


කාන්තාවකගේ නීරෝගීබාවය පවුලේ සහ සමස්ථ සමාජයේ නීරෝගී, යහපත්
පැවැත්ම සඳහා අතිශයින්ම වැදගත් වේ.
ආයුර්වේද මූලග්‍රන්ථයන්හි ස්ත්‍රී රෝග පිළිබඳව ඉහළ අවධානයක් ලබාදී,
විශේෂිත අධ්‍යායක් යටතේ ස්ත්‍රී රෝග සහ ප්‍රතිකාර පද්ධති පිළිබඳව
සවිස්තරාත්මකව දක්වා ඇත.
ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය යනු ගර්භ සම්භවය සඳහා මූලික වන ස්ථානයයි. මාසික
ඔසප් රුධිරය සිරුරෙන් බැහැර කිරීම, ශුක්‍රාණු හා ඩිම්බ සංසේචනය සඳහා ඉඩ
සැළසීම සහ දරු ප්‍රසවය මෙහි ප්‍රධාන කාර්‍යයන් වේ.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය සම්බන්ධ රෝග තත්ත්ව
පොදුවේ 'යෝනි ව්‍යාපද්' ලෙස හඳුන්වයි. 'යෝනි' යන්නෙන් යෝනිය, ගර්භාශය හා
අනෙකුත් ප්‍රජනන පද්ධතියට අයත් අංග අදහස් වන අතර 'ව්‍යාපද්' ලෙස රෝග
හා අක්‍රමතා අදහස් වේ. මූලග්‍රන්ථයන්හි 'ප්‍රසූති තන්ත්‍ර' හා 'ස්ත්‍රී රෝග'
යටතේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතියට බලපාන ප්‍රධාන රෝග තත්ත්ව (යෝනි ව්‍යාපද්)
20ක් සවිස්තරාත්මකව දක්වා ඇත.
ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය හා නීරෝගී පැවැත්ම, තුලිත වාත,
පිත හා කඵ දෝෂ තත්ත්වය අනුව සහ ආර්තව වහා ස්‍රෝතසෙහි නීරෝගී බව මත
රඳා පවතී.
මිත්‍යා ආහාර, විහරණ, ප්‍රදෘෂ්ඨ ආර්තව, බීජ දෝෂ හා දෛවජ හේතූන් නිසා ස්ත්‍රී
ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත යෝනි දෝෂ හට ගනී. වාත, පිත, කඵ හා රක්තය
දූෂණය වීම සහ යෝනි මගෙහි ඇතිවන්නා වූ නොයෙක් ගැටලුමය තත්ත්ව නිසා
ඉහත සඳහන් දෝෂ අසමතුලිත වීමෙන් යෝනි මාර්ගය, ගර්භාෂය, ආර්තවය
(menstrual blood), යෝනි-ස්නේහ (natural lubricants), ස්‍රෝතස් (reproductive
channels) ආශ්‍රිත ව්‍යාධවේදීය වෙනස්කම් ඇති කළ හැක. මෙනිසා අසාමාන්‍ය
ස්‍රාව ගැලීම්, වේදනා, කැසීම්, දාහ, ලිංගික සංසර්ගය වේදනාකාරී වීම, ඔසප්
චක්‍රයේ හා ඔසප් වීමේ අක්‍රමිකතා සහ මදසරුබාවය වැනි කාන්තා ප්‍රජනන
පද්ධතිය ආශ්‍රිත ගැටලු රාශියක් හටගනී.
අහිතකර ආහාර-පාන හා විහරණ නිසා දෝෂ විකෘති වීම, හදිසි අනතුරු, ආසාදන,
අධිකව හෝ අක්‍රමවත් ලෙස ලිංගික සංසර්ගයේ යෙදීම, මුදාහල යුතු වේගයන්
බොහෝ වේලාවක් දරා සිටීම, මානසික ආතතිය යන හේතූන් නිසා ප්‍රජනන
පද්ධතිය ආශ්‍රිත ශරීර ක්‍රියාවන්ට බාධා පමුණවමින් නොයෙක් යෝනි රෝග ඇති
කරයි.
