Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

කාන්තා මදසරු බවට හේතුවන PCOS

වර්තමාන සමාජය තුල විවාහක, දරුවන් අපේක්ෂිත යුවල සංඛ්‍යාවෙන් 30%ක ට ආසන්න ප්‍රමාණයක් දරුවන් නොමැති වීමේ ගැටලුවට මුහුණ දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තහවුරු කොට ඇත. ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන් 7%ක්  පමණ ද මදසරු බාවයට හේතු යෙදෙන “ඩිම්බ නොමේරීම” හෙවත් PCOS (Polycystic Ovarian Syndrome) යන රෝගී තත්ත්වයෙන් පෙලෙන අතර අවුරුදු 18-44 අතර වයසේ පසුවන කාන්තාවන් තුල මෙම තත්ත්වය සුලබව දක්නට ලැබේ. 

ස්ත්‍රී හෝමෝනයන්ගේ සමතුලිතතාවය බිඳ වැටීම හේතුවෙන් නිසියාකාරව ඩිම්බ පරිණත වීම සිදු නොවීම මෙම රෝගී තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුවයි. ඩිම්බ කෝෂය මතුපිට ස්වාභාවිකව පවතින සුමට බව නොමැති වී පරිණත ඩිම්බයක් වෙනුවට “Cyst” එනම් තරල පිරි කුඩා ගෙඩි ඩිම්බ කෝෂ පුරා පැවතීම ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස හඳුනා ගත හැක. TAS/ TVS ස්කෑන් පරීක්ෂණ මගින් මෙම තත්ත්වය නිවැරැදිව පරීක්ෂා කොට තහවුරු කරගත හැක.

මෙම රෝගී තත්ත්වයේදී කාන්තා ශරීරයේ අභ්‍යන්තර මෙන්ම බාහිර රෝග ලක්ෂණ දක්නට ලැබෙන අතර, ඒවා ඉක්මනින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙම තත්ත්වය පහසුවෙන් මගහරවා ගත හැක. PCOS රෝගී තත්ත්වය පිටියුටරි ග්‍රන්ථිය, ඩිම්බ කෝෂ, තයිරොයිඩ් ග්‍රන්ථි හා අග්න්‍යාශය ආදී අන්තරාසර්ග ග්‍රන්ථීන්ගේ ක්‍රියාකාරීත්වයේ විෂමතා නිසා හටගනී. මීට අමතරව වත්මන් සමාජය තුළ මෙම රෝගී තත්ත්වය සඳහා බලපාන ප්‍රධාන හේතූන් ලෙස අධික තරබාරු බව, වැරදි ආහාර විහරණ හා ජානමය හේතු හඳුනාගත හැක.

කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රය ක්‍රමවත්ව පවත්වාගෙන යන ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන ඩිම්බ කෝෂ මගින් නිපදවන අතර සාමාන්‍ය තත්ත්ව යටතේ සුලු ප්‍රමාණයකින් නිපදවන  Androgen හෝමෝනය අධිකව ස්‍රාවය වීම නිසා ඩිම්බ පරිණත වීමට බාධා පැමිණීම PCOS තත්ත්වයේදී සිදුවේ. නිරෝගී කාන්තාවකගේ ඩිම්බ කෝෂයකින් මසකට පිටවන නිරෝගී, පරිණත ඩිම්බයක් නිරෝගී ශුක්‍රාණුවක් සමඟ සංසේචනයෙන් නිරෝගී කළලයක් හටගනී. නිරෝගී පරිණත ඩිම්බයක් ලැබීමටත්, එය නිවැරැදි කාලයේදී මෝචනය වීමටත් හෝමෝනමය සමතුලිතතාවය අතිශය වැදගත් වේ. ඩිම්බ නිපදවීම හා ඒවායේ පරිණත භාවය සඳහා  FSH හෝමෝනය හා ඩිම්බ මෝචනය සඳහා  LH හෝමෝනය යන හෝමෝන වල නිවැරැදි ක්‍රියාකාරීත්වය මෙහිදී වැදගත් සාධකයක් වන අතර PCOS තත්ත්වයේදී  FSH හා LH හෝමෝනයන්ගේ අසමතුලිතතාවයන් ද දක්නට ලැබේ. එමනිසා ඩිම්බ පරිණත වීම නිසියාකාරව සිදුනොවේ.

එමෙන්ම, අග්න්‍යාශයික ක්‍රියාකාරීත්වයේ විෂමතා හේතුවෙන්  ඉන්සියුලින් හෝමෝනයේ බලපෑමෙන් ඩිම්බ කෝෂ වලින් වැඩි වශයෙන් පිරිමි හෝමෝන ස්‍රාවය උත්තේජනය වීම සිදු වේ. එහි බලපෑමෙන්, ඩිම්බ නිසිලෙස පරිණත නොවීම, ඩිම්බ මුදාහැරීම නිවැරැදිව සිදු නොවීම හේතුවෙන් දරුවෙකු පිළිසිඳ ගැනීමට බාධා ඇතිවේ. 

