


වරක් බුදුරජාණන්වහන්සේගෙන් කෙනෙක් ප්රශ්නයක් ඇසීය. එනම් විශ්වයේ බලවත්ම ශක්තිය කුමක්ද යන්නයි. උන්වහන්සේගේ ක්ෂණික පිළිතුර වූයේ මනස යන්නයි. විශ්වයේ ශ්රේෂ්ඨතම තත්ත්වය වන බුද්ධත්වය ද මනසේ ශක්තිය තුළින් ලබන්නකි. මිනිසුන් වන අපට ආගමික සංස්කෘතික වාර්ගික වෙනස්කම් කුමක් වුනත් මනසේ ශක්තිය ශක්යතා හතක් ලෙස අංගුත්තර නිකායේ සත්තක නිපාතයේදි උන්වහන්සේ විසින් උගන්වා තිබේ. එම හත එකින් එක ගෙන බලමු.
1. විශ්වාසය (confidence): අප මේ ශක්තිය ගැන හොඳම උදාහරණය ලෙස ගන්නේ බුදුරජාණන්වහන්සේ ය. විශ්වයේ ඉහළම සහ දෙවියන්ගේ වන්දනාවට පාත්ර වූ ආධ්යාත්මික තනතුර වන බුද්ධත්ත්වය උන්වහන්සේ ලබාගත්තේ මේ ශක්තිය මුල් කරගෙනය. තමන් විසින් තමාව විශ්වාස කළ යුතුයි. බුද්ධං සරණං ගච්ඡාමි කියා අප උන්වහන්සේව අනුගමනය කරන්නේ උන්වහන්සේ විශ්වාසයේ ආදර්ශය (role model of confidence) නිසාය.
2. වීර්යය (energy): මේ ශක්යතාව ජීවිතයේ ගැටළු හැල හැප්පීම්වලට මුහුණදීමට අප පුහුණු කරයි. සියල්ල කර්මයෙන් සිදුවේය යන දෛවවාදය (fatalism) ප්රතික්ෂේප කරන බුදුරජාණන්වහන්සේ විසින් කර්මය සැබෑ බලවේගයක් වුවත් එයට ප්රතිවිරුද්ධ නැගී සිටීමේ ශක්යතාව ලෙස මෙය දක්වා තිබේ. මෙම ශක්යතාව ආරම්භ වීර්යය (startup energy) සහ උට්ඨාන වීර්යය (reinforcement energy) ලෙස පියවර දෙකකින් යුක්තය. මුල් පියවර එක සිතින්ම උපරිම කැපවීමෙන් යමක් ආරම්භ කිරීම සඳහා ය. දෙවෙනි පියවර ඉලක්කය සපිරෙන තුරු වරින් වර ක්රියාවලිය ශක්තිමත් කිරීම සඳහාය.
3. හෘද සාක්ෂිය (conscience): මෙය කෙනෙකුට වැරදි කිරීම සඳහා ලැජ්ජාව ඇති කරයි. ආත්ම ගෞරවය රැක ගැනීමට වංචා දූෂණ පිටු දැකීමට මෙම ශක්යතාව පිටුබලයක් වෙයි. කොතරම් වාසි තනතුරු ලැබුණද තම චරිතය පාවාදීම මේ ශක්යතාව ඇති අය අතින් සිදු නොවේ.
4. අන්තරාය දැකීම (caution): මේ ශක්යතාව ඇති අය වැරදි කිරීමට බිය වේ. යමක් කිරීමට පෙර කීපවරක්ම සිතා බලයි. යම් ක්රියාවක සුන්දර යැයි පෙනෙන ප්රතිඵලයක ඇති සැඟවුනු අනතුර තේරුම් ගනියි. මෙය සහ තුන්වෙනි ශක්යතාව නිවුන් ශක්යතා ය. දෙකම එකවර භාවිත කිරීම නිසැක ප්රතිඵල ගෙන දෙයි.
5. සිහිය (mindfulness): මෙයින් ලැබෙන ප්රතිඵලය ඉතා විශාලය. කොතරම් කාර්යබහුල වුවද සිදුකරන හැම ක්රියාවක් ගැනම අවධානයෙන් සිටීමට මෙය උපකාරී වේ. අතිශය අවිවේකී කාර්යබහුල ජීවන රටාවක් ඇති වර්තමානයේ මේ ශක්යතාව ඉතා ජනප්රිය මෙන්ම ධනෝත්පාදක ආයෝජනයක් ලෙස මෙ ශක්යතාව විවිධ සංවිධාන සහ ආයතන මගින් market කරනු ලබන්නේ ඒ නිසාය. සෑම මොහොතකම කල්පනාකාරීව ක්රියා කිරීමට මෙය උපකාරි වේ.
6. සංසුන්බව (calm): මෙය සහ පස්වෙනි ශක්යතාව නිවුන් වේ. බෝම්බයක් නිෂ්ක්රීය කරන විශේෂඥයෙකු මෙන් ඉතා සංයමයෙන් කටයුතු කිරීමට මෙය උපකාර වේ. අර්බුද විසඳීමේ (conflict resolution) කාර්යයේදී මේ ශක්යතාව මහත් සම්පතකි. මේ ශක්යතාව ඇති අය නොසැලෙයි.
7. ප්රඥාව (wisdom): මෙය විෂයානුබද්ධ දැනුමට වඩා ඉතා උසස් දැනුමයි. ඥාන (knowledge) යනු විෂයානුබද්ධ දැනුමයි. ප්රඥා යනු යමක් දෙස පක්ෂග්රාහී නොවී යථාර්ථය දැකීමේ ශක්යතාව යි. මෙය ඉංග්රීසියෙන් unbiased vision of reality ය.
අකාලික මනෝවිද්යාවක් වන බුද්ධ ධර්මයෙහි ඉගැන්වෙන මෙම ශක්යතා හත පොදුවේ මානව වර්ගයෙහි සාමාජික වන අපට ආලෝකමත් සහ අවුල් වියවුල්වලින් තොර ජීවිතයක් ගත කිරීමට උපකාරි වේ. බුදුසරණයි!
ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි
සාකල්‍ය මනෝවිද්‍යා උපදේශක
