Api-Slide-53-1
Api-Slide-53-2
previous arrow
next arrow

අළු රදනකයා 

Common wolf snake 

අළු රදනකයා 

Lycodon aulicus (Linnaeus, 1758)

Forma typica morph

ශ්‍රී ලංකාවේ හමුවන රදනකයන් 6 අතුරින් දිවයින පුරා පුළුල් ව්‍යාප්තියක් සහිත රදනක විශේෂයක් ලෙස අළු රදනකයා හැඳින්විය හැකි අතර මොවුන් උග්‍ර විෂ සහිත කරවැලුන්ගේ වර්ණ රටා අනුකරණය / mimicking කරන්නාවූ කිසිම විෂක් රහිත නිර්විෂ සර්ප විශේෂයකි. මොවුන් රූපීය ලක්ෂණ ඔස්සේ කරවැලුන්ට සමාන වූවත් අනන්‍ය වූ දේහ ලක්ෂණ කිහිපයකින් සාමාන්‍ය අයෙකුට වූවද පහසුවෙන් වෙන් කොට හඳුනාගැනීමට හැකියාව පවතී..

* කැපී පෙනෙන පෙයාර්ස් හැඩැති හිස

බොහෝවිට උග්‍ර විෂ සහිත කරවැලුන්ගේ පැහැදිලි ගෙලක් හඳුනාගැනීමට අපහසු වන නමුත් අළු රදනකයාගේ හිස පෙයාර්ස් ගෙඩියක හැඩයෙන් පැහැදිලිව ගෙලෙන් වෙන් වී දිස්වෙනු දැකගත හැකි වේ.

* දේහ කොරළ වල ස්වභාවය

අළු රදනකයාගේ සහ කරවැලුන්ගේ පෘෂ්ඨීය කොරල සුමට වූවත් කරවැලුන්ගේ පෘෂ්ඨීය කොරළ වල ඇති ඉතාම විශේෂ ලක්ෂණය වන්නේ කෂේ කොරළ වල ස්වභාවය ශඩාස්‍රාකාර වීමයි. බැලූ බැල්මට කරවැලෙකුගේ කොඳු නාරටිය ඔස්සේ අටපට්ටම් හැඩැති අනෙක් දේහ කොරළ වලට වඩා විශාල වූ කැපීපෙනෙන කොරළ පේලියක් ඉතා හොඳින් දැකගත හැකි වේ.

එමෙන්ම ඔබ සර්පයන් පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කරන්නෙක් නම් කරවැලුන්ගේ සහ රදනකයන්ගේ මධ්‍ය දේහයේ හරස් කොරල ප්‍රමාණය සහ කරවැලුන්ගේ මධ්‍ය දේහයේ හරස් කොරළ ප්‍රමාණයෙහි පවතින්නාවූ වෙනස අනුවද මොවුන් වෙන් කොට හඳුනාගැනීමට හැකියාව පවතී.

අළු රදනකයන්ගේ පෞච්ච උදරීය කොරළ / subcaudal scales බෙදුනු ස්වභාවයක් ගන්නා අතර කරවැලුන්ගේ නොබෙදුණු පෞච්ච උදරීය කොරළ වින්‍යාසයක් දැකගත හැකි වේ.

* දේහයේ හැඩය

අළු රදනකයන්ගේ දේහයේ හැඩය කරවැලුන්ගේ තරම් දිගු නොවන අතරම සිලින්ඩරාකාර දේහය උදරීයව තරමක් පළල් වී  දේහයේ අපර කොටසට යන විටදී ක්‍රමයෙන් සිහින්ව යන නමුත් කරවැලුන්ගේ දේහය හිසේ සිට දේහයේ අපර කොටස දක්වාම ඒකාරී සිලින්ඩරාකාර බවකින් යුක්ත වී වල්ගය කොටසේදී පමණක් තරමක් සිහින් ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි.

වර්ණය

අළු රදනකයන්ගේ වර්ණ ප්‍රභේද කිහිපයක්ම හඳුනාගත හැක.

