Api-Slide-56-1
Api-Slide-56-2
previous arrow
next arrow

Chamal Lakshan – Interview

පිය නගා වනපෙත් අතර –  සොයා වන සතුන් විසිතුර

විමසන සොයන තතු පරිසර

සොඳුරු යෞවන සිතකි මනහර

“ස්වභාවික පරිසරයේ සමතුලිතතාව බිඳවැටුණු දිනක මිනිසුන්ට පෘථිවියේ පැවැත්මක් නෑ” – චමල් ලක්ෂාන්

මුලින්ම අපි ඔබ ගැන කෙටි හැඳින්වීමකට යමු

මගෙ නම චමල් ලක්ෂාන්. කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ කෘෂි තාක්ෂණ පීඨයේ අවසාන වසර ශිෂ්‍යයෙක් වශයෙන් දැනට අධ්‍යාපනය ලබමින් කටයුතු කරනවා

ඔබේ පවුලේ තොරතුරු ගැන කතා කලොත්

මගේ පවුලෙ අම්මා තාත්තා මල්ලි සහ මම තමයි ඉන්නෙ. තාත්තා විශ්‍රාමික යුධ හමුදා නිළධාරියෙක්.මල්ලි තාම පාසල් අධ්‍යාපනය හදාරනවා

තරුණ වයසෙ බොහෝදෙනා නොයෙක් රැලි වලට අහු වෙලා එහෙ මෙහෙ යද්දි කොහොමද ඔබ මේ විදියට සොබාදහමට සමීප කෙනෙක් බවට පත් උනේ

ඇත්තටම ඒකට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තෙ මගෙ පවුල් පසුබිම කියල තමයි මම ගොඩක්ම විශ්වාස කරන්නෙ. මම පොඩි කාලෙ ඉදන්ම අපේ අම්මා සත්තුන්ට හරි ආදරෙයි. ගෙදරට මොන සතෙක් ආවත් කන්න ටිකක් නොදී නම් යවල නෑ කවදාවත්. ඉතින් ඒ කාලෙ දැකපු දේවල් එක්ක මම සත්තුන්ට සහ පරිසරයට සෑහෙන්න සමීප උනා. තරුණ වයසට එනකොට ශාක සහ සතුන් ගැන වැඩිදුර අධ්‍යනයේ යෙදෙන්න මුල් උනේ ඒ අඩිතාලම කියලයි මම හිතන්නෙ. අද වෙනකොට මගේ අධ්‍යන කටයුතු ශ්‍රී ලංකාවේ අඩු අවධානයක් යොමුවී ඇති සහ නිරන්තරයෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා තර්ජනයට ලක්වී ඇති උරගයන් සංරක්ෂණය වෙනුවෙන් සිදුකරගෙන යනවා

ශ්‍රී ලංකාවේ සර්පයන් සංරක්ෂණය සඳහා නිර්මාණය කරපු “සර්පයන් ගැන දැනගනිමු ඔවුන් රැකගනිමු ” facebook group එකෙන් වෙන කාර්ය මොන වගේ එකක්ද?

නව තාක්ෂණයත් එක්ක ලෝකය ඉස්සරහට යන කාලෙක මිනිස්සුන්ට සර්පයන් ගැන පහසුවෙන්ම ඉගෙනගන්න සහ නිවසකට සර්පයෙක් පැමිණි අවස්ථාවක නොමිලේ ස්වේච්ඡාවෙන් එම සතුන් ඉවත් කරගැනීමට හැකියාව ලැබෙන ආකාරයට මේ facebook group එක දැනට අවුරුදු 6 කට උඩදි නදීක අතුකෝරල අයියා විසින් නිර්මාණය කරේ.අද වෙනකොට අපි කණ්ඩායමක් විදියට බලාපොරොත්තු උනාටත් වඩා සාර්ථක විදියට මේ කටයුත්ත කරගෙන යනවා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ඉන්න සාමාජිකයන්ගෙ සහය ඇතුව. මේ වෙනකොට දහස් ගණනක් සතුන්ගේ ජීවත සුරක්ෂිත කරන්න අපට හැකියාව ලැබිල තියෙනවා කියන එක මතක් කරන්න ඕනෙ ඉතාම සතුටෙන්.

