Api-Slide-50-1
Api-Slide-50-2
Api-Slide-50-3
previous arrow
next arrow

හිසරදය ඔබට තවමත් හිසරදයක්ද

වර්තමානයේ බොහෝ පුද්ගලයන් ඉරුවාරදය නොහොත් ‘මිග්‍රේන්’ (Migraine) රෝගී තත්ත්වයෙන් පීඩා විඳිනු සුලබව දක්නට ලැබේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශීර්ෂ රෝග කාණ්ඩය යටතේ “සූර්‍යාවර්ත” යන නමින් හැඳින්වෙන රෝගී තත්ත්වය හා සමානකම් පෙන්වන, ඉර උදාවත් සමඟ හිසරදය ඇතිවී ඉර මුදුන් වීමේදී එනම් දහවල් කාලයේ රෝගය උත්සන්න වී, සවස් කාලයේදී තරමක් දුරට සමනය වීම ප්‍රධාන රෝග ලක්ෂණය ලෙස හඳුනා ගත හැක. 

ඇතැම් රෝගීන් හිසේ අර්ධයක පමණක් ඇතිවන අධික වේදනාවක් පිළිබඳ පැමිණිලි කරන අවස්ථා ද පවතී. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් හිසෙහි අර්ධයක අධික වේදනාවක් හට ගැනෙන “අර්ධාවබේධ” නම් රෝගී අවස්ථාව සමඟ ද මිග්‍රේන් රෝගී තත්ත්වයෙහි සමානත්වයක් ඇති බවද එක් පිළිගැනීමකි. 

බටහිර වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම් වලට අනුව බොහෝ විට හිසේ එක් පසෙක තදබල වේදනාව, ඔක්කාරය, වමනය, ඉර එළිය හෝ ආලෝකයට නිරාවරණය වීමේ අපහසුව, ආලෝකය හා ශබ්දය නිසා රෝගී තත්ත්වය උත්සන්න වීම යන රෝග ලක්ෂණ දක්වා ඇත. 

ආයුර්වේද මූලධර්ම වලට අනුව සූර්‍යාවර්ත රෝගය ඇතිවීමේ හේතූන් ලෙස මල-මූත්‍ර යනාදී ශරීරයේ ස්වභාවිකව පිටකල යුතු වේග බොහෝ වේලාවක් දරා සිටීම, අජීර්ණ නිසා ශරීරයේ ඇතිවන විෂ තත්ත්ව, දූෂිත ආහාර පරිභෝජනය, අධික හිරු එළියට හෝ උණුසුමට නිරාවරණය වීම, අධික දැවිලි සහිත-තෙල් සහිත-ලුණු සහිත ආහාර අධිකව පරිභෝජනය, ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය, ලෝභය යන මානසික හේතූන් හා මානසික ආතතියෙන් පෙලීම සඳහන් වේ.

තව ද, වර්තමාන ජන සමාජයේ ඇතැම් අපත්‍ය හැසිරීම් රටා නිසාද මිග්‍රේන් රෝගී තත්ත්වය පහසුවෙන් වැලඳීමට හේතු යෙදේ. එනම්, මත්ද්‍රව්‍ය හා දුම්පානය, කෝපි-කැෆේන් අන්තර්ගත පාන නිතර පානය කිරීම, හෝමෝන අසමතුලිතතා, නින්දේ මඳ බව හෝ අධිකව නිදාගැනීම, අධික ඝෝෂාකාරී ශබ්ද වලට සවන්දීම, රූපවාහිනී, smart දුරකතන, ලැප්ටොප් පරිගණක තිර ඉදිරියේ බොහෝ වේලා ගත කිරීම, දීප්තිමත් ආලෝකය හෝ තද සුගන්ධ ද්‍රව්‍ය ආදියට නිරාවරණය වීම, කුසගින්නේ හිඳීම හා ආහාර වේල් මඟහැරීම, මානසික ආතතිය, පහසුවෙන් නොදිරවන සකස් කල ක්ෂණික ආහාර පාන නිතර පරිභෝජනය මිග්‍රේන් තත්ත්වය වර්ධනය කිරීමට හේතු සලසා දෙනු ලැබේ.

පූර්ව රෝග ලක්ෂණ ලෙසට බලන බලන තැන්හි අඳුරු ලප ඇති ලෙසට පෙනීම හෝ තරු-ඉරි වැනි යමක් පෙනීම, පෙනීමේ විෂමතා ඇතිවීම, බොඳවී පෙනීම, ඔක්කාරය හෝ වමනය, ශරීරයේ පණ නැති ස්වභාවය, සිහිමඳ බව, අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම, ශරීරයේ ඇතැම් තැන් හිරිවැටීම දැක්විය හැක. 

