Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
Api-Slide-64-2
previous arrow
next arrow

- ටීචර්ගෙ ගෙදර - ( චරියාගේ කෙටි කතා )

අම්මෝ අද නම් හරිම මහන්සියි..අළුත් පංතියේ පොඩි එවුන් යක්කු පැටව් වගේ..ඒත් හැබැයි හරිම හුරතල්..( සුනීතා සාරි පොටෙන් පවන් සලමින් ගෙදරට ගොඩවූවාය..)

වතුර එකක් ගේන්න පුතේ..

ඉන්න අම්මේ..මෙන්න අම්මේ..( මෙවර උසස් පෙළට පෙනී සිටින සුනීතාගේ දියණිය වතුර වීදුරුවක් රැගෙන ආවාය..)

අම්මට අද මහන්සි පාටයිනේ ? අම්මා wash එකක් දාගෙන එන්න..මම පොල් ටිකක් ගාලා මොනවාහරි හදන්න ගන්නම් රෑට..

පොල් කිව්වම මතක් වුණේ..පාට කරපු පොල් කුඩු ගේන්න කියන්න ඕන ළමයින්ට..ඔන්න ඔය ෆෝන් එක ගන්න ළමයෝ Whatsapp එකක් දාන්න..

අම්මෝදැන් තමයි ඇඟේ තෙහෙට්ටුව ගියේ..කරන්ට් එක නැද්ද දුවේ..? ( නාන කාමරයේ සිට පැමිණි සුනීතා කීවාය )

මේ දැන් ටිකකට ඉස්සෙල්ලා කරන්ට් ගියේ අම්මේ..අර Emergency Light එකේ බැටරිය චාජ් කරලා තියෙන්නේ..

බැටරි කිව්වම මතක් වුණේ..පොඩි එවුන්ට බැටරි කෑලි දෙක ගානේ ගේන්න කියන්න ඕනනේ..දාන්න ඕන Whatsapp message එකක්..

අම්මේ සියඹලා කොහෙද තියෙන්නේ ? කුස්සියේ කොහේවත් නෑනේ..

ඔය රාක්කයේ පහලම කෑල්ලේ ඇති..

සියඹලා ඇට ? කෝ මේ ෆෝන් එක..කළුවරේ හොයාගන්නත් බෑ.. හොඳ වෙලාවට ඒක මතක් වුණේ හෙට ගේන්න කියන්න ඕනනෙ..( සුනීතා තමාටම මුමුණමින්..)

උයලා ඉවරයි අම්මේ..කනවද ?

තාත්තා එනකම් ඉමු..කළුවරත් වැටිලා මේ මනුස්සයා තාම නෑනේ..

( උගුර පාදමින් ගෙට ගොඩවැදුන නවීන් තම අත තිබූ මල්ල දිගු කරමින්…)
දුවේ මෙන්න මේ යෝගට් ටික fridge එකට දාන්න..

යෝගට්..හම්මේ වෙලාවට මතක්වුණේ..ළමයින්ට යෝගට් කෝප්ප ගේන්න කියන්න එපැයි..තව පොඩ්ඩෙන් අමතක වෙනවා..

අද අතුගාලා නැද්ද ? ගෙයි වැලි පෑගෙනවා..( නවීන් මදක් උස් ස්වරයෙන් ඇසීය..)

මමත් අද හරිම මහන්සියෙන් ආවේ නවී..ආපු ගමන් පොඩ්ඩක් ඇලවුණා..කරන්ට් ආවම අතුගාන්න ඕන..

( ක්ෂණයෙන් සුනීතාට වැලි මතක් විය.. ) වැලි..හොඳ වෙලාවට අනේ ඔයා වැලි කතාව කිව්වෙ..ළමයින්ට වැලි පොඩ්ඩක් ගේන්න කියන්න whatsapp එකක් දාන්න හිටියේ..

