1897 වසරේදී ප්රකාශයට පත් කරන ලද, බ්රෑම් ස්ටෝකර්ගේ (Bram Stoker) ප්රබන්ධයක් වූ “ඩ්රැකියුලා” නවකතාව, ලොව පුරා වැම්පයර්වරුන් පිළිබඳව නව සාහිත්‍ය රසයක් සහ ඒ අනුසාරයෙන් බිහිවූ චිත්රපට රැල්ලක් ඇති කිරීමට සමත් විය. මිනිසුන් දඩයම් කිරීමට සහ ඔවුන්ගේ රුධිරය පානය කිරීමට අද්භූත බලයන් භාවිතා කරන “ඩ්රැකියුලා” යන නාමය වැම්පයර් චරිත අතර අමරණීය විය. එහෙත්, මෙම ප්රබන්ධ චරිතයට මූලික ආභාෂය ලැබුණේ 15 වන සියවසේ විසූ රුමේනියානු කුමාරයෙකු වූ වැලැඩ් III තෙපෙස් (Vlad III Țepeș) හෙවත් වැලැඩ් ඩ්රැකියුලා (Vlad Dracula) ගෙන් බව ඔබ දන්නවාද?
වැලැඩ් ඩ්රැකියුලා, වර්ෂ 1431 දී ට්රාන්සිල්වේනියාවේ උපත ලැබීය. ඔහුගේ පියා වූ දෙවැනි වැලැඩ් ඩ්රැකුල් (Vlad II Dracul), “මකරාගේ ගෝත්රය” (Order of the Dragon) ලෙසින් හඳුන්වනු ලැබූ ක්රිස්තියානි නයිට්වරුන්ගේ රහසිගත සංවිධානයකට සම්බන්ධ වී සිටියේය. රුමේනියානු භාෂාවෙන් “ඩ්රැකුල්” යන්නෙහි අරුත “මකරා” වන අතර, “ඩ්රැකියුලා” යන්නෙන් “ඩ්රැකුල්ගේ පුත්‍රයා” හෙවත් “මකරාගේ පුත්‍රයා” යන අරුත ලැබේ. කුඩා කල ඔටෝමාන් අධිරාජ්යයේ ප්රාණ ඇපකරුවෙකු ලෙස ගත කිරීමට සිදුවීම, ඔහුගේ පාලන ශෛලියට දැඩි බලපෑමක් කළ බව විශ්වාස කෙරේ. ඔහු තුන් වරක් වල්ලචියාවේ (Walachia) සිහසුනට පත් විය.
වැලැඩ් කුමාරයා ඔහුගේ සතුරන්ට කුරිරු අන්දමේ වධහිංසා ලබාදීම, මිනිසුන් විකෘති කිරීම සහ සමූහ මිනීමැරුම් සිදුකිරීම ඇතුළු විවිධ ම්ලේච්ඡ දඬුවම් ක්රම සම්බන්ධයෙන් කුප්රකටව සිටියේය. ඔහුගේ වඩාත් ප්රියතම දඬුවම් ක්රමය වූයේ උල තැබීමයි . ඔහු තම සතුරන්, දේශද්රෝහීන් සහ නීති කඩ කරන්නන් උල් මතින් තබා මරා දැමීමට නියෝග කළේය. මෙම භයානක ක්රමය හේතුවෙන් ඔහුට “උල තබන්නා” යන අන්වර්ථ නාමය හිමි විය.
පුරාවෘත්ත වලට අනුව ඔහුගේ ජීවිතකාලය තුළ මිනිසුන් 80,000 කට වැඩි පිරිසක් කුරිරු ලෙස ඝාතනය කර ඇත.
ඔහුගේ පාලන කාලය තුළ සිදු වූ බව පැවසෙන සමහර සිදුවීම් ඔහුගේ කුරිරුකම මොනවට කියාපායි.
