එංගලන්තයේ භාවිතා වන නිළ මුදල් ඒකකය වන ස්ටර්ලින් පවුම් නෝට්ටු වසර 50 කට පමණ පසුව ප්රතිනිර්මාණය කිරීමට එංගලන්ත මහ බැංකුව තීරණය කරලා තියනවා. උදාහරණයක් වශයෙන් බ්රිතාන්යයේ කුඩාම නොට්ටුව වන පවුම් 5 නොට්ටුවේ පිටුපස 1970 වසරේ සිට දක්නට ලැබෙන මෙරට කීර්තිමත් දේශපාලඥයෙකු වන ශ්රීමත් වින්ස්ටන් චර්චිල් වැනි කැපී පෙනෙන චරිත ඉදිරි ප්රතිනිර්මාණයකදී ගැලවී යාමට නියමිතව තිබෙනවා. ඒ වෙනුවට බ්රිතාන්යය ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම්, නවෝත්පාදනය හෝ සොබාදහමේ විශ්මය මුදල් නෝට්ටු සදහා ඇතුලත් වීමට නියමිත අතර ඒ වෙනුවෙන් මහජනතාවගේ අදහස් මහබැංකුව විසින් බලාපොරොත්තු වනවා.
එංගලන්තයේ සෑම මුදල් නොට්ටුවකම දක්නට ලැබෙන රාජාණ්ඩුවේ රූපය හෙවත් එවකට රාජ්යත්වය දරණ රජුගේ හෝ රැජිණගේ රුව මුදල් නෝට්ටු සදහා එක්කර ඇත්තේ 1960 වසරේදීය. ඉන් දශකයකට පමණ පසුව එම මුදල් නොට්ටු වල අනෙක් පැත්තේ බ්රිතාන්යයේ ඓතිහාසික සහ වැදගත් චරිත වල රූප ප්රදර්ශණය කිරීම ආරමිභ කර ඇති අතර එලෙස එකතු කල පළමු චරිතය වී ඇත්තේ විලියම් ෂේක්ස්පියර් වේ. විටෙක එම තෝරා ගැනීම් බ්‍රිතාන්‍ය ජනතාවගේ උදහසට පවා ලක්වී ඇති අතර උදාහරණයත් ලෙස 2013 වසරේදී මුදල් නෝට්ටු වල එලිසබෙත් රැජිණ හැරෙන්නට වෙනත් කිසිදු කාන්තාවක් නොමැති වීම ජනතා උදහසට ලක්වී ඇත.
නිකුත් වීමට නියමිත නව පවුම් 5,10,20 හා 50 නෝට්ටු සදහා කුමන ආකාරයේ මෝස්තර හෝ නිර්මාණ ඇතුලත් විය යුතුද යන්න පිළිබදව මහ බැංකුව විවෘත මනසකින් සිටින අතර ඒ සදහා අදහස් දැක්වීමට මහජනතාවට මේ වන විට කාලය ලබාදී ඇත. III වන චාලස් රජතුමාගේ රූපය එලෙසම නව නෝට්ටු තුලද දිස්වීමට නියමිත වේ. ඊට අමතරව නව තේමාවන්ට අදාළව යෝජනාවන් මහජනතාවට ඉදිරිපත් කල හැක. මහ බැංකුව සදහන් කරන පරිදි එම යෝජනා අතරට බ්රිතාන්යයේ ප්රසිද්ධ ගොඩනැගිලි, මාලිගා හෝ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨ සලකුණු මෙන්ම ආහාර, චිත්රපට, නව කතා වැනි කලා සංස්කෘතිකාංගද යෝජනා කල හැක. කීඩාවන් සම්බන්ධ දෑ ද යෝජනා කල හැකි බව මහ බැංකුව පවසයි.
ඊට අමතරව තාක්ෂණයේ හෝ නවෝත්පාදනය හෝ නව සොයා ගැනීම් මෙන්ම ගංගා මුහුදු, පක්ෂීන්, ගහකොල වැනි ස්භාව සෞන්දර්යයට අදාළ දෑ ද යෝජනා කරන ලෙස මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඊට අමතරව දැනට නිරූපනය වන රූප වල සදහන් නොවන අතීතයේ විශිෂ්ඨත්වයක් විදහා පෑ සුවිශේෂි පුද්ගලයන්ද ඔවුන්ගේ නව යෝජනා ලයිස්තුව අතර වේ. මහ බැංකුව සදහන් කරන පරිදි මුදල් නෝට්ටු ගෙවීම් මාධ්යයක් මෙන්ම එක්සත් රාජධානියේ අනන්යතාව නිරූපනය කරන සංකේතයක් වන අතර එම නිසා එහි ජාතික අන්යයතාව නිරූපනය විය යුතු බව යෝජනා කරයි.
මේ වන විට තාක්ෂනයේ දියුනුවත් සමග සමස්ථ ගණුදෙනු වලින් මුදල් භාවිතා කරමින් කරන ගණුදෙනු ප්රමාණය 12% දක්වා පහත වැටී ඇති අතර එහෙත් මුදල් ගණුදෙනු සදහා කැමති පුද්ගලයන්ට අවශ්‍ය තරම් මුදල් සංසරණයෙහි යෙදවීම මහ එංගලන්ත මහ බැංකුවේ වගකීම බව ඔවුන් සදහන් කරයි. වර්ථමාන ගණනය කිරීම් වලට අනුව දැනට බ්‍රිතාන්‍ය පවුම් බිලියන 86 ක් පමණ වටිනා මුදල් නෝට්ටු බිලියන 4.7 කට වඩා සංසරණයෙහි පවතින අතර නුදුරු අනාගතයේදීම මේ සියළු මුදල් නෝට්ටු නව තේමාවන් අනුව ප්රතිස්ථාපනය වීමට නියමිත වේ. දැනට භාවිතයේ පවතින බ්‍රිතාන්‍ය පවුම් නෝට්ටු අඩු ආකර්ශණිය පෙනුමකින් යුතු උවද ස්කොට්ලන්තයේ හා අයර්ලන්තයේ ඉතා වර්ණවත් පවුම් නෝට්ටු තේමාවන් භාවිතා වේ.
තිළාන් ජයසේකර