ඔත්තුව

අප්පා නැති වුන් දෙන්නා එක්කම

රැක්කෙ දිවි මම තට්ට තනියම

මහ ඇතා ළඟ පාත නැතුවම

තනි එකා අනෙ වුණේ “තනියා” ම

කෑම වේලක් මගහැරෙනකොට

ගඩා ගෙඩියක් හොරෙන් කෑවට

ලොකු වැරැද්දක් කරලා නෑ ඌ

පිටින් ගියෙ නෑ මගේ වචනෙට

ටිකින් ටික උස් වෙලා කර දඬු

හම්බ කෙරුවේ කරලා වැඩ වඩු

මටයි දූටයි කෙරුවෙ නෑ අඩු

කොහේවත් උට තිබ්බෙ නෑ නඩු

ඉඳලා හිටලා ටිකක් බිව්වට

කොල්ලො එක්කලා කරක් ගැහුවට

මේ ලඟක් වෙනකල්ම නොතිබුණි

කිසිම නරකක් උට කියන්නට

ලඟදි ඉඳලා වැඩි කතා නෑ

නිදාගන්නෑ, බඩගිනිත් නෑ

හේතු කිසිවක් කිව්වෙවත් නෑ

යකෙක් වැහුණද කියා දන්නෑ

සල්ලි ඉල්ලා කලත් කරදර

උකස් කෙරුවත් මගේ කණකර

දරුව හින්දා ඉවසුවේ මං

සියලු දුක් ගිනි හිතේ තදකර

අයියගෙයි නංගිගෙයි රණ්ඩුව

ඇවිලුවා මගෙ හිතේ ගින්දර

තව පමා වූවොතින් බැරිවෙයි

රකින්නට කෙල්ලගේ නම්බුව

සර් මම මයි දුන්නෙ ඔත්තුව

කසුන් ජයතිලක

සිරිසුභ නව අවුරුද්දේ…

ගිමන් හලන වැහැරුනු කය

වාරුවටම වාඩිවෙලා

ඈත ඉමක සිතිජ කොනේ

මැවෙන රූ රටා,

සිතපු පතපු සමහර තැන්

අතරමගින් නැවති බලා

අතීතයක රූප මැවෙයි 

මීදුමෙන් වෙළා…

දිනෙන් දිනම ජීවිතයක

ශේෂ වෙවී වියැකෙන පණ

තදින් බදා යදම් වෙලා

නවතනු බැරිදා, 

කිනම් අරුත් පහදන්නද

ලොබ බැද ගත් කාසි පනම

සතර වරම් ලැබුවද මතු

හිමිඅහිමි වෙනා…

එපා කිසිත් පොදි බදිනට

දිරන කයට දිරියක් නැත

කල පිං පව් මතු උපදින

දා ඵල ලබනා,

අවුරුද්දක නියම අරුත

කාලය රන් හා සමවෙන

රිදවපු සිත් සුවපත් කොට

සව්සිරි පුරනා…

සිරිසුභ නව අවුරුද්දේ

කිරි ඉතිරෙන අනාවකේ

නව මංපෙත් විවරණයක

සේයා පෙනෙනා,

හීන මවපු නව ලෝකේ 

එකම දැයක දරුවන් සේ

එකාවන්ව එකමුතුවී

සැම සවි වඩනා…

රීනා

ඇයි මෙහෙම

ලං වෙන්න බැරි තරම්

ටිකෙන් ටික

නුඹ දුරස් වෙනවා …

දුන්න ආදරේ නුඹ මට

හැම අතේ 

මං තාම සොයනවා …

වරදක් නොකර මම

නිතර නිතර

වැරදි නුඹ දකිනවා …

හැම දේම දරාගන  මම

අනේ ඉතින්

නුඹ තවම පතනවා …

ගෙවුණු හැටි පෙර දිනක

අපි අපට

සෙනෙහසින් ලං වෙලා …

වින්ද හැගුමන් තවත් ඇත

දරාගන තනියම

හිතේ කොනක හිරවෙලා …

හමුවුනත් මඟ 

හමුනොවුණු ගානට

යන්න අද සිදු වෙලා …

වරදක් කළා නම් නුඹට 

එකම වරද

හුස්ම තරමට පෙම් කලා …
ගගන ගුරුගේ

පෙම් කව

මා දිහා ආදරෙන් නෙත් හෙලූ දා – 

සිත් ගැබේ සහස් මල් පීදුණා

ගං තෙරේ අත් වෙලී රහස් කී දා –

සිත මගේ ඔබෙ නමට නතු වුණා..

