් රෝගියා මෙම සන්ධියේ චලන සීමා කරනු ලැබේ. එනම් අත ඉහළට එසවීමේදී වේදනාව ගෙනදීම නිසා ඉන්පසු නැවත අත එසවීම ක්‍රමයෙන් සීමා කරයි.

එබැවින් සන්ධිය බොහෝ කාලයක් නිසිපරිදි ක්‍රියා නොකිරීම හේතුවෙන් මාංශපේශි ක්ෂය වීම් පවා පසුකාලීනව දක්නට ලැබෙන අවස්ථාද පවතී.

උරහිස් සන්ධියේ සිට අත දක්වා සම්පූර්ණ බාහුව ක්‍රියාකිරීමේ අපහසුතාවය හටගැනීම මෙහිදී පළමුව සිදුවේ. 

බොහෝ විට ප්‍රතිකාර සඳහා යොමුවීමේදී රෝගීන් පැමිණිලි කරනුයේ, බොහෝ කාලයක සිට ක්‍රමක්‍රමිකව රෝගය වර්ධනය වූ බවත්, අත ඉහළට එසවීමට හා පිටුපසට ගැනීමට නොහැකි වීම නිසා කාන්තා පාර්ශවයටනම් කොණ්ඩය පීරා ගැනීමට, කොණ්ඩය බැඳ ගැනීමට පවා නොහැකි බවයි. එමෙන්ම, පිරිමි පාර්ශවයට කමිසය හැඳගැනීමට අත එසවීමට නොහැකිවීම නිසා පීඩාවක් ගෙනදෙන බව ඔවුන් බහුලව මැසිවිලි නඟයි. නමුත් රෝග ලක්ෂණ හටගත් මුල්ම අවස්ථාවේදී මෙම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු වීමක් සිදු නොකිරීම සුලබව දැකිය හැකි කරුණකි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉගැන්වීම් තුල අවබාහුක රෝගය හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන විශ්වාචී නම් රෝගී අවස්ථාවක් පිලිබඳවද මූලග්‍රන්ථයන්හි සඳහන් වේ. උරහිස් සන්ධියේ සිට ඇඟිලි දක්වා විහිදෙන ස්නායුන්ගේ යම් ආබාධයක් හේතුවෙන් අත දිගහැරීම හා හැකිලීම යන ප්‍රධාන ක්‍රියා සිදුකිරීමට නොහැකිවීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය යි. එමනිසා බොහෝවිට සම්පූර්ණ බාහුවම පීඩාවට පත්වේ. අතේ බර බව, හිරිය, අප්‍රාණිකත්වය, වෙව්ලීම වැනි රෝග ලක්ෂණ රෝගියා විසින් පැමිණිලි කරන අතර ක්‍රියා කිරීමේදී ඇතිවන වේදනාව අවබාහුක රෝග අවස්ථාවේදී මෙන්ම පවතී. 

මීට අමතරව අවබාහුක රෝගය හා සමාන ලක්ෂණ ගෙන දෙන තවත් ප්‍රධාන රෝග අවස්ථාවන් කිහිපයක් දක්නට ලැබේ. එනම්,

ඒකාංගඝාත (එක් ගාත්‍රයක සිදුවන paralysis තත්ත්වයක්), අංශශෝෂ (උරපත් සාදන අස්ථි [scapula] හා සම්බන්ධ මාංශපේශී ක්ෂයවීම් හේතුවෙන් ක්‍රියා හානිවීම නිසා ඇතිවන රෝග තත්ත්වයක්)

සන්ධිගත වාත, 

මාංශගත වාත යන රෝග අවස්ථාවන් වේ.

අවබාහුක රෝගී තත්ත්වයේදී උරහිස් සන්ධියේ තදබව, උරහිස් සන්ධියෙන් අත ඉහලට එස්වීමට නොහැකිවීම හා වේදනාව, කල් යාමේදී උරහිස් සන්ධියේ සිට අත දිගේ, බෙල්ල දිගේ, පිට පිටුපසට වේදනාව පැතිර යාම පවා සිදු වේ. 

බටහිර වෛද්‍ය විද්‍යාත්මකව පූර්ව ගාත්‍රා හා සම්බන්ධිත synovial membrane හි ප්‍රදාහ තත්ත්ව, මාංශ පේශීන්ගේ ක්‍රියාහානි (muscle atrophy), ග්‍රෛවී ස්නායූන්ගේ තෙරෙපීම් නොහොත් (C4,C5 nerve root compression), උරහිස් සන්ධිය ආශ්‍රිත පටක හානිවීමෙන් fibrosis තත්ත්ව හට ගැනීම, උරහිස් සන්ධිය හා බෙල්ල ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරු, ස්ථානීය අර්බුද, Cervical spondilosis, Supra spinatus muscle tendon rupture, Shoulder joint capsule හි සිදුවන ආසාධන තත්ත්ව හේතුවෙන් ඇතිවන Frozen shoulder/ Adhesive capsulitis යන රෝගී තත්ත්වය හා අනුරූපී සම්බන්ධතා අඩු වැඩි වශයෙන් පවතින මෙම රෝගය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල අවබාහුක ලෙසට නම් කර ඇත.

පරිඝණක ආශ්‍රිත රැකියාවල නියුතු අය, ඇඟලුම් කම්හල් වල රැකියා කරන්නන්, යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවන්නන් වැනි නිතර අත වෙහෙසවා වැඩ කරන පුද්ගලයන් හට පහසුවෙන් වැළදෙන මෙම රෝගයේ රෝග ලක්ෂණ නොසලකා හැරීමෙන් ක්‍රමිකව රෝගය උත්සන්න වී උරහිස් සන්ධියේ සාමාන්‍ය ක්‍රියාවන්ට බාධා පමුණුවයි.

ආතරයිටීස් රෝගයේදී මෙන් බොහෝ සන්ධීන්ගේ පීඩාවක් මෙහිදී හට නොගන්නා අතර අවබාහුක රෝගය උරහිස් සන්ධියට පමණක් සීමා වේ. රෝගය එක් උරහිසක බොහෝ විට වැළඳෙන අතර ඇතැම්විට උරහිස් සන්ධි දෙකෙහිම දක්නට ලැබෙන අවස්ථාද පවතී. රාත්‍රී කාලයේදී වේදනාව අධික වන අතර වර්ෂා කාලයේ රෝගය උත්සන්න වීම සිදුවේ. ප්‍රතිකාර නොගෙන සිටීමෙන් රෝගය ක්‍රමයෙන් වර්ධනය වී වේදනාව හේතුවෙන් අත ඉහළට එසවීමට, පිටුපසට ගැනීමට පවා නොහැකි වීම දක්නට ලැබේ.

වාත දෝෂය මූලික කොටගෙන හටගන්නා අවබාහුක රෝගී තත්ත්වය වාත රෝග ප්‍රකට වන වයස අවුරුදු 40-60 අතර මැදිවියේ පුද්ගලයන් හට බහුලව වැළඳෙන අතර, කාන්තාවන් අතර බහුලව ප්‍රකට වන රෝගී තත්තවයකි. නමුත් වායු සමීකරණ කාමර තුල විවේකයකින් තොරව අධිකව වෙහෙසෙන තරුණ වයසේ පුද්ගලයන් අතර පවා වර්තමානයේ අවබාහුක රෝගී තත්ත්වය දක්නට ලැබේ. මීට අමතරව උරහිස ආශ්‍රිතව සිදුකල ශල්‍ය කර්ම හා උරහිස් සන්ධි ආශ්‍රිතව සිදුවූ හදිසි අනතුරු හේතුවෙන් පසුකාලීනව අවබාහුක රෝගී තත්ත්වය ගටගැනීමේ හැකියාවක්ද පවතී. එමෙන්ම හෘදයාබාධ, දියවැඩියාව හා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් පවා අවබාහුක රෝගී තත්ත්වය හටගැනීමට පුළුවන.

අවබාහුක චිකිත්සා සූත්‍රයේ සඳහන් වනුයේ ” අවබාහෞ හිතං නස්‍යං – ස්නේහශ්චෝත්තර භක්තික: ” ලෙසටය.

