Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

නිරෝගී දරු පරපුරක් උදෙසා රත කල්කයේ ආයුර්වේදීය වටිනාකම

රටක යහපත් වූ අනාගතය තීරණය කරනුයේ නිරෝගී දරු පරම්පරාවක් විසිනි. රටක් භෞතික තත්වයන්ගෙන් කෙතරම් සශ්‍රීක වුවත්, සම්පත් නිවැරදිව කළමණාකාරණය තුළින් අනාගත සුරක්ෂිත බාවය කරා රැගෙන යන්නේ වර්තමානයේ බිහිවන නිරෝගී දරු සම්පත මගිනි. එනම් නිරෝගී දරුවන් යනු අනාගතය වෙත සිදුකරන මිල කළ නොහැකි ආයෝජනයකි.

එම නිසා සෑම රටක්ම තම සංවර්ධනයේ ප්‍රමුඛ ස්ථානයක් නිරෝගී දරු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් ලබා දීමට නිරන්තරයෙන් වෙහෙස වේ.

මවකගේ නිරෝගී ගර්භනී කාලයත්, ප්‍රසව කාලයත්, ඉන් පසුව එළඹෙන පසු ප්‍රසව කාලයත් අළුත උපන් බිළිඳකුගේ නීරෝගී බාවය කෙරෙහි අතිශය බලපාන අවධීන් ය. ප්‍රසවයෙන් පසු බිලිඳුන් හට ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් මඟහරවා ගැනීමේ අදහසින් අතීතයේ සිටම අළුත උපන් බිළිදාට රත කල්කය ලබා දීම සිරිතක්ව පැවතිණි. 

කුඩා බිළිඳකුගේ දිවේ, උගුරේ මැලියම් බැඳී ඇතිවිට, බඩගින්න අඩු අවස්ථා වලදී බඩගින්න වර්ධනය වීමට, බඩ පිපුමට, ඉස්මුරුත්තාවට, වියළි මල පිටවීමට, ඇගමැලි කැඩීමට, කැස්සට, සෙමට, උණට, සමෙහි රතු බිබිලි හෝ පලු මතු වීමට යනාදී නොයෙක් රෝග ලක්ෂණ සඳහා දේශීය වෙදකමෙහි සඳහන් රත කල්කය වසර ගණනක සිට භාවිතා වූ අද්විතීය ඖෂධයකි. 

ගැමි ව්‍යවහාරයේ තවමත් ප්‍රචලිත ‘රත ගාය’ නමින් හැඳින්වෙන රෝගී තත්ත්වය සඳහා ජනප්‍රිය ඖෂධය ‘රත කල්කය’යි. එය දෙසඳුන් කල්කය, රත් හඳුන් කල්කය, බිළිඳු කල්කය, කොත්තමල්ලි කල්කය යනාදී අන්වර්ථ නාමයන්ගෙන් ප්‍රචලිතය. 

රත් හඳුන් හා සුදු හඳුන් අන්තර්ගත ඖෂධයක් වූ නිසා දෙසඳුන් කල්කය ලෙසට ප්‍රකට වූවා විය හැක. පැහැයෙන් රත් පැහැ ගන්නා කල්කයක් වූ නිසාද, කුඩා බිළිඳුන්ට මව් කිරෙන් දිය කර පෙවීම නිසාද, අවුරුද්දකට වැඩි ළඳරුවන් හට කොත්තමල්ලි තම්බා අනුපාන ලෙස කල්කය සමග පෙවීම නිසාද අනෙක් පර්‍යාය නම් ලැබෙන්නට ඇති බව විශ්වාස කල හැක.

කාලයක් තිස්සේ භාවිතා කළ රත කල්කයෙහි බිළිඳු රෝග සුව වීමේ සාඵල්‍යතාවය සායනිකවද පරීක්ෂා කොට ඇත.

වර්තමානයේ රත කල්කයේ යෝග්‍යතාව හා එහි ගුණාත්මක බාවය පරීක්ෂා කොට ඉදිරිපත් කළ පර්‍යේෂණ නිබන්ධන රාශියක් පවතී. 