ඉරුවාරදය නොහොත් මිග්‍රේන් රෝගී තත්ත්වය නිසා ඇතිවන හිසරදයෙහි ඇස් වටා වේදනාවක් හටගැනීම, හිරු එළියට නිරාවරණය වීමෙන් හිසරදය උත්සන්න වීම, හිස තුල දෙදරීමක් ඇති අයුරින් (නලියන හෝ ගැහෙන ලෙසට) වේදනාව දැනීම (Throbbing Pain/Pulsating Pain), ඇතැම්විට කුමන හේතුවකින් හෝ සමනය නොවන පැය ගණන්/දින ගණන් පුරාවට නොකඩවා පවතින හිසරදය, හිසෙහි එක් පසෙක හෝ දෙපසට හෝ මාරුවෙන් මාරුවට ඇතිවන වේදනාව, ඇතැම් විට ගෙල හා උරහිස දක්වා පැතිරයන වේදනාව, ගමනකින් පසුව/මානසික පීඩනයකින් පසුව හේතුවක් ඇතිව හෝ නොමැතිව ඇතිවන දැඩි හිසරදය පැවතිය හැකිය. ඇතැම් විට රෝගීන් වේදනාව ඇසේ හෝ හිසේ පිටුපසින් හෝ ගෙල දෙසින් එන්නාක් සේ දැනෙන බවට පැමිණිලි කරනු ඇත. හිසේ කැක්කුම පහව ගිය පසුද අධික නිදිමත ගතියක් ඇති වීම මෙම රෝගයේ තවත් ලක්ෂණයකි. 

ඉහත සඳහන් රෝගී ලක්ෂණ රෝගියාගේ ශරීර ස්වභාවය, ප්‍රකෘතිය, ඇවතුම් පැවතුම් අනුව වෙනස් විය හැක. 

රෝගී තත්ත්වය නිශ්චිතව සැකහැර දැනගැනීමට EEG/CT හා MRI scan පරීක්ෂණ වර්තමානයේ සිදුකරනු ලැබේ. නිතර ඇතිවන හිසරදයකින් පීඩා විඳින රෝගියෙකු විසින්,

• හිසෙහි වේදනාව හටගත් වේලාව හා දිනය

• වේදනාවේ ස්වභාවය 

• පෙරදින නිදිවැරුවාද නැද්ද යන වග

• වේදනාව ඇතිවීමට පෙර ගන්නා ලද ආහාර

• අනෙකුත් රෝග ලක්ෂණ 

සටහන් කර ගැනීමෙන් කාලයක් යත්ම රෝගය ඇතිවීමේ රටාව හඳුනා ගත හැකිවන අතර, ප්‍රධාන හේතු සාධක හඳුනාගැනීමේ පහසුව ද සැලසෙනු ඇත.

මෙම රෝගී තත්ත්වය සඳහා ආයුර්වේද පිළියම් ලෙසට,

• ශිරෝධාරා හෙවත් හිසට ඖෂධීය තෙල් හෝ ද්‍රව වත්කිරීම 

• ශිරෝලේප හෙවත් පිත සමනය කරන ලේප වර්ග හිස ගැල්වීම

• නස්‍ය, ඖෂධීය ගුණයෙන් යුත් ද්‍රව වර්ග වලින් කවල/ගණ්ඩූෂ (ද්‍රව වර්ග මුව තුල රඳවාගෙන සිටීම) 

• වේදුපෑම

• ‘මූර්ධනීය තෛල විධි’ යන කේරලීය පංචකර්ම ප්‍රතිකාර භාවිතය

• අභ්‍යන්තරව කෂාය, ගුල, කල්ක, රස ඖෂධ ආදී ඖෂධ භාවිතය

සිදුකිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබා දෙනු ඇත.

එදිනෙදා ඇතිවන මිග්‍රේන් තත්ත්වයෙන් මිදීම සඳහා  හිසරදය සෑදුණු වහාම වේදනා නාශක නිතර නිතර භාවිතය වෙනුවට බාහිර ප්‍රතිකාරයන් සිදුකිරීමෙන් රෝගී තත්ත්වය සමනය කර ගැනීමට පිළියම් කල යුතුය. (උදාහරණ ලෙස සුදු හඳුන් කැබැල්ලක් දෙහි ඉස්මෙන් ගලගා නලලේ ආලේපය, සීතල වතුරෙන් තෙත් කල තුවායක් හිසේ වෙලීම)

නිසි වේලාවට නින්ද හා ආහාර ලබා ගැනීම, දුම්බීම හා මත්පැන් පානයෙන් වැළකීම, අධික සැර සුවඳින් යුත් විලවුන් භාවිතයෙන් ඈත් වීම, තේ-කෝපි ආදී පාන නිතර ගැනීමෙන් වැළකීම, සුවපහසු හොඳින් වාතාශ්‍රය ලැබෙන මඳ අඳුරු කාමරයක විවේකීව සිටීම, ඝෝෂාකාරී ශබ්දයන්ගෙන් ඈත්ව සිටීම, අධිකව වායුසමීකරණය කරන ලද ස්ථාන වලින් ඈත්ව සිටීම, අධික ශීත හෝ අධික උණුසුම් ජලයෙන් ස්නානය නොකිරීම,  හොඳින් ජලය පානය කිරීම, ඩිජිටල් තිර වලින් ඈත්වී ඇසට විවේකය ලබා දීම, ශරීර සුවතාවය සඳහා නිතිපතා ව්‍යායාම / යෝග අභ්‍යාස වල නිරතවීම, මානසික සෞඛ්‍යය යහපත් අයුරින් පවත්වාගනිමින් සතුටින් සිටීම හා දින දෙකතුනකට වරක්වත් වෛද්‍ය උපදෙස් මත සුදුසු තෙල් වර්ගයකින් ශීර්ෂ සම්බාහනය මගින් මිග්‍රේන් රෝගී තත්ත්ව ඇතිවීම වලක්වාගත හැක. 

දිගින් දිගටම හිසේ කැක්කුම පවතීනම් එවැනි රෝගීන් නොපමාව සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් පසු නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් රෝගී තත්ත්වය පහසුවෙන් සුවකරගැනීමට හැකිවනු ඇත.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

Sign up for our newsletter