එනම්, නස්‍ය කිරීම චිකිත්සාවේ මූලික පියවරයි. ඊට අමතරව කෑමෙන් පසු ගිතෙල් පානය (මේස හැඳි 1ක් පමණ) හිතකර බව දක්වා ඇත.

නිවැරදි රෝග විනිශ්චයෙන් පසුව පුදගල ප්‍රකෘතිය, දෝෂ තත්ත්ව සලකා බලා රෝගියා සතු අනෙකුත් රෝගාබාධ සියල්ල සැලකිල්ලට ගෙන පුද්ගලානුබන්ධ චිකිත්සාවක් මෙහිදී ප්‍රයෝග කරනු ලැබේ.

රාස්නා නොහොත් ‘හීන් අරත්ත’ අඩංගු කෂාය වර්ග ප්‍රතිකාර බහුලව යොදාගන්නා අතර නිර්ගුණ්ඩ්‍යාදී තෛල අභ්‍යංගය ඉතා සුදුසුය. කට්ඵලාදී චූර්ණ, ෂඩ්බිංදු තෛල යන කඵ නිර්හරණ නස්‍ය කිරීම චිකිත්සාවේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දෙන අතර උරහිස් සන්ධිය, ගෙල පිටුපස හා බාහුව දිගේ ඉහළට මීතෙල් ආලේප කොට සම්භාහනය කිරීමද ඉතා ගුණදායකය.

එකම ඉරියව්වල රැඳී නොසිට වරින්වර ඉරියව් මාරු කිරීම හා වෛද්‍ය උපදෙස් ඇතිව ව්‍යායාම් වල නිරත වීම අනිවාර්යයෙන්ම සිදුකල යුතුවේ. ශීතකල ආහාර පාන භාවිතය හා ඇල් ජලය ස්නානය නුසුදුසු වන අතර උණුසුම් ජලය පානය හා උණුසුම් ජල ස්නානය ප්‍රතිකාර හා සමගාමීව සිදුකිරීමෙන් ඉක්මන් සුවයක් ලබාගත හැකිය.

අනුකූල කෂාය, ගුලි, කල්ක, චූර්ණ වර්ග අභ්‍යන්තර ඖෂධ ලෙස ලබාදීමත්, තෛල වර්ග අභ්‍යංග කිරීම හා ස්නායු පෝෂක තැවිලි වර්ග මගින් ස්වේද දීම හා මාංශ පේශී පටක ඉහිල් වන පත්තු ආලේප කිරීමත්, තෛල අභ්‍යංගයෙන් අනතුරුව නිසි ව්‍යායාම් ලබා දීමත් මගින් බාහුවේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි යථා තත්ත්වයට පත් කරලීමේ හැකියාව ආයුර්වේද ප්‍රතිකාර සතුවේ. තවද, ආයුර්වේද චිකිත්සා ක්‍රමයන්ට අමතරව කටු චිකිත්සා ප්‍රතිකාරයද අවබාහුක ප්‍රතිකාර හා සමගාමීව සිදුකිරීමෙන් ප්‍රතිකාරයේ ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවේ. 

එබැවින් රෝග ලක්ෂණ හටගත් අවස්ථාවේදීම නිසි සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත ගොස් ප්‍රතිකාර ලබාගැනීමෙන් අවබාහුක රෝගය පහසුවෙන් සුව කර ගැනීමේ හැකියාව පවතී.

වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS ( Colombo-SL )

‘පාණ්ඩුව’ යනු රෝගී තත්ත්වයක් ද?

මිනිස් සිරුරේ කායික වර්ධනය මෙන්ම බුද්ධි වර්ධනය සඳහා යකඩ අත්‍යවශ්‍ය පෝෂකයකි. එමෙන්ම රුධිරයේ ප්‍රධාන සංඝටකයක් වන හිමොග්ලොබින් නිපදවීම සඳහා යකඩ අත්‍යවශ්‍ය වේ. යකඩ, විටමින් B12 හා ෆෝලික් ඇසිඩ් යන සංඝටකයන් රුධිරයේ රතු රුධිරාණු නිපදවීමට මූලික වන අතර මෙම සංඝටකයන්ගේ ඌනතාවය මිනිස් සිරුරේ නොයෙක් සංකූලතා ඇතිකිරීමට හේතු වේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරණායක වලට අනුව රක්තහීනතාවය නොහොත් නීරක්තිය යනු රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය පුරුෂයන් සඳහා 13.0g/dL වඩා අඩුවීමත්, කාන්තාවන් සඳහා 12.0g/dL වඩා අඩුවීමත් නිසා වන රෝගී අවස්ථාවකි.

රක්තහීනතාවය ඇතිවීමට බොහොමයක් හේතූන් හේතුසාධක වුවද ඇතැම් ජාතීන්ට අනුව හා පරිසර තත්ත්ව වලට අනුවද මෙම සාමාන්‍ය අගයන්ගේ වෙනස් වීම් දැකිය හැකි නමුත් එවැනි අවස්ථාවලදී එය රෝගී තත්ත්වයක් ලෙසට නොසැලකේ. 

ගර්භණී කන්තාවන්ගේ රුධිරගත හිමොග්ලොබින් අගය 11.0g/dL මට්ටමට වඩා වැඩි වීම සතුටුදායී තත්ත්වයක් වුවත් ප්‍රශස්ත මට්ටමට වඩා අඩු වීම ගර්භණී කාලයේදී නොයෙකුත් සංකූලතා ඇති කලහැකි බැවින් ඒ පිලිබඳ අවධානය ලබාදීම අතිශය වැදගත් ය.

රුධිරගත හිමොග්ලොබින් හෝ රතු රුධිරාණු ප්‍රමාණවත් තරම් නොමැතිවීම රක්තහීනතාවය නොහොත් ඇනීමියාව ඇතිවීමට ප්‍රධානතම හේතුවයි. රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය ප්‍රමාණාත්මකව ඉහළ අගයක පැවතීමෙන් ආශ්වාසයේදී පෙනහලු මඟින් හුවමාරු වන ඔක්සිජන් වැඩි වශයෙන් රුධිරය ඔස්සේ පටක කරා පරිවහනය හා කාබන්ඩයොක්සයිඩ් හුවමාරු කිරීමේ හැකියාව

මැනවින් පවතී. එබැවින් රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය නියමිත මට්ටමේ පැවතීම අතිශය වැදගත් ය.

රක්තහීනතා ලක්ෂණ 

• හුස්ම හිරවීම 

• හුස්ම ගැනීමේ අපහසුව (කෙටි හුස්ම ගැනීම)

• හිසරදය

• ආහාරමය නොවන ආගන්තුක ද්‍රව්‍යය ආහාරයට ගැනීමට රුචිකත්වයක් ඇතිවීම

• නොරිස්සුම් ස්වභාවය

• ආහාර රුචිය හීනවීම

• ශරීරය සුදුමැලිවීම 

• පපුවේ වේදනාව වැනි රෝගී තත්ත්වයන් රක්තහීනතාවයෙන්/ නීරක්තියෙන් පෙලෙන පුද්ගලයන් හට නිතර ඇතිවිය හැකිය. 

රක්තහීනතාවය සඳහා බලපාන ප්‍රධාන හේතු සාධක අතුරෙන් යකඩ ඌනතාවය ප්‍රධාන සාධකයක් ලෙසට සැලකේ.

යකඩ ඌනතාවය මඟහරවා ගැනීමට යකඩ අඩංගු ආහාර ආහාරයට එක් කරගැනීම අනිවාර්යය වේ. එපමණක් නොවේ, යකඩ අවශෝෂණය සඳහා විටමින් C බහුල ආහාර කෑමට එකතු කර ගැනීම ද අනිවාර්යයෙන්ම සිදුකල යුතු වේ. නැවුම් එලවළු, පලතුරු ආහාරවේලට එක් කර ගැනීමෙන් විටමින් C අවශ්‍යතාවය සපුරාගත හැකිවන අතර, ප්‍රධාන ආහාරවේල් වලට පසු ඇඹුල් රසැති පලතුරක් ආහාරයට ගැනීම සිදුකල හැකිය. එමෙන්ම මැල්ලුම්, සලාද සඳහා දෙහි එක් කිරීමෙන් ශරීරයට යකඩ අවශෝෂණය වැඩි කිරීම සිදුවේ.