සුදු හඳුන්, රත් හඳුන්, කොල්ලු, වැල්මී, වදකහ, සහිඳ ලුණු සියුම් චූර්ණය ගෙන දෙහි යුෂෙන් අඹරා ඉතා පිරිසිදුව තනා ගන්නා රත කල්කය වර්තමානයේදී කුඩා ළඳරුවන්ගේ සමේ රෝග බොහොමයක් සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දේ.

නිසි වෛද්‍ය නිර්දේශ මත, නියමිත මාත්‍රාවෙන්, නියමිත ප්‍රමිතියකින් යුතු රත කල්කය දරුවන් වෙත ලබා දීමෙන් ළඳරු කාලයේ චර්ම රෝග වලින් ආරක්ෂා වීමට පමණක් නොව ළඳරු උණ, ශ්වසන ව්‍යුහගත රෝග, ආහාර මාර්ගගත රෝග, ආසාදන තත්ත්ව නිසා හටගන්නා රෝග වලින් ආරක්ෂා වීමටද ඉවහල් වේ.

නිරෝගී, නියමිත උපත් බර සහිත බිළිඳුන් හට සති දෙකෙන් පසු රත කල්කය ලබා දීම පිළිගත් ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරයෙක් පරීක්ෂා කොට නිර්දේශ කෙරේ. මාස02 සිට අවුරුදු 02 දක්වා බුද්ධි වර්ධන කාලයේ රත කල්කය භාවිතය ඉහළ ප්‍රතිඵල ගෙන දෙන බව සායනිකව සනාථ කොට ඇත.

අඩු උපත් බර සහිත, නොමේරූ, දිගු කාලීන රෝගයන්ට ගොදුරු වූ, ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවන අන්ත්‍රගත රෝග සහිත ළඳරුවන්ට රත කල්කය ලබා දීම තීරණය කිරීම විශේෂිත අවධානයක් යටතේ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු තීරණය කළයුතු වේ. එමනිසා හිතුමතේ ඖෂධ ලබාදීම අනුමත නොකරන අතර නියමිත ප්‍රමිතියකින් යුතු ඖෂධ ලබා දීම මගින් ළදරුවාගේ ප්‍රතිශක්තිය වර්ධන හැකියාව වැඩිවී රෝග වලින් ආරක්ෂා වීම නොහොත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් ව්‍යාධි ක්ෂමත්වය ගොඩනැංවීම රත කල්කය භාවිතයෙන් සිදුවේ. 

ක්ෂුද්‍ර ජීවී ආසාදන වලින් වැළකී, බෝ වන රෝග වලින් ආරක්ෂා වී, මල-මූත්‍ර හොඳින් බැහැර වී, රක්තය ශෝධනය වී නිරෝගී ළඳරු කාලයක් හිමි කර දීමට රත කල්කයේ ඖෂධීය වටිනාකම අතිමහත් ය. 

අතීතයේ සිට වර්තමානය දක්වා ප්‍රතිශක්ති වර්ධක ඖෂධයක් ලෙසට ප්‍රචලිත වූ රත කල්කය ළඳරු කාලයේ හටගන්නා බොහෝ රෝග වලින් බිළිඳුන් ආරක්ෂා කොට නිරෝගී ළමා පරපුරක් ගොඩනැඟීමට ඉවහල් වූ බව අතීත ප්‍රයෝගයන් සාක්ෂි දරනු ඇත. 

සායනිකව සනාථ කොට ඇති එවන් වටිනා ඖෂධයක ඖෂධීය ගුණය ළදරුවන් වෙත ලබා දීම මඟින් ළඳරු කාලයේ බිළිඳුන්ගේ රෝග බොහොමයක් වළක්වා ගැනීමට හැකියාව ලැබේ. වර්තමානයේද තරුණ දෙමාපියන් රත කල්කය තම දරුවන් වෙත ලබාදීමට පෙළඹීම දක්නට ලැබීම සතුටට කාරණයකි.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

Sign up for our newsletter