Api-Slide-53-1
Api-Slide-53-2
previous arrow
next arrow

බන්ධන – කෙටි කතාව

රොබරෝසියා මල් පාර පුරාවටම හැලුනු, මහවැලිය නිදහසේ ගලාගෙන යන පේරාදෙණිය හැමදාම වගේ අදත් නිස්කලංකයි. මේ පුංචි නඟරයට මම ඇබ්බැහි වුනේ වයස අවුරුදු විසි එකේදි. නිදි මරාගෙන ලියපු උසස් පෙල විබාගේ ඉහලින්ම සමත් වුනු මම තේරුනේ පේරාදෙණිය වෛද්‍ය පීඨයට. ඊටත් පස්සේ පේරාදෙණිය මූලික රෝහලට. දැන් මට හරියටම අවුරුදු විසි හතක්. ගෙවුනු අවුරුදු පුරාවටම මම ගෙව්වේ හරිම නිස්කලංක ජීවිතයක්, හරියට පේරාදෙණිය නඟරය වගේ. ඒත් අද, එකම එක ගැහැණියක් මගේ නිස්කලංක ජීවිතේ කණ පිට හැරෙව්වේ මහ පුදුම විදියට. වේදනාවක්ද,තරහක්ද එහෙමත් නැත්නම් අනුකම්පාවක්ද කියලා මටම හිතාගන්න බැරි විදියට මගේ හිත සෑහෙන්න කම්පනයට පත් වෙලා. මට ගෙදර ගිහින් මගේ අම්මා මුනගැහෙන්න, හැම ඇත්තම දැනගන්න දරුණු විදියට උවමනා වුනු නිසාම මම සතියක් නිවාඩු දාලා වාහනේට ගොඩ වුනා. 

පේරාදෙණියෙ ඉදන් මේ වෙලාවට නුගේගොඩට යන එක ලේසි නෑ. ඒ තරම් වාහන තදබදය. ඒත් නොයා ඉන්න බැරි තරමට මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින්. මගේ අම්මාගෙම පෙනුම තිබුනු ගැහැණිය මතක් වෙද්දිත් මට ඇඩෙනවා. ඒත් මම පුලුවන් තරම් හිත හයිය කරගෙන වාහනය පදවනවා. 

‘මමයි ඔයාගේ අම්මා, ඒ ගෙදර ඉන්නේ මගේ නංගි. මම ඔයාව දාලා ගියාට මට සමාව දෙන්න පුලුවන් නම්. ඒත් වෙච්ච දේවල් ආයෙත් වෙනස් කරන්න බෑනේ. යටගිය දේවල් ආයෙත් උඩට ගන්න එක අපි හැමෝගෙම ජීවිත අවුල් වෙන වැඩක්. ඔයා මේ ඉන්න තැන ගැන මට හරි සතුටුයි දුව. මම ඔයා ගැන දුර ඉදන් පුලුවන් තරම් හොයලා බැලුවා ඔයා විශ්වාස කරත් නැතත්. ඔයාගේ පුංචි අම්මා ඒ කියන්නෙ මගේ නංගි, එයා තමයි එහෙම කරන්න එපා කිව්වේ. කොහොමත් මම ඉක්මනින් ආයේ ඔස්ට්‍රේලියාවට යනවා. දැන් අවුරුදු තිහක් මම එහෙ හිටියේ. මැරෙන කම් මම එහෙ ඉදීවි.. ඔයා පරිස්සමින් ඉන්න…. තවදෙයක් රනීශා… 

මීට දෙපැයකට කලින් සිද්ද වුනු දේවල් වල රූප එකින් එක මැවෙද්දි මම උත්සහ කලා කදුලු නවත්තගෙන ඉන්න. ඒත්,

‘මම ආවේ ලෙඩෙක් බලලා යන්න.එහෙම නැතුව ඔයාව අතරමං කරලා දාන්න නෙවෙයි. කොටින්ම ඔයා මෙහෙ වැඩ කියලා මම දන්නෙ නෑ දරුවෝ.  මගේ නංගි වගේම කෙනෙක් නිසා ඔයා මාව දැකලා කතා කරපු නිසයි මට මේ දේවල් ඔයාට කියන්න වුනේ. මොකද මම අක්ක වෙලා මානෙල් නංගි වෙන්නෙ විනාඩි ගානකට. ඉතින් අපි හැම අතින්ම සමානයි. ඔයාට මම මෙහෙම බරක් දෙන්න හිතුවේ නෑ.