මීට අමතරව විටමින් B12 ඌනතාවය, ෆෝලික් ඇසිඩ් ඌනතාවය, කාලීන රෝගාබාධ, රතු රුධිරාණුවල ව්‍යුහාත්මක විෂමතා, තැලිසීමියා වැනි රෝගහේතූන් නිසාත් රක්තහීනතාවය ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතී. 

ආහාර වේල තුල ප්‍රමාණවත් පෝෂණයක් නොමැතිවීම, ආමාශය හා අන්ත්‍ර මඟින් පෝෂක කොටස් නිවැරදි ලෙස අවශෝෂණය සිදු නොවීම, ඇතැම් ඖෂධ භාවිතය, ප්‍රතිශක්තිකරණය දුර්වල කරන ඇතැම් රෝග, වකුගඩු රෝග, පිළිකා, අමාශගත හා අන්ත්‍රගත කල්ගතවූ රෝග අවස්ථාවන්, ඇටමිදුළු සම්බන්ධ රෝග, ගර්භනීභාවය හා මාසික ඔසප්වීම, අර්ශස්, ලේ අතීසාර වැනි අධික රුධිර වහනය වන රෝග අවස්ථාවන් නිසා සිරුර තුල රක්තහීනතා තත්ත්වයක් පහසුවෙන් ගොඩනැගේ.

රෝගී පරීක්ෂාවේදී, සමේ වර්ණය, නාඩි, රුධිර පීඩනය, හෘත් ශබ්ද හා හෘත් ස්ඵන්ධන වේගය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන අතර, රුධිර පරීක්ෂාවක් මඟින් රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය සලකා බලා රෝගය නිශ්චිතව හා පහසුවෙන් හඳුනා ගැනීම සිදුකෙරේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන්  ‘පාණ්ඩු රෝගය’, ඇනීමියාව/ රක්තහීනතාවය නොහොත් නීරක්තිය යන රෝග අවස්ථාවට බොහෝසෙයින් සමාන රෝගී අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

ආයුර්වේද වෛද්‍ය විද්‍යා මූලග්‍රන්ථයන්හි සඳහන් පරිදි සුදුමැලි පාටින් සම යුක්ත වන රෝග තත්ත්වය පාණ්ඩු රෝගය බවත්, රුධිරයේ මද බව හේතුවෙන් පාණ්ඩු වර්ණයක් තොල්, දිව, ඇස් වල පෙන්නුම් කරන බවත් පැහැදිලිව දක්වා ඇත. 

පාණ්ඩු රෝගය සඳහා හේතූන් ප්‍රධාන ලෙස ආහාරමය හේතු, විහරණමය හේතූන් ලෙස ශාරීරික හා මානසික හේතූන් මෙන්ම ඇතැම් බාහිර හේතූන් ප්‍රධානව දැක්විය හැක.

අධික අම්ල, ලවණ අඩංගු ද්‍රව්‍ය , අධික මද්‍ය භාවිතය, අසාත්මික, දූෂිත ආහාර, නොදිරවන ආහාර ගැනීම, දහවල් නිදීම, රාත්‍රී නිදිවැරීම, අධික ව්‍යායාම් වල නිරතවීම, අධික වෙහෙසවීම, උෂ්ණාධික ආහාර, අබ, මිරිස් වැනි තීක්ෂ්ණ බවින් අධික ආහාර ගැනීම, කාම, චින්තා, භය, ක්‍රෝධ, ශෝක යන සිතිවිලි වල නිතර එල්බ සිටීම, පංච කර්ම සිදුකිරීමේ විෂමතාවන් යන හේතූන් නිසා වාතාදී දෝෂ කෝප වීමෙන් රක්තය දූෂණය වී සමේ පඬුවන් වර්ණ ඇති කිරීම පාණ්ඩු රෝගයට හේතු වන බව ආයුර්වේදය තුල දක්වා ඇත.

ඉහත හේතූන්ගෙන් සාධක පිත හා රංජක පිත කෝප වී, ව්‍යාන වාතය මගින් ධමනි ආශ්‍රය කොට මුළු සිරුර පුරා පැතිරගොස් සම හා මාංශ ඇසුරු කරන කඵ දෝෂය, වාත දෝෂය හා රක්ත ධාතුව දූෂණය වීමෙන් සමේ විවර්ණ බව නැතහොත් සුදුමැලිවීම ඇති කර පාණ්ඩු රෝගය හට ගැන්ම සිදු වේ.

මීට අමතරව ඇතැම් රෝග තත්ත්ව පාණ්ඩු රෝගයට හටගැනීමට හේතු වන අවස්ථාවන් ලෙස ද දක්වා ඇත. එනම්, ක්‍රිමි/පණු රෝග, අර්ශස්, රක්තප්‍රදර, රක්තපිත්ත, ග්‍රහණි, රාජයක්ෂ්මා(ක්ෂයරෝගය), යකෘත්-ප්ලීහා රෝග, අතීසාර, මධුමේහ, ජීර්ණ ජ්වර යන රෝග අවස්ථා හේතුවෙන් පාණ්ඩු රෝග තත්ත්වය හට ගැනීමේ අවධානම පවතින බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක ඉගැන්වීමයි.

ආයුර්වේදයේ සඳහන් රක්ත ධාතුව මඟින් ශරීර බලය, වර්ණ ප්‍රසාදනය, ආයුෂ, ජීවනය, මාංශ පෘෂ්ඨිය, අග්නි දීපනය යන ශරීරයේ ප්‍රධාන ක්‍රියා සිදුවේ.

නමුත් පාණ්ඩු රෝගී තත්ත්වය නිසා රක්ත ධාතුව හීන වී ඉහත ක්‍රියාවන්ගේ දුර්වලතා හටගනී. එමෙන්ම ධාතූන්ගේ ක්ෂය වීම් සිදුවන අතර සමේ සිනිඳු බව නැතිවී සම රූක්ෂ වීම, සම පිපිරීම, මාංශ පේශි ක්ෂය, අස්ථි-සංධි වේදනා, අවයව වල හිරිය පවා හට ගන්නා අවස්ථා පවතී.

රෝගයේ මුල් අවස්ථාවේදී පූර්ව ලක්ෂණ ලෙස 

• සම පැලීම

• අත් පා වල දුර්වලතා

• ඇස් වටා ඉදිමීම

• ආහාර දිරවීමකින් තොරව පිටවීම

• තමන්ගේ හෘද ස්පන්දනය තමාටම දැනීම(Palpitation)

• දහඩිය දැමීම අවම වීම

• අධික විඩාව ඇතිවීම 

හඳුනාගත හැක.

පාණ්ඩු රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙසට පෙර සඳහන් රක්තහීනතාවය හේතුවෙන් හටගන්නා රෝග ලක්ෂණ සඳහන් වන අතර මැටි කෑමට රුචියක් ඇතිවීම හේතුවෙන් මෘද් භක්ෂණ ජන්‍ය පාණ්ඩුව ලෙසට ප්‍රබේදයක් පිලිබඳව විශේෂයෙන් සඳහන් වේ. කුඩා දරුවන්ට බහුලව වැලඳෙන පාණ්ඩු රෝග ප්‍රබේදයක් ලෙසට මෙය දක්වා ඇත.

දීර්ඝ කාලයක් පැවති පාණ්ඩු රෝගී තත්ත්ව, සිරුර ඉදිමී මල බද්ධය හෝ දියරමය මල පිටවන රෝගී තත්ත්ව, ඉතාමත් සුදුමැලි, දුර්වල සිරුරක් සහිත, වමන, භ්‍රම, පිපාස තත්ත්ව සහිත රෝගී තත්ත්ව හා අත්, පා, හිස හා ශරීරයේ මධ්‍ය කොටස හා ලිංග ප්‍රදේශ ඉදිමුම් සහිත, උණ, අතීසාර සහිත පාණ්ඩු රෝගී තත්ත්වය සුව කිරීමට අපහසු අසාධ්‍ය රෝග අවස්ථා බවට ආයුර්වේද මූලග්‍රන්ථයන්හි දක්වා ඇත. 

