


Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව දකින්නෙ කුමන අයුරකින්ද යන්න
පිළිබඳව සඳහනක් කරමු.
මම ව්‍යාපාරිකයෙකු විදිහට තමයි වෘත්තීමය ජීවිතේ ආරම්භ කරන්නෙ.
හැබැයි මම කලාවට ඉතාමත්ම ප්‍රියයි. ඉතින් ඒ නිසාම තමයි මම සංගීත
කර්මාන්තයට පිවිසෙන්නෙත්. කලාකාමී ව්‍යාපාරිකයෙකු හැටියට මම මාව
හඳුන්වාගන්න කැමතියි.
Q). ඔබ කලාව නිර්වචනය කරගන්නේ කෙසේද?
මට හැඟෙන හැටියට කලාව කියන්නෙ මිනිස්සුන්ව අවධියෙන් ජීවත්
කරවන්න අත්‍යාවශ්‍ය සාධකයක්. ඒ වගේම කලාව හරහා මිනිස්සුන්ගෙ
රසවින්දන හැකියාව වර්ධනය කරනවා. හොඳ රසවින්දනයක් තියෙන
මනුස්සයෙක් ජීවිතේ සන්තෝෂෙන් ගතකරනවා කියලයි මගේ අත්දැකීම.
කලාව වැජඹෙන තාක්කල් මේ ලෝකෙ හරිම සුවදායී තැනක් වේවි කියලයි
මගේ විශ්වාසය.
Q). ඔබ කලා මාධ්‍යයක් ලෙස සංගීතය හඳුනාගන්නේ කෙසේද යන්න
පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු.
ලෝකයේ දැනට පවතින සියලුම කලා මාධ්‍යයන් අතරෙන් ජාති, ආගම්, කුල,
වර්ග, ගෝත්‍ර ආදී නා නා විද භෙදීම් ඉක්මවා ගිහින් පොදුවේ සමස්ථ මානව
ප්‍රජාවටම රස විඳින්න පුළුවන් එකම කලා මාධ්‍යය සංගීතය පමණයි කියලයි
මම විශ්වාස කරන්නෙ. ඒ නිසාම තමයි සංගීතය විශ්ව භාශාවක් කියලත්
හඳුන්වන්නෙ. ඒ වගේම මම දකින විදිහට වඩාත් සංවේදීම කලා භාවිතාව
සංගීතය යි.
Q). “Avatar” හී ආරම්භය සිදු වූ ආකාරය පිළිබඳව සඳහනක් කරමු.
මගේ නිවසට එක්කාසු වෙච්ච මගේ සමීපතමයින් කිහිපදෙනෙකු සිදුකරපු
සංගීතය සම්බන්ධ සංවාදයක ප්‍රතිඵලයක් විදිහට තමයි “ඇවටාර්” සංගීත
කණ්ඩායම බිහිවෙන්නෙ. 06 දෙනෙකුගෙන් ආරම්භ කරපු සංගීත කණ්ඩායමට
අමේලියාගේ ආගමනය දැවැන්ත ආලෝකයක් මුසුකළා කිව්වොත් මා නිවැරදියි.
ඒ ආලෝකයත් පෙරදැරි කරගෙන වර්ථමානයේ අපි ලෝකය වටේම ජයග්‍රාහී
චාරිකාවක නිරතවෙනවා කියලා නිහතමානී ආඩම්භරයකින් පවසන්න පුළුවන්.
Q). සංගීත ඛණ්ඩායමක් ලෙස වෘත්තීය ගමන්මග ආරම්භයේදී ඔබ මුහුණදුන්
විශාලතම අභියෝගය කුමක්ද?
ශ්‍රී ලංකාව වගේ සුළු පරිමාණ ආර්ථික පද්ධතියක් පවතින රටක සංගීත
කණ්ඩායමකට පමණක් නෙමෙයි වෙනත් ඕනෑම කලාකාමී සමූහයකට
මුහුණපාන්න සිද්දවෙන ප්‍රදානතම අභියෝගය තමයි සැකසුණු වෙළඳ පරිශ්‍රය
තුළ වාණිජ අනන්‍යතාවයක් ගොඩනගාගැනීම. එහෙම නැත්තම් ඒ තුළ සරිලන
ඉඩකඩක් වෙන්කරගැනීම. ඉංග්‍රීසි භාශාවෙන් අපි ඒකට වචනයක් භාවිතා
කරනවා “Branding” වෙනවා කියලා.
ඒක හරියට සංගීත කණ්ඩායම් අතරේ පවතින සීතල යුද්ධයක් වගේ. ඉතින්
ආරම්භයේදී ඒ අභියෝගයට අපිත් කණ්ඩායමක් විදිහට සා මුහුණදුන්නා.
