Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

කුඩම්මා

ආදරණීය ස්නේහා, 

ලිපිය ආමන්ත්‍රණය කර ඇත්තේ එලෙසිනි. මම ඒ අකුරු දෙස බලාගෙන උන්නේ හිස් හැඟීමෙනි. අවුරුදු විස්සක් පුරාවට මගේ හිතේ කිසිදු පැහැදීමක් නොවූ ඒ ගැහැණිය ජීවිතය නැමති රඟමඩලෙන් අද පාන්දර සමුගත්තාය. ඒ ගැන මගේ හිතේ විශේෂ දුකක් නොවුනත් කාලයක් තිස්සේ වූ බරක් ගිලිහීගියා මෙන් දැනුනේ ඇයගේ මරණය මට ආරංචි වූ මොහොතේදීය.

ලිපිය යලිත් මම දෙකට නැවූයෙමි.හිතට දුකක් නොදැනෙන්නේ ගෙවුනු කාලය පුරාවටම මා ඇයට වෛර කල නිසාදෝ යැයි නොදනිමි. මොහොතකට මම මා ඉදිරියෙන් උන් අප්පච්චී දෙස බැලුවෙමි. පෙරේදා වන තුරුත් විනෝදකාමී ජීවිතයක් ගත කල ඔහු අද වෙද්දී මලානිකය. වියපත් වුනු දෑස් වල ඇත්තේ පුදුමාකාර කණගාටුවකි. අප්පච්චී මා දෙස බලාහිද යලිත් බිම බලාගත්තේය. ඊටත් විනාඩි කීපයකට අනතුරුව කාමරයට ගියේ රනුක මා වෙත ආ බැවිනි. 

‘ඇක්සිඩන්ට් එකෙන් සෑහෙන්න අනූ අම්මට ඩැමේජ් වෙලා. හෙටම බොඩි එක වලදාන්න වෙයි බබා.

‘ඒක හොඳයි. මිනී ගෙවල් අස්සේ තියා ගත්තා කියලා පණ එන්නෙ නෑනේ..

මම හිතා මතා නොකිව්වත් ඒ වචන මගේ මුවෙන් එලියට පැන්නේ මටත් නොදැනීය. පැවසූ යමක් වැරදුනු බව තේරුනු නිසාම මම රනුකගේ මුහුණ දෙස බැලුවෙමි. ඒ දෑස් වල පමනක් නොව මුලු මුහුණ පුරාම වුයේ කෝපයකි.. එතනින් එහාට පිළිකුලකි. 

‘පාරේ ඉන්න බල්ලට පූසාට පවා කන්න දෙන ඔයා ඇයි අනූ අම්මට මෙහෙම සලකන්නේ ගයාත්‍රි? ඒ ගෑනි ඔයාට මම දන්න තරමින් හොඳක් මිසක් නරකක් කලේ නෑ.. 

‘ඔයා නොදන්න මඟුල් කතා නොකර ඉන්නවද රනුක.. පින් සිද්ධ වෙයි.. පවුල් කඩලා පවුල් හදපු වල් ගෑනු එක්ක මගේ ඇයි හොඳයියක් නෑ. උන් එක්ක සංසාරේ පුරාවටම මම වෛර බදිනවා. එච්චරයි… 

හිතේ කෝපය නිසාම මගේ දෑස් වලින් නොකඩවා කඳුලු ගලන්නට විය. ගැඹුරු හුස්මක් හෙලූ රනුක මගේ ළඟින් ගියේ හූල්ලමින්. මගේ මුලු හිතම මූසල නිහැඬියාවකින් පිරී තිබුනත් ගමේ මිනිස්සු හරි හරියට අනූ අම්මාගේ මළඟමට සූදානම් විය. ඒ වෙනුවෙන් කල යුතු වැඩ රාජකාරී බොහෝමයක් තිබුනත් මගේ හිතේ වූ ඇල්මැරුණු සොභාවය මා කිසිවක් නොකරන තැනට පත්කර තිබුනි. 

