Api-Slide-62-1
previous arrow
next arrow

පීනස නිසා ඔබත් පීඩාවෙන්ද..?

ලෝක ජනගහනයෙන් 10-30% ක පිරිසක් නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම්
යාම, නාසා මාර්ගය අවහිර වීම යන රෝග ලක්ෂණ සහිත නාසය ආශ්‍රිත රෝග
තත්ත්වයන්ගෙන් බහුලව පීඩා විඳී.
පීනස නොහොත් Allergic rhinitis ශ්වසන පද්ධතියේ ඉහළ කොටස ආශ්‍රිතව
හටගනු ලබන රෝග අවස්ථාවක් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාව තුළ හැඳින්වුවද
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ‘පීනස’ රෝගය නාසා රෝග යටතේ විස්තර කොට
ඇත.
ප්‍රාණවහා ස්‍රෝතස ආශ්‍රිතව හටගනු ලබන මෙම රෝගයට නිසි ප්‍රතිකාර
නොලැබ සිටීමෙන් ජීවන තත්ත්වයට බාධා ඇතිකරන, කාලීන හා උපද්‍රව
ගෙනදෙන රෝග අවස්ථාවක් බවට පත් වීම නිසා රෝගීන් හට බොහෝ පීඩා
ගෙනදේ.
පීනස යනු වාත-කඵ දෝෂ මූලිකත්වයෙන් හටගනු ලබන රෝගයක් වන අතර පිත
දෝෂය සම්බන්ධ වීම බොහෝ දුරට බටහිර විද්‍යාත්මකව Atrophic rhinitis/Allergic
rhinitis රෝගයන් සමග සසැඳේ.
නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඉතා පුළුල්ව හා සවිස්තරාත්මකව දක්වා
ඇති රෝග අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැක.
නුසුදුසු ආහාර විහරණ හේතුවෙන් හට ගනු ලබන ‘ආමය’ හේතුවෙන් ප්‍රකෝපිත
කඵ දෝෂය නාසා මාර්ගය ආශ්‍රිත ශ්වසන පථය අවරෝධය සිදු කරන අතර
විකෘති වාත දෝෂය හිස කරා ගමන් කරමින් ස්වසන මාර්ගයේ නිසි ක්‍රියාවලියට
බාධා පමුණුවමින් ‘පීනස’ ඇති කරන බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක
පිළිගැනීමයි.
කල් යත්ම පිත දෝෂය හා සම්බන්ධ වීමෙන් දැවිල්ල, නාසයෙන් කහ පැහැති/ඝන
දියරමය ස්‍රාව ගැලීම, හිසෙහි බර බව හා වේදනාව ඇතිවන අතර රස, රක්ත
මාංශ ධාතු දූෂණය කරමින් රෝග සම්ප්‍රාප්තිය සිදු වේ.
පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය තුළ දිය පීනස, සොටු පීනස හෝ සෙම් පීනස
ලෙස දක්වා ඇත්තේත් මෙම රෝගය ලෙසට පිළිගත හැක. මීට අමතරව දේශීය
වෙදකම තුළ බොහෝ පීනස් ප්‍රබේද දක්වා ඇත.
ඇතැම් පුද්ගලයන් ඉතා පහසුවෙන් ආසාත්මිකතාවයන්ට ගොදුරු වන අතර
ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මල් පරාග, දුම්, දූවිලි, සත්ත්ව ලොම් වැනි
ආගන්තුක ද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය ලෙසට හඳුනා ගැනීමෙන් ඒවාට එරෙහිව දැඩිව සටන්
කිරීමට පෙළඹේ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව, සමෙහි ඇතිවෙන එක්සීමා
(Eczema), නාසා කුහරය තුළ ඇතිවන පීනස (Allergic rhinitis) හා පෙනහලු තුළ
ඇතිවන ඇදුම (Asthma) ඉහත ආසාත්මිකතාවයන් නිසා හටගනු ලබන විවිධ
ප්‍රදාහමය රෝග තත්ත්වයන් ය.