ඔබ විසින් දැනට පවත්වා ඇති දේශන පිළිබඳව සඳහනක් කලොත්

කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යා පීඨයේ සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සර්පයන් සහ සර්පයන්ගේ වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම පිළිබඳව තමයි මෑතකදීම දේශනයක් සිදු කලේ. මීට අමතරව රුහුණු විශ්වවිද්‍යාලය , ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාසල් සිසුන් සහ ජනතාව දැනුවත් කිරීමේ දේශන මාලාවක් පවත්වා තිබෙනවා

ස්වභාවික පරිසරය ගැන, විශේෂයෙන්ම සර්පයන් ගැන කොහෙන්ද මෙච්චර දැනුමක් එක් රැස් කරගන්නෙ ඇත්තටම ?

මුල් කාලයේදි නම් පොත්පත් සහ අන්තර්ජාලය මූලාශ්‍ර කරගෙන තමයි තොරතුරු එක් රැස් කරන්න පටන් ගන්නෙ නමුත් මම හැමවෙලේම විශ්වාස කරන දෙයක් තමයි නිසි කලට නිසි ගුරුවරුන් සහ හොඳ මිතුරන් ලැබීම කියන දේවල් නිසා මම තෘප්තිමත් ගමනක් මේ කාලසීමාව තුල පැමිණියා කියන එක. සත්ව විද්‍යාව කියන්නෙ මේ මොහොතෙත් යාවත්කාලීන වෙන දෙයක් නිසා හැමවෙලේම ඒ දේවල් එක්ක අපිත් යාවත්කාලීන වෙන්න අවශ්‍යයි. සත්ව විද්‍යාවේ පර්‍යේශණ පත්‍රිකා මත වෙනස්වන දත්ත සහ නව සොයාගැනීම් පිළිබඳව නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්න කෙනෙක්ට දැනුම එක් රැස් කරගන්න එක අමාරු දෙයක් නම් නෙමේ. මේ හැමදේම එක්ක ලංකාව පුරා වනාන්තර වල සතුන් පිළිබඳව සිදුකරගෙන යන ක්ෂේත්‍ර අධ්‍යනයන් ලොකු පිටිවහලක් උනා

ගොඩක් අය ඔබෙන් අහන ප්‍රශ්නයක් මම අහන්නම්. කොහොමද මෙච්චර ලස්සනට සත්තුන්ගෙ ඡායාරූප ගන්නෙ?

මම විශ්වාස කරන තවත් දෙයක් තමයි කැමරාවක් අතට ගත්ත හැම කෙනෙක්ටම හොඳ ඡායාරූපශිල්පියෙක් වෙන්න බෑ කියන එක.ගොඩක් අය තමන් ඡායාරූප ගන්න යොදාගන්න මෙවලමේ අඩුපාඩු ගැන හිතමින් කණගාටු වෙනවා නමුත් මම පටන් ගත්තෙ mobile photography වලින්.තමන්ට තියන දෙයින් තෘප්තිමත් විදියට වැඩකටයුතු කරොත් තව සෑහෙන්න දේවල් ඔයාලට ලැබේවි. මම ගාව තිබුණ දේවල් වලින් මම වැඩ කරන විදිය දැකපු දර්ශන රුක්මාල් අයියා මට කැමරාවක් ගෙනල්ල දුන්නෙ අන්න ඒ විදියට. සතෙක්ගෙ උනත් ඡායාරූප ගන්නකොට ඒ සත්තුන්ට හානියක් නොවෙන ආකාරයට ඡායාරූප ගන්න උත්සාහ කරොත් තමයි හැමවෙලේම හදවතින්ම සතුටු වෙන්න පුළුවන්කම ලැබෙන්නෙත්, ඒ ඡායාරූප වල ස්වභාවික ලස්සන රැඳෙන්නෙත් කියන එක කියන්න ඕනෙ දෙයක්

පරිසර සංරක්ෂණය වෙනුවෙන් අද වෙනකොට විවිධ සංවිධාන සහ පුද්ගලයන් කටයුතු කරන්න පටන් අරන් තියනවා ඒ අයට ඔබට දෙන්න පුළුවන් උපදෙස් මොනවද

