Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ගැහැණු පිරිමි භේදයෙන් තොරව වැළදෙන ‘අර්ශස්’


වර්තමාන සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝගයක්. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව, ලොකු කුඩා භේදයෙන් තොරව ඇති වන්නක්. බොහෝ දෙනෙක් මෙය මුල් කාලයේදී නොසලකා හරින නිසා ඉතා පීඩාකාරී තත්ත්වයක් තෙක් වර්ධනය වෙන්නත් පුළුවන්. එහෙත් ඔබ මෙය නිවැරදිව හදුනා ගෙන, ප්‍රතිකාර කොට සුවය ලැබිය හැකි රෝගයක්. 

ආයුර්වේදීය මූල ග්‍රන්ථ වල සදහන් ආකාරයට ‘අර්ශස්’ යන්නෙහි සරලම තේරුම වන්නේ සතුරෙකු මෙන් ශරීරය පෙළන රෝගයක් බවයි. ඔබ දැනටමත් මේ රෝගයෙන් පෙළෙන්නෙක් නම් මෙහිවූ වේදනාත්මක බව අත්විද ඇති. අර්ශස් ගුද මාර්ගයේ අවසාන කොටසේ, එනම් මහාන්ත්‍රයේ අවසාන කෙළවරේ සිට අගල් 5-6ක් අතර සංවරණී, විසර්ජණී හා ප්‍රවාහිණී යන ගුදවලි තුනෙහි හට ගන්නාවූ රෝගයක්. මිනිස් සිරුර ඉතා පීඩාවට පත් කරන්නාවූ මේ රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ මලබද්ධ තත්ත්වයයි. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම, කෘත්‍රිම ආහාර රටාවන්ට යොමුවීම, කෙදි සහිත ආහාර නොගැනීම, මළ මූත්‍ර පිට කිරීමේ අවශ්‍යතාව දැනුණු විට පිට නොකර සිටීම, අධිකව නිදි වැරීම, එකදිගට හිදගෙන හෝ සිටගෙන සිටීම, බර ඉසිලීම, අධික ලෙස මත්පැන් පානය, උෂ්ණාධික ආහාර එනම්; ඉස්සො, දැල්ලො, බලමාළු, අන්නාසි, අච්චාරු, තක්කාලි ආදිය අධිකව ආහාරයට ගැනීම, අපිරිසිදු බව, පණු රෝග දීර්ඝකාලීනව පැවතීම, මානසික ආතතිය අධික වීම ආදිය මේ රෝගය සදහා හේතූන් වේ. 

අර්ශස් රෝගය ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුලුවන්. ඒ අභ්‍යන්තර අර්ශස් හා බාහිර අර්ශස් ලෙසයි. අභ්‍යන්තර අර්ශස් තත්ත්වය ඔබට පිටතින් දැකගන්නට බෑ. මෙහිදී ඔබට සාමාන්‍යයෙන් වේදනාවක් නොදැනුනත්, මලපහ කිරීමේදී රුධිරය පිටවීමක් දකින්නට පුලුවන්. මෙය ඉතා වැඩිවූ අවස්ථාවක් නම් අර්ශස් ගෙඩි විශාලවී ගුද මාර්ගයෙන් පිටතට ඇවිත් වේදනාවක් ගෙන දෙන්නටත් පුලුවන්. බාහිර අර්ශස් තත්ත්වයේදී සිරුර අභ්‍යන්තරයේ සිට ඇතිවන මාංශපේශි ඉදිමුම ගෙඩි මෙන් ගුදය වසා විසිර තිබෙනවා. බහුලවම පවතින්නේ මේ තත්ත්වයයි. 

අර්ශස් තත්ත්වයක් ඇත්නම් එවැනි රෝගියෙක් පහත ලක්ෂණ පෙන්වනවා. මූලිකවම මලබද්ධය හා බඩ පුරවා දැමීමත්, ගුද මාර්ගයෙන් ලේ ගැලීම, සැරව ගැලීම, සීදන් යාම, දණහිස් වේදනාව, මූත්‍ර අඩස්සිය, නොසන්සුන් බව, අධිකව තරහ යාම, හිසේ බර ගතිය ආදියයි. ඔබටත් මේ රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් ඇත්නම් අනිවාර්‍යයෙන්ම ඔබේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කර ප්‍රතිකාරයට යොමු විය යුතුයි. 

අර්ශස් රෝගය සදහා ප්‍රතිකාරයේදී මුලින්ම ආහාර පිළිබද සැලකිලිමත්විය යුතුයි. කෙදි සහිත ආහාර වැඩිපුර ගැනීමත්, ජලය වැඩියෙන් පානයට යොමු වීමත් ඒ අතරින් ප්‍රධානයි. මලපහ තද ගතියෙන් තිබීම අර්ශස් උත්සන්න කරන අතර, ඒ සදහා මලපහ මෘදු කරන ඖෂධ ඉතාමත් යෝග්‍යයි. ඉතා උත්සන්නවූ අවස්ථාවක් නම් මද රස්නය සහිත ලුණු මිශ්‍ර  ජලයෙහි විනාඩි 15- 20ක් පමණ වාඩිවීසිටීමෙන් ක්ෂණික සහනයක් ලැබේ. ජලය ලීටරයට ලුණු හැදි 2- 3ක් පමණ එකතු කල යුතුයි. දිනකට මෙය දෙතුන් වරක් කිරීමෙන් අර්ශස් තත්ත්වය උත්සන්න වීම වලක්වා ගන්න පුලුවන්. තවද නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග Chemotherapy, Rubber band ligation, Heat coagulation, Hemorrhoidectomy වැනි ආකාර වලින් අර්ශස් අංකුර ඉවත් කිරීමටද දැන් හැකියාවක් ඇත. අර්ශස් තත්ත්වය සදහා ආයුර්වේදීයව විශේෂ ප්‍රතිකාර පද්ධතියක් ඇත. එහිදී බාහිර මෙන්ම අභ්‍යන්තරවද ඖෂධ ලබා දෙන අතරම, අග්නි කර්ම ආදී ප්‍රතිකාර මගින් අර්ශස් රෝගය මනාව ක්‍රමානුකූලව සුව කර ගත හැක.


වෛද්‍ය ආර්. චන්ද්‍රිකා රාජපක්ෂ

BAMS ( කොළඹ විශ්වවිද්‍යාලය )

M. Sc. Ph. B. ( පේරාදෙණිය විශ්වවිද්‍යාලය )

Ad. Dip. in Psychotherapy & Dip. in Counselling Psychology (MHF- SL)

CCHRM (IPM- SL)

Sign up for our newsletter