Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ජීවිතාවර්ජනය

විසි එක්වන සියවසේ ගෝලීකරණය වුණු සමාජයක අපි ජීවත් වුණත් තවමත් හණමිටි අදහස් දරන සමාජ තත්වයන් ගැන මහ ලොකුවට හිතන අනෙකාව හෙළා දකින මිනිසුන් කොට්ඨාසයක්. මම මෙහෙම කියන්නේ ඔයාලා ගොඩක් උනන්දුවෙන් කියවන “ජීවිතාවර්ජනය” ට මේක ගොඩක් ගැළපෙන නිසයි. මේ මම මීට සති කිහිපයකට උඩදී ලබපු අත්දැකීමක්. මගේ කිට්ටු මිතුරියකගේ සොහොයුරියක් ආදර සම්බන්ධයක් පටන් ගෙන. ඒ ගැන වැඩි විස්තර හොයාගෙන යනකොට මේ පිරිමි ළමයා මත්ද්‍රව්‍ය ගත්ත ඒත් මේ වෙනකොට ඒක අත්හැරපු කෙනෙක් විදියටයි දැනගන්න ලැබුණේ. මේ කතාවේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් යාලුවගෙ ගෙදර අයට තිබුණෙ මේ ගැන ලොකු ප්‍රශ්නයක්. ඒක ඇත්තටම සාධාරණයි. ඒත් මට කියන්න ඕන වුනේ, මතට ඇබ්බැහි වී ඉන් මිදුණු කෙනෙකුට ජීවිතයක් නැද්ද? සමාජයේ පිළිගැනීමක් නැද්ද? හැමදාටම කුඩුකාරයා,බේබද්දා කියන ලේබලයම වදිනවද? ඇත්තටම තවමත් අපේ සමාජය ඔවුන්ව පිළිගන්න සූදානම් නැහැ. ඒත් බොහොම ආදරෙන් ආයාචනාවක් කරන්න කැමතියි. බාල, තරුණ, මහලු සියලු දෙනාටම මතට ඇබ්බැහි වී ඉන් මිදුණු අයට අනුකම්පා කරන්න. ඔවුන් සමාජයේ ම කොටසක් ලෙස ආදරයෙන් පිළිගන්න. ඔවුන් මතින් තොර විමට ගත් උත්සාහය අගයන්න. එසේ නැතහොත් නැවතත් ඔවුන් මතට ඇබ්බැහි වී මුළු මහත් සමාජයටම වෛර කරන මිනිසුන් කොට්ඨාසයක් වීම නියත යි. අද ජීවිතාවර්ජන යේ කතා නායකයා එරන්ද..

1. එරන්ද ඔයාගේ වයස කීයද? ගම කියන්න කැමති නම්

අවුරුදු 46යි. ගම ගම්පහ.

2. මොනවටද addict  වෙලා හිටියෙ?

මත්පැන් වලට

කොච්චර කල් ඉදලා ද? කොහොමද එක උනේ..

O/L ඉවර වෙලා results එනකං ඉන්න කොට තමයි ඉස්සෙල්ලාම බොන්න පටන් ගත්තේ. ඒ කියන්නේ අවුරුදු දාසයේ දී. මම ගියේ කොළඹ පාසලකට. ඒ කාලයේදී කොටුවෙ යාළුවෙක්ව අඳුනගන්න ලැබුණා. එයා සල්ලාල මිතුරෙක්. එයාට කොටුවෙ කඩයක් තිබුනා. එතන එයාටම කියලා කාමරේ කුත් තිබුනා. ඒ කාමරේ තමයි අපි දෙන්න එකතු වෙලා බොන්නේ. අපි දෙන්නා දවසකට බෝතලයක් බොනවා. එයා මාව යාලුවෙකුට අඳුන්වලා දෙනවා. ඒ  යාළුවා වයින් ස්ටෝස් අයිතිකාරයෙක්. ඉතින් එතනින් අපිට නිකං බෝතල් ලැබුණා. ඒත් ඒ කාලේ මං ඇඩික්ට් වෙලා හිටියෙ නැහැ. Results ආවට පස්සෙ මම

 A/L කරන්න ආයෙත් ඉස්කෝලෙ යන්න ගත්තා. සතියකට සැරයක් විතර යාලුවොත් එක්ක එකතු වෙලා බිවුවා. ජොබ් එකකුත් කරන්න පටන් ගත්තා. මම අවුරුදු 22 දී  විවාහ වුණා. අවුරුදු තුනකින් ඒ විවාහය දෙදරා ගියා. මේ සිදුවීමත් එක්ක මම ඇල්කොහොල් වලට ඇඩික් වුනා. දවස ගානේ බොන්න පටන් ගත්තා. මගේ අම්මා හැමවෙලේම කිව්වා හොද  මිනිහෙක් වෙන්න කියලා. අවුරුදු හතරකට පස්සේ මං ආයෙත් විවාහ වුණා. addiction එක එහෙමම තිබුණා. බොරු ප්‍රශ්න දාගෙන ගෙදරින් එළියට ගියා බොන්න. යාලුවෝ නැත්නම් තනියම හරි බිවුවා.

3. පුනරුත්ථාපනය වෙන්න තීරණය කළේ ඇයි? 