‘ගයාත්‍රි, මේ ඇවිත් ඉන්න මිනිස්සුන්ට තේ අල්ලන්න දුවේ… 

මගේ කල්පනා ලෝකය බිද දමමින් ලොකු අම්මා කියද්දී මගේ කෝපය දෙඟුණ වීය. 

‘මට බෑ.. මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න අනේ.. 

‘ගයාත්‍රි, මේ උඹේ කුඩම්මා නෙවෙයි.. මේ උඹේ පුංචි අම්මා. උඹෙ අම්මාගේ නංගි.. මගේ චූටි නංගි.. 

‘ඉතින් මට මොකද? මොකී වුනත් ඔය ගෑනි නිසා.. 

‘ගයාත්‍රි උඹේ කන පැලෙන්න මම ගහනවා තව එක වචනයක් හරි අනුලාට විරුද්ධව කිව්වොත්. අනික උඹ නොදන්න දේවල් කතා නොකර හිටපන් මෙතන මිනිස්සු හිනස්සන්නෙ නැතුව.. 

මටත් ගස්සාගෙන ලොකු අම්මා එතනින් ගියේ තවත් මොනවාදෝ කියා මට බනිමිනි. ලොකු අම්මා රිදවීමෙන් දැනුනු සතුට මම යටිහිතින් විදිමින් මම මිදුලේ ඔහේ ඇවිද්දෙමි. 

‘අනුලා ඉස්කෝලේ හාමිනේ කීදෙනෙක්ගෙ නම් ඇස් පෑදුවද? අනේ අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න තිබුනු උත්තමාවියක්… 

‘හොඳ මිනිස්සු ඉක්මනට ඒ ලෝකෙට අරගන්නවා සේදිරිස්.පැන්ශන් ගිහින් දෙයියනේ මාස කීයද? ඉස්කෝලේ අන්තිම දවසේ අපේ කෙලීට කිව්වලු දැන් ඉතින් ගයාත්‍රි බේබිගේ දරුවෙක් නලවගෙන වීරසේකර මහත්තයත් බලාගෙන ඉන්නවා කියලා… 

ඒ ගමේ ගැහැණුන්ගේ හා පිරිමින්ගේ කතාය. මට නරක අනුලම්මා මුළු ගමටම හොඳය. අප්පච්චීට පමනක් නොව නෑදෑ සනුහරේටම අනුලම්මා තරම් කෙනෙක් නැතිය. මම එතැනින් නික්ම ආවේ තවත් අනුලම්මාගේ ගුණ ඇසීමට තරම් හිතේ ඉඩක් නොවුනු බැවිනි. 

ඉස්තෝප්පුවේ තිබුනු අනුලම්මාගේ රූපයට අප්පච්චී සුදුමල් මාලයක් දානවා මම බලාගෙන උන්නෙමි. දර්ශන හිතට දුකක් එක් කලත් අප්පච්චී ඇය කැන්දාගෙන ආ දිනය සිහිවෙද්දී සුපුරුදු කෝපය මගේ හිතට යලිත් ඇතුලු වූයේ අනවසරයෙනි. 

අනුලම්මා; ඇය මට කුඩම්මා වන්නට පෙර පුංචි අම්මා විය. එනම් අත්තම්මාගේ බඩවැල කඩාගෙන ආ ගැහැණු දරුවන් තිදෙනාගේ බාල දුවය. මුලින් මාලා ලොකු අම්මා. අනතුරුව මගේ අම්මාය. ඊටත් පසුව අනුලා පුංචි අම්මාය. 

මට මතක කුඩා කාලයේ සිට අම්මාත් අප්පච්චීත් අතර කිසිදු විරසකයක් නොවීය. එහෙත් දිනක් අම්මා නිදි ඇඳේදීම මිය ගොස් තිබුනේ මගේ පුංචි හිතට කෝටියක් ප්‍රශ්න ඇති කරමිනි. අදටත් අම්මාගේ මරණයට හේතු මම නොදන්නා අතර ඒ ගැන කිසිවෙක් මා සමඟ කතා කරන්නේද නැත. අම්මා මිය ගොස් වසරක් ගෙවෙද්දී අත්තම්මලා සිය කැමත්තෙන්ම අනුලම්මා අප්පච්චීට බන්දා දුන්නාය.

