Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

කඩදාසි ඔරුව

කඩදාසි ඔරුව…

‘සනූ’

‘ඇයි අමා?’

‘මට එකම එක වතාවක් හස්ත එක්ක කතා කරන්න ඕන’ 

මම එහෙම කියද්දි සනූ තිගැස්සුනා. ඒ මූණ බලලා තේරුම් ගන්න අපහසු හැඟීම් ගොන්නක්ම තිබුනා. මම ඇයගේ අත හෙමින් ඇල්ලුවා. එතකොට තමයි මම මගේ අත දැක්කේ. අවුරුදු විසි අටේ මගේ අත අවුරුදු හැටක කාන්තාවකගේ වගේ රැලි වැටිලා, වේලිලා ගිහින්. ඒ ගැන හිතන ඇත්තටම නිශ්ඵල දෙයක්… ගෙවුනු මාස අටම අපේක්ෂා රෝහලේ ගෙවපු මම මගේ රූපය දිරාකාඩු වෙන හැටි දවසින් දවස දැක්කා. මුලින්ම කෑගහලා ඇඩුවත් දැන් ඒ ගැන හිතන්න, දුක් විදින්න ඉස්සර වගේ කාලය නාස්ති කරන්නෙ නෑ. 

‘උඹට පිස්සු හැදිලද අමා?’

‘පිළිකාවට අමතරව නම් මට වෙන ලෙඩක් නෑ සනූ.මට කොහොමහරි හස්තව බලන්න ඕන. මැරෙන්න මොහොතකට කලින් මට දැනගන්න ඕන ඇයි මට එහෙම කලේ කියලා… 

මගේ දුර්වල වුනු කෝටු අත අල්ලාගෙන සනූ බිම බලාගත්තේ ඇස් වලින් වැටෙන කඳුලු මගෙන් සඟවන්න හිතාගෙන. 

‘මට බනින්න එපා සනූ.. මගේ ජීවිතේ හෙටද අනිද්දාද කියන්න මම දන්නෙ නෑ. මට ඕන හිතේ කහටක් නැතුව මේ ලෝකෙන් යන්න. මගේ ජීවිතේ අතරමං වුනේ හස්ත නිසා. මම හිත හදාගත්තා. එහෙම හිත හදාගෙන ටිකක් ඔලුව උස්සද්දි මට සිද්ද වුනේ අපේක්ෂා එකේ ඇඳක් උඩ ජීවිතේ ගැන හිත හිත හූල්ලන්න. අම්මා, අප්පච්චි ඇවිත් දවස ගානේ අඩලා යනවා. ඔයත් එහෙමයි.. ඔයාලා ගියාම මම අඩනවා. මම අදත් අහගෙන ඩොක්ටර් කියනවා කැන්සර් එක අක්මාව වෙනකම් පැතිරිලා ඉවරයි කියලා. ඒකියන්නෙ මගේ ජීවිතේ සනූ ඉවර වෙන්න ළ….

‘කටවහගන්න අමා.. ඔයාගෙ දෙමව්පියෝ, මම, ඔෆිස් එකේ යාළුවෝ පුලුවන් හැමදේම කරන්නෙ ඔයාව යවාගන්න නෙවෙයි. තව අවුරුදු ගානක් අපි ළඟින් තියාගන්න. 

‘ඒත් සනූ, අපි ඇත්තට මූණ දෙන්න ඕන.. ඒහින්දා මට හස්තව බලන්න ඕන…

මරණය අතේ තියාගෙන කතා කරන්න අපහසු වුනත්. ඒ හයිය මට දැන් තියෙනවා. ගෙවුනු අවුරුදු ගානට සිද්ද වුනු හැමදෙයක්ම මගේ හිතට සෑහෙන හයියක් දුන්නා. මම ඇස් වලින් ගලන කඳුලු පිහිදගත්තේ සනූ ඇයගේ අත් බෑගයත් අරගෙන යන්න නැගිට්ට නිසයි. පුලුවන් උපරිම මගේ ළඟට ආව ඇය වෙනදා වගේම නලල සිපගත්තේ හරිම ආදරෙන්. අවුරුදු විස්සක යාලුකමේ මුල් දවස් සනූගේ හාදුවත් එක්ක මට මොහොතකට සිහිවුනා. 