මට මාව control  නැති තත්ත්වයකට ආවා. ගෙදර අයට ගොඩක් කරදර කළා. මගෙ නංගි, wife මට පුනරුත්ථාපනය වෙන්න කියලා කිව්වා. මගේ ලොකු දුව ( අවුරුදු 13) මට කිව්වා තාත්ති මට දැන් ඔයාව එපා වේගෙන එන්නේ ඒ හින්දා පුනරුත්ථාපනය වෙන්න යන්න කියලා. ඇත්තටම ඒ නිසයි මම ගියේ.

4. මතින් තොර වෙන එක තනියම කරන්න පුලුවන්ද? 

තමන්ගේ අධිෂ්ඨානයයි කැපවීමයි අනිවාර්යෙන්ම තියෙන්න ඕන. පුනරුත්ථාපනය වෙනවා කියන එක ලේසි නැහැ. එතැනදි අපි හරියට විඳවනවා. තමන්ගේ කියන කවුරුත් නැහැ. දරුවො, පවුල, මගෙ නංගි, තාත්තා හරියට මට මතක් උනා. මං නිසා ඒ අය විඳපු දුක මතක් උනා. හෘද සාක්ෂිය කතා කරන්න ගත්තා. මෙතැනදි මතින් තොර වෙන එක විතරක්ම නෙමෙයි, අපි කොහොමද තමන්ව පාලනය කරගන්නේ, ඉවසීම පුරුදු වෙන්නේ කියන දේවල් අපිට කියලා දෙනවා. එතනදි කරන වැඩසටහන් අපේ ජීවිතේට හරි වැදගත්. ඒ වගේම කියන්න ඕනේ දෙවියන් බුදුන් ගෙන් මේ ගමන යන්න අපිට ලැබෙන ආශිර්වාදයත් හරිම වැදගත්.

5. මේ ඇබ්බැහි වීමත් එක්ක ඔයාට අහිමිවුණු දේවල් මොනවද?

මට මගේ අම්මව නැතිවුණා. එයා මං  ගැන ගොඩක් දුක්වුණා. ඒකත් එක්කම එයා අසනීප වෙලා අපි අතරින් සදහටම වෙන් වුනා. මට මාව නැති වුණා. මම අමනුස්සයෙක් ගානට වැටුනා. දරුවන්ට මාව එපා වුණා.  රැකියාව අහිමි වුණා. ආර්ථික අපහසුතා වලට මුහුණ දෙන්න වුනා.

6. අහිමි වුන දේවල් නැවත ලඟා කරගන්න ඔයා මොනවද කළේ?

පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිය අලුත හිතේ තිබුනෙම එතනින් පැනගන්න. ඒත් wife  මාව බලන්න ආවම කිව්වා, අපි හරි සැනසීමෙන් දැන් ගෙදර ඉන්නවා. ඔයා නැති උනත් අපි මෙච්චර කැපකිරීම් කරන හින්දා කොහොමහරි ඉන්න ඕන නියමිත කාලේ ඉඳලම එන්න කියලා කිව්වා. ඒ නිසා මං අවංකවම මතින් තොර වෙන්න කටයුතු කළා. මේ නිසා පවුලේ විශ්වාසය දිනාගන්න මට පුළුවන් වුණා.

7.එරන්ද ,ඔයා මතට ඇබ්බැහි වෙලා හිටපු කාලපරිච්ඡේදය තුළ ඔයාගෙන් අන් අයට වුණු අපහසුතා මොනවද?

ගොඩක් අපහසුතාවලට මුහුණ දුන්නා. හැමදාම ගෙදර ගිහින් රණ්ඩු වුණා. තාත්තත් එක්ක රණ්ඩු වුණා. තාත්තට ගැහුවා. දවසක් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා පිහිය අරගෙන වයිෆ්ට  අනින්නත් ගියා.ලොකු දුව තමයි බේරුවේ. දැන් ඒව මතක් වෙද්දිත් මට ඒ අය ගැන දුකක් වගේම මං ගැන  ලැජ්ජාවක් ඇති වෙනවා.

8. මත්පැන්,මත් ද්‍රව්‍ය ගැන ඔයාගේ දැන් අදහස මොන වගේද?

විහින් නාස්ති වෙන දෙයක් කියලයි හිතෙන්නේ. Social drinking වුණත් මං වගේ කෙනෙකුට ගැළපෙන් නැහැ.

9.ඔයා ලබපු අලුත් ජීවිතේ ගැන මොනවද හිතෙන්නේ?

මේ අලුත් ජීවිතේ නිසා ලොකු සැනසීමක් සතුටක් දැනෙනවා. මානසික නිදහසක් දැනෙනවා. චාටර් චරිතයක් වෙලා හිටපු මං ගැන මගේ දරුවෝ, බිරිඳ, නංගි, තාත්තා වගේම මගේ නෑදෑයොත් සතුටු වෙනවා. මං operations manager කෙනෙක් විදිහට ප්‍රධාන පෙළේ ආයතනයක රැකියාව කලා. ඇබ්බැහිවීම නිසා රැකියාව නැති වුනත්, මගේ අලුත් ජීවිතය නිසා නැවතත් මට එම ආයතනයේ ම රැකියාවක් ලැබුණා. ඉතින් මට මේ හැම දෙයක් ගැනම සතුටුයි.

10. තරුණ පරපුරට ඔයාට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද? 

මත්පැන්, මත්ද්‍රව්‍ය කියන්නේ මහ බොරු දෙයක්, විහින් නාස්ති වෙන දෙයක්. ටිකවෙලාවකට මත් වෙලා ඉන්නවට වඩා හොඳ සිහියෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්.

                            ස්තුතියි

                       පියුමි සිල්වා

Sign up for our newsletter