අඛන්ඩව සාර්ථකව අභියෝගවලට මුහුණදීමේ ප්‍රතිපලයක් විදිහට වර්ථාමානය
වෙද්දි අපි අපිටම අනන්‍ය වූ ප්‍රේක්ෂකාගාරයක් නිර්මානය කරගෙන ඉන්නවා.
Q). වෘත්තීය සංගීත කන්ඩායමක් ලෙස මේ
දක්වා ඔබ අත්කරගෙන තිබෙන සුවිශේෂී ජයග්රහණයන් පිළිබඳව
මතකාවර්ජනයක් සිදුකරමු.
පෙර කී ලෙසම සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීමේදී නෙමෙයි බාධක
හමුවෙන්නෙ. කර්මාන්තය තුළ
සංගීත කණ්ඩායමක් ලෙස වෘත්තීමය වශයෙන් ස්ථාවර වීමේදී තමයි බාධක
හමුවෙන්නෙ. මේ වෙද්දි
අපේ රටේ ගෞරවයට පාත්‍ර වෙච්ච සෑම වෙළඳ සන්නාමයක් සමගම පාහේ
සංවිධානය කරන
සංගීත ප්‍රසංග වලට අපි අපේ නිර්මාන ධායකත්වය සපයලා තියෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕනෙ
විදේශයන්ගෙ වාසය කරන මිලියන සංඛයාත ශ්‍රී ලාංකික සංගීතලෝලියො
සංවිධනය කරන සෑම
දැවැන්ත සංගීත ප්රසංගයකටම පාහේ අපිට ඇරයුම් ලැබී තියෙනවා.
දේශීය ප්‍රසංග වලට ලැබෙන ඇරයුම්වලට වඩා විදේශීය ප්‍රසංගයකට ඇරයුම්
ලැබීම යම් සංගීත
කණ්ඩායමක අනාගතය සුබදායී වීම කෙරෙහි අතිශයින් තීරණාත්මකව
බලපානවා. ඒ වගේම සියලුම
ශ්‍රී ලාංකේය ජනමාධ්‍යයන් සමග ඉතාමත්ම සුහඳශීලීව කටයුතු කරන්නත් අපි
භාග්‍යවන්ත වෙලා
තියෙනවා.
Q). වෘත්තීය සංගීත කන්ඩායමක් ලෙස ගෝලීය සංගීත කරළියේ වෙළඳ අන
න්යතාවයක් ගොඩනගාගැනීම උදෙසා ක්‍රියාත්මක කරමින් සිටින
සැලසුම් පිළිබඳව හැඳින්වීමක් කරමු.
සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වගේ රටක බිහිවුණු සංගීත
කණ්ඩායමක් හැටියට ගෝලීය සංගීත කරළියේ වෙළඳ අනන්‍යතාවයක්
ගොඩනගාගැනීම කියන්නෙ අපේ මව්බිමේ සංස්කෘතික අනන්‍යතාවය
අන්තර්ජාතික තලයට සම්මුඛ කරවන අතිදැවැන්ත මෙහෙයුමක්. අපිට
ආසන්නයෙන්ම තියෙන ජාත්‍යන්තර සංගීත වෙළඳපොල තමයි ඉන්දියානු
සංගීත කරළිය.
ඒ වගේම මුළු ලෝකයේම අවධානය දිනාගත්තු සංගීත කරළිය තමයි
යුරෝපීය සංගීත භාවිතාව. මේ සංගීත කරළීන් ද්විත්වයේම විවිධාකර
සංස්කෘතික ප්රභේදයන් ඇසුරු කරගත්ත පොහොසත් භාශාවන් රැසකින්
සංගීත නිර්මාන ලෝකයට ධායාද කරනවා. ඉතින් ඒවායේ කුඩා හෝ
ඉඩකඩක් වෙන්කරවාගන්න සමත් විවිධ භාශාවන්ගෙන් සැදුම්ලත් සංගීත
නිර්මානයන් ඉදිරියේදී බිහිකරන්නට වර්ථමානයේ අපේ දක්ෂ සංගීත ශිල්පීන්
සැලසුම් සකසමින් ඉන්නවා.
Q). ඉදිරියේදී එළිදැක්වීමට සැලසුම් කරමින් සිටින නිර්මාණාංගයන්
පිළිබඳව විග්‍රහයක් කරමු.