රෝග ප්‍රතිකාර :-

පාණ්ඩු රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාරයේදී රෝග හේතු වලින් වැලකී සිටීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු වේ. සංශෝධන හා සංශමන කර්ම සිදුකිරීම මගින් පාණ්ඩු රෝගයට ප්‍රතිකාර සිදු කල හැක.

කෝප වූ දෝෂ ශරීරයෙන් බැහැර කර සිරුර ශෝධනය කිරීමෙන් පසු සුදුසු ඖෂධ ප්‍රතිකාර සිදු කරනු ලැබේ. 

වමන, විරේචන යන පංච කර්ම ප්‍රතිකාරයන්ද ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දෙන අතර ඝෘත වර්ග ලබාදී ඉන්පසුව විරේචනය සිදුකොට රක්ත ශෝධනය සිදුකරන ප්‍රතිකාර ක්‍රමයක්ද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දක්වා ඇත.

“පාණ්ඩු ලෙඩ ඇති සතහට

ගිතෙල් පොවා පළමුව කොට

වමන විරේචන පසුවට

කරවනු දොස් දුටු පමණට”

දිනකට දෙවරක්, අවුන්ස 1-2 ප්‍රමාණයක් කල්‍යාණ ඝෘත, පංච තික්තක ඝෘත යන ඝෘත පාණ්ඩු රෝගීන්ට ප්‍රත්‍යක්ෂ ගුණ ලබාදේ. 

සුදුසු ආහාර- 

කිරි, මෝරු, ගිතෙල්, මස් වර්ග, පීකුදු වර්ග, බිත්තර, මීපැණි, ධාන්‍ය වර්ග- මුං, මෑ, තිරිඟු, කඩල, කව්පි, පරිප්පු, පැරණි සහල්, ඕට්ස්, එලවළු වර්ග- සාරණ, නිවිති, කතුරුමුරුංගා, මුරුංගා කොළ, මුකුණුවැන්න, කරවිල, බෝංචි, බීට්, කැරට්, තුඹ, රතු තම්පලා, කංකුං, ගොටුකොළ, පලතුරු යුෂ-පැපොල්, දෙළුම්, නෙල්ලි, ඇපල්, තැඹිලි, රට ඉඳි

නුසුදුසු ආහාර – 

අබ, මද්‍ය වර්ග, ලවණ වර්ග, අම්ල වර්ග, විදාහී ආහාර, තල, උඳු

නුසුදුසු විහරණ – 

අධික ව්‍යායාම, අධික අව්වේ බොහෝ වේලා සිටීම, දුම් පානය, අධික ලිංගික හැසිරීම්, දහවල නිදීම, මුත්‍රා, මල වැනි වේග ධාරණය, මැටි, හාල් වැනි ආගන්තුක ද්‍රව්‍ය කෑමට ගැනීම

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් පාණ්ඩු රෝග චිකිත්සා පද්ධතිය නීරක්තිය නොහොත් රක්තහීනතාවය යන රෝග අවස්ථාව සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දෙන බැවින් පත්‍ය අපත්‍ය ආහාර විහරණ වලට එලඹීමෙන් රෝගය වැලඳීම පහසුවෙන් වලක්වා ගත හැකිය. එමෙන්ම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත යොමු වී ප්‍රතිකාර ලබාගැනීමෙන් රුධිරගත හිමොග්ලොබින් මට්ටම ඉහළ නංවාගැනීමෙන් රක්තහීනතාවය පහසුවෙන් මඟහරවා ගැනීමේ හැකියාව පවතී.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

පුරුෂ මදසරුබාවය පරදවන ආයුර්වේද ප්‍රතිකාර 

ලෝකය තුල මනුෂ්‍ය  වර්ගයාගේ පැවත්ම රඳා පවතිනුයේ ස්ත්‍රියකගේ හා පුරුෂයකුගේ ප්‍රජනන ක්‍රියාවලිය මත ය. එබැවින් ස්ත්‍රිය මෙන්ම පුරුෂයාත් ඒ සඳහා වගකිව යුතු කාර්‍ය්ය භාරයක් ඉටු කල යුතුය.

යුවලකගේ විවාහයෙන් පසු දරුවන් නොමැති වීමේ ගැටළුවට අතීතයේ සිටම කාන්තාව දැඩි අපහසුතා වලට ලක්වීම සුලබ කරුණක් වූ නමුත් 50% බැගින් කාන්තා පිරිමි දෙපාර්ශයම වෙන් වෙන් වශයෙන් මේ සඳහා දායක විය යුතු බව පැහැදිලි කරුණකි.

ලිංගික අධ්‍යාපනය ඉතා දුර්වල මට්ටමක පවතින ලාංකීය ජන සමාජය තුල, පුරුෂයන්ගේ මදසරුබාවය කෙරෙහි හේතු වන රෝග අවස්ථාවන් සඳහා අවධානය යොමු කිරීම ළදරුවියේ සිට සිදුකල යුතුය. 

පිරිමි දරුවන් වැඩිවිය පැමිණි පසු ඒ පිලිබඳ නිසි අධ්‍යාපනය ලබා දීම හා හිතකර/අහිතකර ආහාර විහරණ කෙරෙහි අවධානය යොමු කිරීම මගින් පුරුෂ මදසරුබාවය ඇතිවීම වළක්වා ගත හැකිය.

ලෝකයේ වත්මන් සමාජය තුල විවාහක යුවල අතරින් 30%කට ආසන්න ප්‍රමාණයක් දරුවන් නොමැතිවීමේ ගැටළුවලින් පීඩා විඳින අතර මේ සඳහා ප්‍රධානතම හේතුව වන්ද්‍යාබාවය නොහොත් මදසරුබාවය යි.

ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්වචනයට අනුව වන්ද්‍යාබාවය යනු විවාහක යුවලක් කිසියම් වූ උපත්පාලන ක්‍රමයක් අනුගමනය නොකරමින්, දරුවන් බලාපොරොත්තුවෙන් ක්‍රමානුකූල ලිංගික සංසර්ගයක් පැවැත්වුවද අවුරුද්දක් ගතවනතුරුත් දරුවෙක් පිළිසිඳ නොගැනීමයි. 

ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ සෘතු, බීජ සහ කාලයේ අවෑමෙන් ගර්භයක් හට ගැනෙන බවත්, සෘතුවීම නොහොත් කාන්තාවකගේ ඩිම්බ මෝචනයෙන් පමණක් ගර්භෝත්පත්තිය ඇති නොවන බවයි. මෙහි බීජ යන අර්ථයෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම බීජ පිළිබඳ සලකා ඇත. එනම්, ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම ඩිම්බ හා ශුක්‍ර ශුද්ධ හා පූර්ණ වූ විට ගර්භය හට ගන්නා බව පෙන්වා දේ. 

නවතම සොයාගැනීම් අනුව වන්ද්‍යාබාවය සඳහා පුරුෂ පාර්ශවයේ බලපෑම 30-35%ක අගයක් ගනී. එමෙන්ම සෑම පුරුෂයින් 20 දෙනෙක්ගෙන් එක් අයෙක් පුරුෂ මදසරුබවින් පෙලෙන බවද හඳුනාගෙන ඇත.

ආයුර්වේද ශාස්ත්‍රීය ග්‍රන්ථයන්හි පුරුෂ ධාතුන්ගේ ශක්තිය හා  ලිංගික ශක්තිය වර්ධනය සඳහා බොහොමයක් ඖෂධ වට්ටෝරු හා ප්‍රතිකාර ක්‍රම දක්වා ඇත. ලිංගික ක්‍රියාවන්හි සත්වයන් අතුරින් ඉදිරියෙන්ම සිටින අශ්වයකු සේ ජවසම්පන්න ලෙස ලිංගික එක්වීමකදී පුරුෂයා සමර්ථ කිරීමට එම ඖෂධ වල ශක්‍යතාව ඇතිබව ආයුර්වේදයේ පිළිගැනීමයි. 