නවජාත හා ළදරු කාලයේ දරුවන් තුළ බහුලව හටගනු ලබන සම වේලීම,
රතුවීම, දද ඇතිවීම, කැසීම වැනි ලක්ෂණ සහිත ඇතැම් සමේ රෝගයන් (Eczema
වැනි) සබන් හෝ වෙනත් ආලේපන වර්ග සමඟ උත්සන්න වීම දක්නට ලැබීමත්,
දරුවා පෙර පාසැල් හා පාසැල් අවධියට එලබෙත්ම බොහෝවිට පීනස රෝග
ලක්ෂණ පෙන්නුම් කිරීමත්, පසු කාලීනව නිසි ප්‍රතිකාර නොලැබීම නිසා මෙම
ආසාත්මිකතාව තවදුරටත් පෙනහලු වලට බලපෑමෙන් පපුවේ මහන්සිය, හුස්ම
ගැනීමේ අපහසුව, රාත්‍රී කාලයේ කැස්ස ඇති වීම වැනි ලක්ෂණ සහිත ඇදුම
රෝගය හටගැනීමත් ඉහත කී ආසාත්මිකතාවයන් හා ප්‍රතිශක්තිකරණ
පද්ධතියේ දුර්වලතාවයන් නිසා සිදු වන බව පිළිගැනේ.
නමුත්, ළදරු කාලයේ නිතර එක්සීමා තිබූ පමණින් කල් යත්ම ඇදුම රෝගය
වැළඳීම අනිවාර්යයෙන්ම සිදු නොවුනද, ළදරු කාලයේ එක්සීමා පැවති දරුවෙකු
හට අන් නිරෝගී දරුවෙකුට වඩා ඇදුම රෝගය හට ගැනීමේ ඉහළ අවදානමක්
පවතී.
සමෙහි රෝග නිතර පහසුවෙන් වැළඳෙන පුද්ගලයන්ගේ සමෙහි පවතින ආරක්ෂිත
ආවරණය (skin barrier) දුර්වල තත්ත්වයේ පවතී. එමනිසා විෂබීජ හා ආගන්තුක
ද්‍රව්‍ය පහසුවෙන් සිරුර තුළට ඇතුල්වී ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය
කරමින් ආසාත්මික රෝග ලක්ෂණ හට ගැනීම සිදුවේ.
රෝග හේතු :-
– ශීත කාලගුණය, සීතල ජලය, දුම්, දූවිලි වලට නිරාවරණය වීම
– දිරවීමට අපහසු, තෙල් සහිත ආහාර නිතර නිතර ගැනීම (මුදවපු කිරි, එළකිරි
නිෂ්පාදන, බේකරි නිෂ්පාදන)
– කිවිසුම් පිට නොකර දරාගෙන සිටීම
– නිතර ශීතකල ආහාර පාන භාවිතය
– දහවල් කාලයේ නිදා ගැනීම
– ව්‍යායාම වලින් පසු සිරුර උණුසුම්ව දහඩිය දැමීමේදී එකවරම ශීතලට
නිරාවරණය වීම
– වෛරස් ආසාදන නිතර වැළඳීම
– ව්‍යායාම මද බව සහ අධිකව ව්‍යායාම කිරීම
– ආහාර දිරවීමට පෙර නැවත ආහාර අනුභව කිරීම
– රාත්‍රී කාලයේ නිදි මැරීම
රෝග ලක්ෂණ :-
– නාසයෙන් ස්‍රාව වැගිරීම හෝ නාසයේ අධික වියළි බව
– නාසය අවරෝධ වීම
– හිසෙහි බර බව හා නිතර ඇතිවන හිසෙහි වේදනාව

