Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

අනිවාර්යයෙන්ම ඉදිරියේදී මාව දකින්න පුලුවන් ගුවන් නියමුවෙක් හැටියට තමයි

කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ, පරෙවි රැජිනියේ එදා වගෙ අදත්,

ඔබට තවම මම ආදරෙයි…

ඔබට තවම මම ආදරෙයි…

ඔබට තවම මම ආදරෙයි….

දශක දෙකකට අධික කාලයක් පුරා ගීත 800 කට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් රසික සිත් සුවපත් කල සොදුරු ගායක මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ලේ උරුමය ලබමින්, සුමදුර හඬ පෞර්ෂය සහ ගායන හැකියාව උප්පත්තියෙන්ම දයාද වු මල්ලවාරච්චි පරම්පරාවේ වර්තමාන පුරුක ගායක, ගුවන් නියමුවා පවන් මල්ලවආරච්චිගේ නම් වු ඒ නිහතමානී සොදුරු හිතවතාගේ වතගොත දැනගන්න මෙතෙන් පටන් අපිත් සමග එකතු වන්නටයි ඔබට ඇරයුම….

🔹පවන්ගේ ළමා කාලය ගෙවුනේ කොහොමද?

මම ඉපදුනේ කොළඹ නවලෝක රෝහලේ. අම්මායි, තාත්තායි, නංගියි, මගේ අම්මගේ අම්මායි අපේ ගෙදර හිටියේ. අපි ජිවත් වුනේ බොරැලැස්ගමුව කියන ප්‍රදේශයේ. පොඩිකාලේ ඉදලාම මගේ පවුල එක්ක තමයි මම ගොඩාක් කාලය ගත කලේ.

මම පාසැල ගියේ කොලඹ Royal Institute එකට. ඒත් මට වැඩි කාලයක් ලංකාවේ පාසැල් යන්න ලැබුනේ නැ. මට වයස අවුරුදු 7 ක් වගේ වෙනකොට අපි ඔස්ට්‍රේලියාවට පදිංචියට ආවා.

මම ඔස්ට්‍රේලියාවේ Berwick Grammar පාසැලේ

සාමාන්‍ය විෂය නිර්දේශය ඉගෙන ගත්තා. ඉන්පසු ගුවන් සේවා පාඨමාලාව හැදැරීමට අවශ්‍ය විෂයන් තෝර ගෙන කලා.

🔹ගුවන් නියමුවෙකුවිමට කුඩා කාලයේදී ඉදලා හීනයක් තිබුනාද? ඒ හීනයට ගිය ගමන ගැන අපට විස්තර කියන්න පුලුවන්ද?

2004 වසරේ දි වගේ මම තාත්තයි, අම්මයි එකක් මගේ ආච්චිව බලලා යන්න ඔස්ට්‍රේලියාවට ආවා. ඒක තමයි මගෙ පලවෙනි ගුවන් ගමන. එතකොට මට වයස අවුරුදු 5 ක් වගේ ඇති. මට ඒක අලුත් අත්දැකීමක් වුනා. එදා ඉදලා මගේ හිතේ හීනයක් හැදුනා කවදාහරි ගුවන් නියමුවෙක් වෙන්න ඕනේ කියලා.

ඒ වගේම මගේ මහප්පා, අම්මගේ අක්කගේ මහත්තයා ජාත්‍යන්තර ගුවන් සමාගමක ගුවන් නියමුවෙක්. මහප්පාලාගේ ගෙදර පොඩි Module ගුවන් යානා තියනවා. මහප්පා නිල ඇදුම ඇදගෙන යනවා මම දැකලා තියනවා. ඒකත් මට ලොකු බලපැමක් වුනා කියලා මම හිතනවා.

ඔස්ට්‍රේලියාවට ආවාට පස්සේ මගේ හීනය සැබැ කර ගන්න මට අවස්ථාව ලැබුනා. 2018 දි මම ගුවන් සේවා පාඨමාලාව හැදැරීම සදහා විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනා.

පුහුණු කාලයේදී මගේ පලමුවෙනි ගුවන් ගමන ගියේ උපදේශකයෙක් එක්ක. ඊට පස්සේ තනියම පියාසර කරන්න අවස්ථාව ලැබුනා. තනියම පියාසර කරද්දී ලැබුනු අත්දැකීම තාමත් මට හිතා ගන්න බැ. ඒ හැගීම මට වචනවලින් කියන්නත් අමාරුයි.

දැන් මගේ පුහුණු කාලයෙන් 85% ක් විතර ඉවරයි.