තාරුණ්‍ය ආරක්ෂා කරමින් ශරීර ශක්තිය වර්ධනය කරගැනීම, කාන්තා හා පුරුෂ ධාතු වල ගුණාත්මක බව වැඩි දියුණු කරගැනීම උදෙසා රසායන හා වාජීකරණ තන්ත්‍රය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ අෂ්ටාංග ආයුර්වේද ඉගැන්වීම් තුල අන්තර්ගතය.  

නිරෝගී උසස් ගුණාත්මක ශුක්‍රාණු නිපදවීමට මෙන්ම ඒවා ස්ත්‍රී යෝනියෙහි ඉහල කොටසේ තැන්පත් කිරීමද නිරෝගී කළලයක් හටගැන්මට සඳහා වැදගත් වේ. 

එම නිසා වර්තමානයේ මදසරු යුවලක් පරීක්ෂාවේදී පුරුෂයාගේ ධාතු ශක්තිය මෙන්ම සංසර්ග ශක්තිය පිලිබඳ විශේෂ අවධානය යොමුකිරීම සිදු කෙරේ.

පුරුෂ මදසරුබාවයට හේතු

1. පුරුෂ ශුක්‍රයෙහි විෂමතා

ශුක්‍රාණු සංඛ්‍යාත්මකව හා ගුණාත්මකව අඩුවීම හෝ වෙන් වෙන් වශයෙන් අඩුවීමයි.

බොහෝ පුරුෂයින් ස්වයංවින්දනයේදී, ලිංගික සංසර්ගයේදී ලැබෙන ලිංගික උත්තේජනයන් හමුවේ ශුක්‍ර තරලය පිටකිරීම තුලින් තමන් මදසරුබවින් තොර පුද්ගලයෙක් බවට තමන් විසින්ම පූර්ව විනිශ්චයට එලඹේ. නමුත් ශුක්‍ර තරලය පිටකිරීමෙන් පමණක් පුරුෂයෙක්ගේ සරුබව කිසිසේත් නිර්ණය කළ නොහැක. 

නිරෝගී දරුවෙකු බිහිකිරීමේ හැකියාව තීරණය සඳහා එම ශුක්‍ර තරලය තුල ජීවී ශුක්‍රාණු වල පැවැත්ම සංඛ්‍යාත්මකව හා ගුණාත්මකව පරීක්ෂා කිරීම  අනිවාර්යයෙන්ම කලයුතු වේ.

ශුක්‍ර තරලයේ පරිමාව, ද්‍රාවණයට ගතවන කාලය, ශුක්‍රාණුවල රූපාකාරය, චලන හැකියාව, ශුක්‍ර තරලයෙහි pH අගය, අඩංගු ෆ්‍රක්ටෝස් ප්‍රමාණය සහ අනෙකුත් සංඝටක පිලිබඳ පරීක්ෂා කොට බැලීම මෙහිදී සිදුකෙරේ.

2. සංසර්ගයේදී ඇතිවන විෂමතා

ලිංගික උත්තේජනයන්ගෙන් ප්‍රාණවත් වූ පුරුෂ ලිංගේන්ද්‍රිය යෝනි මාර්ගයට ඇතුළත් කොට එහි ඉහළ කොටසේදී ශුක්‍රාණු මුදා හැරීම තුලින් ගැබ්ගෙල හරහා පිහිනා යන ශුක්‍රාණු ගර්භාෂය හරහා ගොස් පැලෝපීය නාලයන්හි ඇතුලත කෙලවර සිට 1/3 ක දුරකදී කාන්තාවකගේ සෘතු කාලයේ මෝචනය වූ පරිණත ඩිම්බය හා සංසේචනය වීමෙන් නිරෝගී කලළයක් නිර්මාණය කෙරේ. යෝනිමාර්ගයේ ඉහල කොටසේදී ශුක්‍රාණු මුදා හැරීමට නොහැකිවීමද පුරුෂ වන්ද්‍යාබාවයට ප්‍රධාන හේතුවක් සේ සැලකේ. 

මීට අමතරව ව්‍යුහාත්මක වෙනස්කම් පැවතිය හැකිය. මව්කුස තුල වැඩෙන දරුවෙකුගේ වෘෂණ උදර කුහරය තුල තිබී දරුවා බිහිවීමත් සමඟ වෘෂණ කෝෂ තුලට ප්‍රාප්තවීම සිදුවේ. නමුත් ඇතැම් අවස්ථාවන්හිදී undescended testicles ලෙසට පැවතීම ශුක්‍රාණු නිෂ්පාදනයට බාධා ඇති කෙරේ. එමෙන්ම වෘෂණ කෝෂයන්හි වෙනත් ශරීර ව්‍යුහාත්මක විෂමතා නිසාත් මදසරුබාවය ඇති කලහැක.

එමෙන්ම ශුක්‍රාණු සතු වර්ණදේහයන්හි විකෘතිතා මෙන්ම පුරුෂයන් සඳහා හටගන්නා ඇතැම් රෝගාබාධ නිසාත් වර්තමානයේ පුරුෂයන් අතර මදසරුබාවය දක්නට ලැබේ. 

තරුණ වියේදී වැළඳෙන කම්මුල් ගාය රෝගය, දියවැඩියා රෝගී තත්තවය, වෘෂණ කෝෂ ආශ්‍රිතව නහර ගැටගැසීම් තත්ත්ව, වෘෂණ වලට සිදුවන අනතුරු නිසා ශුක්‍රාණු ජනන නාලිකා විනාශ වීම හා අවරෝධ වීම, හෝර්මෝන විෂමතා, අධික උණ, වෘෂණ ආශ්‍රිත සැත්කම් හා ඇතැම් ඖෂධ හේතුවෙන් පවා නිරෝගී ශුක්‍ර ජනනය කෙරෙහි නොයෙකුත් බාධා ඇතිකල හැක.

එමෙන්ම වෘෂණ කෝෂ ආශ්‍රිතව උණුසුම අධික වීම නිරෝගී ශුක්‍රාණු ඇතිවීම අවුරුවාලන තවත් ආකාරයකි. වර්තමානයේ ක්ෂේත්‍ර රාජකාරීන්ගේ නියුතු පුද්ගලයන් දැඩි හිරුරශ්මියට නිරාවරණය වීම, තද යට ඇඳුමින් බොහෝ වේලාවක් සිටීම, නිතර දිගු වේලාවක් වාහන පැදවීම, දවස මුළුල්ලේ ක්‍රියාන්විත රාජකාරින්වල නිරතවීම, උකුල මත ලැප්ටොප් පරිඝණක තබා ගනිමින් බොහෝ වේලා සිටීම, රත්වූ වාහන එන්ජින්, බේකරි උඳුන්, ගඩොල් පෝරණු, රත්වූ යන්ත්‍ර හා උපකරණ ආසන්නයේ දවසේ බොහෝවේලාවක් ගතකිරීම යන හේතූන් නිසාත් නිරෝගී ශුක්‍ර නිපදවීම සිදු නොවනු ඇත.

මීට අමතරව මානසික ගැටලු, වයස්ගතවීම, මන්දපෝෂණය, පිළිකා, සමාජ රෝග, සුෂුම්නාගත රෝග, අංශභාග තත්ත්ව, අධික ලිංගික සේවනය, අධික මානසික ආතතිය යන හේතූන්ද මදසරුබාවය කෙරෙහි සෘජු සම්බන්ධතා දැක්විය හැක.

අධික දුම්පානය, අධික මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය, දීර්ඝකාලිනව විවිධ ඖෂධ භාවිතය යන අයහපත් පුරුදු නිසාත් මදසරුබාවයට හේතු යෙදේ.

පුරුෂ මදසරුබාවය කෙරෙහි ඉහත සඳහන් නොයෙකුත් හේතුසාධක බලපාන අතර වර්තමාන සමාජයේ පාරිසරික දූෂණය , ආසනික්, කැඩ්මියම් වැනි විෂ රසායනික ද්‍රව්‍යය භාවිතය මෙන්ම තරඟකාරී ජීවන රටාව ප්‍රධාන ලෙසම බලපෑම් ඇතිකරනු ලැබේ.

