Api-Slide-50-1
Api-Slide-50-2
Api-Slide-50-3
previous arrow
next arrow

ජීවිතාවර්ජනය

උණහපුළුවාට උගේ පැටියා මැණිකක් ලු, වියවහරෙ අපිට කියනවා ඇහෙන්නේ එහෙමයි. ඉතින් තමන් දරුවකු පිළිසිඳගත් දා සිට මෙලොව එළිය දකිනතුරු අම්මා තම දරුවව ගොඩක් පරිස්සම් කරනවා. තමන් ආස කරන කෑම බීම පවා වෙනස් කරනවා. අඳින පළඳින විදිහ ටිකය් කාලයකට වෙනස් කරනවා. හිතින් දරුවා කුස දරාගෙන පරිස්සම් කරන අම්මා, නාදුනන ලෝකෙට දරුවා ආවහම   කොච්චර නම් පරිස්සම් කරනවද.. ඒත් විසකුරු දේ වලින් පිරුණු ලෝකය දරුවන්ව ඩැහැ ගන්න විවිධ විදිහට බලාගෙන ඉන්නවා. අම්මා නොදැනුවත්වම සමහර දරුවෝ වැරදි පාරවල් වලට වැටෙනවා. එසේ වැරැද්දට යොමුවන දරුවන් යහළුවන්ගෙන්, නෑදෑයන්ගෙන්, සමාජයෙන් කොපමණ ප්‍රතික්ෂේපයන්ට ලක්වුවත් හැමදාමත් වගේ තනි නොකරන එකම කෙනා අම්මා විතරයි. ඉතින් මත් රකුසාට බිලි වූ තරුණයෙකු එයින් මුදවා ගැනීමට අනික කැපකිරීම් කල  දිරිය මවකගේ කතාවයි මේ. මතට ඇබ්බැහි වූවන්ගේ ආදරණීයයන් කල කැපකිරීම් නොවන්නට තරුණ වටිනා ජීවිත සමාජයට පිළිලයක් වී අකාලේ මිය යන්නට තිබිණි. එහෙත් ඔවුන් නැවත සමාජගත කරන්නට වෙහෙස වූවන්ට වචනයෙන් හෝ වටිනාකමක් එක් කරන්නට ගත් උත්සාහයකි මේ.

අද අපත් සමග එකතු වන මව රීටා නමින් හඳුන්වමු.

1. අම්මා ගැන අපිට පොඩි හැඳින්වීමක් කරන්න.

මගේ නම රීටා. ගම්පළාත ජාඇල. මගේ මහත්තයා 2006 නැති වුණා. පුතා විතරයි මට දැන් ඉන්නෙ.

2. අම්මා ,පුතා ගැන අපිට විස්තර ටිකක් කියන්න

පුතාගේ නම දුමින්ද . වයස අවුරුදු 35 යි. එයා හොඳ රස්සාවක් කළා. තාත්තටයි මටයි හොදට සැලකුවා.  කසාදයක් බැඳපු දවසට මට මෙහෙම උදව් කරන්න බැරි වෙයිනෙ කියලා මට වළලු දෙකකුයි තාත්තා  ට බ්‍රේස්ලට් එකකුයි අරගෙන දුන්නා. හරිම හොඳ දරුවෙක් එයා. වටේ පිටේ අයත් එකත් හරි සමගියෙන් හිටියා.  කොහොම ඇබ්බැහි වුනාද කියලා හිතාගන්න බැහැ. තාත්තා නැතිවුණා  ට පස්සේ තමයි මේ හැම දෙයක්ම උනේ.

3. පුතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා කියලා දැනගත්තේ කොහොමද?

කිසිම වෙනසක් ගෙදරදි තිබුණේ නැහැ. උදේට වැඩට ගිහිල්ලා හවසට ගෙදර එනවා.  සල්ලි දින එක ටික ටික අඩු උනා. මම ඒත් ඇහුවහම  යාලුවෙකුට හදිස්සියකට දුන්නා වගේ උත්තර තමයි මට ලැබුනෙ. පස්සේ පස්සේ අහල පහල අය මට කිව්වා පුතා මොනාහරි පාවිච්චි කරනවා හොයලා බලන්න කියලා. ඒත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා.  දවසක් වැඩ ඇරිලා එනකොට මෙයා ඇක්සිඩන්ට් වුණා. සති තුනක් විතර ඉස්පිරිතාලෙ ඉන්න වුණා. ඉස්පිරිතාලෙන් මෙඩිකල් දුන්නේ නැහැ. ඒ හින්ද රස්සාවෙන් අස් කරල තිබුණා. ඒත් එයා නිකං නිකන් හිටියේ නැහැ. මේසන් වැඩ කරන්න පටන් ගත්තා. ඒත් කලින් වගේ පුතා අතේ සල්ලි ගැවසුණේ නැහැ.  ඊට පස්සේ නිතර නිතර මගෙන් සල්ලි ඉල්ලන්න ගත්තා. සල්ලි නැහැ කියනකොටත් අනේ අම්මෙ දෙන්නකෝ මට ඉන්න බැහැ කියලා කිය කියා කරදර කරන්න ගත්තා. පස්සේ මං කෙලින්ම ඇහුවා එයාගෙන් පුතේ ඔයා මොන හරි හොඳ නැති දෙයක් පාවිච්චි කරනවද කියලා. එයා ඔව් කියලා පිළිගත්තා. එයා ඒකට ඇබ්බැහි වෙලා තියෙන්නේ වැඩට යන කාලේ. වැඩට යන කාලේ සල්ලි අඩු වෙලා තියෙන්නේ යාළුවන්ටත් එක්ක මෙයා වියදම් කරලා.

