Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

පිනි බිංඳු (1 කොටස)

බැංකුවෙන් මම එලියට එද්දි දවල් කෑම වෙලාවටත් ලං වෙලා. පැයක් විතර පෝලිමේ හිටගෙන ඉදලා ගත්තු පෙන්ශන් එක ආයෙත් වතාවක් ගනං කරලා පර්ස් එකට දාගත්තු මම ඔරලෝසුව දිහා බැලුවේ ඊළඟ බස් එකට නගින්න තියෙන වෙලාව බලන්න. තවත් එහෙමම විනාඩි හතලිස් පහක් තියෙනවා. පරිසරයේ තියෙන ගිනි රස්නෙ තව වැඩි වෙන්නෙ ඇතාගල හින්දයි. මොන තරම් කාෂ්ඨකයක් තිබුනත් ඇතාගල මුදුනේ තම්පත් කරලා තියෙන බුදු පිලිම වහන්සේ දිහා බැලුවම හිතේ තියෙන සියලු දුක්ඛ දෝමනස්සයන් වගේම විඩාවත් මොහොතකට දුරුවෙනවා. 

බැංකුවේ හිටපු පැයට මගේ උගුර කටත් වේලිලා ගිහින්. බස් එකටත් තව වෙලාව එහෙමම තියෙන එකේ මම හෙමින් හෙමින් ඇවිදගෙන ගියේ කූල්ස්පොට් එකක් හොයාගෙන. යන ගමන් අතේ තිබුනු පොඩි නොකියා එකෙන් කුමාරිට ඇමතුමක් ගත්තේ මම එනකම් ඇය බත් කටක් නොකන නිසයි. 

‘මහත්තයා… 

වචනයක් කියන්නත් කලින් ඇය මාව හදුනනවා..

‘කුමාර්‍රි..මම පෙන්ශන් එක ගත්තා…බස් එකට එහෙමමයි වෙලාව. මම මොනවා හරි බීලම එන්නම්. එතකම් ඔයා කන්න..

‘එහෙම ඕන නෑ. මාත් තේ බිව්වා. තාම බඩගිනි නෑ.. මහත්තයා හෙමින් එන්නකෝ..

‘එද්දි මොනවාහරි ගේන්න තියෙනවද?

‘හ්ම්ම්.. එහෙම මොකුත් නෑ. මහත්තයා පරිස්සමට එන්න. වැඩිය තෙල් ජාති එහෙම කන්න එපා.. මහත්තයට හොඳ නෑ… 

කුමාරි එහෙම කියද්දි මම ඇමතුම විසන්දි කලේ හිනාවෙමින්. මටත් වඩා මම ගැන හිතන කුමාරි අවුරුදු තිස්පහක් මාත් එක්ක එකට ජීවත් වෙන ප්‍රිය බිරිඳයි. තරුණ කාලේ ඉදන් මේ වෙනකම් ඇය මගේ හොඳම යෙහෙලියයි. පිරිමියෙක්ට ලබන්න පුලුවන් උතුම් ගනයේ ගැහැණියක් තමයි කුමාරි කියන්නෙ. කාලයක් මම හින්දා, ඊටපස්සෙ දරුවෝ නිසා ජීවිතේ පුදුමාකාර කැපකිරීම් කරපු කුමාරි ගැන මගේ හිතේ තියෙන්නෙ වචන වලින් කියලා නිම කරන්න බැරි ආදරයක්.

‘ආහ් විජේදාස සර් දැක්කේ සෑහෙන කාලෙකින්…

කුමාරි ගැන හිත හිතම මම කූල්ස්පොට් එක ළඟට ඇවිත්.අවුරුදු ගානක් තිස්සෙ මේ කඩේ කලේ සමරවීර. මාත් එක්කම ඔහුත් වයසට ගිහින්. ඒත් පුරුදු ලෙංගතුකම තාමත් එහෙමමයි. 

‘ඉස්කෝලේ කාලේ වගේ නිතර දෙවේලේ දැන් ටවුමට එන්නෙ නෑ සමරේ. නෝනා හදලා දෙන කෑමක් කාලා මම වත්තේ පිටියේ වැඩක් කරනවා. දරුවොත් ලංකාවේ නෑ. එයාලත් බලන්න යනවා..

දරුවෝ දෙන්නම පිටරට වල උන්නත් මටවත් කුමාරිටවත් විශේෂ සැලකිලි ඔවුන්ගෙන් ලැබුනේ නෑ. කටට ආවට දරුවෝ බලන්න රට රට වලට යනවා කියලා සමරෙ එක්ක කිව්වා මිසක් මමවත් කුමාරිවත් දුව ඉන්න කැනඩාව වගේම පුතා ඉන්න ඇමරිකාවත් දන්නේ ලෝකසිතියමෙන් දැකලා විතරයි. ඒ හැරුනම අපි දෙන්නා ඒ රටවල් පැත්තේ පස් පාගලා නෑ. ඒත් මේක ලංකාව. සමහර දේවල් ඒ විදියට තවත් අයට කියද්දි කතාව එතනින් නතර වෙනවා. විශේෂයෙන්ම දරුවන්ගෙ සැලකිලි ගැන. 