මම දැනට පියාසර කරන්නේ Cessna 172 ගුවන් යානය. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 7 න් මම මේ වෙනකොට ප්‍රාන්ත 4 ක් විතර තනියම පියාසර කරලා තියනවා.

2021 වසරේ මුල් කාලයේදි මගේ පාඨමාලාව නිමා කරන්න තිබුනත් පහුගිය අවුරුදු කීපයේ COVID 19 වසංගත නිසා පුහුණුවිම සැලසුම් කල විදියට කර ගන්න බැරි වුනා. තව මාස දෙකකින් විතර මගේ “Commercial Pilot License” එක ලැබෙනවා. තව ශ්‍රේණිගත

කිරීම් කිපයකට පසුව ගුවන් නියමුවෙක් වශයෙන් සුදුසුකම් ලබන්න මට හැකියාව ලැබෙනවා.

මගේ හීනය සැබැ කර ගෙන ගුවන් නියමුවෙක් වෙන්න ලැබිම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. ලෝකයේ පිලිගත් ගුවන් සමාගමක් සමග සම්බන්ධ වි වැඩ කිරිම මගේ අවසාන ඉලක්කයයි.

🔹අධ්‍යාපන කටයුතු සදහා පවුලේ අයගෙන් ලැබුනු සහයෝගය කොහොමද?

මම මගේ හීනය ගැන අම්මටයි තාත්තටයි මුලින්ම කිවුවාම ඒ දෙන්නා ගොඩක් සතුටු වුනා. අම්මයි තාත්තයි කිවෙ ඔයාට හොදයි හිතන දේ, ඔයා කැමති දේ කරන්න කියලා.

තාත්තට ලොකු ආසාවක් තියනවා මේ විෂය ගැන. මම ගුවන් ගමනක් ගියාම තාත්තා මට කතා කරලා බලනවා, විස්තර අහනවා කොහෙද ගියේ මොනවාද වුනේ කියලා. සමහර වෙලාවට මටත් වඩා උනන්දුවක් තාත්තාට තියනවා කියලා මට හිතෙනවා. මම තාත්තාට ගොඩාක් ගරු කරනවා. තාත්තව යාලුවෙක් වගේ ආශ්‍රය කරන්න ලැබිම මගේ ජිවිතයට ගොඩක් වටිනවා.

අම්මයි තාත්තියි අපිව අධ්‍යාපන කටයුතුවලට ගොඩක් උනන්දු කලා. අපි ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආපු එක අපේ හීනවලට යන්න ලොකු උදව්වක් උනා. මගේ නංගිත් 2024 වසරේදී විශ්වවිද්‍යාල උපාධිධාරිනියක් වෙනවා. තාත්තාගෙයි අම්මගෙයි බලාපොරොත්තු අපි ඉටු කලා කියලා හිතෙනවා.

🔹තමන්ගේම පුතනුවන් ගුවන් නියමුවා වශයෙන් පියාසර කරන ගුවන්‍ යානයක සංචාරයක් යන්න ලැබිම් ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. තාත්තා එක්ක මෙල්බන් නගරයේ ගුවනින් සැරිසැරුවා නේද?

තාත්තට ආසයි කිවා මෙල්බන් නගරය සහ මුහුදුබඩ පලාත බලන්න. මේ අවුරුද්දේ මුලදි මම තාත්තව මෙල්බන් නගරය වටේ පැය එකහාමරක විතර ගුවන් ගමනක් එක්කන් ගියා. ගුවන්ගත වුනාට පස්සේ ගුවන්යානාව ක්‍රියාත්මක වෙන හැටි ගැන පොඩි විස්තරයක් මම තාත්තට කියලා දුන්නා. ඒ වගේම මගේ ආච්චිව මේ අවුරුදේ මැද වගේ එක්කන් ගියා. දැන් අම්මවයි නංගීව තමයි එක්කන් යන්න තියෙන්නේ.

🔹මිල්ටන් මල්ලවාරච්චි සහ රනිල් මල්ලවාරච්චි වැනි විශිෂ්ට ගායක දෙපලකගේ ඇසුර ලැබීම ගැන ඔබ මොනවද හිතන්නේ?

මම පොඩිකාලේ ඇත්තටම දැනගෙන හිටියෙ නැ අපේ සීයා ගායකයෙක් කියලා මොකද මට සියාව හම්බවෙලා නැ. සියා 1998 මාර්තු මාසයේ දි ජිවිතයෙන් සමු ගන්නවා. මම ඉපදෙන්නේ ඊට අවුරුද්දක විතර කාලයකට පස්සේ.