මම පලමුවෙන්ම කියන්න ඕනෙ ලෝකයේ මෙතෙක් බිහිවෙච්ච ඕනෑම සංගීත
කණ්ඩායමක් ආරම්භයේදී
භාවිතා කරන්නෙ අන් අයගේ ගීතයන්. අපේ සංගීත කණ්ඩායම මේ කාලය වෙද්දි
ලෝ වාසී
ප්‍රේක්ෂකාගාරයේ කැපීපෙනෙන අනන්‍යතාවයක් ගොඩනගාගෙන ඇති නිසා
මීළඟ ධණාත්මක
පියවර විදිහට අපේ ශිල්පීන්ගෙම නිර්මාන කෞශල්‍යයෙන් ගීතයක් ජනගත
කරන්න පහුගිය
වකවානුවේ අපි වෙහෙසුනා. “ප්‍රේම හාදු” නමින් නිර්මානය වූ ගීතයේ ශබ්ද
රචනාව මේ වෙනකොට
යූ ටියුබ් අවකාශයට මුදාහැරලා තියෙනවා කියලා ඉතාමත්ම අභිමානයෙන්
කියාහිටින්න පුළුවන්.
Q). වෘත්තීය සංගීතවේදියෙකු වීමට අපේක්ෂාවෙන් සංගීතය හදාරණ්නෙකු
හට ශ්‍රී ලාංකේය සංගීත කර්මාන්තය තුළ සඵලධායී අයුරින්
ස්ථාවරත්වයට පත්වීම සඳහා ආධාර විය හැකි යම් ඔවදනක්
හෝ උපක්‍රමයක් සඳහන් කරමු.
මිහිරෙන් ගීත ගයන්න, එහෙම නැත්තම් කිසියම් සංගීත භාණ්ඩයක්
ලයාන්විතව වාදනය කරන්න හැකියාවක් තියෙන තරුණයෙක් හෝ තරුණියක්
පළමුවෙන්ම ප්‍රේක්ෂකාගාරයක් හමුවේ ගීත ගයන්නෙ, වාදනය කරන්නෙ
හුදෙක් ආශාව නිසාමයි. ඒ ගයන්නෙ හෝ වාදනය කරන්නෙ වෙනත් සංගීත
ශිල්පියෙක්ගෙ ගීතයක්. කලක් ගතවෙද්දි මේ අයට මුදල් ඉපයීමේ
අවශ්‍යතාවයත් ඇතිවෙනවා. ඉන් අනතුරුව මේ ආධුනිකයො උත්සහ කරන්නෙ
කඩිනමින් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් හැටියට මේ කටයුත්ත දිගටම
කරගෙන යන්න.
අවංකවම කියන්න ඕනෙ මම ඒකෙ කිසිම වරදක් දකින්නෙ නෑ. නමුත්
මෙතනදි මම අවධාරණය කරන කරුණක් තියෙනවා. ඒ තමයි තවත් සංගීත
ශිල්පියෙක්ව දිගින් දිගටම අනූකරණය කිරීම එතරම් යහපත් නොවන බව.
ඔවුන් අනිවාර්යයෙන්ම වෑයම් කලයුතුයි තමන්ගේ ස්වතන්ත්‍ර සංගීත නිර්මාන
එළිදක්වන්නට. එම අව්‍යාජ උත්සහය ඇතැම්විටක ප්‍රවීණයින් අභිභවා යන
තරමේ උසස් සංගීත භාවිතාවක් වෙන්නත් පුළුවන්. මෑත කාලයේ එවන්
උදාහරණ ඕනෙතරම් දකින්න පුළුවන්.
Q). අපි Magazine සමග සොඳුරු පිළිසඳරකට එක්වීම සම්බන්ධයෙන් ඔබ දරන
අදහස් බෙදාගමු.
“අපි Magazine” කියන්නෙ මම ඇතුළු අපේ සංගීත කණ්ඩායමේ ශිල්පීන්
හැමදෙනාම පාහේ ඉතාමත්ම කැමැත්තෙන් කියවන ඩිජිටල් සඟරාවක්.
සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගියපු, ඔවුන්ටම ආවේණික ස්වරූපයකින්
ලෝකය පුරා විසිරුණු මිලියන සංඛයාත ලාංකිකයින් වෙතට වටිනා තොරතුරු
සම්ප්‍රේෂණය කරවීම තමයි මම ඔවුන්ගේ කතෘ මණ්ඩලයේ දකින
සුවිශේෂත්වය. ඇවටාර් සංගීත කණ්ඩායම වෙනුවෙන් මට මේ සම්මුඛ
සඛච්චාවට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් සඟරාවේ ප්‍රදාන කතෘතුමා වන
ගයාන් කරුණාරත්න මහතාට මගේ හෘද්‍යාංගම ස්තූතිය පළකරන්න මම මෙය
අවස්ථාවක් කරගන්නවා.
සැකසුම | හිරාන් ගමගේ
අපි Magazine