අම්මා අහිමි වූ මට අප්පච්චීද අහිමි වූ හැඟීම දැනෙන්නට වූයේ වැඩි කලක් නොගොස්ය.ඒ නිසාම අනුලම්මා මට ලං වන සෑම මොහොතකදීම මම ඇයව නොසලකා හැරියෙමි. ඇයට හිතුවක්කාර වූයෙමි.මටත් නොපෙනෙන්නට හඩන ඇය පහුවදාටත් උදෑසනින්ම අවදි වී පාසල් යාමට මා සූදානම් කලාය. ඇය අම්මාගේ පවුලේ සැමට වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම මවක් වූවත් මට ඇයව පෙනුනේ අප්පච්චී මගෙන් උදුර ගන්නට හදන මායාකාරියක මෙනි. 

මම ටිකෙන් ටික වයසින් මෝරන්නට වුනෙමි. අම්මාට අප්පච්චිට වඩා මට ලැබුනේ අනුලම්මාගේ හැඩ රුව වෙද්දී මම මගේ රූපයට වෛරකරන්නට වූයෙමි. 

‘මගේ අම්මා මැරුනේ උඹ නිසා. උඹ මගේ අප්පච්චි දැලේ දාගත්ත දුක හින්දා අම්මා නිදිපෙති බීලා මැරුණා… 

අනුලාම්මාත් මාත් නිවසේ තනිවුනු හැම මොහොතකදීම කුමක් හෝ දෙයකට ඈත් සමඟ අඬදඹර වන මම එලෙස වාග් ප්‍රහාර එල්ල කලෙමි. 

‘අනේ මගේ පැටියෝ.. ඔහොම මට කතා කරන්න එපා මැණික.. නොතේරුම් කමට මට බැන්නට ඇත්ත දැනගත්ත දවසට ඔයාට දුක හිතෙයි පුතේ.. 

‘මොකද්ද ඇත්ත? මීට වඩා ඇත්තක් මොකද්ද? මගේ ඇස් දෙකට පේන්න එන්න එපා…. 

හැම හිත් රිදවීමක්ම අවසානයේ අනුලම්මා හඩද්දී මගේ හිත සතුටින් ඉහවහා යන්නට විය. අනුලම්මා මා ගිය පාසලේම සේවය කල නිසා මම නඟරයේ බාලිකා පාසලට ඇතුලත් වූයෙමි. නිතර ගමට එන්නට අකමැති නිසාම මම පාසලේ නේවාසිකාගාරයේ නතර වූයෙමි. එහෙත් අනුලම්මා එතැනින් නොනැවතුනි. ඇය සතියකට සෑහෙන්න කෑම බීම හදාගෙන මා බලන්නට ආවේ අප්පච්චී සමගිනි. අනුලම්මාට මොනතරම් කෙනෙහෙලි කම් කලත් ඒවා අප්පච්චී ඉදිරියේ කරන්නට මා බිය වූ නිසාම නැති සතුටක් මවාපාමින් ඒ කෑම බීම දෑතට ගත් මම ඒවා නේවාසිකාගාරයේ මගේ යෙහෙළියන්ට දුන්නෙමි. 

‘මේ නම් උඹේ කුඩම්මා නෙවෙයි බං.. ගිය ආත්මේ අම්මා.. 

මගේ යෙහෙලියන් අනුලම්මාගේ කෑම රසවින්දේ එලෙසිනි. පාසල් දිවියට සමුදුන් මම විශ්ව විද්‍යාලයට ගියෙමි. එතනදී මට රනුක හමුවුනු අතර මා ඔහුව අප්පච්චීට හදුන්වාදුන්නේ අපි දෙන්නාට ආශිර්වාද ලබාගැනීමටය. මුලදී මටත් රනුකටත් අප්පච්චී අකමැති වූයේ රනුක නාඟරික පරිසරයක හැදීවැඩුනු නිසාවෙනි. එහෙත් ලොකු අම්මාගේ දියණිය වූ දවිත්‍රී කී පරිදි අවසානයට මටත් රනුකටත් කැමත්ත ලබාදෙන්නට මහන්සි වී ඇත්තේ අනුලම්මාය. දවිත්‍රීගේ කතාව මම සම්පූර්ණයෙන් විශ්වාස නොකලත් අපි දෙදෙනාට අප්පච්චීගේ ආශිර්වාදය ලැබිම ගැන මම උන්නේ පුදුමාකාර සතුටකිනි. විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් වූ විගස මාත් රනුකත් විවාහ වුනු අතර ඔහු අනුලම්මාට පුදුමාකාර ලෙස ලෙන්ගතු වීම ගැන මගේ හිතේ වූයේ කේන්තියකි. 

