UK වලට එන සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන්
එක්සත් රාජධානියේ 2025 ජුනි මාසයෙන් අවසන් වන වසර සදහා වන ආගමන විගමන දත්ත පහුගිය දවසක බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්ය්‍යාලය මගින් නිකුත් කරා. මේ වෙනකොට බ්‍රිතාන්‍යයට විශාල ගැටළුවක් වෙලා තියන ශුද්ධ සංක්‍රමණ ප්‍රමාණය ඉහළ යාම නිසා මේ නිකුත් වෙන දත්ත ගැන සෑහෙන්න පිරිසක් උනන්දුවෙන් නිරීක්ෂණය කරනවා. ගෙවුනු වසර ඇතුලත බ්‍රිතාන්‍යයේ රජයන් දෙකක් විසින් සංක්‍රමණ පාළණය කිරීම සදහා ගනිපු විවිධ දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල සිදුවූ සංක්‍රමණ වල පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන පහත වැටීමක් සිද්ධ වෙලා තියනවා.
එක්සත් රාජධානියට පුද්ගලයන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග දෙකක් තමයි රැකියා වීසා සහ ස්ටුඩන්ට් වීසා. මේ වීසා මාර්ග දෙක ඉලක්ක කරගනිමින් තමයි බ්‍රිතාන්‍ය රජය පහුගිය කාලය පුරාවටම විවිධ සීමා කිරීම් පැනවීම කරේ. ඒ නිසාම කැපී පෙනෙන පහත වැටීමක් ඒ අංශ දෙකෙන්ම සිදුවෙලා තියනවා. 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල බ්‍රිතාන්‍යය විසින් නිකුත් කල රැකියා වීසා ප්‍රමාණය 182,553 ක්. එය පසුගිය වසරට සාපේක්ෂව 36% පහත වැටීමක්. සෞඛ්‍ය සහ රැකවරණ සේවක වීසා එහෙම නැත්තම් සෞඛ්‍ය සහ care වීසා වැටෙන්නෙත් ඒ යටතේ රැකවරණ සේවක වීසා වල පසුගිය වසරට සාපේක්ෂව 77% අඩුවෙලා තියනවා.
රැකියා වීසා සදහා පිටතින් එන ප්‍රමාණය අඩුවීමත් එක්ක දැනට මේ රටේ ඉන්න පිරිසට වීසා සහිතව රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාව වැඩි වෙනවා. විශේෂයෙන්ම දැනට ස්ටුඩන්ට් වීසා හෝ PSW වීසා වල ඉන්න පුද්ගලයන්ට අඩු තරගකාරිත්වයකින් රැකියාවකට යාමට අවස්ථාව මේ එක්කම වැඩි වෙනවා. ඒ අතරේ ස්ටුඩන්ට් වීසා යටතේ මෙරටට පැමිණි පිරිස එම කාලය තුල 431,725 ක් කියලා තමයි සදහන් වෙන්නේ. එම ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 18% ක අඩුවීමක්. මේ අඩුවීම සිද්ධ වෙලා තියෙන්නේ පවුල් වල සාමාජිකයන් ගෙන ඒම අඩුවීමත් එක්ක. ඒ වගේම ස්ටුඩන්ට් වීසා යටතේ මෙරටට පැමිණි වැඩිම ප්‍රමාණය චීනයෙන් වන අතර ඉන්පසුව පිළිවලින් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ශිෂ්‍ය වීසා මත පිරිස් පැමිණ තිබෙනවා.
ඒ අතරේ අපිට වඩා වැදගත් වෙන්නේ ලංකාවෙන් එක්සත් රාජධානියට කොච්චර පිරිසක් සංක්‍රමණය වෙලා තියනවද කියන එක. 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට රැකියා වීසා මත සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ලෙස 4,924 දෙනෙකු සංක්‍රමණය වෙලා තියනවා. එම කාලය තුල ශ්‍රී ලංකාවේ සිට අයදුම් කල රැකියා වීසා සහ යැපෙන්නන්ගේ අයදුම්පත් වලින් 76% කටම වීසා නිකුත් වෙලා තියනවා. විවිධ හේතු මත ප්‍රතික්ශේප වෙලා තියෙන්නේ අයදුම්පත් 1,416 ක් පමණයි.
2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ස්ටුඩන්ට් වීසා සහ එම යැපෙන්නන් ලෙස ලංකාවෙන් එක්සත් රාජධානියට සංක්‍රමණය වූ පිරිස 4,318 ක්. වීසා ප්‍රධානය කල ප්‍රතිශතය 92% ක් . ඒ වසර තුල ලංකාවෙන් ස්ටුඩන්ට් වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ 308 ක් පමණයි. රැකියා විසා සහ ස්ටුඩන්ට් වීසා මත මෙරටට සංක්‍රමණය වූ ජාතීන් අනුව ලංකාව පසුවන්නේ පිළිවෙලින් 12 වන සහ 13 වන ස්ථානයේ.
ඒ අතර ගෙවුනු වසර තුල සංචාරක වීසා මත ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණි පිරිස 23,922 ක්. එම ප්‍රමාණය බ්‍රිතාන්‍යයට පුද්ලයන් සංචාරය කරන ප්‍රමාණය අනුව සැලකිය යුතු පිරිසක්. ඒ අතරේ 2025 ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල ලංකාවෙන් ඉදිරිපත් වූ සංචාරක වීසා අයදුම්පත් 8,504 ක් ප්‍රතික්ශේප කරන්නත් බ්‍රිතාන්‍ය රජය තීරණය කරලා තියනවා. 26% තරම් අයදුම්පත් ප්‍රතිශතයක් ප්‍රතික්ශේප වෙලා තියනවා. අවසානයක් විදියට 2024 වසර තුල ශ්‍රී ලාංකිකයන් 3,019 දෙනෙකුට බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය එහෙම නැත්තම් ILR ප්‍රධානය කරලා තියනවා.
තිලාන් ජයසේකර