ඔහු වරක් තම පියාගේ ඝාතනයට සම්බන්ධ වූ ප්රභූවරුන්ව භෝජන සංග්රහයකට කැඳවා, ඔවුන් ආහාර ගනිමින් සිටින අතරතුර උල තබා මරාදමා, ඔවුන්ගෙන් වැගිරෙන ලේ එකතු කරගෙන පාන් පෙති පොඟවා ආහාරයට ගත් බව පැවසේ. මෙය බ්රෑම් ස්ටෝකර්ගේ ලේ උරා බොන වැම්පයර් චරිතයට මූලික ආභාෂය වීමට එක් හේතුවක් විය.
තවද ඔහු වසංගත උණ රෝගයක් පැතිර ගිය ගම්මානයක් පිටතට බෝවීම වැළැක්වීම සඳහා, එම ගම්මානය එහි සිටි සියලු දෙනා සමඟම ගිනි තබා විනාශ කර දැමූ බව සඳහන් වේ.
එමෙන්ම සුළු සොරකමක් කළ අහිගුණ්ඨකයෙකු උතුරන වතුර ඇති විශාල කටාරමකට දමා තම්බා, ඔහුගේ කණ්ඩායමේ සිටි අනෙකුත් අහිගුණ්ඨකයන්ට එය ආහාරයට ගන්නා ලෙස අණ කළ බව ද කියැවේ.
ඔහු කෙතරම් දැඩි විනයක් පවත්වාගෙන ගියාද යත්, වරක් නගරයේ මැද තබා තිබූ රන් කුසලානයක් දෙස බැලීමටවත්, එය අසලට යාමටවත් කිසිවෙකුටත් ධෛර්යයක් නොතිබූ බව කියැවේ. මෙය ඔහුගේ පාලනය යටතේ ජනතාව තුළ ඇති වූ දැඩි බිය පැහැදිලි කරයි.
වර්ෂ 1462 දී ඔටෝමාන් ආක්රමණිකයන්ට එරෙහිව ඔහු දියත් කළ යුද්ධයේ දී, වැලැඩ් කුමාරයා විසින් ඩැනියුබ් ගංගා ඉවුරේ 20,000 ක් පමණ වූ මිනිසුන් සංඛ්යාවක් ලී උල් ආධාරයෙන් ඝාතනය කරන ලද බව කියැවේ. මෙය ඔටෝමාන් හමුදා භීතියට පත් කිරීමට ඔහු ගත් උපාය මාර්ගයක් විය.
පසු කලෙක හංගේරියානු හමුදාවන් විසින් ඔහුව අල්ලාගෙන සිරගත කරන ලදී. අවසානයේ, වර්ෂ 1476 දී ඔහුට නැවතත් බලයට පත්වීමට හැකි වුවද, එම වසරේදීම ඔටෝමාන්වරුන්ට එරෙහිව පැවති සටනකදී ඔහු මිය ගියේය. ඔහුගේ මරණයට හේතුව සහ සිදුවූ ස්ථානය පිළිබඳව නිශ්චිත වාර්තා නොමැත.
වැලැඩ් ඩ්රැකියුලාගේ මෙම භයානක කතා පුවත සහ “ඩ්රැකියුලා” යන නාමය, බ්රෑම් ස්ටෝකර්ගේ සුප්රසිද්ධ වැම්පයර් ප්රබන්ධයන් රචනා කිරීම සඳහා පාදක විය. ස්ටෝකර් ඔහුගේ චරිතය වැම්පයර් කෙනෙකු බවට පත් කළද, වැලැඩ් යනු ලේ බොන වැම්පයර් කෙනෙකු නොව, තම රාජධානිය ඔටෝමාන්වරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුරිරු ක්රියා සිදු කළ ඓතිහාසික චරිතයකි.
අදටත්, වැලැඩ් තෙපෙස් රුමේනියාවේ මතභේදාත්මක චරිතයකි. සමහරු ඔහුව දේශයේ ආරක්ෂකයෙකු සහ ප්රතිරෝධයේ සංකේතයක් ලෙස සලකන අතර, තවත් සමහරු ඔහුගේ අසීමිත කුරිරුකම් කෙරෙහි අවධානය යොමු කරති. කෙසේ වෙතත්, ඩ්රැකියුලා පුරාවෘත්තය ලෝක සාහිත්යයේ සහ ජනප්රිය සංස්කෘතියේ අමරණීය කොටසක් බවට පත්ව ඇත.
පියුමි නෙළුමිකා