Api-Slide-62-1
previous arrow
next arrow

මේ වසරේ සිට එක්සත් රාජධානියට අළුත් යුගයක්.

2026 වසර උපත් මරණ අනුපාතිකය සම්බන්ධයෙන් එක්සත් රාජධානියට “හැරවුම්
ලක්ෂයක්” වනු ඇතැයි විශේෂඥයන් කණ්ඩායමක් අනාවැකි පළ කරනවා. ඔවුන්
සදහන් කරන්නේ මෙම වසරේ සිට අඛණ්ඩව එක්සත් රාජධානියේ වාර්ෂික උපත්
ප්‍රමාණයට වඩා මරණ සංඛාව වැඩිවිය හැකි බවයි. 20 වන සියවස ආරම්භයේ
සිටම සුවිශේෂි අවස්ථාවක හැර අඛණ්ඩවම සෑම වසරකම වාර්ෂික මරණ
අනුපාතයට වඩා උපත් අනුපාතය වැඩි වූ අතර කොරෝනා වසංගතය හේතුවෙන්
2020 වසරේදී හා 2023 වසරේදී පමණක් මරණ ප්‍රමාණය උපත් සංඛාව ඉක්මවා
ගොස් ඇති අතර මේ වසරේ සිට එය අඛණ්ඩව සිදුවීමට නියමිත වේ.
එවැනි තත්වයක් රටක ජනගහන වර්ධනයට සෘණාත්මකව බලපෑමට හේතු
වනවා පමණක් නොව අනාගතයේදී එක්සත් රාජධානියේ ජනගහන වර්ධනය
සම්පූර්ණයෙන් සංක්‍රමණ මත රැදී සිටීමට සිදුවනු ඇති. දැනටමත් පුරෝකථනය
කර ඇති පරිදි 2032 වසර වන විට සංක්‍රමණ හේතුවෙන් එක්සත් රාජධානියේ
ජනගහණය 5.9 % වර්ධනය වනු ඇති අතර අනාගතයේදී රටේ ශ්‍රම බළකාය
වර්ධනය කිරීමට නම් සංක්‍රමණ දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමුකල යුතු
වේ.
එහෙත් මේ වන විට සංක්‍රමණ කපා හැරීම සදහා බ්‍රිතාන්‍යයේ සියළුම
දේශපාලන පක්ෂ පෙරමුණ ගෙන ඇති අතර සංක්‍රමණ සම්පූර්ණයෙන්ම
දේශපාළණ කාරණාවක් වී ඇත. විදේශ රටවලින් තරුණ සේවකයන් ගෙන්වා
නොගන්නේ නම් වැඩකරන ජනගහණය අඩුවීමේ ප්‍රථිපලයක් ලෙස රජයට අහිමි
වන බදු ආදායම අය කරගැනීමට අනාගතයේදී බදු වැඩිකිරීමට හෝ රාජ්‍ය
සේවාවන් කපා හැරීමට රජයට සිදුවනු ඇති. ඒ අතර වයස්ගත ජනගහනය රැක
බලා ගැනීමේ ගැටළුවද රජය ඉදිරියේ ඇති බරපතළ අභියෝගයක් වේ.
2024 වසරේදී එංගලන්තයේ හා වේල්සයේ වාර්ථි වූ සාපල්‍යතා අනුපාතය හෙවත්
එක් කාන්තාවකට සිටින දරුවන් අනුපාතය 1.44 වූ අතර එය ඉතිහාසයේ වාර්ථා වූ
අඩුම අගය වේ. තවද G7 කණ්ඩායමට අයත් රටවල් අතරින් අඩුම සාපල්‍යතා
අගයක් වාර්ථා කෙරුනේද එක්සත් රාජධානියෙනි. දරුවන් ලැබීම නිසා දැරීමට වන
පිරිවැය බොහෝ දෙනෙකු දරුවන් නොසෑදීමට ප්‍රධාන හේතුව ලෙස හදුනාගෙන
ඇති අතර එම හේතුව කෙනෙකු දරුවන් සෑදීමට ඇති අකමැත්ත ඉක්මවා ගොස්
තිබේ. එක්සත් ජාතීන්ගේ වාර්ථාවකට අනුව එක්සත් රාජධානියේ පමණක් නොව
ගෝලීය වශයෙන්ද පසුගිය වසර 50 ක් පුරා සාපල්‍යතා අනුපාතය පහත වැටෙමින්
පවතී.

වර්ධනය වෙමින් පවතින තත්වය අනුව 2040 පමණ වන විට වාර්ෂික උපත්
ප්‍රමාණය හා මරණ සංඛාව අතර වෙනස 100,000 වඩා ඉහළ යා හැකියැයි
අනුමාන කෙරේ. මෙම තත්වය සලකා බලා මෙවර අයවැය මගින් බ්‍රිතාන්‍ය රජය
විසින් දරුවන් සදහා ගෙවන ප්‍රථිලාභ වෙනුවෙන් පනවා තිබූ සීමාවන්ද ඉවත්
කිරීමට යෝජනා කරන ලදී. කෙසේ වෙතත් නුදුරු අනාගතයේදීම නැවතත් එක්සත්
රාජධානියට සංක්‍රමණ දිරිගැන්වීම කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවනු
ඇත.

තිලාන් ජයසේකර