හිතකර ආහාර –

එළකිරි, බටර්, චීස්, යෝගට්, මුදවපු කිරි, කිරි ආශ්‍රිත නිෂ්පාදන, එලඟිතෙල්, මුංඇට කැඳ, වැල්පෙනෙල, හාතවාරිය කොළකැඳ, ඉරමුසු, පොල්පලා, මොණරකුඩුම්බිය කැඳ, පැරණි සහල් වර්ග, මයිසූර් පරිප්පු, කොල්ලු, කඩල, උඳු පිටි යෙදූ ආහාර, ඕලු බත්, පොලොස්, කොස්, කිඩාරන් අල, දඹල, වඳුරු මෑ, වට්ටක්කා, පැළමුං ව්‍යාංජනය, වැල්පෙනෙල කොළ සම්බෝලය, ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා මල්, තම්පලා, කංකුන්, නිවිති, සාරණ, වට්ටක්කා දළු, ගම් කුකුළු බිත්තර, වටු බිත්තර, තෝර, මෝර, තලපත් මාලු, මාළු බිත්තර, ගම් කුකුළු මස්, එළු මස්, පේර, දෙළුම්, දූරියන්, කෝලිකුට්ටු කෙහෙල්, රත්කෙහෙල්, ලාවුළු, අලිගැටපේර, අඹ, ගස්ලබු, බෙලි, දුවුල්, කොමඩු, කළු උක්, ආමන්ඩ්, කජු මද, මුද්දරස්පලම්, රටඉඳි, ඇඹුල් රසැති පලතුරු- වෙරලු, නෙල්ලි, ඇඹරැල්ල, පැඟිරි කුලයේ පලතුරු- දොඩං, නාරං

සව්කැඳ, සුප් වර්ග, බාර්ලි තම්බා, රතුපොකුරු වදමල් පානය- නටන උණුවතුර බදුනක් ටික වේලාවක් නිවෙන්නට හැර උණුසුම්ව තිබියදීම එයට රතු පොකුරු වදමල් පෙති දමා විනාඩි 10-15 ක් තැම්බෙන්නට වසා තබා දෙහි, ලුණු හා සීනි ස්වල්පයක් එක්කර පානය කිරීම.

අහිතකර ආහාර –

අහිතකර කෘමිනාශක වර්ග යෙදූ කෘෂි නිෂ්පාදන, කෘතිම රසකාරක, වර්ණකාරක යෙදූ ආහාර, කෘතිම ආහාර පාන, බලමාලු, දැල්ලො, හුරුල්ලො, සැමන්, බොයිලර් කුකුල් මස්, දෙල්, මුරුංගා, තක්කාලි, අන්නාසි, රඹුටන්, දෙහි විනාකිරි යෙදූ චට්නි වර්ග, අච්චාරු, ලුණුදෙහි, කෝපි, අධික සීනි, තෙල් යෙදූ ආහාර

හිතකර ක්‍රියාවන් –

පැය 6කට නොඅඩු සුවදායි නින්දක් ලැබීම

සැහැල්ලු, කපු යට ඇඳුම් භාවිතා කිරීම

දිනපතා ස්නානය කිරීම

සිසිල් ජලයේ ගිලී නෑම

ව්‍යායාම් වල නිරතවීම

මානසික විවේකය සඳහා භාවනා ක්‍රම, යෝග ව්‍යායාම් සිදුකිරීම

ආගමික කටයුතු වල නිරතවීම

අහිතකර ක්‍රියාවන් –

මානසික ආතතියෙන් සිටීම

රාත්‍රී නිදි වැරීම හා දහවල් නිදාගැනීම

තද-ඝන යට ඇඳුම් බොහෝ වේලාවක් ඇඳ සිටීම

අපිරිසිදු යට ඇඳුම් භාවිතා කිරීම

අධික ව්‍යායාම කිරීම

අධික බර ඉසිලීම

නිතර උණුවතුර ස්නානය කිරීම

වෛද්‍ය උපදෙස් වලින් තොරව හෝර්මෝන අඩංගු ආහාර, ඖෂධ ලබා ගැනීම

ලිංගික හැසිරීම් අධිකව සිදුකිරීම

ලිංගික අවශ්‍යතා දරා සිටීම,

නිතර රූපවාහිනී යන්ත්‍ර, ලැප්ටොප් පරිඝණක භාවිතය

මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්පානය කිරීම

තවද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඖෂධ වර්ග ප්‍රබේදකරණයේදී ජීවනීය ගණය ලෙසට ආයුෂ පැවැත්වීමට හිතකර වූ, ජීවත්වීමට හිත වූ ඖෂධ දක්වා ඇත.

උදා: කිරිබදු අල, කිරි

එමෙන්ම බල්‍ය / බල වර්ධක ඖෂධ ගණය දක්වා ඇත. එනම් ශරීර බලය වැඩිදියුණු කරන ඖෂධ වේ. 

උදා: හාතවාරිය, අශ්වගන්ධ

වාජීකරණ/ වෘෂ්‍ය ඖෂධ ගණයේ ඖෂධ ලබාගැනීම හේතුවෙන් ලිංගික ක්‍රියාවන්හි ස්ත්‍රී, පුරුෂ දෙදෙනාටම අධික ප්‍රීතියක් හා සතුටක් ඇතිකරමින් නැවත නැවත සංසර්ගයේ යෙදීමේ ආශාව පුරුෂයා කෙරෙහි ඇතිකිරීම සිදුකෙරේ.

උදා: කිරිබදු අල, අශ්වගන්ධ

ශුක්‍ර නිපදවීම වැඩි කරවන ශුක්‍රවර්ධක ද්‍රව්‍යය පිළිබඳවද ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන්‍ ය. උදා: එලඟිතෙල්, උඳු, වඳුරු මෑ 

කාම උත්තේජකර ද්‍රව්‍යය ලෙසට ශුක්‍ර ශ්‍රැතිකර ද්‍රව්‍ය ගණයක්ද හඳුන්වා දී ඇත. කස්තුරි, මකරධ්වජ, අක්‍රපට්ටා, වැනි ඖෂධ වර්ග රාශියක් ඒ අතර වේ.

රෝග නිදාන සලකාබලා පුද්ගල ප්‍රකෘතිය, රෝග රෝගී බලාබලත්වය අනුව ශුක්‍ර වල විෂමතා දුරු කිරීමටත්, සංසර්ගයේදී ඇතිවන ගැටලු අවම කරමින් පුරුෂ මදසරුබාවය ඇතුලු ලිංගික ගැටලු රාශියක් සඳහා ඉහත ඖෂධ වර්ග විවිධාකාරයෙන් සංස්කරණය කොට ආයුර්වේද චිකිත්සාවේදී ප්‍රයෝග කරනු ලැබේ.

එමෙන්ම තවමත් ප්‍රත්‍යක්ෂ ඖෂධ වර්ග හා චිකිත්සා ක්‍රමවේද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල අන්‍තර්ගත වන බැවින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපමාව යොමුවීමෙන් මදසරුබාවය තුරන් කොට සුරතල් දරුවෙකු වෙනුවෙන් ඔබ දකින සිහිනය සැබෑ කරගත හැකි වනු ඇත.

ආයුර්වේද වෛද්‍ය නාලිකා ජයතිලක

BAMS -Colombo University

2024 – Jan – 14

රක්ත ප්‍රදර රෝගයෙන් කාන්තා ඔබත් පීඩා විඳිනවාද?

බොහෝ කාන්තා රෝග කාන්තාවකගේ ඔසප් වීම හා සම්බන්ධව බැඳී පවතී.

‘රක්ත ප්‍රදර’ නොහොත් ‘අසෘක්ධර’ යනු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ස්ත්‍රී රෝගයන් අතුරින් ප්‍රධානතම රෝගී තත්ත්වයකි.

ප්‍රදර යනු බොහෝ සෙයින් වැගිරීම යන්නයි. අසෘක් යනු රුධිරය සඳහා පර්‍යාය නාමයකි. එනම් රක්ත ප්‍රදර/ අසෘක්ධර යනු ඔසප්වීමේදී රුධිරය බොහෝ සෙයින් පිටවීම හා සම්බන්ධ කාන්තා රෝගයකි.

මෙම රෝගය වැලඳී ඇති බව හඳුනා ගැනීමට පලමුව සාමාන්‍ය ඔසප් වීම පිලිබඳ අවබෝධයක් කාන්තා ඔබට තිබීම අනිවාර්‍යය වේ.