4. දුමින්දව පුනරුත්ථාපනයට යොමු කළේ කොහොමද?

පුතා මට ගෙදරදි කිසිම විදියකින් කරදරයක් කළේ නැහැ. ගහලා බැනලා නැහැ. ඒත් ගෙදර බඩු නැතිවෙන්න ගත්තා. මේ දේවල් නෑදෑයන්ට  ආරංචි වෙලා අපිව පවුලෙන් ඈත් කළා. අපේ පවුල්වල කිසිම කෙනෙක් මෙහෙම දේවල් කරලා නෑ කියලා. මම හැමදාම අඬඅඬා දෙවියන්ගෙන් ඉල්ලුවා මගේ දරුවෝ දරුවා  බේරලා දෙන්න . ඔය අතරේ මට කිහිප කිහිපදෙනෙක් කිව්වා පුනරුත්ථාපනය කරන මේ තැන ගැන. මේ කාලේ වෙනකොට පුතාටත් ඕනවෙලා තිබුණා මේ ඇබ්බැහි වීමෙන් මිදෙන්න. ඉතින් එයාගෙ කැමැත්ත ඇතිව මම එයාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කළා. ඒ වෙනකොට එතනට දෙන්න තරම් මුදල් මා ළඟ තිබුණෙ නැහැ. ඒත් මගේ හිතවත් අය මට උදව් කළා.

5. පුනරුත්ථාපනය උන කාල සීමාව ගැන විස්තර ටිකක් කියන්න.

පුතා අවුරුද්දක කාලයක් වන පුනරුත්ථාපනය වුණා. ඒ කාලෙදි එයාව බලන්න නියමිත දවස් වලට මං නොවරදවාම ගියා. එයා දැන් පුනරුත්ථාපනය වෙලා අවුරුදු තුනක් වෙනවා. ඒත් එයාව තාම ගෙදර ගෙනාවේ නැහැ. අපිට ගමට ගිහින් ඉන්න සුදුසු තත්ත්වයක් නැහැ. මිනිස්සු තාමත් කුඩුකාරයා කියලා හංවඩු ගහනවා. ඒ අවට හැමතැනම මත්ද්‍රව්‍ය. ඉතින් බොහොම දුක් විඳලා බේරගත්ත දරුවව ආයෙත් එතෙන්ට ගෙනියන්න මට බයයි. මමත් දැන් අවුරුදු එක හමාරක ඉඳලා පුතා ඉන්න මධ්‍යස්ථානයට ම ඇවිල්ලා ඒ අයට උදවු කරගෙන පුතත් එක්කම ඉන්නවා. පුතා ඒ මධ්‍යස්ථායෙ කාර්ය මන්ඩලේ සේවය කරනවා.

6. කොච්චර කාලයක් ඔතන ඉන්න බලාපොරොත්තු වෙනවාද?

පුතාව  පිළිවෙලක් කරලා වෙන ගම් පළාතක ට යවන්න කන් මේ මධ්‍යස්ථානයට වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉතිං මට සැනසිල්ලෙ තාත්තා ගිය තැනට යන්න පුලුවන්. එළියට යනවට වඩා මෙතන හරිම ආරක්ෂිතයි. අපි දෙන්නම දැන් හරි සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

7. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන අයගේ ආදරණීයයන්ට අම්මට මොනවද කියන්න තියෙන්නේ.

පුතේ, තාත්තත් නැතුව මගේ දරුවාව බේරගන්න මං ගොඩක් දුක්වින්දා. ශාරීරිකව නෙමෙයි මානසිකව. කියන්න කෙනෙක් නැහැ කතා කරන්න කෙනෙක් නැහැ. නෑදෑයො බලන්නෙවත් නැහැ. පුදුම අසරණකමක් දැනුනේ. ඒත් අම්මෙක් විදිහට මට මගේ දරුවා අතාරින්න බැහැනෙ. මගේ අතපසුවීමකින් වෙන්නත් ඇති එයාට එහෙම වෙන්න ඇත්තෙ. තාත්තත් නැතුව ඉන්නකොට එයට තනිකමක් දැනෙන්න ඇති. යාලුවොත් එක්ක එකතු වෙන්න ඇති. එයාලා කරන දේවල් කරන්න ඇති.

මම දෙමව්පියන්ගෙන් විශේෂයෙන් ඉල්ලනවා දරුවන්ට තව තවත් ලං වෙන්න. හැමදේම දෙන ආදරේට වඩා ඒ අය වෙනුවෙන් කාලය වැය කරන්න. දරුවන්ට ඇහුම්කන් දෙන්න. ඔවුන් ආදරයෙන් පිළිගන්න. ඔවුන්ගේ වැරදි වලට සමාව දුන් ව කියන්න. නිතරම තමන් අදහන දෙවියන් බුදුන් ගෙන් ආරක්ෂාව ඉල්ලන.  ඒ පිළිගැනීමත් එක්ක ඒ අයට තමන් ගැන විශ්වාසයක් ඇති වෙයි. ඒ තුළින් ඔවුන්ට නැවත මතට ඇබ්බැහි වීමට හිතක් ඇති නොවෙයි.  එතකොට තමන්ගේ කඳුළු, කැප කිරීම් වලට, වටිනාකමක් එක් කරන්නට දරුවන්ට ආසාවක් ඇතිවෙයි. ඒ වගේම  දෙමාපියන් දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. විනාඩි කිහිපයක් ඇති දරුවෝ විනාස වෙන්න. ඉතින් දෙයක් වෙලා දුක් වෙනවට වඩා ඒ දේවල් නොවෙන්න වග බලාගන්න.

ස්තුතියි

පියුමි සිල්වා

Sign up for our newsletter