• Forma typica morph – මෙම වර්ණ ප්‍රභේදයේ හරස් පටි අපැහැදිලි දාරයකින් සීමා වන අතර දේහයේ හරස් පටි 35 ක් හෝ ඊට වඩා දැකගත  හැකි වේ. උදරීය පැත්තට ආසන්න වන විටදී මෙම හරස් පටි දෙකට බෙදී ත්‍රිකෝණාකාර ලෙස දක්නට ලැබෙන අතර පෙයාර්ස් හැඩැති හිස වෙන් වන ගෙල ප්‍රදේශයේ පැහැදිලි සුදු පැහැති කොලරයක් වැනි පටියක් දක්නට ලැබේ.

• Oligozonatus morph – මෙම වර්ණ ප්‍රභේධය ඉහළ කඳුකර ප්‍රදේශ වල සුලභ බව දක්වා තිබුනද සබරගමුව පලාත තුලද යම් ව්‍යාප්තියක් සහිත බව මගේ මතයයි. මෙම වර්ණ ප්‍රභේධයේ සුදු පැහැති හරස් පටි කිහිපයක් පමණක් පවතින අතර හරස් පටි වල පැහැදිලි දාරයක් සහිත වේ.

• Unicolour morph – මෙම වර්ණ ප්‍රභේදයේ සුදු පැහැති හරස් පටි කිසිවක් නොපිහිටන අතර පෘෂ්ඨීයව ඒකාකාර පැහැයක් සහිත වේ. මොවුන්ගේ තොල් සුදු පැහැති වන බව දක්වා තිබුණද තොල් වල පැහැයද දේහයේ පැහැයට සමාන සතුන් ලංකාවේ මෙන්ම ඉන්දියාවේද වාර්තා වී ඇත.

හැසිරීම් රටා 

මොවුන් ප්‍රධාන වශයෙන් නිශාචර සර්පයන් වූවද දිවා කාලයේද සංචරණය කරන අවස්ථා හමුවේ. භෞමික සර්ප විශේෂයක් වූවද ඉතා හොඳින් ගස් මත නැඟීමේ හැකියාව පවතී.  ප්‍රධාන ආහාරය ලෙස හූනන් දැක්විය හැක. මීට අමතරව කටුස්සන් කුඩා මීයන් වැනි සතුන්ද ආහාර ලෙස ගනී. වෙනත් කුඩා සර්ප විශේෂද ආහාර වශයෙන් ගන්නා අවස්ථා ද වාර්තා වී ඇත.

බොහෝවිට මිනිස් ජනාවාස ආශ්‍රිතව ව්‍යාප්තිය ඉහල වීමට හේතුව වන්නේ මොවුන්ගේ ගොදුරු නිවෙස් ආශ්‍රිතව සුලභ වීම නිසාවෙන් වන අතරම නිවෙස් වල ඇති කපරාරු නොකල රළු පෘෂ්ඨ ඔස්සේ ඉතා හොඳින් ඉහළට නැඟීමේ හැකියාව මොවුන්ට පවතී.

නිර්විෂ සර්පයෙක් වූවද බොහෝ අවස්ථා වලදී මොවුන් හපකෑමට පෙළඹෙන සර්ප විශේෂයක් වන නිසාවෙන් නිදහස් අතින් මොවුන් හැසිරවීමේදී කල්පනාකාරී විය යුත්තේ මොවුන්ගේ පවතින රදනක දත් වලින් තියුණු ලෙස තුවාලයක් සිදු වන ලෙස හපාකෑමට හැකියාව සහිත හෙයින් බව මතක තබාගත යුතු වේ.

මොවුන්ගේ ගැහැණු සතුන් වරකට බිත්තර 3 – 11 ක් පමණ [ශ්‍රීලංකාවේ සර්පයන් ආචාර්ය රුචිර සෝමවීර] දමන බව වාර්තා වේ. මොවුන් බියට පත්වූ අවස්ථා වලදී වේගවත්ව පලා යාමට උත්සාහ කලද එසේ නොහැකි අවස්ථා වලදී ගුලිවී හිස සඟවාගැනීමට උත්සාහ දරයි. 

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

Sign up for our newsletter