Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ජීවිතාවර්ජනය

අද වන විට ලංකාවේ ප්‍රධාන මාතෘකාව අයිස්. මොනවද මේ අයිස්? ලොව ප්‍රබල වූ මත්ද්‍රව්‍යයක්. කුඩා දරුවන්ගේ සිට මිනිස් ජීවිත ගැහැනු පිරිමි භේදයකින් තොරව බිලිගන්නා මත් රකුසා. මෙය පාසල් වල දැන් දැන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව අපට අසන්නට ලැබෙනවා. වැඩි කාලයක් යන්නට මත්තෙන් ජීවිත මුළුමනින් විනාශ කර දමන්නට අයිස් වලට පුළුවන්. මේ මත්ද්‍රව්‍ය වලට දවසින් දෙකෙන් ඇබ්බැහි වන්නට විශේෂම හේතුව වන්නේ ඒ තුළ අන්තර්ගත වී ඇති රසායනික සංයෝගය බව සොයාගෙන ඇත.

මගේ පෞද්ගලික අදහස නම් අයිස් පිළිබඳව විද්‍යුත් මාධ්‍ය තුළ  නිතර නිතර සිදුකරන ප්‍රචාරණය තුළින් වයස අවුරුදු 10 – 18 ත් අතර ළමයින් හා තරුණ තරුණියන් හට එය වරක් හෝ භාවිත කර බැලීමට පෙළඹවීමක් ඒ තුළින් ඇති වන බවයි. එබැවින් අයිස් පමණක් නොව සියලු මත්ද්‍රව්‍ය අප රටින් තුරන් කිරීමට මාධ්‍යයට ලොකු මෙහෙවරක් කළ හැකියි.

දිනෙන් දින වැඩි වන මේ මත්ද්‍රව්‍ය පිළිබඳ කතා කළත් එය රට තුළට පැමිණෙන්නේ කෙසේද යන්න සොයා බැලුවත් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග අප රට තුළ ගන්නා බවක් නම් අපට පෙනෙන්නට නැහැ. වටලනු ලබන මත්ද්‍රව්‍ය ඇත්තටම විනාස කරනවද? කාලයක් යද්දි නැවත එය වෙළඳපොළට ම පැමිණෙනවාද? මේ පිළිබඳ අපට ඇත්තේ ලොකු ප්‍රශ්නාර්ථයකි.

මේ වන විට අප රටේ ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ කතාබහක නියැලෙන්න ටයි මේ සූදානම. මත් වතුරට ඇබ්බැහි වී එයින් මිදුණු පුද්ගලයෙකු වසර 38 පුරා නොබී එය පවත්වාගෙන යන්නේ කෙසේද? ඇබ්බැහි වීමෙන් මිදීමට ඇත්තටම හැකිද? යන ප්‍රශ්න වලට ඔහු අපට පිළිතුරු සපයනු ඇත. ඔහුගේ නිර්ණාමිකත්වය රැක ගැනීම සඳහාත්, සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යාමේ පහසුව සඳහාත් මා ඔහුට ජෝර්ජ් ලෙස ආමන්ත්‍රණය කරමි.

ජීවිතාවර්ජනය .. ඇබ්බැහි වීමෙන් මිදුණු ජීවිත වල පසු විපරම..

1. ජෝර්ජ් මහත්තයාගෙ වයස කීයද? ගම කියන්න කැමතිනම්.

මගේ වයස දැන් අවුරුදු 71 

ගම කොළඹ 

2. මොනවටද ඇඩික්ට් වෙලා හිටියෙ?

