Api-Slide-56-1
Api-Slide-56-2
previous arrow
next arrow

කාබන් කාල නිර්ණය


මීට අවුරුදු දස දහස් ගණනකට හෝ මිලියන ගණනකට පෙර පෘථිවියේ ජිවය කෙසේ පවතින්නට ඇතිද? එවක සිටි සත්වයින් සහ තිබුණු ශාක මොන ආකාරයේ වන්නට ඇතිද? මේ අභිරහස් විසඳන්නට තියෙන එක මගක් තමයි පොසිල. පොසිල කියන්නේ මීට වසර දස දහස් ගණනක්  හෝ මිලියන ගණනකට පෙර ජිවත් වූ සත්ව හා ශාකවල දිරා ගිය කොටස් බව අපි දන්නවා.රූප රූප සටහනේ  පෙන්වා තිබෙන්නේ පොසිලයක්. පොසිලයක් හමුවූ පසු එක කෙතරම් ඈත අතීතයකට උරුමකම් කියනවද කියන දේ ඉතාම වැදගත් දෙයක්. එමගින් තමයි අතීත තොරතුරු සොයා ගන්න හැකි වෙන්නේ.මෙවන් පොසිලයක් කෙතරම් පැරණිද කියල සොයා ගන්න ක්‍රමවේදය තමයි කාබන් කාල නිර්ණය හෙවත් carbon dating ලෙසින් හඳුන්වන්නේ. මෙය විකිරණශීලි කාලනිර්ණ ක්‍රමවේද වලින් එකක්.

කාබන් කාලනිර්ණය සඳහා පදනම් කර ගන්නේ කාබන්-14 (C-14) සමස්ථානිකයේ විකිරණශීලිතාවයයි. මිහිපිට සිටින හෝ සිටි සියළුවම ජීවින් (සත්ව හා ශාක) තුල කාබන්-14 සමස්ථානිකය අන්තර්ගතව තිබෙනවා. මෙවන් ප්‍රාණ වස්තුවක් (organism) මරණයට පත්වූ මොහොතේ සිට කාබන්-14 සමස්ථානිකයේ විකිරණශීලිතාවය ද මියයන්නට පටන් ගන්නවා. මෙම විකිරණශිලිතාවය අඩුවීම සිදුවන්නේ එක්තරා රටාවකට. එනම්, සෑම වසර 5730කට පමණ වරක්  එහි විකිරණශීලිතාවය 50%කින් අඩු වෙනවා. මෙය half-life ලෙසින් හඳුන්වනවා. මේ අනුව, සොයාගත් පොසිලයේ ඇති කාබන්-14 සමස්ථානිකයේ විකිරණශීලි මට්ටම මැන එය එම මුලද්‍රව්‍යයයේම සාමාන්‍ය තත්වයේ ඇති විකිරණශීලිතාවය සමග සැසඳීමෙන් පොසිලයේ වයස ගණනය කරනවා. මෙහිදී ගණනය කරන්නේ එම ජිවියා මියගිය අවස්ථාවේ සිට වයසයි.

කාබන් කාලනිර්ණය ලොවට හඳුන්වා දුන්නේ නම් විලාඩ් ලිබි නම් ඇමෙරිකානු ජාතික විද්‍යාඥයා, ඒ 1940 ගණන්වලදී. මේ වෙනුවෙන් ඔහුට නොබෙල් ත්‍යාගයක් ද පිරිනැමුණා 1960 වසරේදී.

මෙම ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ යම් කලෙක ජිවය පැවති දෙයක් (ශාකයක් හෝ ජීවියෙක්) කෙතරම් කාලයකට පෙර මියගොස් ඇතිද යන්න තීරණය කිරීමට පමණයි. අජීවී වස්තු සඳහා මෙය භාවිතා කළ නොහැකි අතර ඒ සඳහා වෙනත් විකිරණශිල කාලනිර්ණ ක්‍රමවේදයක් භාවිතා කරන්න වෙනවා.