සාමාන්‍ය ඔසප්වීමක් දින 3-7 දක්වා ඕනෑම කාලයක් පවතින අතර පිටවන රුධිරය සඳහා දිනකට අවශ්‍ය සනීපාරක්ෂක තුවා ගණන 3-4කට සීමාවේ. (35ml ක් පමණ සමාන්‍ය රුධිර වහනයක්) 

නමුත් ප්‍රායෝගිකව ඔබට,

–  පැය 2න් 2ට නිතර නිතර සනීපාරක්ෂක තුවා මාරු කිරීමට සිදුවීම (90ml ක් පමණ රුධිර වහනය වීම හේතුවෙන්),

–  එදිනෙදා කටයුතුවලට පවා බාධාවක් වන අයුරින් රුධිර වහනය වීම,

–  සතියකට වඩා වැඩි කාලයක් ඔසප් වීම පැවතීම,

–  ඔසප් චක්‍රය අතර මැද දිනවලදී ද රුධිර වහනයන් පැවතීම,

–  අක්‍රමවත් ඔසප් චක්‍ර පැවතීමෙන් පසු දීර්ඝ රුධිර වහනයන් පැවතීම,

වැනි ලක්ෂණ පවතීනම් එය රක්තප්‍රදර රෝගී අවස්ථාවක් ලෙස දැක්විය හැක.

ඔසප් කාලයේදී හෝ නියමිත ඔසප් කාලයෙන් අතර කාලයක කිහිපවරක් හෝ අසාමාන්‍ය ලෙස රුධිරය පිටවීම රක්ත ප්‍රදර රෝගය ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. 

මාසික ඔසප් වීමේදී ඔසප් රුධිරය අධිකව පිටවීමෙන් ඇතැම් කාන්තාවන් අධිකව පීඩා විඳී. 

එනම්, ඔසප් රුධිරය අසාමාන්‍ය ලෙස ප්‍රමාණාත්මකව වැඩි වීම හෝ ඔසප් වීම අවසන් නොවී වැඩි දින ගණනක් දීර්ඝ ඔසප් වීම් පැවතීම හේතුවෙනි.

අතීතයේ දී දේශීය ව්‍යවහාරයේ ‘ලේ මාලය’, ‘කඳ ගැට ශුද්ධ වීම’ යනුවෙන්ද හඳුන්වා දී ඇත්තේ මෙම රෝගී තත්ත්වය බවට පිලිගැනේ.

බටහිර වෛද්‍ය විද්‍යාත්මකව දිර්ඝ කාලීන ඔසප් වීම Menorrhagia ලෙස හඳුන්වන අතර ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පිත හා වාත දෝෂය මෙන්ම රක්තය විකෘති වීම නිසා ඔසප් රුධිරයේ අතිප්‍රවෘත්තිය රක්තප්‍රදර රෝගය සඳහා හේතු වේ.

රෝග හේතු~

–  දිගු වේලාවක් නිරාහාරව සිටීම

–  විදාහී තීක්ෂ්ණ ආහාර, සැර අධික, තෙල් සහිත ආහාර, ඇඹුල් ආහාර වැඩිවශයෙන් හා නිතර නිතර ආහාරයට ගැනීම

–  අධික වෙහෙසවීම හා අතිව්‍යායාමය

–  මානසික ආතතිය

–  පාලනයකින් තොරව ලිංගික එක්වීම්වල නිරතවීම

මීට අමතරව, හෝර්මෝන අසමතුලිතතා, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු හේතුවෙන්, Endometriosis තත්තව නිසාවෙන්, ඇතැම් උපත්පාලන ක්‍රම හේතුවෙන් (Intra uterine contraceptive devices), ඇතැම් ගර්භණී මව්වරුන් හට ප්‍රසවයෙන් පසු පවතින රුධිර වහනය, වැදෑමහ කොටස් ගැබ තුල රැඳීම, ආර්තවාභාවයට ආසන්න අවධියේ සිදුවන හෝර්මෝන වෙනස්වීම්, ගර්භාෂගත පිළිකා, අර්බුද හා ගෙඩි, ඇතැම් ඖෂධ භාවිතය යන හේතූන් නිසාත් යෝනි මාර්ගයෙන් අධිකව රුධිරය පිටවීමේ තත්ත්වයක් හට ගැනීමට පුළුවන.

රෝග ලකෂණ

–  ඇගපත වේදනාව, මලානික බව,

–  නාභියට පහල ප්‍රදේශයේ ඉදිමුම

–  තදකර ඇල්ලීමේදී වේදනාව තීව්‍ර වීම

–  උදරය පුරවා දැමීම

–  ශරීරය දුබලවීම

–  ක්ලාන්තය

–  අසහනකාරී ස්වභාවය

රුධිරය අධිකව පිටවීම නිසා ශරීරය සුදුමැලි වීම, අප්‍රාණික බව, ක්ලාන්තය, ආහාර අරුචිය, කුසගිනි නොදැනීම, ශරීරය ඉදිමුම් ස්වභාවයක් ගැනීම වැනි පාණ්ඩු රෝග ලක්ෂණ පවා දක්නට ලැබිය හැක.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව රක්තප්‍රදර රෝගී තත්ත්වය සඳහා රක්තය හා පිත ශමන ප්‍රතිකාර පද්ධතියක් මුලිකව සිදුකරනු ලැබේ.

අධික රුධිර වහනය සඳහා රක්ත ස්තම්භන ඖෂධ හා ශීත ගුණ ආහාර හා විහරණ මූලික කොටගෙන චිකිත්සාව අභ්‍යන්තර හා බාහිරව සිදුකරනු ලැබේ.

කෂාය, අරිෂ්ඨ, ආසව චූර්ණ, ගුලි, කල්ක, එළකිරි වලින් නිර්මිත ඝෘත වර්ග හා ඇතැම් රස ඖෂධ වර්ග මෙන්ම ඉරමුසු, සැවැන්දරා, හාතාවාරිය, බැබිල, ගොකටු වැනි ඖෂධ ඒකීයව තම්බා පානය කිරීම යෝග්‍ය වේ.

එළකිරි, තැබිලි, පලාවර්ග, කොළකැඳ, සව් කැඳ, අලුකෙසෙල් අල ව්‍යාංජන රෝගයට ගුණදායක වන අතර උෂ්ණාධික ආහාර-මිරිස්, විනාකිරි, ඇඹුල් අධික ආහාර, බලමාළු, ජාඩි, බල කරවල, අන්නාසි, තක්කාලි, ඉස්සො, දැල්ලො, අච්චාරු, ලුණුදෙහි, චට්නි වර්ග හා අධික තෙල් යෙදූ තෙම්පරාදු කල ආහාර නුසුදුසු වේ.

රක්තප්‍රදර තත්ත්වය සඳහා ප්‍රධාන හේතූන් සලකා බලා ඒ සඳහා ප්‍රතිකාර යෙදීමත්, දෝෂ අසමතුලිතබව සලකා බලා සිරුරේ දෝෂ සම තත්තවයට ගෙන ඒමත්, රක්ත ස්ථම්බනය සිදුකර රුධිර වහනය අවුරා ශරීර බලකාරක, රක්ත වර්ධක ඖෂධ යොදමින් රක්ත වර්ධනය සිදු කිරීමත් විශේෂිත වේ.

පසු කාලීනව උපද්‍රව ලෙස රක්තහීනතාවය ඇතිවීමේ ප්‍රවණතාවයක් ද පවතින අතර මුල් අවස්ථාවේදීම වෛද්‍යවරයෙක් හමුවට ගොස් පරීක්ෂාවට ලක්කොට ඉක්මන් ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

විලුඹේ අධික වේදනා ගෙනදෙන ‘වාත කණ්ඨක’ රෝගය

උදෑසන අවදි වී ඇඳෙන් බැස ඇවිද යාමට පාද බිම තැබීමේදී විලුඹ හා යටිපතුල් ආශ්‍රිතව ඇතිවන අධික වේදනාව වර්තමානයේ මැදි වයසේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි.

දිගු වේලාවක් ඇවිදීමෙන් හෝ හිටගෙන සිටීමෙන් පසු විලුඹේ ඇතිවන අධික වේදනාව ඇතැම් විට ඔබත් අත්විඳිනවා විය හැක. 