‘වල් ගෑනි.. තමුසෙවත් දැලේ දාගන්න හදන්නේ. පරිස්සමින්.. 

‘මගේ අම්මෝ ගයාත්‍රී.. මට ආයෙත් ඇහෙන්න ඔය කතාව කියන්න එපා.. ඇත්තටම මට ඔයාව එපාම වෙයි.. චික් ගයාත්‍රී ඔයා කොහොමද අනුලම්මාට ඔහොම වෙනස්කම් කරන්නේ? අප්පච්චි බැන්ද එක අමතක කරන්න.. එතනින් එහාට ඔයාට තියෙන්නෙත් එයාගෙම ලේ.. කොහොමද ගයාත්‍රි ඔයා මෙහෙම හැසිරෙන්නේ?

එදා රෑ මම ඔහුට පිළිතුරු නොදුන්නෙමි. සැබැවින්ම ඔහුට මා එපාවේ යැයි සිතා බිය වුනු නිසාම මම යලිත් අනුලම්මා ගැන කතා කරද්දී ප්‍රවේසම් වූයෙමි. 

‘අනුලම්මා පෙන්ශන් ගියා පුතේ.. ඒ ගෑණි හරි ආසාවෙන් ඉන්නේ ඔයාගෙ දරුවෙක් නළවන්න…

මීට දෙසතියකට කලින් අප්පච්චී පවසද්දී මා උන්නේ කෝපයෙනි. කිසිවක් නොකියා මම අප්පච්චී සමග කතාව වෙනත් අතකට හැරවූයේ අනුලම්මාගේ හෙවනැල්ලවත් මගේ දරුවන්ට වැටෙන්නට ඉඩ නොදෙන බවට මම මටම පොරොන්දු වෙමිනි. 

එකී සිදුවීමෙන් අනතුරුව පෙරදා රාත්‍රියේ බෝධිපූජාවකට අප්පච්චී සමඟ සහභාගී වී යලිත් නිවසට එද්දී අනුලම්මාත් අප්පච්චීත් සිටි කාර් රථය අනතුරට ලක්වී ඇත. අනතුරින් අප්පච්චීට සීරීමක් වත් නොවූ අතර අභ්‍යන්තර ලේ ගැලීමකින් අනුලම්මා රෝහලේදීම මියගිය වග රොහල් කාර්‍යමණ්ඩලය තහවුරු කලේ අද පාන්දරය. 

‘ඔයා හරි වාසනාවන්තයි මිස් අනුලා වගේ අම්මෙක් ලබන්න. මම අද මේ විදියට ස්තෙතස්කෝප් එක දාගෙන ඉන්නෙ මිස් නිසා’ 

මගේ වයසේම වෛද්‍යවරියක් මගේ අතින් අල්ලාගෙන පැවසුවේ කඳුලු පිරීගිය දෙනෙතිනි. මම ඒ දෙනෙත් මඟහැර බිම බලාගත්තේ කියන්නට කිසවක් නොවූයෙනි. 

‘පුතේ… වැඩක්ද?

අප්පච්චීගේ හඩින් මම යලිත් වර්තමානයට පිවිසුනෙමි. 

‘නෑ අප්පච්චී… කියන්න… 

‘ එන්න ටිකක් මම එක්ක… 

අප්පච්චී මගේ අතින් අල්ලාගෙනම ඔහුගේ කාමරයට රැගෙන ගියේය. කිසිවක් සිතාගත් නොහැකිව මම ඔහු සමඟ ගියෙමි.