‘මම හස්තට කියන්නම් අමා.. ඔයාගෙ හිත මම එදා රිද්දුවෙත් නෑ අද රිද්දන්නෙත් නෑ, හෙටත් නෑ. හැබැයි ඔය මිනිහා ඇවිත් ඔයාව අවුල් කරොත් මේ පාර නම් මම නිකම් ඉන්නෙත් නෑ.. මම යනවා පැටියෝ.. ලන්ච් අවර් එක ඉවර වෙන්න ළඟයිනේ. ආයෙත් හෙට එන්නම්. අනම් මනම් හිතන්නෙ නැතුව ටිකක් භාවනා කරන්න.. ලේ ටික හරි පිරිසිදු වෙනවනේ.. 

එක හුස්මට සනූ කියාගෙන යද්දි මම හිස වැනුවා. මම කොහොම කියන්නද කායික වේදනාවයි මානසික වේදනාවයි දෙකම එකට තියෙන කෙනෙක්ට හිත එකඟ කරගන්න අපහසු වග. ඇරත් මට බයයි ඇස් පියාගන්න. එතකොට මගේ හිත කියනවා, ‘අමා, උඹට ආයෙත් මේ ලෝකෙ දිහා බලන්න බැරි වෙයි, ඒ හින්දා ඇස් ඇරපන්… අඩුම ගානේ උඹව දරුණු විදියට ජීවිතෙන් අයින් කරන්න හේතුවවත් දැනගෙන ඇස් දෙක පියාගනින්…. 

හස්ත, හස්ත විජේමාන්න පේරාදෙණිය සරසවියේ හිටපු කැපීපෙනෙන ජේෂ්ඨයෙක්, අරගලකාරයෙක්, ඉගෙන ගන්න දක්ෂයෙක් ඒ හැමදේම එක්ක මට හොඳ ප්‍රේමවන්තයෙක්. හස්ත ගැන මුලින්ම ආදරේ දැනුනේ කවදද කියන්න මට මතක නෑ. ඒහින්දම වෙන්න ඇති කිසිම බාධාවක් නැතිව හස්තට මගේ ජීවිතේට එන්න ඉඩ දුන්නේ. මුලු පේරාදෙණිය සරසවියම අපි දෙන්නා දිහා බලාගෙන හිටියා. සමහරු ඇත්තටම අපිට ඊර්ෂ්‍යා කලා. මට හස්ත තරම්, හස්තට මම තරම් ගැලපෙන තවත් ගැහැණියක් හෝ පිරිමියෙක් ඇත්තටම හිටියේ නෑ. අවුරුදු තුනක විද්‍යා උපාධිය සම්පූර්ණ කරපු අපි දෙන්නා සරසවියෙන් පිටතට ආවේ ජීවිතේ ඊළඟ පියවර තබන්න හීන දකිමින්. එතෙක් දවස් දැකපු හීන හැමදේම සම්පූර්ණ වුනේ මම හස්ත එක්ක පෝරුවට නැගපු දවසෙයි. මම හිතුවේ එදා තමයි මගේ ජීවිතේ සම්පූර්ණ වුනු දවස. ඒත්, ඒ දවසින් පස්සේ දවස ගානෙ අපේ ජීවිත වෙනස්ම දිශාවකට ගලාගෙන ගියේ හස්තගේ රැකියාවත් එක්කයි. ගෙදර එන දවස් ගණං අඩු වෙද්දි, රෑ ගනං පරක්කු වෙද්දි මගේ ඉවසීමත් නැත්තටම නැති වුනා. අපි දෙන්නා කවදාවත් නැති විදියට රණ්ඩු වුනා. ඇත්තටම අපි දෙන්නාටම අපි දෙන්නා එපා වුනේ අපිටත් නොදැනීමයි. 

