ජැකට්ටුව දා උදෑනක්කෙම
බක්කියක් දෑතින් කරකවා
කොළඹ හතෙ සිරි බලාගෙන
රම්‍යා පාරට වඩිනවා
බඩත් උස්සන් ඉදල අරගෙන
මහ පාර අතු පතු ගානවා
ඉණට අත තිය නතරවීගෙන
උඩට ඇද හති අරිනවා
සති දෙකයි තව ඇඟිලි ගැනගෙන
ජැකට් යට බඩ පිරිමැදා
දවසෙ ගතමන අද සොයාගෙන
යනවා පමුණුවෙ සළු බලා
එදත් සිනහවෙන් හති දමාගෙන
ආ සැණින් නුඹ ගැන කියා
අමාරුවෙන් ඈ හඬාගෙන
වැතිරුනෙ මහ පාරේ දිගා
පාර මැද්දෙ අපි අත් විදාගෙන
වාහනයක් නවත්තනු සිතා
වේගෙ අඩුකර ෆෝටෝ අරගෙන
පිම්මෙ ගියෙ හෝනුත් ගසා
සරණ නෑ බක්කියට දමාගෙන
සිව්දෙනක් තල්ලුවෙ වෙර දමා
කියද්දිත් එයි හිරිගඩු පිපීගෙන
ලේ උතුරනවා බක්කිය පුරා
හඬ ඇසුණි නුඹ අත් ඔසවගෙන
මගේ දෑතිනි පෙකිණිය කපා
අම්මා නුඹෙ හුරු සිනා පාමින
බක්කියෙම ඇගෙ හුස්මත් ගියා
චරියාගේ පන්හිඳ