


‘කථනය‘ නොහොත් ‘කතා කිරීම‘ යනු සත්ත්වයන්ගේ ප්රකාශනයේ භාෂාවයි.
එමඟින් තමාට අවශ්‍ය දේ තවත් අයෙක් වෙත සම්ප්රේෂණය තුළින් සන්නිවේදනය කිරීමටත්, හැඟීම් හා දැනීම් ප්රකාශනයටත් අවස්ථාව සැළසේ.
අවශ්‍ය තැන්හි, නිවැරදි වචන ගැලපීමෙන් අදහස් හුවමාරු කිරීමටත්, අර්ථවත් හා නිරවද්‍ය සන්නිවේදනයටත් කථනය අතිශය වැදගත් වේ.
නමුත් ජනගහනයෙන් තුනෙන් එකක ප්රමාණයක් ජීවිත කාලය තුළ කුමන හෝ අවදියක දී කතා කිරීමේ විකෘතිතා ඇති කරන රෝග අවස්ථාවන්ට ගොදුරු වේ.
උස් හඬින් නිතර කතා කිරීම, පාඩම් කිරීමේදී ශබ්ද නගා කියවීම, විෂ ද්‍රව්‍ය පානය කිරීම, හදිසි අනතුරු වලට ලක්වීම සහ වෙනත් රෝග තත්ත්වයන්ගෙන් පසුව හටගන්නා වූ හේතූන් නිසා කටහඬෙහි විකෘතිතා හට ගැනීම සිදුවිය හැක.
පුද්ගලයෙකුගේ සාමාන්‍ය කටහඬ හෝ කතාකිරීමේ තීව්රතාවයෙහි වෙනස් කම්/විකෘතිතා ඇතිවීම මඟින් නියමිත ස්වර උත්පාදනය නොහැකි වීම ආයුර්වේද වෛද්‍ය විද්යාව තුළ හැඳින්වෙන්නේ ‘ස්වරභේද‘ නම් රෝග අවස්ථාව ලෙසයි.
ඉහත හේතු කාරණා නිසා වාත දෝෂය වෘද්ධි වීමෙන් අනතුරුව, කෝප වන වාත දෝෂය මගින් අනෙකුත් දෝෂ විකෘති කිරීම මඟින් රෝගය හට ගැනීම සිදුවේ. විකෘති දෝෂ ස්වර උත්පාදනයට අදාල අවයවයන්ගේ නිසි ක්රියාවට බාධා ගෙනදෙමින් ශබ්දය නිකුත් කිරීම අවුරුවා දැමීමත්, ගොරෝසු හඬක් (hoarseness of voice) නිකුත් කිරීමත් සිදු කරයි.
බොහෝවිට වයස්ගත වීමත් සමඟ රෝගය හටගැනීමේ හැකියාව ඉහළ යන අතර පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව කාන්තාවන් හට රෝගය වැළඳීමේ හැකියාව ඉහළ ය.
ආයුර්වේද වෛද්‍ය විද්යාව තුළ මූකත්ව (ගොලු බව/වචන කථා නොකිරීම), මින්මින (නාසික ස්වරයන්ගෙන් කථා කිරීම) , ගද්ගත (ගොත බව) හා ස්වර නාශ (කථා කිරීමට සම්පූර්ණ හා අර්ධ වශයෙන් බාධා වීම) කථනයට බාධා ගෙනදෙන රෝග අවස්ථාවන් ලෙස තව දුරටත් සඳහන් කොට ඇත.
එමෙන්ම, කථනයේ විකෘතිතා ඇති කරන ‘ස්වරභේද‘ රෝග අවස්ථාවක් ලෙස දක්වා ඇති නමුත් ඇතැම් විට වෙනත් ප්රධාන රෝගයක රෝග ලක්ෂණයක් ලෙසද සඳහන් වේ.