මෙතුවක් කල් මා පෙම් කලා වූ, රෑ සිහිනෙන් ළං වුණා වූ

සුර කුමරිය අද මගේ සතු වෙලා..

මෙතුවක් කල් මා මග බලා වුන්, පෙම් පැතුමන් ඉටු කලා වූ

ඔබෙ සෙනෙහෙන් මා හැඟුම් මත් කලා..

පෙර සසරේ පුරුදු විලසින් – දැනුණා මට මුල් දිනේ

මතු සසරෙත් රැඳෙන විලසින් – අපෙ හදවත් යා වුණේ

මගෙ ලෝකේ වේදනාවන් – ඔබෙ තුරුලේ දියවුණේ

පෙම් ලෝකේ මල් සිනා කැන් – තරු වැස්සේ නැහැවුණේ


තාරක ජයතිලක

මා නොදන්නා මගේ ආදරය

අයිති කරගන්න 

ඕන කිව්වටට,

හැමදාටමද දන්නෙ නෑ …

සනසන්නම් කිව්වට

හිත නොරිදවා

ඉන්න පුලුවන් වෙයිද 

දන්නෙ නෑ …

සංසාරෙම 

එකට යමු කිව්වට

සංසාරේ හමුවෙයිද 

දන්නෙ නෑ …

අමතක නොකර

ඉන්නම් කිව්වටට 

මඟහැරෙයිද දන්නෙ නෑ …

මගේ විතරයි කිව්වට

වෙන කාගෙවත් වෙයිද

දන්නෙ නෑ  …

හිතේ ඉන්නෙ

මම කිව්වට

හිතේ කොතැනකද

කියල දන්නෙ නෑ …

නිතර මතක් වෙනව

කිව්වට

ඒ මොන වෙලාවටද 

කියල දන්නෙ නෑ …

දවසගානේ

ප්‍රාර්ථනා කරනව

කිව්වට

අපි අපේ වෙයිද කියල නම්

දන්නේ නෑ …


ගගන ගුරුගේ

අසම්මතයේ පබැදුමක්

ඇහි දාර තෙමි තෙමී

මන්දාරමේ ගුලිවෙලා

වැසිදාක නොතෙමිච්ච 

හිත් කෝඩුවී තනිවෙලා

කිසිදාක නොදැනුනත්

අපි ආගන්තුක වෙලා

ඉස්සරම ඉස්සරක

ලියු කවිත් සේදී ගියා…

සම්මතයට පිටුපා හිත ගියාම

රැදුනාවේ ඒ ප්‍රේමේ හැමදාම

හීනෙකට විත් ආයේ යනදාක

ලියාගන්නද ප්‍රේමේ හිත පුරාම…

බොදවෙවී සිත්තම් මැවී

පහනකුත් ඇත දැවි දැවී

අසම්මත ප්‍රේමයට වී

ලැබුයේද සැනසුමක් කොහී…

රීනා

මගේ නිවන… මගේ පැල්පතයි…

මගේ නිවන… මගේ පැල්පතයි…

මිණිකැට දෙකකි ලැබුයේ මගෙ උපන් දිනේ,

රන් මිණි පහනකුත් තිබුනා තව ඇකයේ,

එතරම් කිසි දෙයක් නැහැ මට තව ඕනෑ උනේ,

මවකට තව මොනවනම් ලබනද දිවි කතරේ…

ඉපදුනුදාම තෝරාගෙන ඇයිද කියා,

වදනට සිතුයේ රිදෙනවා නේද අසා,

මා ලද දිවියේ තව කිමනම් අරුත සොයා,

තේරුම් කරනු බැහැ ඒ මගේ ලෝකේ නිසා…

මාමව් පියන් මතු බුදු වන්න කියා,