අපි දැක්කේ තාත්තා ගීත ගායනා කරනවා. මට අවුරුදු 5 ක් 6 ක් වගේ වෙනකොට තමයි මම දැනගත්තේ සීයාත් ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් කියලා. සීයා 1968 වසර වගේ ඉදලා ගීත ගායනා කරලා තියනවා. සීයාගේ අභාවයෙන් පස්සේ අපේ තාත්තා දැනට අවුරුදු 30 ක විතර කාලයක් සියාගේ ගීත රැකගෙන ඉදිරියට ගෙනියනවා. තවමත් සීයා අදුරන අය, සීයගේ රසික රසිකාවියෝ සීයාව ගැන මතක් කරලා අගය කරනවා.

මම හිතනවා මේ දෙදෙනාම සංගීත ක්ශේත්‍රයට දැවැන්ත සේවාවක් කරලා තියනවා කියලා.

තාත්තා මුලින්ම ගායනා කලේ තාත්තාගේම නිර්මාණ. සීයා නැති වුනාට පස්සේ තමයි තාත්තා සියාගේ ගීත ගායනා කරන්න පටන්ගෙන තියෙන්නේ.

පොඩිකාලේ මට විවේක කාලයක් ලැබුනාම තාත්තා එක්ක ගොඩක් ප්‍රසංගවලට ගිහින් තියනවා. මට ගොඩක් පොඩිකාලේ ඉදලාම ප්‍රියා සූරියසේන මාමා, වික්ටර් රත්නායක මාමා වගේ ප්‍රවීනයන් ඇසුරු කරන්න ලැබිලා තියනවා.

🔹පවන් සංගිතට යොමුවුනේ කොහොමද?

මට වයස අවුරුදු 7 දී වගේ පාසැලේ ගීතිකා කණ්ඩායමට සම්බන්ධ වෙන්න ලැබුනා. මට ගීත ගායනා කිරිමේ හැකියාවක් තියනවා කියලා ගීතිකා කණ්ඩායමේ ගුරුවරිය හදුනා ගෙන සමහර ගීත මුලිකත්වය අරගෙන ගායනා කරන්න අවස්ථාව දුන්නා.

මමයි, මගේ ඔස්ට්‍රේලියානු ජාතික යාලුවෝ 4 දෙනෙකුයි එකතු වෙලා සංගිත කණ්ඩායමක් හැදුවා. මම ගොඩක් දුරට ඉංග්‍රීසි ගීත තමයි ගායනා කලේ. ඒත් මම පොඩිකාලේ ඉදලාම පරණ සිංහල ගීත නිතරම අහනවා.

මම Australia Music Examination Board (AMEB) එක සමග සම්බන්ධ වෙලා හඩ පුහුණුවිම කලා. ඒ වගේම Guitar, Piano වාදනය කරන්න තනියම ඉගෙන ගත්තා.

🔹 මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීත රසික රසිකාවියන්ට අහන්න නව මුහුණුවරකින් ඉදිරිපත් කිරිමට අදහසක් තියෙනවාද?

සීයගේ ගීත 800 ක් විතර තියනවා. මගේ අදහසක් තියනවා වැඩිය ඇහෙන් නැති ගීත කිපයක් තෝරාගෙන චන්දිම ජයතිලක අයියා සහ Zigma සංගිත කණ්ඩායම සමග එකතු වෙලා remix කරන්න.

මගේ Facebook පිටුවෙන් සහ Youtube චැනලය තුලින් මෙම නිර්මාණ හැමෝටම බලා ගන්න පුලුවන්. ඒක තමයි සංගිතය පැත්තෙන් මේ අවුරුද්දෙ කරන්න මම අදහස් කරගෙන ඉන්නේ.

🔹පවන්ට ජිවිතය දැනෙන්නේ කොහොමද? පවන් මොනවගේ කෙනෙක්ද?

ජිවිතය කියන්නේ ගමනකට, ගමනාන්තයකට නෙවෙයි. මම හිතන්නේ ජීවිතයට කාලරාමුවක් නැ. ජිවිතය කියන්නේ කාලයෙන් කාලයට සමාජය විසින් නිර්මාණය කරපු අරමුණු කරා යෑම නෙවෙයි.