එක් එක් දූෂිත දෝෂ තත්ත්ව අනුව මෙම රෝග ලක්ෂණ ප්‍රකට වේ. ඔසප් වීමේ
අක්‍රමිකතා ඇති වීම, විකෘති වූ යෝනි ශ්‍රාව පැවතීම, යෝනිය ආශ්‍රිතව වියළි
බව, ප්‍රදාහය, ක්ෂුද්‍ර ජීවී අසමතුලිත බව නිසා හට ගනු ලබන රෝග තත්ත්ව
මෙන්ම ශරීර ව්‍යුහාත්මක, ක්‍රියාකාරීමය හා ආසාදන තත්ත්ව හේතුවෙන්
හටගනු ලබන රෝග අවස්ථාවන්ද මේ අතර වේ.
ප්‍රබේද ලෙසට වාතජ, පිත්තජ, කඵජ හා සන්නිපාතජ ලෙස දෝෂ සම්බන්ධ
වීමෙන් ප්‍රබේද වන අතර රක්තජා, අසෘජා, අචරණා, අතිචරණා, කර්ණනී,
උදාවර්තිනී, පුත්‍රාඝ්නි, වන්ධ්‍යා, විප්ලුතා, පරිප්ලුතා, අන්තර්මුඛී, සූචිමුඛී,
මහායෝනි, ආවෘත්නි, ශුෂ්කා, ප්‍රසංසිනී ආදී ලෙස ප්‍රබේද 20ක් අන්තර්ගත වේ.
මීට අමතරව වෙනත් ස්ත්‍රී රෝග තත්ත්වයන් ලෙස ප්‍රදර, ග්‍රන්ථි, අර්බුද යනාදී
රෝග දක්වා ඇත.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සදහන් ඉහත රෝග අවස්ථාවන් නවීන වෛද්‍ය
විද්‍යාත්මකව සමපාත වන අවස්ථාවන් රාශියක් ඇත. Vaginitis, cervicitis, PID,
bacterial vaginosis, candidiasis, vaginal dryness, vulvodynia, mixed vaginitis,
dysmenorrhea, vaginismus, dyspareunia, menorrhagia, acute vulvovaginitis, cervical
polyps, vulvitis, endometriosis, infertility යන රෝග අවස්ථා මෙන්ම හෝර්මෝනමය
හා ව්‍යුහාත්මක අක්‍රමිකතා අවස්ථාවන් හා බොහෝසෙයින් සමපාත වන රෝග
තත්ත්ව ආයුර්වේද වෛද්‍ය ඉගැන්වීම් අතර වේ. මීට අමතරව බැක්ටීරියා, දිලීර හා
වෛරස් ආසාදන නිසා හටගන්නා ස්ත්‍රී රෝග, හෝර්මෝන අසමතුලිත බව නිසා
හටගැනෙන PCOS වැනි ඩිම්බකෝෂ ආශ්‍රිත ගැටලු, ගර්භාෂ ගෙල ආශ්‍රිත අර්බුද
තත්ත්ව, අර්බුද හා ග්‍රන්ථි වර්තමානයේ ස්ත්‍රීන් බහුලව ගොදුරු වන රෝග
අවස්ථාවන් වේ.
රෝග හේතු :-
– අධික කටු, අම්ල, ලවණ රස ආහාර භාවිතය
– රූක්ෂ, තීක්ෂණ, විදාහී ආහාර භාවිතය
– විරුද්ධ ආහාර හා අධිමාත්‍රාවෙන් ආහාර ගැනීම
– මත්පැන්, පැසවූ ආහාර නිතර භාවිතය
– ක්ෂණික ආහාර හා සීනි අඩංගු ආහාර නිතර ගැනීම
– පිටකල යුතු වේගයන් ආයාසයෙන් දරා සිටීම
– අධිකව ලිංගික ක්‍රියාවන්හි යෙදීම හා අපරීක්ෂාකාරී ලිංගික හැසිරීම්
– මෛථූනයේදී යෝනියට අනතුරු සිදු වීම
– අයහපත් ලිංගික පුරුදු
– අපිරිසිදු ඇඳුම්/ජලය භාවිතය
– රාත්‍රී නිදි වැරීම
– අධිකව මහන්සි වීම
– ප්‍රජනන අවයවයන්හි අපිරිසිදු බාවය
– තද ඇඳුම් භාවිතය
– මානසික ආතතිය
– විශාදය
– ලිංගික ක්‍රියාවලියේ යෙදීමට ඇති භය
– සාංකාව
– දිලීර / බැක්ටීරියා නිසා හටගන්නා ආසාදන
රෝග ලක්ෂණ –
– වාත දෝෂය විකෘති වීමෙන් වියළි බව, වේදනාව, මිරිකන්නාක් බඳු වේදනාව,
වේදනාකාරී ඔසප් වීම
– පිත දෝෂය ප්‍රමුඛ වීමෙන් දාහය, ප්‍රදාහ තත්ත්වය, තුවාල වීම්
– කඵ දෝෂයේ විකෘති වීමෙන් කැසීම්, ස්‍රාව ගැලීම්, සිරුරේ බර බව ශාරීරික රෝග
ලක්ෂණ ලෙසට ප්‍රමුඛ වේ.