අන්න කරන්ට් ආවා..බලන්න දැන් රෑ 10ටත් කිට්ටුයි..මිනිස්සු වැඩක් කරගන්නේ කොහොමද මේ වෙලාවට කරන්ට් ඇවිල්ලා..කිසිම පිලිවෙලක් නෑ මේ රජයේ මිනිස්සුන්ගේ වැඩ..හිතෙන හිතෙන වෙලාවට කරන්ට් එක කපනවා..( සුනීතා නොනවත්වාම කියන්නට විය..)

මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ
නිම් වළල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත බලලා අපි මාලු බාලා එනවෝ

තුවාය කරේ දමාගෙන නාන කාමරයේ සිට සිංඳුවක් මුමුණමින් පැමිණි නවීන්..
දුවේ අපි කමුද ?

කමු කමු තාත්තේ..

මුහුදු රැල්ල..? ( මද වේලාවක් කල්පනා කළ සුනීතා..) සිප්පි කටුදෙයියනේ ළමයින්ට සිප්පි කටු ගේන්න කියන්න බැරිවුණානේ..දැන්මම දාන්න ඕන group එකට..

අද මොනවද පුතා හැදුවේ ? ( නවීන් ඇසීය..)

රතු කැකුළු බතුයි..මාළුයි..වට්ටක්කයි..පොල් සම්බෝලයයි හැදුවා..

ෂා නියමයිනේ..කාලෙකින් හොඳ කෑම ටිකක්..

..දැන් මම මෙච්චර කල් බත් තැම්බුවා, මට වචනෙකින්වත් ඇගයීමක් නෑ.. දෝනිඇන්දා එක දවසයි ඉව්වේ, බලන්නකෝ මෙයාගේ වර්ණනාව..( සුනීතා නුරුස්සන ස්වරයකින් කීවාය..)

එහෙම නෙවෙයි..එකක් මේ වගේ කාලෙක තරුණ කෙල්ලෙක්ට මෙහෙම උයන්න පුළුවන් කියන්නෙම අගයන්න ඕන දෙයක්..අනිත් එක තමයි මේ හදලා තියෙන කෑම වලට මම හරිම කැමතියි..

හරි හරි ඇති ඇති දැන් කෑම කමු..

( තුන්දෙනාම රාත්රී ආහාරය ගැනීම සඳහා වාඩි වූහ. දැන් රාත්රී 10.45 පමණ වී ඇත. )

පුතේ මට තව වට්ටක්කා ටිකක් දාන්න..ඒක මරු..

තාත්තා හින්ඳම තමයි මම වට්ටක්කා ඉව්වේ..

ඈහ්.. මොකද පුතේ ?

ඇයි තාත්තා ඉතින් හැමදාම කරන අර නරක පුරුද්ද අත්හරින්නේ නෑනේ..

මො මො මොකද්ද ?

සිගරට් බොන එක..

( නවීන් කිසිවක් නොකියා බෙල්ල නමාගෙන පිඟාන දෙසම බලාගෙන කන්නට විය. )

හරි හරි ඉතින් දැන් මුණ නරක් කරගෙන කන්න එපා. වට්ටක්කා කන්න ආසයි කිව්ව නිසයි මම එහෙම කිව්වේ..අම්මයි තාත්තයි දන්නවද මේ වට්ටක්කා වල තියෙන ප්රයෝජන ?

අපේ අනාගතයේ වෛද්යතුමිය කියන්න බලන්න එහෙනම් ( සුනීතා විහිළුවක් කිරීමේ අටියෙන් කීවාය..)

ඔන්න එහෙනම් අහගන්න..සාමාන්යයෙන් වට්ටක්කා ගෙඩි වලට කියන්නේරත්තරං ගෙඩිකියලා..ඒවා එච්චරටම වටිනවා. මේ වට්ටක්කා පිළිකා කාරක සෛල විනාශ කරනවා..මේවගේ තියෙන කැලරි ප්රමාණය සෑහෙන්න අඩුයි. ඒකත් වාසියක්..කෙට්ටු වෙන්න දඟලන ගොඩක් අයට මේක හොඳම ආහාරයක්..වයසක පෙනුමත් මේකෙන් අඩාල කරනවා..අපෙ අම්මට වගේ නම් හොඳයි අතින්..
( නවීන්ට ඉබේටම හිනාවක් පැන්නේය..)