මත්පැන් , කසිප්පු

කොච්චර කල් ඉදලා ද? කොහොමද එක වුනේ

මම පාසල් ගියේ කොළඹ ප්‍රසිද්ධ පෙළේ පාසලකට.  පාසලේදී තරුණ ගුරුවරුන් කිහිප දෙනෙකු සමග පාසල් කාල වේලාවෙන් පස්සේ මත්පැන් පානය කරලා ප්‍රින්සිපල්ට අහුවෙලා මාවත් ගුරුවරුන් වත් පාසලෙන් ඉවත් කළා. මේ සිද්ධිය වෙනකොට මගේ වයස අවුරුදු 16ක් විතර. මගේ අම්මා මට අවවාද කරලා මාව හෝටල් ශේස්ත්‍රයට යොමු කලා. ඒ කාලේ ලංකාවේ සංචාරක හෝටල් හැදෙමින්,  සංචාරක ව්‍යාපාරය දියුණු වෙමින් තිබුණු කාලයක්. මෙය මගේ ජීවිතේට ලොකු අවස්ථාවක් වුණත් ඒ සුදු මහත්වරු නෝනලා හවස 7 , 8 වෙද්දි කාලා පාන්දර 2, 3 වෙනකන් මත්පැන් තොල ගානවා මම දැක්කා. ඒ ජීවිතය ට මම ආස කලා. රස්සාවට ගිය මම රෑ වෙද්දි සුදු මහත්තුරු එක්ක බොන්න පටන් ගත්තා. ඒ අය ශොට් එකක් දානකොට මටත් අරගෙන දුන්නා. හතර පස් දෙනෙක් බොද්දි මට ඒ හැමෝගෙන්ම ශොට් එක ගානේ ලැබුණා. එතකොට තේරෙනවනෙ ඒ අයට වඩා මම මත් වෙලා පිස්සු නටන්න ගත්තා. මේ නිසා මට මගේ පළමු රැකියාව අහිමි වුණා. ඔය වගේ සංචාරක හෝටල් දහයක විතර මම වැඩ කළා. හැමතැනින්ම මගේ බීමත්කම නිසා රැකියාව අහිමි වුණා. තරු පහේ හෝටල් වලින් බොන්න පටන් ගත්ත මම අවසානයේ කස්සිප්පු පොලවල් වලට යන්න පටන් ගත්තා. අතේ සල්ලි නැති වෙනකොට හොරකමට පුරුදු වුනා. මම අවුරුදු 22 දි විවාහ වුණා. අවුරුදු 25 වෙනකොට වෙනකොට මට දරුවෝ තුන් දෙනෙක් හිටියා. මගේ දරුවොත් එක්ක මගේ බිරිඳ ගොඩක් දුක් වින්දා. මට වයස අවුරුදු තිස් 31 වෙනකොට මගේ බිරිඳ මාව දාලා ගියා. මගේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියොයි මාව ප්‍රතික්ෂේප කළා. යාලුවෝ මං එනකොටත් මූ මාර ඇණයක් කියලා මාව කොන් කළා. මට අවසානයට ඉතුරු වුනේ මං විතරයි.

3. ඔබ පුනරුත්ථාපනය වුන කෙනෙක් නෙවෙයි. ඒ ගැන අපිට විස්තර කරන්න.

ඔව් මං පුනරුත්ථාපනය වුණේ නැහැ. මට බොන්න සල්ලි නැති වෙනකොට මම ගෙදර බඩු විකුනුවා. අහල පහල අය මගින් ඇයි ඇහුවහම , මම කිව්වේ Wife දරුවෝ නැතුව මේ බඩුවලින් ඇති වැඩක් තියෙනවද කියලා. මගේ මේ වැඩේ දැකලා හිතවත් කෙනෙක් මාව නිර්නාමික මත්ලෝලීන් ගේ රැස්වීමකට එක්කගෙන ගියා. එතන හිටිය හැමෝම ඇබ්බැහි වීමි වල සිට එයින් මිදුණු අය. ඒ අය අත්දැකීමක් බෙදා ගන්නකොට මට දැනුනේ මගේ ජීවිත කතාව කියනවා වගේ. මොකද ඒ අයටත් මට වගේම කතාවක් තිබුණා. නමුත් ඒ අය ඒ වෙනකොට ලබපු නිදහස සතුට දැක්කහම මටත් ඒ නිදහස සතුට ලබන්න ලොකු ආසාවක් ඇති වුණා. මොකද ඒ වෙනකොට මට හැමදේම නැති වෙලා. මත්පැන් මත්ද්‍රව්‍ය නවත්තන්න ලේසියි.  අමාරුයි. නොබී දවස දවස ජීවත් වෙන්න මට ශක්තියක් වුනේ මං වගේම අත්දැකීමක සිටි අයයි. අදටත් මේ වයසක මට නොබී ඉන්න මේ නිර්ණාමික මත්ලෝලීන් ගේ සංසදය උදව් කරනවා. ඒ වගේම මාත් ඇතුළු එම කණ්ඩායම ඇබ්බැහි වී සිටින අයට එයින් මිදීමට අත දෙනවා.

