Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

පහතරට මූකලන් තෙලිස්සා

Lowland hump nosed pit viper 

Hypnale zara (Gray,1849)

උග්‍ර විෂ සහිත

ශ්‍රී ලංකාවේ හමුවන තෙලිස්සන් / කුණකටුවන්  විශේෂ තුන අතුරින් වැසි වනාන්තර ප්‍රදේශ තුල සුලබව හමුවන ලංකාවට ආවේණි තෙලිස්සන් විශේෂයක් ලෙස මොවුන් හැඳින්විය හැකි වේ. තෙලිස්සන් විශේෂ අනෙක් සර්පයන්ගෙන් වෙන් කොට හඳුනාගැනීමට හැකි ප්‍රධානතම ලක්ෂණ වශයෙන් හොඳින් ගෙලින් වෙන් වූ ත්‍රිකෝණාකාර හිසක් දැරීම සහ පාර්ශ්විකව බැලූ විට හොම්බ අගින් ඉහලට එසවී තිබීම ( තොල ඉහලට එසවුණු යන අරුත ලැබෙන පරිදි තෙලිස්සා යනුවෙන් මොවුන් පොදුවේ හැදින්වීමට හේතුව මෙයයි) සහ මොවුන් බොහෝවිට පොළවට අංශක 45 ක කෝණයකින් හිස ආනතව තබාගෙන සිටීම සහ ශ්‍රී ලංකාව තුල හමුවන වල පොළොඟුන් / pit vipers  සතු විශේෂ ලක්ෂණයක් වන තාප සංවේදී ලෝරියල් ජිද්‍ර / Loreal pits දැරීම ( මෙම ලෝරියල් ජිද්‍රය ඇස සහ නාස් කුහරය අතරමැදි කලාපයේ දක්නට ලැබේ) දැක්විය හැකි වේ.

කඳුකර මූකලන් තෙලිස්සා / Hypnale nepa සහ පොළොන් තෙලිස්සා / Hypnale hypnale දෙදෙනාගෙන් පහතරට මූකලන් තෙලිස්සා / H. zara වෙන් කොට හඳුනාගැනීමට හැකි ප්‍රධාන ලක්ෂණ වශයෙන් අනෙක් තෙලිස්සන් විශේෂ දෙකට සාපේක්ෂව ඉහලට එසවුණු හොම්බක් සහිත වීම සහ ලෝරියල් කොරල වලට ඉදිරියෙන් අනෙක් තෙලිස්සන් විශේෂ දෙකේ දක්නට ලැබෙන විශේෂිත කොරළ සැකැස්ම දක්නට නොලැබීම ප්‍රධානම ලක්ෂණ දෙක වශයෙන් දැක්විය හැකි වේ. මීට අමතරව බොහෝ අවස්ථා වලදී මොවුන්ගේ ගෙල දෙපස අඳුරු පැහැති විචිත්‍රවත් වයිරම් රටාවක් සහිත වීමද විශේෂ ලක්ෂණයකි. මෙම ලක්ෂණය සහිත වීම නිසාවෙන් පහතරට මූකලන් තෙලිස්සාට වයිරම් ගෙලැති කුණකටුවා යන නාමයද භාවිතා වේ.වැඩුණු සතෙකුගේ දේහ ප්‍රමාණය ආසන්නව සෙන්ටිමීටර 30ක් පමණ වේ. 

මොවුන්ගේ පෘෂ්ඨීය  වර්ණය කහ දුඹුරු කළු සහ රතු පැහැය දක්වා පුළුල් වර්ණ පරාසයකින් දැකගත හැකි අතර උදරීය වර්ණය කහ මිශ්‍ර සුදු පැහැයක් සහ කළු පැහැති තිත් සළකුණු සහිතව දක්නට ලැබේ.වල්ගයේ පැහැය බොහෝවිට කළු පැහැති හෝ කහ පැහැයෙන් යුක්ත වේ.

මොවුන් බොහෝවිට වැසි වනාන්තර ආශ්‍රිතව දිරාගිය කොළරොඩු සහ කොටන් අතර දිවි ගෙවන සර්ප විශේෂයක් වන අතර අනෙක් තෙලිස්සන් විශේෂ දෙකට සාපේක්ෂව ආවේගශීලී හැසිරීම් රටා දක්වනු ලබයි. නමුත් ඇතැම් අවස්ථා වලදී 60cm පමණ උස් වූ ශාක පඳුරු මත මොවුන් හමුවී ඇති බව දක්වා තිබේ (Maduwage et al. 2009)

දැනට වසර කිහිපයකට පෙරදී Hypnale zara විශේෂය මධ්‍යස්ථ විෂ සහිත සර්ප විශේෂයක් ලෙස වර්ගීකරණය කලද මෑතකදී හඳුන්වා

දුන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍ය විද්‍යාත්මක වර්ගීකරණය යටතේ ලංකාවේ හමුවන තෙලිස්සන් විශේෂ තුනෙන් H. zara විශේෂය සහ H. hypnale විශේෂය සිදුවන මිනිස් මරණ සහ ඇතිවන සංකූලතා තත්ව සළකා බලා උග්‍ර විෂ සහිත සර්පයන් ලෙස නම් කරන ලදී.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

Sign up for our newsletter