ඇතැම් විට වයස් භේදයකින් තොරව මෙන්ම ස්ත්‍රී/පුරුෂ භේදයකින් තොරවද මෙම රෝගී තත්ත්වය දක්නට ලැබේ.

මුල් අවස්ථාවේදී උදෑසනට පමණක් වේදනාව දැනෙන අතර ටික දුරක් ඇවිදීමත් සමඟ වේදනාව කෙමන් පහව යනු ඇත. නමුත් කල්යත්ම රෝගය උත්සන්න විය හැකි බැවින්

මෙවැනි රෝග ලක්ෂණ පවතීනම් ඉක්මන් ප්‍රතිකාර වලට යොමුවීම සිදුකල යුතුය. 

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර නොකර සිටීමෙන් වේදනාව ක්‍රමයෙන් තීව්‍ර වන අතර, උදෑසනට පමණක් නොව දවස පුරාම වේදනාව පැවතීම හා විලුඹට පමණක් සීමා නොවී යටිපතුල් පුරා වේදනාව ව්‍යාප්‍ත වීම දක්වා මෙම රෝගයේ ලක්ෂණ වර්ධනය විය හැක.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සමතලා නොවූ බිමෙහි එනම් වල ගොඩැලි සහිත අක්‍රමවත් බිම් වල ඇවිදීමෙන් හා නිතර පය වෙහෙසවන ක්‍රියාවන්හි නිරත වීමෙන් වාත දෝෂය කෝප වී ගුල්ඵ සන්ධිය (Ankle joint) හා විලුඹ ප්‍රදේශය ආශ්‍රිතව අධික වේදනාවක් ගෙනදෙන රෝගී තත්ත්වයක් ලෙස ‘වාත කණ්ඨක’ රෝගය හැඳින්වේ.

නව්‍ය මතානුකූලව විලුඹ අස්ථිය පීඩාවට පත් වීමෙන් හා යටිපතුලේ අස්ථි කණ්ඩරා හානිවී නැවත සැකසීමේ දී එනම් හානි වූ පටක ප්‍රතිනිර්මාණයේදී අස්ථියේ අධිවර්ධනයක් ලෙසට Calcaneus bone ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වීම් සිදුවිය හැක.  

විලුඹ අස්ථියේ ඇතිවන bony spur/ osteophytes තත්ත්වයක් හටගැනීමෙන් අස්ථියේ නෙරීමක්/ ඝන වූ කටු ආකාර ඉලිප්පීමක් ඇතිවීම මෙම රෝග තත්ත්වයට හේතුවන බව පිළිගැනේ.

එබැවින් මෙම තත්ත්වය Calcaneal spur/ Heel spur ලෙසටද හැඳින්වේ.

තවද යටිපතුල හා විලුඹ ආශ්‍රිතව පවතින කණ්ඩරාවක් වන Plantar fascia හි ඇතිවන ප්‍රදාහ තත්ත්වයක් එනම් Plantar fasciitis අවස්ථාවේදී ද විලුඹ හා යටිපතුල් ආශ්‍රිත අධික වේදනාවක් ගෙනදෙන බැවින් එම රෝගී අවස්ථාවද වාත කණ්ඨක රෝග ලක්ෂණ හා සැසඳේ.

කෙසේ වෙතත් නව්‍ය වෛද්‍ය විද්‍යාත්මකව ඉහත රෝගී තත්ත්වයන් හා වාත කණ්ඨක රෝගය ස්ථිරවම සමපාත කල හැකි නොවුවද ඉහත සඳහන් රෝග ලක්ෂණ වාත කණ්ඨක චිකිත්සා ක්‍රමවේද මගින් පහසුවෙන් සුව කර ගැනීමේ හැකියාව පැවතීම විශේෂිත වේ.

බොහෝවිට මළල ක්‍රීඩකයන්, නර්තන ශිල්පීන්, සොල්දාදුවන් හා පාද වෙහෙසවන රැකියාවල නිරතවන්නන් හට මෙම රෝග තත්තවය පහසුවෙන් හටගැනීමේ නැඹුරුතාවක් පවතී.

මීට අමතරව ඇතැම්විට විලුඹ අස්ථියේ ව්‍යුහාත්මක වෙනසක් හේතුවෙන් (flat feet/high arches) පාදයේ යටිපතුල මත ඇතිකරන පීඩනය නිසාත් ඉහත රෝග ලක්ෂණ ඇතිවිය හැක.

එමෙන්ම විලුඹ හා වළළුකර සන්ධි ආශ්‍රිතව ඇතිවන ආමවාත, සන්ධිගත වාත, ගම්භීර වාතරක්ත යන රෝග අවස්ථාවලදීත් ඉහත සඳහන් රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කල හැකි වුවද, X-කිරණ ඡායාරූප පරීක්ෂණයක් මගින් වාත කණ්ඨක රෝග අවස්ථාවක් ලෙසට පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව පවතී.

රෝගය හට ගැනීමට හේතු:-

• හදිසි අනතුරු හේතුවෙන් යටිපතුල් හා විලුඹ ආශ්‍රිතව සිදුවන අනතුරු/ පෙර සිදු වූ අස්ථි බිඳී යාම්

• සමතලා නොවූ අක්‍රමවත් පොළවේ ඇවිදීම

• අධික වේලාවක් ඇවිදීම/ වැඩි වේලාවක් හිටගෙන සිටීම

• අධික තරබාරුව

• වාත කුපිත ආහාර නිතර ගැනීම (වම්බටු, මෑකරල්, අල, මඤ්ඤොක්කා, කොස්, මුංඇට)

• තද පෘෂ්ඨ සහිත සෙරෙප්පු, අඩි උස සපත්තු නිතර පැළඳීම හා දිනයේ වැඩිවේලාවක් ඒවා පැළඳ ඇවිදීම/ සිටගෙන සිටීම

වාත කණ්ඨක රෝගය සඳහා ආයුර්වේද ප්‍රතිකාර:-

ස්ථානිකව බාහිර ප්‍රතිකාර සිදු කරනු ලබන අතර අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස කෂාය, ක්වාත, ගුලි, කල්ක, චූර්ණ ලබා දීම සිදු කරයි.

බාහිර ප්‍රතිකාර ලෙස- 

ගුල්ඵ සන්ධි ආශ්‍රිතව ශිරා විද රුධිරය බැහැර කිරීම (රක්ත මෝක්ෂණය)

අග්නි කර්ම (ගින්නෙන් රත් කල ශලාකාවන්ගෙන් තැවීම)

අශ්මග්න ස්වේද (රත් කල ගල් මගින් තැවීම)

තෙල් ගැල්වීම හා රූක්ෂ තැවිලි මගින් තැවීම

ඖෂධීය ද්‍රවයක පාද බහා සිටීම (ද්‍රව ස්වේද)

ඖෂධීය වාෂ්ප ඇල්ලීම

මැල්ලුම්/පත්තු බැඳීම

රෝගය සුව කරගැනීමට මෙන්ම රෝගය ඇතිවීම වළක්වා ගැනීමට:-

• සිරුරේ බර පාලනය කිරීම

• වල ගොඩැලි සහිත බිම්වල ඇවිදීමේදී පාවහන් පැළඳීම

• පාද වලට නිසි විවේකය ලබාදීම 

• සුමට පෘෂ්ඨ සහිත යටිපතුල් පීඩා නොකරන සුවපහසු පාවහන් පැළඳීම

• අඩි උස පාවහන් පැළඳීම අවම කිරීම

• ඖෂධීය තෙල් අභ්‍යංග කිරීම

• පාද සම්භාහන සත්කාර සිදු කිරීම

• පාදයේ ගුල්ඵ සන්ධි ආශ්‍රිතව ව්‍යායාම සිදුකිරීම

ඉහත කී රෝග ලක්ෂණ ඔබ සතුවේ නම් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙත ගොස් නොපමාව ප්‍රතිකාර ලබා ගැනීම මඟින් වාත කණ්ඨක රෝගී තත්ත්වය සඳහා ඉක්මන් සුවය ලබා ගත හැක.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)