පතනට අවැසි නෑ ඒ මට නිසැක නිසා,

සැමියද දෙවියෙකී මා හැබැහින් දකිනා,

මේ ලොව තවත් නෑ දිව් සැප මට ඕනා…

නිවුනුන් හීනයකි මට මා ලද දිනයේ,

හැබවින් දුටුවේ සුරඅගනාවියන් ලෙසේ,

දෑවුරුද්දකුත් ලබලා හීන්සැරේ,

නිවනකි මං ලැබුයේ මේ ජිවිතයේ…❤️

රීනා

පෙමක්මද මේ

පෙමක්මද මේ

වරදක් 

නොකලත්,

වරදක් සේ 

දකින, 

මොනතරම් 

හොද කලත්,

නොහොදක් සේ

දකින,

මොනතරම් 

කැප කිරීම් කළත්,

කිසිදා

අඟයක් නොදෙන,

මාත් රකිනවා

පෙමක්,

සැනසීම නැතත්

සැනසීමක් සොයන …

ගගන ගුරුගේ

ඔබේ ලෝකය හා මගේ ලෝකය

ඔබේ ලෝකය හා මගේ ලෝකය

විඩාපත් වූ ඔබේ මුහුණට

සිනාවක් ගෙන දෙන එකම දේ

මගේ ඇසුරයි මගේ දසුනයි

මගේ සතුටත් ඔබේ ඇසුරයි

උදේ පාසැල්, හවස පංතිය

රෑට පොත් පත් වල ගෙදර වැඩ

අතර ලැබෙනා කෙටි විවේකය

ඔබේ මාගේ මිතු නිමේශය

මගේ වරලැති බඳ සැලෙනු දැක

මොහොතකට තුටු වන ඔබේ සිත

මවගෙ ඇමතුම ලැබුණ සැණකින්

මැලව යනු දැක දැවේ මසිතද

නමුත් ලමයෝ නොදනී ද ඔබ

මමත් ඔබ මෙන් හිඳිමි සිරවී

යහලු රෑනක සමාගමයට

මමත් ඔබ තරමටම කැමතී

ඔකසිජන් හා කෑම බීමත්

දෙදෙනටම අඩු නැතිව ලැබුණත්

ඔබට මට පොදු විසල් තනිකම

ඔබට මට මිස ලොවට නොදැනේ

තාරක ජයතිලක

හයේ බස් එක

හිරු උදාවට පෙරම – පාන්දර මදඳුරේ

තුරු පිසින මීදුමෙන් – වැසුණු නිල් කඳුකරේ

මේ ගමේ නිහඬබව – හැමදාම දුරුකරේ

ලංගමේ රියැදුරා – වෙල පහල චන්දරේ

බස් එකේ තරමටම – වඩා ලොකු නැති පාර

ඇස් වහන් යන්න හැකි – තරම් ඔහු හුරුකාර

උදේ හවසද රෑද – පෝය දවසෙත් නෑර

කොතරම්ද ගණිනු බෑ – විසි වසක් ගිය වාර

අපිත් එක්කම ගමේ – පාරවල් ලොකු වුණා

බස් තුනක් හතරක්ම – තරඟයට එක් වුණා

පරණ බස් එක වගෙම – චන්දරෙත් ලෙඩ වුණා

අඩක් නිමවූ නිවසෙ – බිරිඳ හා තනිවුණා

එක රෑක හොඳටෝම – වැඩි වුණිලු පපුවෙ හති

රෝහලට ගෙනියන්න – කවුරුවත් හිටියෙ  නැති 

නොපමාව දහස් දන – එතෙර කල නිසා නිති

නොපමාව දෙව්ලොවෙන් – ඔහුව කැඳවන්න ඇති

තාරක ජයතිලක