‘මෙහෙන් වාඩි වෙන්න…

අප්පච්චීගේ ඇඳේ කොනකින් මම වාඩි වෙද්දී ඔහු තම අල්මාරිය වෙත ගොස් කුමක්දෝ හොයන්නට විය. විනාඩි ගානක ඇවෑමෙන් අනතුරුව ඔහු දෙකට නැවූ කඩදාසියක් රැගෙන මවෙත අවේය. 

‘පුතා මේක කියවන්න.. 

අප්පච්චී ඒ කඩදාසිය මගේ අතට දුන්නේ එසේ කියමිනි. පරණ එක්සයිස් පොතක කොලයකින් ඉරාගත් එම කඩදාසිය අතට ගත් මම අප්පච්චී බලා සිටියදීම දිග හැරියෙමි. එය වචන කීපයක සටහනකි. කියවන්නට ගත වූයේ තත්පරයකි… 

‘ සිරිල්, හෙට ජගත් රෑ වැඩ. මම ගයාත්‍රිව අම්මලාගෙ ගෙදර යවන්නම්.. මාව එක්ක යන්න එන්න. මට ඔයා එක්ක අලුත් ජීවිතයක් පටන්ගන්න ඕන. 

මීට, ඔයාගේ මාලා…. 

ලිපිය කියවා මම තුෂ්නිම්භූතව අප්පච්චී දෙස බලාගෙන උන්නෙමි. අම්මාගේ නම මාලා වන අතර අප්පච්චී ජගත් වීරසේකර නම් විය. ඔහු ව්ෘතීයෙන් දුම්රිය රියැදුරෙකු වූ අතර මාසයකට කීපවතාවක් රාත්‍රී සේවයේ නිරත වූයේය. ලිපියේ සදහන් වූ අනෙක් නම මගේ නම වූ අතර සිරිල් යන අම්මාගේ කවුරුන්දැයි යන ප්‍රශ්නය මගේ හිත පුරා නැගෙන්නට විය.

‘ඔය ලියුම මට අහුවුනේ අම්මාගේ ඩයරිය අස්සේ තිබිලා. එයා එදා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. සිරිල් කියන්නේ අම්මා එක්ක එකට ඉස්කෝලෙ වැඩ කරපු ස‍ර් කෙනෙක්… ඔය ලියුම අහුවුනු ලැජ්ජාවට තමයි අම්මා නිදිපෙති බීලා මැරුනේ… 

මගේ ලෝකය එක තැන කරකැවෙන්නට විය.. අප්පච්චී කියන කිසිවක් අසන්නට තරම් මානසික මට්ටමක මා නොවීය. 

‘ ඒ දවස් වල අනුලා බදින්න උන්නේ දොස්තර මහත්තයෙක්.. ඒ කසාදේ නවත්තලා අනුලා මාව බැන්දේ උඹලෑ අත්තම්මගේ ඉල්ලීමට. උඹ උස්මහත් වෙද්දී උඹව බලන්න කෙනෙක් නැති නිසා..මාව බැදලා ගෙදර ආව අනුලා උඹ හින්දම තව දරුවෙක් ගැන හිතුවෙ නෑ පුතේ. උඹ බුද්ධාගමට එක සැරයක් රචනාවක් ලියලා තිබුනා මහාප්‍රජාපතී ගෝතමී දේවිය ගැන. ඒකේ හරි වර්ණනාව තිබුනා එතුමිය ගැන. ඒත් ගෙදර උන්නු ප්‍රජාපතී දේවියට උඹ සැලකුවේ පාරේ ඉන්න බැල්ලියෙකුට වගේ… 

ඉකිගසා අඩමින් අප්පච්චී කියද්දී මම කන්දෙක දෑතින්ම වසා ගත්තෙමි.

‘ඇයි මට මේවා නොකිව්වේ අප්පච්චී?

