බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ කෙළවරට වන්නට පිහිටා තිබෙන කළුගල ග්‍රාමය
ඉතා සුන්දර වූ ත්, රමණීය වූ ත් ප්රදේශයකි. මෙම ප්‍රදේශයේ සුන්දරත්වය වර්ධනය කර
ඇත්තේ හරිත වර්ණ වන අරණත් ඒ මැදින් ගලා බස්නා සුන්දර ජල ධාරාවන්ගේ රාවයන් ය.
මෙම සුන්දර වන අරණ මැද පිහිටා තිබෙන කළුගල ආරණ්‍ය සෙනසුන විඩාබර හදවත් නිවා
සනසන දිය දෝතක් වැන්න.
බදුරලිය – පැලවත්ත මාර්ගයේ කිලෝමීටර 15 ක් පමණ ගමන් කරන විට කළුගල ග්‍රාමය
හමු වේ. එතැන් සිට ආරණ්‍ය සේනාසනය දක්වා පා ගමනින් යා යුතුය. ගමන ආරම්භයේ දී ම
හමු වන්නේ සුනිල්වන් දිය දහරාවකි. දෙපස හොර, කැකුණ, මිල්ල ආදී දුර්ලභ ශාකවලින්
සැදුම්ලත් වන අරණ මැදි කොට සෑදී ඇති කුඩා අඩි පාරකි. එම අඩිපාර දිගේ ඉහළට ගමන්
කරන විට පඩි 356 න් යුත් පඩි පෙළකි. ඊට සමාන්තර ව ගලා බසින්නේ ආරණ්‍ය
සේනාසනයට ජල විදුලිය ලබා ගන්නා සුන්දර දිය ඇල්ලයි. ගමන් මග අතරතුර පුස් වැල්,
වෙනිවැල් ගැට, බෙරළිය, කැකුණ වැනි දුර්ලභ ශාකයන් ද, ගිම් නිවා ගැනීමට හැකි ස්ථානයන්
ද ඇත. රැහැයියන්ගෙන් නැගෙන ශබ්දය ද, ගතට දැනෙන සිසිළස ද කියා පාන්නේ මෙම වන
අරණේ මිහිරියාවයි. එම මිහිරියාවත් සමග ම කූඩැල්ලන්ගේ හිරිහැර ද විඳ ගැනීමට සිදුවීම
නම් අනිවාර්ය ය.
එලෙස සුන්දර මගක ගමන් කරමින් පිවිසෙන්නේ කළුගල ආරණ්‍ය සේනාසනය අභියසට
ය. පාවහන් සහ හිස්වැසුම් ගලවා තබා දාන ශාලාව තුළින් ගමන් කිරීමෙන් අනතුරුව
පිවිසෙන්නේ සුදු වැලි ඇතිරූ, පොල් අතු රටාවට ඇමද තිබෙන මලුවට ය. දෙපස වවා ඇති
රත් පැහැ නා දළුවල සිසිළ විදිමින් පළමුවෙන් ම පිවිසෙන්නේ ස්වභාවික ලෙනක් තුළ නිර්මිත
ලෙන් විහාරය තුළට ය.
ඉන් පසු හමුවන්නේ විහාරස්ථානයේ දාගැබයි. “කළුගල් චෛත්‍ය” නමින් ද හැඳින්වෙන
මෙම දාගැබ සම්පූර්ණයෙන් ම කළුගලින් නිමවන ලද්දකි. දාගැබ පිහිටි මලුව වටා සිල්වතුන්
සඳහා සැකසුනු කුටි කිහිපයක් ඇත. පොහොය දිනවල මෙන් ම සෙසු දිනවල ද සිල්වත් පිරිස්
මෙම කුටිවල භාවනානුයෝගී ව සිටින අයුරු දැක ගැනීමට හැකිය.
දාගැබ අසලින් මෑත් ව ගමන් කරන විට හමු වන්නේ සිසිළ ගෙනෙන බෝ සෙවනයි.
කළුගල ආරණ්‍ය සෙනසුනේ ඉතිහාසය විමසා බලන කල ඊට අදාළ ශිලා ලිපි රැසක් දැක ගත
හැකිය. 1940 වසරේ දී ගොඩනැගුණු මෙම කළුගල ආරණ්‍ය බ්‍රහ්මචාරී දොන් පිලිප්
සමරදිවාකර නැමැත්තෙක්ගේ නිර්මාණයකි. මෙහි දැක ගත හැකි තවත් විශේෂ සෙල් ලිපියක්
වන්නේ ගලෙන් නිමවන ලද ශ්‍රී ලංකා සිතියමක ලියා ඇති ත්‍රිපිටකය යි. මෙය අන් කිසිඳු
ස්ථානයක දක්නට නොලැබෙන්නකි. විහාරස්ථානයේ වැඩ සිට අපවත් වූ නායක ස්වාමීන්
වහන්සේලාගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ඉදිකල සොහොනක් ද, ධාතු කරඬුවක් නිදන්
කර ගොඩනැගූ ගල් ටැඹක් ද විහාර භූමිය තුළ වෙයි. විහාර භූමියට පැමිණෙන සැදැහැවතුන්
වෙනුවෙන් පනවන ලද දැන්වීම් මෙන් ම, මරණානුස්සති භාවනාවේ පියවර පවා ගල් මත
සටහන් කර තිබෙන අයුරු විහාරයට පිවිසෙන ඕනෑම අයෙකුට දැක ගත හැකිය.
භික්ෂූන් වහන්සේලා සඳහා තනා ඇති භාවනා කුටි පරිශ්‍රය මධ්‍යයෙන් වැටී තිබෙන
පියගැට පෙළෙන් ඉහළට පැමිණි විට පිවිසෙන්නේ බුදු ගෙයට ය. එම ස්ථානයේ සිට බලන
කල දිස්වන්නේ මෙතෙක් පසු කර පැමිණි භාවනා කුටි, දාගැබ, බෝධීන් වහන්සේ ය. එමෙන්
ම හරිත වර්ණයෙන් බබලන රමණීය සිතුවමක් ද දර්ශනය වේ. මෙම අසිරිමත් පරිසරය විඳ
ගැනීමට නම් මෙහි පැමිණිය යුතුම ය. මෙම ආරණ්‍ය අවට සුන්දරත්වය මෙන් ම මෙහි ඇති
ඓතිහාසික වටිනාකම පිළිබඳව ද අමතක නොකළ යුතුය. මෙහි නවාතැන් ගෙන භාවනාවේ
යෙදී සිත් සැහැල්ලු කර ගැනීමට ද සැදැහැවතුන්ට අවකාශය තිබේ. කෙලෙස් පිරි සමාජයෙන්
ඇත් ව බවුන් වඩන ඒ බුද්ධ පුත්‍රයන්ට නිවන අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා යි අපි
ප්‍රාර්ථනා කරමු.
පියුමි නෙළුමිකා
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය