Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ගතට වගේම සිතට වැළඳෙන රෝග සුව කරන අපේ පුංචි දොස්තරනෝනා

Dr. CHANDHI RAJAPAKSHE

1.       වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ කියන්නෙ කවුද?

මම නිතරම සරලව ඉන්න කැමති වගේම ඒකට උත්සාහ කරන කෙනෙක්. අම්මට අප්පච්චිට දුවෙක්. මහත්තයාට බිරිඳ. රෝගීන් ඉදිරියේ වෛද්‍යවරියක්. ශිෂ්‍යයන් ඉදිරියේ එයාලගෙ ගුරුවරයා. යාළුවො එක්ක ඉද්දි හොඳ මිතුරියක්.මේ මොන භූමිකාව තුළ සිටියත් මගේ තියෙන හොඳගති ඒ විදිහටම තියාගන්න, නරකක් තියෙනවනම් ඒක හදාගන්න උත්සාහ කරන කෙනෙක්. මොකද අපි හැමෝම මොහොතින් මොහොත සෑම අතින්ම වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස්වීම හොඳ විදිහට වෙනස් වෙන්නයි මට ඕනි.

2.       ඔබගේ පවුල් පසුබිම ගැන ටිකක් කිව්වොත්?

අම්මයි අප්පච්චියි අක්කයි මමයි තමයි පවුලෙ. තව මගේ සුරතලා ‘බබී’ත් පවුලේ සාමාජිකයෙක්. අම්මයි අප්පච්චියි ගොඩක් මහන්සි උනා අපිට උගන්වන්න. මම ගැන කිව්වොත් මම ඒ මහන්සියට එයාලට ප්‍රතිපලයක් දුන්නා. මට පොඩිකාලෙ ඉඳලා ඕනි උනේ අම්මයි අප්පච්චියි මම නිසා හිනාවෙන්න. ඉතින් මගේ ජයග්‍රහණ වලින් මම එයාලගෙ මූණට හිනාවක් දුන්නා. ඊටපස්සෙ දැන් ගැන කිව්වොත් මම වෙනම පවුලක්. මගේ හැමවැඩකටම දිරිමත්කරන්නෙක් මට හම්බුණා කිව්වොත් මම හරි. අපි දෙන්නාම අපි දෙන්නගෙ වැඩ වලට පුළුවන් උපරිමෙන් සහයෝගය දෙනවා. ඉතින් ඒ සහයෝගය මට වගේම එයාටත් ලොකු හයියක්.

3.       Medical writing වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

මම Medical writing කරන්න පටන් අරන් අවුරුදු 7 ක් විතර.ඒකට යොමු උන විදිහත් ටිකක් දිගකතාවක්. ආසාව වැඩිකමටම මම ගොඩාක් මහන්සිවෙලා හොයලා Go Magazine එකේ කර්තෘතුමාව සම්බන්ධ කරගන්න ලැබුණා. ඒකට තමයි මම මුලින්ම Articles ලිව්වෙ. එතුමාව ආදරෙන් ගෞරවයෙන් මේ වෙලාවෙ මතක් කරනවා. ඒ අතරෙ මම Magazine articles, Paper articles, Social media articles ගැන අධ්‍යයනයක් කරලා ඒවටත් සම්බන්ධ උනා. ඒ අතර ආපු ජීවිත අභියෝග එක්ක පොඩ්ඩක් Medical writing වලින් ඈත්වෙන්න උනත් කෙනෙක් මට අභියෝග කළා පුළුවන්නම් පත්තරේකට ලියලා පෙන්නන්න කියලා?. මම සාමාන්‍යයෙන් අභියෝග එක්ක නැගිටින කෙනෙක්. ඒ නිසාම වෙන්නැති මට මව්බිම යං එකෙන් chance එක ලැබුණ. මගෙ අතිජාත මිත්‍රයා තිවංක ගොඩක් මගපෙන්නුවා. උදවු කළා. ඔසුමිණ, සිරිකත, නවලිය, තරුණි, රැස, Ceylon Today, Sunday Observer වගෙ පුවත්පත් රාශියකට මම දායකත්වය සපයලා තියෙනවා. ඉතින් ඒ ගැන මට සතුටුයි.

4.      ඔබ Herbal products (ඖෂධීය නිෂ්පාදන) ගැන වැඩකටයුතු සහ පර්‍යේෂණ වලට සම්බන්ධයි.ඒ ගැන කිව්වොත්?

ඔව්. ඒක මගෙ උපාධියෙන් පස්සෙ M. Sc. එක විදිහට හැදෑරිමකින් පස්සෙ තමයි සම්බන්ධ උනේ. දැන් මේ වෙනකොට Herbal products යැයි කියාගන්නා chemicals යොදාගෙන නිෂ්පාදනය කරන Cosmetics හේතුවෙන් බොහෝමයක් දෙනෙක් පීඩාවට පත්වෙලා ඉන්නවා. හේතුව තමයි නිසි හැදෑරිමකින් තොරව මේ දේවල් කිරීම. ඒ වගේම ජනතාව තුළ මේ ගැන ලොකු අවබෝධයකුත් නැහැ. ඉතින් ඒ නිසා සමාජය සුවපත් කරන්න වගේම ඇත්තටම ශාකසාර නිෂ්පාදන වලින් ලැබෙන විස්මිත ප්‍රතිපල ජනතාවට ලබාදෙන්න තමයි පර්‍යේෂණ කටයුතු වලට සම්බන්ධ උනේ.

5.      වෛද්‍යමය කටයුතු වලට අමතරව ඔබ නිතරම මිනිස්සුන්ගෙ සිත් සුවපත් කරන්නට කටයුතු කරනවා නේද?

ඒක මගේ විනෝදාංශයක් විදිහට පටන් ගත්ත දෙයක්. මට පොඩි කාලෙ ඉඳන්ම හොඳට ඇහුම්කන් දෙන පුරුද්දක් තිබුණා. ඒ නිසාම මම බාහිරව මනෝඋපදේශනය වගේම මනෝචිකිත්සනය හැදෑරුවා. ඒ සම්බන්ධ පුහුණුවීම් වලත් නියැලුණා. නිතරම හොස්පිට්ල් එකේ practical’s වලට හිටපු එකෙන් ලොකූ ප්‍රයෝජනයක් ගත්තා. ඊටපස්සෙ දැන් වෙද්දි ඒ ගැන තවත් හැදෑරීම් කරලා Motivational Speaker කෙනෙක් විදිහට වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. මම ලබාගත්ත දැනුමෙන් තවත් අයෙක්ගෙ මනසක් සුවපත් වෙනවා දකින්නයි හැමවෙලාවෙම උත්සාහ කරන්නෙ.

6.      ඔබ YouTube නාලිකාවක් ආරම්භ කර තිබෙනවා. ඒ ගැන කිව්වොත්?

‘Dr. Chandhi Rajapakshe’ තමයි චැනල් එක. මේකෙ විශේෂයෙන්ම රූපලාවන්‍ය සහ සුවතාවය වගේම වෛද්‍යවිද්‍යාත්මක කරුණු සම්බන්ධ videos ගෙන එනවා. තව අලුතින්ම කතාකරන්නට ගත්තා ‘දරුපල ප්‍රමාදවීම’ කියන කාරණය ගැනත්. ඉතින්හැම දෙයක්ම ගැන සැකනැතුව දැනගන්න මාත් එක්ක Subscribe කරලා සම්බන්ධ වෙන්න කියලා ආදරෙන් හැමෝගෙන්ම ඉල්ලනවා.

7.      වෛද්‍යවරියක් විදිහට ඔබට මේ කාලෙ සමාජයට දෙන උපදෙස් මොනවාද?

මේ කාලෙ බ්ලීචිං තියෙන ක්‍රීම්වර්ග ගාලා බොහෝ තරුණියො විවිධාකාරවූ රෝගාබාධ වලට ගොදුරු වෙලා ඉන්නවා. Skin cancers පවා ඒ අතර තිබෙනවා. ඉතින් Herbal කියලා තියෙන හැමඑකම herbal නෙවෙයි. ඒවා හොඳින් තේරුම් බේරුම් කරගන්න ඉගෙන ගන්න. මොකද ඔබට අවුරුදු ගණනාවක් යනකන් මේවයෙ බලපෑම තියෙන නිසා. ඒ එක්කම Homemade කියලා පාවිච්චියට නුසුදුසු ආලඒපන වර්ග Online හරහා ගන්න අයටත් දෙයක් කියන්න කැමතියි. අපිට ඕනිම දෙයක් සති දෙකකට තුනකට වඩා preservatives නොදා තියාගන්න බෑ. ඒකෙ ක්ශුද්‍රජීවීන් වර්ධනය වෙනවා. ඔබ ඒ ආලේපනය මුහුණෙ ගාද්දි ඔබේ සම මතයි ඒ හැමදේම ගෑවෙන්න. සමහර අවස්ථා වල ඒ විදිහට ආසාදනයන්ට ලක්වෙන සම නැවත යථතත්වයට පත්කරන්නත් බැහැ. ඉතින් හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලා සිටිනවා දැන දැනම තමන් ලෙඩ වෙන්න එපා. තමන්ගෙ අතේ තියෙන මුදල් නාස්ති කරගන්නත් එපා. මේ දේවල් හරියට හොයලාබලලා තෝරාගන්න. ඕනි වෙලාවක ඔබට උදවු කරන්න සූදානම්.

8.      මනෝඋපදේශිකාවක්, අභිප්‍රේරණ පුහුණුකරුවෙක් ලෙස අපේ පාඨකයන්ට අදහසක්?

දැන් දැන් ගොඩක්දෙනා හැම දේටම short cuts හොයනවා. ඒත් ජීවිතේ කියන්නෙ එහෙම short cut එකක් නෙවෙයි. පොතකට සමාන කළොත් පිටුවෙන් පිටුව පෙරළන්න ඕනි. එහෙම නැත්තන් අපි නොදැනීම තැන් තැන්වල අතරමං වෙනවා. ඉතින් තමන් නියැලිලා ඉන්න ක්ෂේත්‍රයට ආදරේ කරන්න. තමන්ටම කියලා Goal එකක් තියාගන්න. දිනපතා ඒ වෙනුවෙන් එක පියවරක් හරි ඉස්සරහට තබන්න. හැමවෙලාවෙම තමන්ව විශ්වාස කරන්න. කොහෙවත් තියෙන ග්‍රහලෝකයකට තමන්ගෙ ජීවිතේ බාරදෙන්න එපා. තමන් වැඩ කළොත්, තමන් දිනනවා.

9.      අපි magazine එකට සම්බන්ධ වීම ගැන ඔබේ අදහස?

Medical Writing වල තවත් මම තිබ්බ ලොකූ Step එකක් තමයි මේ. මුලින්ම මම ඔයාලව දැනගත්තෙ අනීශා අක්කගෙන්. ඇය මගේ ඉතාමත් ආදරණීය සොයුරියක්. ඉන් අනතුරුව තමයි මම ඔබව අඳුනගන්නෙ. ඉතින් ඔබ මාව විශ්වාස කරලා බාරදීපු පිටුව මම හැම මාසෙම කාලෝචිත ලිපියකින් සරසන්න උත්සාහ කරනවා. මේ හරහා ලොකූ පාඨක පිරිසක් එකතුවෙලා ඉන්නවා. හැම ක්ෂේත්‍රයකම ඉන්න කෙනෙක්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ නිසා කියවන පාඨකයාට අපි Magazine කියන්නෙ දැනුම් උල්පතක් විදිහටයි මම දකින්නෙ.

ඉතින් ඉදිරියටත් අපි Magazine එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබට දැනුම එක්කරගන්නට මම ඔබට ආරාධනා කරනවා.

Sign up for our newsletter