සංරක්ෂණය කියන දේ හැමවෙලේම අපි කරන්න ඕනෙ අරමුණක් සහිතව සහ අවබෝධයකින් යුතුව කියන එක හැමෝටම මතක් කරන්න ඕනෙ දෙයක්.මෑතකදී රැල්ලක් විදියට ඇති වෙලා තිබ්බ මී සහ කුඹුක් පැල රෝපණය කිරීමේ රැල්ල අවිධිමත් සංරක්ෂණයට හොඳම උදාහරණයක්. උස් කඳු මුදුන් සහ හුළං කපොලු පවා අවහිර වන ආකාරයට හන්තාන ප්‍රදේශයේද සංචාරකයන් සිටවා තිබූ පරිසර පද්ධතීන්ට පවා නොගැලපෙන ශාක පසුගිය දිනවල ගලවා ඉවත් කිරීමට සිද්ධ උනේ මේ වගේ අවිධිමත් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල නිසා. මේක ශාක වලට විතරක් නෙමේ සතුන්ටත් පොදු කාරණාවක්. පසුගිය කාලය පුරාවට ඇතැම් පුද්ගලයන් විසින් සතුන්ගේ සහ මිනිසුන්ගේ ජීවිත ගැන නොතකමින් තමන්ගේ පුද්ගලික අරමුණු සහ ප්‍රසිද්ධිය වෙනුවෙන් සර්පයන් සිය ගණන් එකම ස්ථානයකට මුදා හරින දර්ශන ප්‍රසිද්ධ මාධ්‍ය නාළිකා ඔස්සේද ප්‍රචාරය කිරීම මෙවැනිම කණගාටුදායක තත්වයක්.

තමන්ට පරිසර සංරක්ෂණයට හරවත් විදියට දායක වෙන්න අවශ්‍ය නම් ඒ පිළිබඳව දැනුම සහිත පුද්ගලයන් හෝ රජයේ ආයතන සමඟ එක්වී එවැනි කටයුතු සිදු කරනවානම් හැමවෙලේම ඒක හොඳ දෙයක්. ඒ වගේ දේවල් වලට උදව් කරන්න අපිත් හැමවෙලේම සූදානම්.

ඔබේ නමින් scientific publication එකක් හෝ field guide එකක් වගේ දෙයක් ඉක්මනට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද අපිට

අපොයි ඒ ගැනනම් දැන්ම මොකුත්ම කියන්න අමාරුයි. මම මේ ක්ෂේත්‍රය තුල කවදහරි යමක් කරන්න බලාපොරොත්තු වෙනවා නමුත් දැන්ම නෙමේ අපි බලමු ඉස්සරහට

මේ ගමන එන්න ඔබට ශක්තියක් වෙලා ඉන්න පිරිස ගැන මතක් කිරීමක් කලොත්.

උරගයන් සම්බන්ධව ඉගෙනගන්න ආරම්භ කරන කාලෙ ඉදන් මට ගොඩක්ම උදව් කරේ භානුක රණසිංහ නිවහල් විමුක්ති සහ අනූෂ ගයාන් අයියා ඉතින් අද වෙනකොට විවිධ ආකාරයෙන් විශාල මිතුරන් ප්‍රමාණයක් වැඩකටයුතු වෙනුවෙන් සහය වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ ලංකාවේ ප්‍රවීණ උරග සහ උභයජීවී විද්‍යාඥ සුදේෂ් බටුවිට සර්ගෙ සහය ලැබෙනවා මගේ වැඩකටයුතු වලට. ඒ වගේම බිනර සිසිරංජන අයියා දර්ශන රුක්මාල් අයියා සහ සාවින්ද වඩිමුණ අයියා photography ගැන හොඳ දැනුමක් නිරන්තරයෙන්ම ලබාදෙනවා.

අපි magazine එකට සම්බන්ධ වීම ගැන ඔබේ අදහස?

මුලින්ම මට අපි magazine එකට සම්බන්ධ වෙන්න ආරාධනා කලේ ගයාන් කරුණාරත්න අයියා දැනට වසරකට වගේ ඉහතදී. මම එදා බොහොම සතුටෙන් ඒ ආරාධනාව බාර ගත්තෙ පරිසර සංරක්ෂණයේ වැදගත්කම තවදුරටත් මිනිසුන් අතරට අරන් යන්න මේක හොඳම ක්‍රමයක් නිසා.හිතුවටත් වඩා සාර්ථක ප්‍රතිචාර එක්ක අද වෙනකොට අපි magazine එක ඇවිල්ලා ඉන්න තැන ගැන නිහතමානී සතුටක් තියනව හදවතින්ම.

විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉතාම හරවත් ලිපි පෙලක් සෑම මසකම පාඨකයන් වෙත සමීප කරන්න ගයාන් කරුණාරත්න අයියා ඇතුලු අපි magazine කාර්යමණ්ඩලය දරණ උත්සාහයට සුබපැතුම් එකතු කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.