වාත දෝෂයේ සාමාන්‍ය ක්රියාව විකෘති වීමෙන් කම්පිත ස්වර (trembling voice), ශුෂ්ක ස්වර (dry or hoarse voice), නිර්ඝෝෂ (loss of voice) යන ලක්ෂණ ඇතිවේ. එමනිසා වාත දෝෂයේ ක්රියාව නිවැරදි කරමින් ප්රතිකාර සිදු කරයි.
රෝග ලක්ෂණ :-
• උගුරේ වියළි බව/ ගොරෝසු බව
• උගුර හා තල්ල ආශ්රිත දැවිල්ල/ වේදනාව
• කටහඬ ස්ථාවර නොමැතිවීම
• දුර්වල, බිඳුණු හඬක් පිටවීම
• ගිලීමේ අපහසු බව
• ස්වරය හිරවීම
• පෙර පැවති හඬෙහි ගුණාංග වෙනස් වීම (තීව්ර බව අඩු / වැඩි වීම)
• කතාව ඇරඹීම අපහසු වීම
• අපහසුවෙන් කතා කිරීම
ඇතැම් මූල ග්රන්ථයන්ට අනුව ස්වරභේද යනු ඌර්දව ජත්රැගත එනම් හිස හා ගෙල ආශ්රිත ප්රදේශය මූලික කොට හටගන්නා කණ්ඨ්‍ය රෝගයකි.
උගුර, තල්ල, මුහුණ හා හිස ආශ්රිත රෝග අවස්ථාවන්හිදී ස්වරභේද තත්ත්වය හටගන්නා අතර එය ප්රබේද 6 කි.
– වාතජ ස්වරභේද
– පිත්තජ ස්වරභේද
– කඵජ ස්වරභේද
– ත්රිදෝෂජ ස්වරභේද
– මේදෝජ ස්වරභේද
– ක්ෂයජ ස්වරභේද
වාත, පිත, කඵ දෝෂ මූලික කොටගත් ස්වරභේද අවස්ථාවන්ට අමතරව ත්රිදෝෂජ ස්වරභේද, ස්වර උත්පාදනයට අවශ්‍ය වන මාංශ පටක හා ස්වර තන්ත්ර වල ක්ෂය වීම් හේතුවෙන් හටගන්නා ක්ෂයජ ස්වරභේද හා මේදෝජ ස්වරභේද අවස්ථාව එනම් උගුර හා ස්වර තන්ත්ර ආශ්රිත ස්නායු පටක වල මේදය තැන්පත් වීම නිසා හට ගන්නා අවස්ථාව ද ස්වරභේද ප්රබේද ලෙසට සැළකේ.
ඉතා දුර්වල වයස්ගත හා වැහැරීගිය රෝගීන් හට සුව කිරීම අපහසු අසාධ්‍ය රෝග අවස්ථාවක් ලෙස මෙම රෝගය දක්වා ඇති අතර බොහෝ කල්ගත වූ, උපතේ සිට පවතින හා අධික තරබාරු, මේදය අධික ලෙස ශරීර පටකයන්හි තැන්පත් පුද්ගලයන් හට රෝගය වැළඳීමේදී, සුව කිරීම අපහසු බව මූලග්රන්ථයන්හි දක්වා ඇත.
ශාරීරික හා මානසික අනතුරු, රසායන ද්‍රව්‍ය ශරීරගත වීම, උගුර ආශ්රිත අර්බුද–ග්‍රන්ථි හා පිළිකා තත්ත්ව, ගලගණ්ඩය වැනි උගුර ආශ්රිත රෝගාබාධ, ශල්‍ය කර්ම, ඇතැම් ඖෂධ, ආසාත්මිකතා වැනි හේතූන් නිසා ස්වරභේද තත්ත්වයක් ඇති විය හැකිය.
සෙම සහිත උණ හෝ ඇතැම් වෛරස් ආසාදන තත්ත්වයන් වලදී ප්රතිකාර ලබා ගැනීමේදී සාමාන්යයෙන් සති 2 ක කාලයක් තුළදී කටහඬ යථා තත්ත්වයට පැමිණේ. නමුත් සති 2 කට වඩා වැඩි කාලයක් රෝග ලක්ෂණ පවතින අවස්ථාවකදී රෝග හේතුව නිවැරදිව හඳුනා ගැනීමත් ඒ සඳහා ඉක්මන් නිසි ප්රතිකාර ලබා ගැනීමත් අතිශය වැදගත් වේ.