– නාසය තුළ යමක් ආලේප කලාක් සේ දැනීම
– නාසය අභ්‍යන්තරය කැසීම
– උගුර කැසීම
– ඇස් වලින් කඳුළු ගැලීම හා ඇස් කැසීම
– නාසයේ දැවිල්ල, වියළි බව හා තෙත් බව විටින් විට දැනීම
– ගඳ/සුවඳ සංවේදනය නොදැනී යාම
– නැවත නැවත කිවිසුම් යාම
– ආහාර අරුචිය
– මලානික බව
මීට අමතරව, හිසෙහි කෝඨරක ආසාදනය හා සෙම් කොටස් මගින් අවරෝධ වීම
(Sinusitis) නිසා හිසේ කැක්කුම හා කන් ඇසීම අඩු වීම යන රෝග ලක්ෂණද පසු
කාලීනව ඇති විය හැක.
කුල ප්‍රවෘත්ති ගත රෝගයක් ලෙස හඳුන්වන මෙය එකම පවුලේ අයවලුන් අතර
රෝග ඉතිහාසය සහිතව පහසුවෙන් හටගැනීමේ හැකියාවක් ඇති බවට
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ පිළිගැනේ.
පීනස යනු අභ්‍යන්තර හා බාහිර ප්‍රතිකාර මඟින් සුව කිරීමේ හැකියාව සහිත
රෝග අවස්ථාවක් වන බැවින් දෝෂ තත්ත්වය, පුද්ගල වයස, ප්‍රකෘතිය, පුද්ගල
බල-අබල තාවය සලකා බලා ප්‍රතිකාර ලබා දීම චිකිත්සාවේ මූලික අරමුණ වේ.
ත්‍රිඵලා අඩංගු ඖෂධ වර්ග, සෙම් රෝග නසන ඖෂධීය තෛල වර්ග භාවිතය
ප්‍රතිකාරයේදී විශේෂිත වේ.
කඵ නාශන ඖෂධීය තෙල් මගින් ශීර්ෂ අභ්‍යංගයේදී ශීර්ෂ ශූල/හිසෙහි කැක්කුම්
අඩු වීම, ස්නායු පද්ධතිය උත්තේජනය වීම, හිසකෙස් ගැලවී යාම හා අකලට
හිසකෙස් පැසීම අඩු වීම, හිස් කබල ආශ්‍රිත කෝඨරකයන්හි පවතින සෙම්
කොටස් ඉවත් වීම සහ මනස සන්සුන් වීම යන ප්‍රයෝජන සහිතව පීනස් රෝගය
ක්‍රමයෙන් සුව වීම සිදු වේ.
පංච කර්ම ප්‍රතිකාර යනු විකෘති වූ දෝෂ සිරුරෙන් බැහැර කරන්නාවූ චිකිත්සීය
ක්‍රමයකි. හිස ආශ්‍රිත සෙම් කොටස් ඇතුළු විකෘති වූ දෝෂ සිරුරෙන් ඉවත්
කිරීමට සුදුසුම ප්‍රතිකාර ක්‍රමය ශිරෝ විරේචන හෙවත් නස්‍ය ප්‍රතිකාර ක්‍රමය
වේ.
නස්‍ය ප්‍රතිකාරයද පීනස රෝගය සඳහා බොහෝ ප්‍රතිඵල ලබා දෙන්නකි. එය
ඖෂධීය තෙල් නාස් මාර්ගයෙන් සිරුර අභ්‍යන්තරයට ඇතුල් කරන සුවිශේෂී
ප්‍රතිකාර ක්‍රමයකි.
ශිරෝ විරේචන, මූර්ධා විරේචන, ශිරෝ විරේක යන පර්‍යාය නම් වලින්
හැඳින්වෙන්නේද මෙම නස්‍ය ප්‍රතිකාරයයි.