මම සෑහෙන්න හිතුවා. පැය ගනං කල්පනා කලා අවුරුදු ගනං ආදරේ කරලා කසාද බැඳපු ගමන් තවත් ගැහැණියකගේ ආදරේ හොයාගෙන යන්න තරම් හස්තට මගෙන් සිද්ද වුනු අතපසුවීම ගැන. හස්ත ගැන කල්පනා කරලම මම හෙම්බත් වුනා. අන්තිමට එකම ගෙදරක නන්නාඳුනන මිනිස්සු වගේ අපි දෙන්නා ජීවත් වෙන්න පටන්ගත්තා. ඒත් මට විශ්වාසයි මම හස්තට ආදරේ කලා ඉස්සර වගේම. එක දවසක් මම හරි දරුණු විදියට අසනීප වුනා. ඒ වෙද්දි මගේ අත් යට තිබුනු ඉදිමුණු ගැටිති මාව හරි දරුණු පිළිකා රෝගියෙක් කරලා ඉවරයි. දවසින් දවස මම ලෙඩ ඇඳට වැටෙද්දි හස්ත හරි අමානුශික විදියට මාව අතහැරලා දැම්මා. පිළිකා රෝහලෙන් බෙහෙත් අරගෙන සමහර දවස් වලට මම උසාවි ගියේ හස්ත මම වෙනුවෙන් ගොණු කරපු දික්කසාද නඬුවට. හරියටම මාස තුනකින් මගෙන් දික්කසාදය ගත්ත හස්ත ඊටත් සති කීපයකට පස්සේ එයාගෙ අනියම් බිරිඳ නීත්‍යානුකූල බිරිඳ විදියට බාරගත් බව මට අහන්න ලැබුනා. ඇයට තිබුනු මට නොතිබුනු දේවල් මොනවද කියන්න මම තාමත් දන්නෙ නෑ. පවුලක් කඩලා පවුලක් හදපු ඒ ගැහැණිය මගේ ජීවිතේ දැකපු පිළිකුල්ම ගැහැණු ආත්මය වුනා. 

හස්ත ඉවත් වුනු මගේ ජීවිතය ඉන් අනතුරුව ගෙවිලා ගියේ හරිම හිස් මූසල විදියට. ජීවත් වෙන්න ඇති ආසාව දවසින් දවස මගේ හිතෙන් ඉවත් වෙද්දි මම රෝහල් ඇඳ උඩ උන්නේ අම්මලාගෙ කීමට. අවුරුද්දකට ආසන්න කාලයක් විකිරණ ප්‍රතිකාර වලින් ජීවත් වෙන්න තවත් වාසනාවක් නැති බව වෛද්‍යවරුන් අප්පච්චි එක්ක කියනවා මම අහගෙන උන්නෙ නින්දත් අඩ නින්දත් අතරෙදියි.මේ ලෝකයෙන් සමුගන්න දවස ඉක්මනින් ලංවිම ගැන මට ඇත්තටම සතුටක් දැනුනා. ඉතින් මම ඒ ලංවීමට දැන් සූදානම් වෙනවා. 

‘අමා…. 

හීනෙන් වගේ ඇහුනු ඒ හඬ මට ඇහුනේ අතීතයෙන්. මට ඒ හඬ අහලා හොඳට හුරුයි. වේදනා නාශක වල ඇති සැර නිසා එක වරම දෑස් විවර කරන්න අපහසු වුනත් මම බොඳ වුනු දෙනෙතින් හස්තගේ ඡායාවක් දැක්කා. සේලයින් කටු ගහලම වේලිලා ගිය අත හස්ත අල්ලාගෙන ඉද්දි මට දැනුනේ ලෝකයක් මට ලැබුනා වගෙයි. ඒත් එක්කම අතීතයේ හස්ත මට දුන්නු වේදනා සියල්ලම එක පේළියට මැවිලා පෙනෙන්නට වුනා. 

‘හස්ත, ඇයි මට එහෙම කලේ? 

‘මට සමාවෙන්න අමා.. මට ගොඩාක් වැරදුනා.. මට සමාවෙන්න රත්තරං…

කාලෙකට පස්සෙ මට සතුටු හිතුනා. මම හිනා වුනා මට මතකයි. ඒත් එක්කම මගේ සිරුරට නිදහසක් දැනුනා. හස්ත මාව බදාගෙන මොනවදෝ කිය කිය අඩනවා. ඒ දිහා බලාගෙන මම කාලෙකට පස්සේ හිනාවුනා… 

.

.

.

.

‘කාම් ඩවුන් මිස්ට විජේමාන්න.අමා ගෙනාව ආයුෂ අදින් ඉවරයි… 

සමාප්තයි!

තක්ෂිලා ඒකනායක.

Sign up for our newsletter