උඹ මගෙන් මුකුත් අහගන්න එපා දුවේ..

හරි හරි විහිළුවක් කළේ අනේ..

පුතා කියාගෙන යන්නකෝ..අපි දන්නේ නෑ ඔයා කියනකම් ඕවා..
(නවීන් දැඩි උනන්දුවකින් කීවේය.)

වට්ටක්කා කියන්නේ හදවතටත් දිව් ඖෂධයක්..සිගරට් බොන අයට වට්ටක්කා කන්න කියන්නේ ඒකයි.. අහිතකර විෂ නසලා හදවත පිරිසිදු කරනවා මේකෙන්..අහලා තියෙනවා නේද මළ ගෙවල් වල මළ බත එක්ක වට්ටක්කා වෑංජනයක් දෙනවා කියලා..ඇයි ..තාත්තා දන්නවද ?

ඔව් ඉතිං ඒක සම්ප්රදායිකව එන එකක්නේ..

නෑ..ඉස්සර කාලේ ඉඳලා මිනිස්සු දැනගෙන හිටියා වට්ටක්කා වල තියෙන ප්රයෝජන ? විඩාව, මහන්සිය නැතිකරන්න පුළුවන් පුදුම සහගත ශක්තියක් වට්ටක්කා වල තියෙනවා..වට්ටක්කා නව ජීවයක් ඇති කරන ආහාරයක්..මළ ගෙවල් වල දවස් ගණනාවක් නිදි වරාගෙන මහන්සි වෙලා ඉන්න මිනිස්සුන්ගේ මහන්සිය නැතිකරන්න තමයි වට්ටක්කා වෑංජනය දෙන්නේ..

අම්මෝ එහෙනම් දිගටම වට්ටක්කා කන්න ඕන..( නවීන් එක වරම කීවේය..)

වට්ටක්කා කන්න නෙවෙයි ඔය නරක පුරුද්ද අතහැර ගන්න බලන්න ඔයා..( සුනීතා ටිකක් උස් ස්වරයකින් කීවාය. )

හරි එහෙනම් කාලත් ඉවරයිනේ.. අපි නිදාගමු..එකොළහත් පහුවෙලා..

හලෝ..සුනීතා මිස්ද ?

ඔව් කතා කරනවා..

මිස් මම ධනුක පුතාගේ තාත්තා..

ඔව් කියන්න තාත්තා..

අනේ මිස් හෙට තව මොනවාහරි ගේන්න තියෙනවද පොඩි එක්කෙනාට ? මම මේ හතරවෙනි වතාවට ගෙදර ගේට්ටුව ලඟට ගිහින් ආපහු හැරිලා හන්ඳියට යන්නේ..

..ආහ්..නෑ නෑ ඔච්චර තමයි ඕන තාත්තා..

අම්මෝ ලොකු දෙයක් මිස්..පිං සිද්ධ වෙනවා..

කවුද කතා කළේ ? ( නවීන් ඇසීය )

ආහ් මේ ඉස්කෝලේ පංතියෙ ළමයෙක්ගේ තාත්තා කෙනෙක්..

( එසේ කියමින් සුනීතා නින්දට වැටුණාය..)

බුදු අම්මෝ…( පැය දෙකකට පමණ පසු සුනීතා මහ හයියෙන් කෑගසමින් අවදි විය. )

සුනීතා මොකද ? සුනීතා මොකද ?( නවීන්..තැතිගත් ස්වරයෙන් ඇසීය )

......වට්ටක්කා..වට්ටක්කා ඇට ගේන්න කියන්න බැරිවුණා ළමයින්ට..

චරියාගේ පන්හිඳ

Home / Other / 25-July-13