Api-Slide-53-1
Api-Slide-53-2
previous arrow
next arrow

ජීවිතාවර්ජනය

මිනිස් ජීවිතයක් ලබන්න අපි මැරි මැරී කී වාරයක් ඉපදෙනවා ඇත්ද? එසේ කල්ප කාලයක් පෙරුම් පුරා ලබන ජීවිතය කීදෙනෙක් නම් විවිධ වූ හේතුන් නිසා අකාලයේ විනාශ කරගන්නවා ද? ඔබත් මාත් අතර මත් රකුසාට ගොදුරු වී එයින් මිදීමට නොහැකිව විනාශය කරා තම ජීවිත ගෙනයන බාල තරුණ මහලු අය සේම එයින් මිදී යහපත් ජීවිත ගත කරන පුද්ගලයින්ගේ ජීවිතාවර්ජනය තුළින් සමාජයට ආදර්ශයක් වන්නට ගත් තවත් උත්සාහයකි මේ. කතාව ඉදිරියට පවත්වාගෙන යාමේ පහසුව සඳහාත් ඔහුගේ අනන්‍යතාවය සුරැකීම සඳහාත් අද කතා නායකයා සාලිය ලෙස හඳුන්වමු.

1. සාලිය ඔයාගේ වයස කීයද?

ගම කියන්න කැමති නම්

වයස අවුරුදු 55 යි. ගම වත්තල.

2. මොනවටද ඇඩික්ට් වෙලා හිටියෙ?

මත්පැන්, මත්ද්‍රව්‍ය, සිගරට්

කොච්චර කල් ඉදලා ද? කොහොමද එක උනේ..

මම අවුරුදු දොළහේදී තමයි සිගරට් බොන්න පටන් ගත්තේ O/Ls ඉවර වෙලා යාළුවොත් එක්ක එකතුවෙලා ගන්ජා ගැහුවා. මම හොදට sports කරපු කෙනෙක්. O/Ls ඉවරවෙලා අවුරුදු දාහතේදී මම club එකකට soccer සෙල්ලම් කෙලා. දවසක් මම දැක්කා එතන ලාම්පුවක් පත්තු වෙනවා. එතන මම දන්න කෙනෙකුත් හිටියා. එයා එතනට වෙලා ඊයම් කොළයක් නහයට ලං කරන ගමනුයි හිටියේ. මටත් එහෙම කරන්න දුන්නා. එදා තමයි මම ඉස්සෙල්ලම හෙරොයින් පාවිච්චි කලේ. ඒ යාලුවා මට curry බෑග් එකක හෙරොයින් ගෙනත් දුන්නා. සල්ලි ගත්තෙ නැහැ. ඒ කාලෙත් ඒක කෝටි ගාණක් වටින්න ඇති. ඒ ටික මම ගොඩක් කල් යාලුවොත් එක්ක බිවුවා. ඊට පස්සේ ඉතින් දන්නවනේ කුඩු දවසක් කිව්වා කියන්නේ ඇබ්බැහි වුණා තමයි. මාත් එක්ක මගේ යාළුවොත් මේකට ඇබ්බැහි වුණා. 