ඒ ගැහැණිය තව තවත් වචන මොනවදෝ කියාගෙන යද්දි මම ඔහේ බලාගෙන උන්නා. උදේවරුවේ අම්මා වගේම ගැහැණියක් රෝහලේ දකිද්දි මොන දරුවද අහක බලාගෙන ඉන්නේ? මටත් සිද්ද වුනේ ඒ දේම තමයි. මටත් නොකියා අම්මා මෙච්චර දුරක් ආවේ ඇයි අහන්න ගිය කතාව අන්තිමට නැවතුනේ මගේ ජීවිතේ මෙච්චර කාලයක් හැංඟුනු දෙයක් හොයාගෙන. 

මම දන්නෙ නෑ මොන තරම් වේගයකින් නුගේගොඩට ආවද කියන්න. නොදන්වා ගෙදර ආව එක මගේ අම්මට ඒත් පේරාදෙණියෙදි මුණ ගැහුණු නාමලී ට අනුව මගේ පුංචි අම්මට පුදුම සතුටක් වුනු වග මට තේරුනේ ඇය ගේට්ටුව අරින විදිය දකිද්දි. 

‘අනේ පුතේ, කියලා ආව නම් මම රහට කෑම හදනවනේ. මම හරි පාලුවෙන් උන්නේ.එක පාරටම ඇයි පුතේ ආවේ? ආයෙ වැඩ වර්ජනයක්ද? 

වාහනෙන් බහින්නත් කලින් එක දිගට කියවන ඇය දිහා මම මොහොතක් බලාගෙන උන්නා. ඒ ඇස්, කට, මුහුණ මොන තරම් නම් සමානද? මම ඇය දිහා බලාගෙනම වාහනෙන් බැස්සා. මෙච්චර වෙලා පාලනය කරගෙන උන්නු සිතුවිලි එක මොහොතකින් ඉකියකට හැරෙන්න මහ වෙලාවක් ගත වුනේ නෑ. 

‘ඇයි මගේ රත්තරං? මොකද මේ?

‘ඇයි මට එහෙම දෙයක් හැංඟුවේ අම්මේ? ඇයි ඔයාගේ තරුණ කාලේම මම වෙනුවෙන් කැප කලේ? අම්මාට මාව එපා නම් පුංචි අම්මා වුනු ඔයා ඇයි මාව බාරගත්තේ? මට… කියන්න මට කියන්න ඇයි එහෙම කලේ? ඔයා බුදු වෙන්න පෙරුම් පුරනවද අම්මේ? 

එක හුස්මට කියාගෙන යද්දි ඇයගේ මුහුණ වෙනස් වෙන හැටි මම බලාගෙන. එහෙත් ආයාසයකින් ඇය හිනාවුනේ මගේ අතින් අල්ලාගෙන. 

‘මොනවද මේ කියන්නෙ පුතේ? කවුද මොනවද කරපු කැපකිරීම්? මට තේරෙන්නෙ නෑ…. 

‘අනේ තවත් හංගන්න එපා අම්මේ. නාමලී අද අහම්බෙන් මට හම්බුනා හොස්පිට්ල් එකේදි. මම ඒ හිතුවේ ඔයා කියලා. අනේ එයාට කිසිම හිතක් පපුවක් නෑ අම්මේ. මට එයා එපාම එපා.. ඒත් ඒ කිව්ව කතාව, අනේ ඒ ඇත්තද අම්මේ?

මම ඇයගේ උරහිස් හොලවමින් අහද්දි ඇය මාව තුරුලු කරගත්තා. ඇයට  තුරුලු වීගෙනම ගෙදරට ගොඩ වුනු මම ළඟම තිබුනු පුටුවක හාන්සි වුනා. ගතට වඩා හිතට මහන්සිය දැනෙද්දි හරි අමාරුයි. 

මාව තනිකරපු අම්මා කුස්සියට ගියා. ටික වෙලාවකින් කිරි, සීනි ගානට දාපු තේකෝප්පයක් එක්ක මම ආසම කිරි අලුවා පිඟානක් අරගෙන ඇය මගේ ඉස්සරහට ආවා. 