නස්‍ය ප්‍රතිකාරයේදී රේචන (purification), තර්පණ (nourishing), ශමන (pacification)
ලෙස විවිධ අවස්ථාවන් ප්‍රතිකාරයට යොදා ගනී.
චරක සංහිතාවට අනුව, නාවන (ඖෂධීය දියර ලෙසට ආඝ්‍රාණය කිරීම), අවපීඩ
(insufflation of drugs in thin paste form through nasal passage), ධ්මාපන
(චූර්ණ/powder ලෙසට ආඝ්‍රාණය කිරීම), ධූම (දුම් ලෙසට ආඝ්‍රාණය කිරීම),
ප්‍රතිමර්ෂ (නාස් පුඩු අභ්‍යන්තරයේ ඖෂධීය තෙල් ආලේප කිරීම) යන විශේෂිත
ප්‍රතිකාර ක්‍රම තවදුරටත් ආයුර්වේද මූලග්‍රන්ථ තුළ දක්වා ඇත.
නීරෝගී පුද්ගලයෙක් විසින් තම නීරෝගී බව රැක ගැනීමට පිළිපැදිය යුතු දින
චර්‍යාවක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඉගැන්වේ. එමඟින් රෝග වලින් ආරක්ෂා
වීම නිරායාසයෙන්ම සිදුවේ. එබැවින් නස්‍ය යනු දිනපතා සිදු කළ යුතු ක්‍රියාවක්
ලෙසද ආයුර්වේද වෛද්‍ය සංකල්ප තුළ අන්තර්ගත වේ.
ත්‍රිඵලා යනු ප්‍රති-ප්‍රදේහ, ප්‍රති-ආසාදන, ප්‍රති-ජීවක හා පිළිකා නාශක
හැකියාව ඇති ඖෂධීය ගුණ අඩංගු අද්විතීය ඖෂධයක් බව පර්යේෂණ මගින්
සනාථ කොට ඇත. එමෙන්ම ප්‍රති-ඔක්සිකාරක (anti-oxidants) අන්තර්ගත වන
බැවින් පීනස සඳහා ප්‍රතිකාරයේදී සාර්ථක ප්‍රතිඵල ලබා දීමට සමත් වී ඇත.
විකෘති දෝෂයන් සමදෝෂ තත්ත්වයට ගෙන ඒමත්, නාසය ප්‍රමුඛ ශ්වසන පථය
අවරෝධ රහිත කිරීමත්, සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීම හා ශ්වසන පද්ධතිය
ශක්තිමත් කිරීමත් පීනස් රෝගය සඳහා ආයුර්වේද වෛද්‍ය චිකිත්සාවේදී සිදු
කෙරේ.

හිතකර ක්‍රියා :-
– උණුසුම් ජලය පානය හා ස්නානය කිරීම
– ඔසු පැන් පානය කිරීම (කබලේ බැදි කොත්තමල්ලි, ඉඟුරු, හීන් මදුරුතලා,
කුරුඳු)
– පහසුවෙන් දිරවන සැහැල්ලු ආහාර ගැනීම
– නික, පාවට්ටා, බෙලි කොළ තැම්බූ හුමාලය ඇල්ලීම
– නාසය පිරිසිදුව තබා ගැනීම
– රාත්‍රී කාලයේ ස්නානය නොකිරීම
– දවල් කාලයේ නිදා ගැනීම සිදු නොකිරීම
– දුම් පානය නොකිරීම
– දුම් දූවිලි වලින් ආරක්ෂා වීමට නිතර මුව ආවරණ පැළඳීම
– ශීත ගුණ සහිත තෙල් වර්ග හිසට භාවිතා නොකිරීම
– හීං මදුරුතලා කොළ හා ගම්මිරිස් ඇට ස්වල්පයක් තැම්බූ මද උණුසුම් වතුරින්
උගුර සේදීම

– මී පැණි තේ හැන්දක් සමඟ ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි ස්වල්ප වශයෙන් මිශ්‍ර
කොට දිනපතා භාවිතා කිරීම
– පිටිකිරි වෙනුවට ඉඟුරු-කොත්තමල්ලි (කබලේ බැද) ඵාණ්ඨය පානය කිරීම
නිවැරදි වෛද්‍ය උපදෙස් පිලිපැද ජීවන රටාවේ හිතකර වෙනස්කම් ඇති කර
ගැනීමෙන් රෝගය උත්සන්න වීම වළක්වා ගැනීමටත් රෝග තත්ත්වය සුව
කරගැනීමටත් හැකි ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සතුවේ. ඒ සඳහා
ඉවසීමෙන් අහිතකර ක්‍රියා වලින් වැළකී හිතකර ක්‍රියා වලට යොමු වී සාර්ථක
ප්‍රතිඵල අත්කර ගැනීමට චිකිත්සා පද්ධතිය අවසන් වන තුරු ප්‍රතිකාර ලබා
ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ.
ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS – Colombo (SL)