‘අනුලම තමයි කිව්වේ අක්කා ගැන උඹත් එක්ක කිව්වොත් අම්මට වෛර බදීවි කියලා. මැරුණු කෙනෙක්ට වෛර බදින එක පාපයක් හැටියටයි අනුලා දැක්කේ.. උඹේ අම්මා අහන්න ඕනි කුණු බැනුම් ඔක්කොම අනුලා ඇහුවේ උඹට වගේම උඹේ අම්මටත් තිබුනු ආදරේට. අනික පුතේ…. 

එක හුස්මට කියාගෙන ගොස් අප්පච්චී මොහොතකට කතාව නැවැත්තූවේය. මම ඉගි ගසා හඬමින් ඔහු දෙස බලාගෙන උන්නෙමි. 

‘ඒ ගෑණි ජීවත්ව ඉද්දි මෙහෙම කතාවක් කිව්වා නම් උඹ අහයිද?

මට තව දුරටත් එතැනට වී හිදින්නට බැරි ගතියක් විය. මම එහෙමම වත්තපහළට දිව ආවේ නිවසේ සෑම තැනකම අනුලම්මාගේ රූපය මට මැවි මැවී පෙනෙන්නට වූ බැවිනි. හිතේ හැටියට කොස්ගහ මුලට වී හැඩූ මම අතේ ගුලි වී තිබුනු ලියුම දිඟහැරියෙමි. මේ ඇය මා විවාහ වූ දින රනුකගේ අතට දුන් ලිපියකි. 

‘ආදරණීය ගයාත්‍රී, 

අද ඔයාගේ ජීවිතේ ලස්සනම දවස. මම හරි ආසාවෙන් ඔයා දිහා බලාගෙන උන්නේ. ඔයාට වගේ මාලහතක් දාන්න මම පිං නොකලත් මගේ රූපය මම අද ඔයාගෙන් දැක්කා. පුතේ මේ ලියුම ඔයාට ලැබෙන්නෙ කවදාහරි මම මැරුණු දවසකට. එදාට අප්පච්චි ඔයා නොදන්න කතාවක් කියයි. මගේ පුතා කවදාවත් අම්මට වෛර කරන්න එපා. අම්මා නොකරපු යුතුකම් ඔක්කොම මම මගේ පුතාට ඉෂ්ඨ කරලා තියෙනවා. මගේ රත්තරන් බඩු හැම එකක්ම වගේම ඔයාගෙ කිරිඅත්තා මට දුන්නු හැම ඉඩමක්ම මම පවරලා තියෙන්නෙ ඔයාගෙ නමට. ඒ හැම ඔප්පුවක්ම අප්පච්චි ඔයාගෙ අතට දේවි.. මගේ අතින් ඔයාට වරදක් වුනා නම් මට සමාවෙන්න. මම කවදාවත් පවුල් කඩපු ගෑණියෙක් නෙවෙයි පුතේ.. 

මීට, 

ඔයාගෙම පුංචි අම්මා, 

අනුලා… 

මගේ ලෝකය මා වටාම කරකැවෙන්නට විය. ගෙවුනු අවුරුදු විසි ගාන පුරාවටම මා උන්නේ මොන තරම් මුලාවකදැයි මගේ හිත මගෙන් අසන්නට විය. මට මම ගැනම පිළිකුළක් දැනෙන්නට විය. සිදු වූ සියල්ලම ගැන පසුතැවුනත් දැන් මට අනුලම්මා ලැබෙන්නේ නැත. මම මොනතරම් පව්කාරියකදැයි මගේ හිත මටම කෑගසා බනින්නට විය. 

මම යලිත් ඒ අකුරු දෙස බැලුවෙමි. වෙනදා නොදුටු අහිංසක, අව්‍යාජ බවක් ඒ අකුරු තුල සැඟවී තිබුනි. මම ඒ ලිපිය මගේ පපුවටම තදකරගත්තෙමි. 

‘මට සමාවෙන්න පුංචි අම්මේ.. හැම ආත්මෙම මගේ පුංචි අම්මා නෙවෙයි මගේ අම්මාම වෙලා ඉපදෙන්න!

මම කෑගසා හඩමින් කීවෙමි.


තක්ෂිලා ඒකනායක.

Sign up for our newsletter