ඔය අතර මම අරක්කුත් බිව්වා. අවුරුදු දාහතරක් ඔය විදිහට ඇබ්බැහි වෙලා හිටියා.1983 කලබල කාලෙ අපේ ගෙදර ගිනි තිබ්බා. ඒත් තාත්තා රැකියාව කළ ආයතනයෙන් අපිට  නැවත ගේ හදලා දුන්නා. මේ සිද්ධීන් එක්ක අපේ පවුලේ ඔක්කොම ඉන්දියාවේ පදිංචියට ගියා. ඒත් මම ටික දවසක් ඉදලා ,ඉන්න බැහැ කියලා ආයෙත් ලංකාවට ආවා. අම්මෝ ඒ ආවාට පස්සෙ මට පුදුම නිදහසක් තිබ්බේ. කවුරුත් මං ගැන හොයන්න හිටියේ නැහැ. මම ඇති තරම් කුඩු ගැහුවා. අම්මලා මාව පුනරුත්ථාපනය වෙන්න centers කිහිපයකටම දැම්මා ඉන්දියාවේ යන්න කලින්. ඒත් ඒ හැම  තැනින් ම මං පැනලා ආවා. මෙහෙම කාලයක් ඉඳිද්දි කුඩු ගහන්න සල්ලි හොයාගන්න මං හොරකන් කලා. රස්සාවල් කළා. ඒත් හැම එකක්ම වැඩිම මාස තුනයි. එතන ඉන්න අයගෙන් සල්ලි ඉල්ල ගන්නවා. ඒ වැඩේ චාටර් උනහම මාව එතනින් අයින් කරනවා. ඔහොම කාලයක් ඉන්නකොට අම්මලත් ඉන්දියාවේ settle වෙන්නේ නැතුව ආයෙත් ලංකාවට එනවා. ඒ ආවට පස්සේ අම්මලා මං ගැන නිර්නාමික මත් ලෝලීන් මුදවා ගැනීමේ සංසදයට කියලා එතන කීපදෙනෙක් මාව හම්බවෙන්න එනවා. මං ඒ අයවත් ගෙදරින් එලව ගන්නවා.

3.ඔයා පුනරුත්ථාපනය වුන කෙනෙක් නෙමෙයි. ඒ ගැන විස්තර කියන්න.

ඔව් ඒක ටිකක් වෙනස් කතාවක්. 2001 අවුරුද්ද වෙනකොට මං ගෙදර අයට කියනවා මට මේ ඇබ්බැහිවීමෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. මගේ අයියලයි අක්කයි අහනවා ඇත්තටමද මේ කියන්න කියලා. මං ඔව් කියනවා. මෙහෙම කියලා දවස් තුනකින් මට ඉන්දියාවේ යන්න ඒගොල්ලො ලෑස්ති කළා. මං ගියේ ඉන්දියාවේ කේරළයේ තියෙන Divine Retreat Centre එකට. යනකොටත් මම හෙරොයින් අරගෙනයි ගියෙ. මේ ස්ථානය කතෝලික පියතුමන්ලා විසින් පවත්වාගෙන යන තැනක්. මෙතන පුනරුත්ථාපනය වන තැනක් නෙවෙයි. නමුත් මේ ස්ථානයට ජීවිත අරගලයන්ට මුහුණ දුන් අය පැමිණෙනවා. අධ්‍යාත්මික සුවය බලාපොරොත්තුවෙන් ඕන කෙනෙකුට මේ ස්ථානයට එන්න පුළුවන්. මෙතෙන්ට ආගම් භේදයකින් තොරව විවිධ රටවල අය එනවා. මෙතන තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. මම කතෝලික. මගේ ආගමික විශ්වාසයන් ගැන මේක කියවන අය කොහොම තේරුම් ගනීද කියන්න දන්නෑ. ඒත් මම කියන්නේ ඇත්ත. මෙතන තිබුන දේශනා, මෙහෙයන් හා විවිධ වැඩසටහන් එක්ක ජීවමාන ක්‍රිස්තුස්  වහන්සේගේ වැඩ සිටීම තුළින් මට එක රැයකින් මේ ඇබ්බැහිවීමෙන් මිදෙන්න පුළුවන් වුණා. මම ගෙදරින් පාවිච්චියට ගෙනිච්ච දේවල් මම එතනදි විසි කලා. එතන වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මාස තුනකින් පස්සේ මම නැවත ලංකාවට ආවා.

4.මතින් තොර වෙන එක තනියම කරන්න පුලුවන්ද?