මීට අමතරව, ලිංගිකව එක්වීමේදී වේදනාව, යෝනි ස්නේහ මද බව, ආර්තව වහා
ස්‍රෝතසෙහි දෝෂ (menstrual issues) යෝනි ව්‍යාපද් ලක්ෂණ අතර බහුලව ප්‍රකට
වේ.
ප්‍රතිකාර :-
ශෝධන, ශමන හා රසායන ඖෂධ බහුලව යොදා ගනිමින් සිදු කරන චිකිත්සා
පද්ධතියක් ප්‍රතිකාර සඳහා අන්තර්ගත වේ.
විරේචන හා වස්ති ප්‍රතිකාරය චිකිත්සාවේදී ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම
උත්තර වස්ති ප්‍රතිකාර ක්‍රමය සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවට සායනිකව
සනාථ කොට ඇත. Tubal block සහ Chronic inflammation පහසුවෙන් සුව කිරීමේ
හැකියාව මෙම ප්‍රතිකාරය සතුවේ.
බාහිර ප්‍රතිකාරයේදී ත්‍රිඵලා හා පංච වල්කල කෂාය මඟින් සිදු කරන යෝනි
ප්‍රක්ශාලන හා ජාත්‍යාදී හෝ බලා තෛල මඟින් යෝනි පිචු භාවිතය සිදු කෙරේ.
ලොත්සුඹුල්, අශෝක, හාතවාරිය, රසකිඳ, දාරුහරිද්‍රා, ත්‍රිඵලා, පංච වල්කල
ඖෂධ වර්ග ප්‍රතිකාර වශයෙන් බහුලව යොදා ගැනේ. ඉහත ඖෂධ වල අඩංගු
ප්‍රතිජීවක, ප්‍රතිප්‍රදාහක, ඊස්ට්‍රජන් යාමන ගුණ පර්යේෂණ මගින් සනාථ කොට
ඇත.
හිතකර ක්‍රියා :-
– උණු ජලය භාවිතය
– සැහැල්ලු දිරවීමට පහසු ආහාර භාවිතය
– පිරිසිදු බව / සනීපාරක්ෂාව සපයා ගැනීම
– භාවනා, යෝග අභ්‍යාස වලට යොමුවීමෙන් මානසික සෞඛ්‍ය රැකගැනීම
අහිතකර ක්‍රියා :-
– ඇඹුල් රසැති හා කුළුබඩු අධිකව යෙදූ ආහාර ගැනීම
– අධික මෛථූනය
– දහවල් නිදීම
– මානසික ආතතිය
කෂාය, අරිෂ්ට, ආසව, ගුග්ගුලු, වටී, චූර්ණ අභ්‍යන්තර ඖෂධ ලෙස භාවිතයෙන්
ක්‍රමවත් චිකිත්සා පද්ධතියකට යටත්ව නිසි සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරු
යටතේ ප්‍රතිකාරයෙන් ස්ත්‍රී රෝග පහසුවෙන් සුව කිරීමේ හැකියාව ආයුර්වේද
ඖෂධ සතු වේ.
රෝග ලක්ෂණ නොසලකා හැරීමෙන් රෝග තත්ත්වයන් වර්ධනය වීමේ හැකියාව
පවතින බැවින් හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමුවීම අනිවාර්යයෙන්ම සිදු
කළ යුතුය.
ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS -Colombo (SL)