කණ්ඨගත රෝග එනම් උගුර ආශ්රිත ආසාදන හෝ ප්රදාහ තත්ත්වයන්, ස්වර තන්ත්ර ආශ්රිත ස්නායු හානි, පක්ෂාඝාත, අර්ධිත, හදිසි අනතුරු නිසා කථන ස්ථානයන්ට හානි වීම හා ඇතැම් මානසික රෝග නිසාත් ස්වරභේද හට ගනී.
එමෙන්ම කාස (කැස්ස), ශ්වාස (ඇදුම), තාලු ශෝෂ (තල්ල වියළීම) හා කණ්ඨ රෝග (උගුර ආශ්රිත රෝග) නිසා රෝග ලක්ෂණයක් ලෙස ද ස්වරභේද හටගනී.
‘කණ්ඨ‘ නොහොත් උගුර යනු කඵ දෝෂය මූලික ස්ථානයකි. එම නිසා නිතර නිතර සෙම් රෝග වැළඳෙන අතර උගුරේ ආසාදනයන්ට (tonsilitis, pharyngitis, laryngitis) වරින් වර ගොදුරු වීම පහසුවෙන් සිදුවේ. එම නිසා කටහඬෙහි සිදුවන වෙනස්වීම් නිරන්තරයෙන් අත්දැකිය හැක.
(Hoarseness of voice, feeble voice, split voice)
උගුර ආශ්රිත රෝගයන්ට හිතකර ඖෂධ ආයුර්වේද ප්රතිකාර තුළ බොහෝසෙයින් අන්තර්ගත වේ.
පලොල් මුල්, උක් මුල්, වැල්මී, තිප්පිලි, වියළි මිදි,එළබටු මුල්, කටුවැල්බටු, බෙහෙත් ගොටුකොළ, කැප්පෙටියා කොළ, ඉරිවේරිය, කප්පරවල්ලිය යන කඵ නාශන හා උගුරේ අභ්යන්තරයේ වියලි බව නැති කිරීමට හිතකර ආයුර්වේදීය ඖෂධයන් ලෙස ප්රතිකාරයේදී බහුලව යොදා ගැනේ.
හිතකර ක්රියා :-
– කටහඬට විවේකය ලබා දීම
– උස් හඬින් කතා කිරීම, සිනාසීම, කෑගැසීම අවම කිරීම
– මද උණුසුම් ජලය පානය කිරීම
– ගිතෙල් පානය කිරීම
– ශීතකල ආහාර, ආසාත්මික ආහාර නොගැනීම
– යෝග අභ්‍යාස – ප්‍රාණායම සිදු කිරීම
– දුම් පානයෙන් වැළකීම
– ඖෂධීය ද්‍රව්‍ය වලින් සැකසූ මුඛ දාවන සිදු කිරීම
රෝග රෝගී පරීක්ෂාවෙන් අනතුරුව ස්වරභේද රෝග අවස්ථාව සඳහා පුද්ගලානුබන්ධ චිකිත්සා පද්ධතියක් ආයුර්වේද වෛද්‍ය ක්රමය තුළ අන්තර්ගත වේ. එමෙන්ම නස්‍ය, ධූමපාන, කවල හා ගණ්ඩූෂ ප්රතිකාර මෙන්ම ඖෂධීය කෂාය, චූර්ණ, අවලේහ, කල්ක, අරිෂ්ඨ, ආසව හා රසායන ඖෂධ මඟින් ක්රමවත් චිකිත්සා පද්ධතියක් සිදුකිරීමෙන් සාර්ථක ප්රතිඵල ගෙනදෙන රෝග අවස්ථාවකි.
ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS – Colombo University (SL)