Covid 19 වැනි වසංගත නිසා හැමෝගෙම ජිවිත කොච්චර වෙනස් වුනාද කියලා අපිට දකින්නට ලැබුනා. අපිට ගෙවල් ඇතුලෙම ඉන්න වුනා අවුරුදු දෙකකට කිට්ටු වෙන්න. ඉතින් ජිවිතේට එන දේට මුහුණ දෙන්න ඕනේ, එතකොට තමයි ලොකු ගමනක් යන්න පුලුවන්.

මම හරිම නිදහසේ, විනෝදෙන් ඉන්න කැමතියි. මම ඕනෙම කෙනෙක් එක්ක ඉන්න පුලුවන් චරිතයක්. මාව ලගින් ආශ්‍රය කරන මගේ ලගින් ඉන්න පිරිස ඒක හොදින්ම දන්නවා. පවුලේ එකිනෙකා අතර සහ හිතවතුන් අතර සම්බන්ධතායන් හොදින් පවත්වාගෙන යාම මගේ ජිවිතයට ගොඩක් වැදගත් වෙනවා.

🔹 එදා රෑ… ගුවන් තොටුපලේදී මා… වෙන් වී ගියේ… සිතකින් නොවේ…

පවන් ගුවන් නියමුවෙක් නිසා මේ ගීතය මතක් කරලාම මෙහෙම අහන්න හිතුනා, පවන් ආදරවන්තයෙක්ද? ආදරය ගැන මොනවද හිතන්නේ?

ආදරය කියන දේ විග්‍රහ කරන්න නම් හරිම අමාරු දෙයක්. තේරුම් ගැනීම, විශ්වාසය, ගරු කිරිම මේ ඔක්කොම එකතු වුනාම තමයි ආදරය ‍රදා පවතින්නේ. පොඩි පොඩි අතපසුවීම් සිදුවිම මනුස්ස ස්වභාවය නිසා දෙදෙනාම අවබෝධයෙන් කටයුතු කිරිම ඉතාම වැදගත් වෙනවා.

මම දැන් පෙම්වතෙක්. එයත් ලංකාවේ පදිංචි වෙලා ඉදලා තියෙන්නේ බොරැලැස්ගමුවේ අපේ ගෙවල් කිට්ටුවමයි. ඒත් මම එයාව කලින් දැනගෙන හිටියේ නැ. මට එයාව මුණගැහුනේ සමාජ මාධ්‍යය ඔස්සේ. දැන් එයාගේ පදිංචිය කැනඩාවේ. එයා නීතී උපාධිය අවසන් කරලා කැනඩා රජයට ආදාලා කාර්යාලයක දැනට සේවය කරනවා.

🔹පවන්ට කඩවසම් පෙනුමක් තියන නිසා රංගනයට ආරාධනා ලැබිලා තියනවා ද?

මට රංගනට ගොඩක් ආරාධනා ලැබිලා තියනවා. රංගනය මට ලොකුවට පිහිටලා නැ. දෙයක් කරනවා නම් හරියට කරන්න ඕනේ කියලා මම හිතනවා. මට ගැලපෙන චරිතයක් ලැබුනොත් මම ඒ ගැන හිතලා බලනවා.

🔹 සෞඛ්‍යමත් ජීවන රටාවක් පවත්වාගෙන යෑම සදහා පවන් මොනවාද කරන්නේ?

මම අනිවාර්යයෙන්ම ව්‍යායාම කරනවා. මම හරිම ආසයි පර්යේෂණ කරමින් ඒවා අත්හදා බලන්න.

ඒ වගේම මම කෑම ගැනත් ගොඩක් සැලකිලිමත් වෙනවා. ශරීරය සෞඛ්‍ය හොදින් පවත්වා ගන්න නම් හැම කෙනෙක්ම පොඩි හරි ව්‍යායාමයක යෙදෙන්න ඕනේ කියලා මම හිතනවා.

🔹පවන්ව අපිට ඉදිරියේදී දකින්න ලැබෙන්නේ ගුවන් නියමුවෙකු විදිහටද? එහෙම නැතිනම් ගායන ශිල්පියෙකු විදියටද?

අනිවාර්යයෙන්ම ඉදිරියේදී මාව දකින්න පුලුවන් ගුවන් නියමුවෙක් හැටියට තමයි. මට කාලය තිබුනොත් ප්‍රසංගවල සම්බන්ධ වෙලා සජීවීව ගායනා කරන්න මම ගොඩාක් ආසයි. මේ අවුරුද්දේ අන්තීමේට මට යුරෝපීය සංචාර කිපයකට සහභාගි වෙන්නත් අවස්ථාව ලැබිලා තියනවා.

අමා නාකන්දලගේ

Sign up for our newsletter