


මේ දවස් වල ශ්රී ලංකාවේ 2026 වසර සදහා වන අයවැය විවාදය පාර්ලිමේන්තුවේ ක්රියාත්මක වන නිසා “අයවැය” ගැන ලෝකේ පුරාම ඉන්න ශ්රී ලාංකිකයන්ගේ උන්නදුව වැඩි වෙලා තියනවා. ඒ අතරේ එළැඹෙන නොවැම්බර් 26 වනදා එනම් තව සති දෙකක විතර කාලයකින් එක්සත් රාජධානියේ ලබන වසර සදහා වන අයවැය හෙවත් “සරත් සෘතුවේ ප්‍රකාශය” බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අයවැය කියවීමට නියමිතව තිබෙන්නේ බ්රිතාන්යයේ මුදල් අමාත්යවරයා හෙවත් චාන්සලර්වරිය ලෙස හැදින්වෙන රේචල් රීව්ස්
මෙවර බ්‍රිතාන්‍ය අයවැය ගැන අනාවැකි පළකරන බොහෝ ආර්ථික විශේෂඥයන් හා මාධ්‍ය නම් කියන්නේ මෙවර අයවැයෙන් බදු වැඩිකිරීමට නියමිතයි කියලා. මේ ගැන චාන්සලර්වරියගෙන් අහන හැම තැනදිම ඇය එයට නිශ්චිත පිළිතුරක් ලබා දෙන්නේ නෑ. පහුගිය 10 වෙනිදා BBC ය සමග පැවති සාකච්ඡාවකදීත් බදු වැඩිකරන්නේද යන්න අහපු ප්රශ්නයට ඇය ලබා දුන්නේ අසීරු තීර්ණ ගන්නට තමන්ට සිදුවනු ඇති බවයි. තවමත් අයවැය යෝජනා අවසන් කර නැතැයි ප්රකාශ කරන රේචල් රීව්ස් කියා සිටියේ බදු වැඩිකිරීම සහ වියදම් කප්පාදු කිරීම යන දෙකෙන් රටට සුදුසු එක තෝරා ගැනීමට තමන් පසුබට නොවන බවයි.
කම්කරු රජයේ මේ බදුවැඩිකිරීමේ සූදානම වඩාත් ආණ්දෝලනාත්මක වෙන්නේ පසුගිය වසරේ එනම් 2024 වසරේදී ඔවුන් බලයට පත්වීමේදී ලබාදුන් මැතිවරණ ප්රකාශයේ පැහැදිලිවම “වැඩකරන ජනතාව මත බදු වැඩි නොකරන බවට” ලබා දුන් පොරොන්දුව. ලංකාවෙදි නම් මැතිවරණ පොරොන්දු අමු අමුවේම උල්ලංඝණය කිරීම අතිශය සාමාන්‍ය උනාට බ්‍රිතාන්‍ය වගේ රටකදි මැතිවරණ ප්රතිපත්ති ප්රකාශයේ ප්රධාන පොරොන්දුවක් මෙහෙම උල්ලංඝණය කිරීම ඉතාම බරපතල කාරණාවක් වෙනවා.
කම්කරු පක්ෂ මැතිවරණ ප්රකාශයේ සදහන් වන ආකාරයට සිය රජයක් යටතේ ආදායම් බදු, ජාතික රක්ෂණ අරමුදල හෝ VAT බදු කිසිසේත්ම වැඩි නොකරන බවට පොරොන්දු වෙලා තියනවා. ඒත් චාන්සලර්වරිය මේ සූදානම් වෙන්නේ බලයට ඇවිත් අවුරුද්දක් යනකොට ඒ මැතිවරණ පොරොන්දුව කඩ කරන්න. ඒ ගැන ඇහුවම රේචල් රීව්ස් කියන්නේ මැතිවරණ ප්රතිපත්ති ඒ ආකාරයටම රැකිය හැකි නමුත් එසේ උවහොත් විශාල වශයෙන් ප්රග්ධන වියදම් කපා හැරීමට සිදුවන බවයි. ඇය කියන්න උත්සාහ කරන්නේ බදු වැඩි නොකරොත් යටිතල පහසුකම් මත රජය දරණ වියදම් කපා හරින්න සිදුවන බව.
චාන්සලර්වරියට අනුව මෙවර බ්‍රිතාන්‍ය අයවැයෙහි බලාපොරොත්තු වන්නේ ජීවන වියදම, රාජ්‍ය ණය බර සහ NHS පොරාත්තු ලේඛණ අඩු කිරීමයි. මේ අරමුණු තුන ඉටු කරගැනීමට නම් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම අනිවාර්ය්ය වෙනවා. එහෙනම් බදු වැඩිවීම බොහෝදුරට සිදුවිය හැකිය. නිවරදි අවස්ථාවේ නිවරදි තීරණ ගැනීම හැම විටම පහසු නොවන බවයි රේචල් රීව්ස්ගේ අදහස වන්නේ. ඒ වගේම පසුගිය රජය මගින් යටිතල පහසුකම් සංවර්ධනය සදහා සිදුකල ආයෝජන අඩුකිරීමෙන් බ්‍රිතාන්‍ය ජනතාව මුහුණ දෙන දුශ්කරතා ගැනද චාන්සලර්වරිය සිහිපත් කරනවා. කෙසේ වෙතත් තව සති දෙකකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය මේ සියළු ප්රශ්න සදහා පිළිතුරු ලබාදෙනු ඇති.
තිලාන් ජයසේකර