‘විජේ ඉස්කෝලේ මහත්තයයි නෝනයි දැන් දුව හරි පුතා හරි ළඟ පදිංචි වුනා නම් හොඳයිනේ. මෙහේ ඉතින් ජීවත් වෙන්නත් අමාරුයි නේ.. 

සමරේගේ කතාව තවත් නවතින්නෙ නැති හැඩයි. 

‘ ඉපදුනු පොළව දාලා ඔය සීතලේ ගිහින් ඉන්න අපට බෑ සමරේ. මට කල්කිරි එකයි සමරෙගෙ එලවලු රොටියකුයි ගේන්නකෝ. අම්මපා මට තාමත් ගෙදර ඉද්දි වෙලාවකට මෙහෙට ඇවිත් එළවලු රොටී කාල යන්න හිතෙනවා….

‘විජේ ස’ ආසම දේනේ.. ආහ් මහත්තයෝ.. තව මොනවා හරි ඕන නම් කියන්න. බස් එක එන්න වෙලාව එහෙමමයිනේ.. 

සමරෙගෙ කතාව එතනින් අවසන් වුනු එක මගේ හිතට පුදුම සැනසීමක් එකතු කලා. සති අන්තයේ ලංකාදීප පත්තරය කියවන ගමන් කල්කිරි බොන එක මගේ ඉස්සර ඉදන්ම පුරුද්දක්. කුමාරි බනින්නෙම මේ පුරුදු වලට. ඒත් සමහර ඇබ්බැහිවීම් නවත්තන්න අමාරුයි කියන එක කුමාරි තවම දන්නෙ නෑ. 

පත්තරේ මුල් පිටු වල තිබුනෙම දේශපාලනය ගැන. ඊටපස්සෙ දරුවො දෙමව්පියන්ට නොසලකල පාරට දාන සිදුවීම්, ඒ හැරුනු කොට රසවත් කිසිම දෙයක් පත්තරේ තිබුනෙත් නෑ. දරුවො නිසා මොහොතකට හිත රිද්දගත් මම එකම දියනිය පියාව බලුකූඩුවට දාපු විස්තරය පත්තරේ කියවන්න ගියේ නෑ. කුමාරි කියනවා වගේ පෙන්ශන් එකෙන් ජීවත් වෙන අපි දෙන්නා පාරට ඇදලා දාන්න කාටවත් බෑ. 

පත්තරේ එහෙමම පැත්තකින් තියපු මම හිස එසෙව්වේ උපැස් යුවල ගලවන්න. දැකලා පුරුදු රූපයක් මගේ ඇස් ඉස්සරහා පෙනෙද්දි බාගෙට ගලවපු ඇස් කණ්ණාඩි දෙක ආයෙත් දාගත්තේ හිතට ආවේ හරිම නමමද කියලා තහවුරු කරගන්න. 

මගේ මතකය, ගෙවුනු අතීතය වගේම හර්ද සාක්ෂිය නිවැරදි නම් ඒ ඇයමයි. මම තරම් වයසට නොගියත් වල යන්තමින් සුදු වුනු කොණ්ඩයට, රැලි වැටුනු හමට බෑ අයගේ සුන්දරත්වය නැති කරන්න. තාමත් ඒ කාලේ වගේමයි ඇය. ඉස්සරට වඩා ඕන නම් අගල් දෙකක් තුනක් මහත් වෙලා ඇති. 

‘ සුනේත්‍රා… 

මටත් නොදැනීම ඒ නම මගේ මුවෙන් ගිලිහෙද්දි ඇය මුව පුරා සිනාසුනා. ඒ හිනාවෙන්ම ඇය මගේ ඉදිරිපිට වාඩි වෙද්දි මම ගොළුවෙක් වගේ ඇය දිහා බලාගෙන උන්නා. 

‘මහී නේද? කොච්චර කාලෙකින්ද? මම ඒත් ඔයා ගැන නිමල් ගෙනුත් ඇහුවා. එයා කිව්වෙ මලියදේවෙන් පෙන්ශන් ගියාට පස්සෙ ඔයා ටියුශන් නැවැත්තුවා කියලා. ඉතින් මහී, කුමාරි හොඳින්ද? 

මම අපහසුවෙන් සිනාවෙන්න උත්සහා කලා. පෙනුමෙන් යන්තම් වෙනස් වුනාට ඇයගේ වචන නම් තාමත් එහෙමයි.මීට අවුරුදු ගානකට කලින් ඇය ඉදිරියේ ගොලු වුනු මම එදා වගේම අදත් ගොළු වෙලා. 

‘කුමාරි හ්ම්ම්.. ගෙදර.. සුනේ..ත්…රා කොහේ ආව ගමන්ද?

අමාරුවෙන් ගොතා ගත්ත වචන ටික යම් සහනයක් මගේ හිතට ගෙනාවත් සුනේත්‍රා දැකීමෙන් හිරිවැටුනු හිත තාමත් එහෙමමයි. 

දෙවනි කොටස ඊළග කලාපයෙන්
තක්ෂිලා ඒකනායක

Sign up for our newsletter