‘පුතේ කන්න. ඔයා හෙට අනිද්දා එයි කියලා මට හිතුන නිසයි මම මේවා හැදුවේ… 

මම හෙමින් තේ කෝප්පය බිව්වා. අලුවා කෑලි තුන හතරක් කෑවට පස්සේ මම අම්මගේ  මූණ දිහා කෙලින් බැලුවා. ඒ මූනේ තිබුනේ අසරන පාටක්. ඒත් මම ඇස් වලින් ඇයට ඇගෙව්වා මම කතාව අහන්න සූදානම් බව. දිගු සුසුමක් හෙලුව ඇය හෙමින් කතාව පටන්ගත්තා. 

‘මම දන්නෙ නැ පුතේ අක්කා මොනවා කිව්වද කියන්න. ඒත් මම හැමදේම කියන්නම්.. අක්කා නාමලී, මම මානෙල්. අපි ඉපදුනේ එකට වුනාට අපි දෙන්න හාත්පසින්ම වෙනස් මිනිස්සු දෙන්නෙක්. අක්කාට උවමනා වුනේ හැමදාම ඉහලට යන්න, එතනදි මනුස්සකම් වලට එයා වටිනාකමක් දුන්නු කෙනෙක් නෙවෙයි. එයාට ඕනෙ එයාගෙ වැඩේ කොහොමහරි කරගන්න. උසස් පෙළ ඉවරවුනු ගමන් අක්කට උවමනා වුනා රට කැම්පස් එකකට යන්න. අප්පච්චි තියෙන ඉඩකඩම් වලින් බාගයක් අක්කට විකුණලා රට යැව්වා. මම කොළබ කැම්පස් එකට ගියා. එහෙම රට ගිය අක්කා උපාධිය ඉවර වෙද්දි එහේ උන්නු ලංකාවේ පිරිමි ලමයෙක්ගෙන් ප්‍රෙග්නන්ට් වෙලා. ඒ දරුගැන විනාශ කරන්න හැදුවට ඒක කරන්න බෑ කියලා දොස්තරු කියලා තිබුනා. ඒ තමයි ඔයා. එහේ ඉපදුනු ඔයාව අරගෙන ආව අක්කා ඔයාව මටයි, ආච්චිටයි සීයටයි බාරදුන්නේ ඉක්මනින් එයාගෙ වැඩ ඉවර වුනාම ඔයාව එක්ක යන පොරොන්දුව පිට. ඒත් පුතේ ආයේ එයා ආවෙ නෑ. අපි බලන් උන්නා අවුරුදු දෙක හමාරක්ම. ඒත් එයා නොඑන තැන ඔයාගෙ සීයා කලේ ලොකු ලොකු තැන් වලට කතා කරලා උප්පැන්න සහතිකයක් ඔයාට හදවපු එක. අලුත් උප්පැන්න සහතිකේට දැම්මෙ මගේ විස්තර. එදා මම ඔයාගෙ සීයට කිව්වා මම කවදාවත් බදින්නෙ නෑ මම දුවව බලාගෙන ඉන්නවා කියලා. ඉතින් පුතේ මම ඔයාව හැදුවා. මම ඉස්කෝලේ උගන්නල ගෙදර එන්නෙ ඔයාව බලන්න හීන දැක දැක. මට කසාද බදින්න බය හිතුනා ඔයාට වෙනස් කම් කරයි කියලා ඒ කෙනා. ඉතින් පුතේ එදා මම ගත්තේ හරිම තීරණය. මට අක්කා එක්ක තරහක් නෑ, හැබැයි පුතේ එයාට නැති වුනේ ඔයාව. අද මම ඔයා දිහා බලලා ලබන සතුට එයාට කෝටියක් දීලවත් ලබන්න බෑ. ඒකයි ඇත්ත… 

හරිම කෙටියෙන් කතාව අවසන් කරපු ඇය මගේ දිහා බලාගෙන උන්නේ කදුලු පිරිච්ච ඇස් වලින්. ඒ පපුවට තුරුලු වුනු මම මටම එක පොරොන්දුවක් වුනා. 

‘මගේ අම්මා ඔයා. මගේ ජිවිතේ තියෙන තුරාවට මම මේ බන්ධනය රකිනවා අම්මේ ‘ 

තක්ෂිලා ඒකනායක.

Sign up for our newsletter