PCOS රෝග ලක්ෂණ –

• අක්‍රමවත් ඔසප් චක්‍රයක් පැවතීම (ඔසප් චක්‍රය සිදු නොවීම, ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම)

• මුහුණේ අසාමාන්‍ය ලෙස කුරුලෑ හට ගැනීම

• මුහුණේ සහ ශරීරයේ ඇතැම් ස්ථාන වල (උඩුතොල, නිකට, පපුව, තට්ටම් ආදී ) අනවශ්‍ය ලෙස රෝම හට ගැනීම

• ගෙල, ඉකිලි හා කිහිලි ආශ්‍රිත සම කලු, වියළි, ගොරෝසු වීම

• අධික තරබාරු බව

• අධිකව හිසකෙස් ගැලවී යාම හා හිසකෙස් මෘදු වීම

PCOS තත්ත්වය නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ –

• මදසරු භාවය 

• ගබ්සා වීම් (Abortion)

• ගර්භාෂ හා ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා තත්ත්ව

• දියවැඩියාව 

• අධි රුධිර පීඩනය 

• කොලෙස්ටරෝල් 

• විශාදය ඇතුළු මානසික සංකුලතා 

රුධිරගත FSH, LH හෝමෝන සාන්ද්‍රණය ( Hormone profile) පරීක්ෂා කිරිම මගින් මෙන්ම රුධිරගත තයිරොක්සින් හෝමෝන මට්ටම (Thyroid profile) මගින් මෙම රෝගී තත්ත්වය පහසුවෙන් නිශ්චය කරගත හැක. 

ආයුර්වේද ප්‍රතිකාර –

සුවිශේෂී ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් තුළින් PCOS තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවකර ගත හැක. ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් “ආර්ථව ව්‍යාපත්” සඳහා වන චිකිත්සා පද්ධතිය ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දේ. 

බාහිර ප්‍රතිකාර ලෙස නස්‍ය ප්‍රතිකාර (අසමතුලිත වූ හෝමෝන සමතුලිත කිරීම සඳහා), ශිරෝධාරා (මර්ම උත්තේජනය හා ත්‍රිදෝෂ ශමනය කිරීම සඳහා), උද්වර්තනය (ඖෂධීය චූර්ණ අභ්‍යංගය), තෛල අභ්‍යංගය හා ස්වේදනය (ස්‍රෝතස් ශෝධනය හා මේද දහනය සඳහා),ඖෂධීය කෂාය මගින් ශේක, පිචු, අවගාහ, වස්ති කර්ම ඇතුළු පංචකර්ම ප්‍රතිකාර හැඳින්විය හැක.

අභ්‍යන්තර ඖෂධ යෙදීමෙන් රෝගියාගේ ශරීරය ශෝධනය නොහොත් විෂ ඉවත් කොට පිරිසිදු කිරීම, රෝගියාගේ ශරීර අග්නිය නිසි ලෙස සැකසීම, දෝෂ ශමනය මගින් අසමතුලිත දෝෂ සමතුලිත කිරීම සිදුකරනු ලැබේ. එමෙන්ම රෝගියාගේ මානසික සෞඛ්‍ය සුරැකීම කෙරෙහි ද ප්‍රතිකාරයේදී විශේෂයෙන් අවධානය යොමුකල යුතු වේ. 

PCOS රෝගී තත්ත්වය ඇතිවීම වලක්වා ගැනීම සඳහා,

• අධික සීනි/තෙල්/පිටි සහිත ආහාර ගැනීමෙන් වැළකීම

• උෂ්ණාධික මාංශ වර්ග (ගව මස්, ඌරු මස්) හා උෂ්ණාධික මාළු (බලමාළු, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්) ගැනීමෙන් වැළකීම

• ක්ෂණික ආහාර, කෘතිම රසකාරක/වර්ණකාරක යෙදූ ආහාර, ගැඹුරු තෙලේ බදින ලද ආහාර ගැනීමෙන් වැළකීම 

සිදු කල යුතුය.

• රතු කැකුළු හෝ දේශීය සහල්, ධාන්‍ය වර්ග, තන්තු අධික එළවළු, පලතුරු, පලා, කුඩා මසුන් (හාල්මැස්සන් වැනි) වැඩි වශයෙන් ආහාරයට ගැනීම.

• වැඩිපුර ජලය පානය කිරීම

• ඖෂධීය කොළ කැඳ (කරපිංචා, යකි නාරං, හීන් බෝවිටියා) හා ඔසුපැන් (කොත්තමල්ලි, ඉරමුසු, පොල්පලා) පානය කිරීම

• ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම හා දවල් කාලයේදී නිදා නොගැනීම

• ව්‍යායාම කිරීම 

• භාවනා කිරීම හා යෝග අභ්‍යාස වල නිරත වීම යෝග්‍ය වේ.

නිරෝගී දරු පිළිසිඳ ගැනීමක් සඳහා පරිණත ඩිම්බයක් නිසි කල නිසි අයුරින් ඩිම්බ කෝෂයෙන් මුදාහැරීම කාන්තාවකට අතිශය වැදගත් වේ.එබැවින් ඉහත සඳහන් රෝග ලක්ෂණ සහිත කාන්තාවක් වේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වී නිසි ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමෙන් PCOS රෝගී තත්ත්වය හේතුවෙන් ඇතිවන මදසරු භාවය ඇතුළු අනෙකුත් අතුරු ආබාධ තුරන් කොට ඉක්මන් සුවය ලඟාකර ගත හැක.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)

Sign up for our newsletter