බැහැ. ඒකට ශාරීරික මානසික හා අධ්‍යාත්මික සුවය ඉතා වැදගත්. ඒ වගේම පවුලේ සාමාජිකයින්ගෙන් ලැබෙන සහාය හා පිළිගැනීමත් හරිම වැදගත්.

5.මේ ඇබ්බැහි වීමත් එක්ක ඔයාට අහිමි වුණ දේවල් මොනවාද?

ජීවිතයේ ඇරෙන්න හැමදේම නැති වුණා. තනි උනා, depression ආවා,ගෙදර පිළිගැනීම නැති වුණා, රැකියාව නැති වුණා.

6.අහිමිවන දේවල් නැවත ලඟා කරගන්න ඔයා මොනාද කලේ?

මම ඉන්දියාවේ ඉඳලා ආවාට පස්සෙත් නිර්නාමික මත්ලෝලීන් මුදවා ගැනීමේ සංසදයෙන් මාව හම්බවෙන්න ආවා. කලින් සැරේ වගේ නෙමෙයි මම මේ සැරේ ඒ අයව හොඳින් පිළිඅරගත්තා. ඒ අයත් එක්ක මං එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තා. අත්දැකීම් බෙදා ගත්තා. මතට ඇබ්බැහි වෙච්ච අයට මමත් දේශන කළා. මේ නිසා මට ආයෙත් මතට ඇබ්බැහි නොවී ඉන්න ලොකු උදව්වක් වුණා. අදටත් මම මේ සංසදයට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ වගේම අධ්‍යාත්මික ජීවිතයත් හරිම වැදගත්. මේ හැම දේමත් එක්ක මං ගැන ලොකු විශ්වාසයක් අනිත් අයට ඇති වුණා. දැන් මම හොඳ රැකියාවක් කරනවා. 2004 අවුරුද්දේ මම විවාහ වුණා. මමත් බිරිඳත් මගේ දුවත් දැන් හරිම සතුටින් ජීවත් වෙනවා.

7.ඔයා මතට ඇබ්බැහි වෙලා හිටපු කාල පරිච්ඡේදය තුළ ඔයාගේ අන් අයට වුණු අපහසුතා මොනවාද?

විශේෂයෙන් ගෙදර අයට ඕනෙ වුණා මාව මේ ඇබ්බැහි වීමෙන් ගලවගන්න. ඒ නිසා නිතර නිතර ගෙදර රණ්ඩු ඇති වුණා. මමත් කුඩු ගන්න සල්ලි ඉල්ලලා ගෙදර අයත් එක්ක රණ්ඩු කළා. ගෙදර තියන සල්ලි, බඩු හොරකම් කළා. දවසක් තාත්තා මාව පොලිසියටත් අල්ලලා දුන්නා. ඒත් දවස් දෙක තුනකින් ආයෙත් මාව නිදහස් කර ගත්තා.

8.මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ඔයාගේ දැන් අදහස මොන වගේද?

මිනිස් ජීවිත විනාශ කරන දෙයක්. මේක නෙමෙයි ඇත්ත ජීවිතේ.

9.ඔයා ලබපු අලුත් ජීවිතේ ගැන මොනවද හිතෙන්නේ? 

පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. මාස ගානක් රස්සාව කරලා ලොකු බෝනස් එකක් අතට ලැබුණාම දැනෙන සතුට වගේ…😀

10.තරුණ පරපුරට ඔයාට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද?

නිකරුණේ කාලය ගත කරන්නැතුව හොඳ දේකට හිත යොදවන්න. එහෙම නැත්නම් නිකම්ම මේ දේවල් වලට හිත ඇදිල යනවා. ප්‍රශ්නයක් තියෙනවනම් ඒ ගැන කාත් එක්ක හරි කතා කරන්න. තමන්ම තමන්ගේ ජීවිතය විනාශ කරගන්න එපා. සතුටින් ඉන්න.

                          ස්තුතියි

                      පියුමි සිල්වා

Sign up for our newsletter