4. මතින් තොර වෙන එක තනියම කරන්න පුලුවන්ද?

බැහැ. ඒකට ශාරීරික මානසික හා අධ්‍යාත්මික සුවය ඉතා වැදගත්. ඒ වගේම පවුලේ සාමාජිකයින්ගෙන් ලැබෙන සහාය හා පිළිගැනීමත් හරිම වැදගත්.

5.මේ ඇබ්බැහි වීමත් එක්ක ඔයාට අහිමි වුණ දේවල් මොනවාද?

ජීවිතයේ ඇරෙන්න හැමදේම නැති වුණා. තනි උනා,  බිරිඳ දරුවන් දෙමව්පියන්. ගෙදර පිළිගැනීම නැති වුණා, රැකියාව නැති වුණා.

6 මේ අහිමි වුන දේවල් නැවත ළගා කරගන්න ඔයා මොනාද කලේ?

කලින් කිව්වා වගේ AA එකේ සහයෝගයත් එක්ක මං අතින් සිදුවන වැරදි මං පිළිගත්තා. මගේ දුර්වලකම තේරුම් ගත්තා. මං නිසා අනිත් අයට වුණු අපහසුතාවයන් ගැන අවංකවම දුක් වුණා. මේ නිසා මට නැවත පිළිගැනීමක් ලැබුණා. නැතිවුණු දේවල් නැවත ලඟා කරගන්න අධිෂ්ඨානයක් ඇති වුණා.

7. ඔයාගේ ඒ අඳුරු කාල පරිච්ඡේදය තුළ ඔයාගෙන් අන් අයට වුන අපහසුතා මොනවද?

ගොඩක් දේවල් වුනා. ආර්ථික අපහසුතා වලට මුහුණ දෙන්න සිදුවුණා. බිරිඳ දරුවො ලොකු මානසික පීඩාවන්ට මුහුණ දුන්නා. සමාජයෙන් කොන් වුණා.මං නිසා ලැජ්ජාවට පත්වුණා.

8. මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ඔයාගේ දැන් අදහස මොන වගේද? 

මිනිස් ජීවිත විනාශ කරන දෙයක්. ජීවිතය විඳින්න ඕන කාලේ විඳවන්න වෙන දෙයක්.

9. ඔයා ලබපු අලුත් ජීවිතේ ගැන මොනාද හිතෙන්නේ? 

පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. හැමදේම නැති වෙච්ච මං ව්‍යාපාරයක් කරනවා.  දැන් නං මගේ අම්මා තාත්තා ජීවතුන් අතර නැහැ.  මං ඇබ්බැහිවීමෙන් මිදුනාම ඒ අයට පුදුම සතුටක් දැනුණා. මට පුදුම විදියට විදිහට ආදරය කරන්න පටන් ගත්තා. මගෙ බිරිඳ මගෙන් වෙන්වුනත් අදටත් මට කතා කරනවා.  මගේ දරුවෝ මං ගැන හොයලා බලනවා. මේ ලඟදි මට ඔපරේශන් එකක් කලා. ඒකට වියදම් කළේ මගේ පුතා. අපි අතර අතරේ ලොකු බැඳීමක් දැන් තියෙනවා. මේ ටිකම ඇති දැන් මට සතුටු වෙන්න.

10. තරුණ පරපුරට ඔබට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද? 

නිර්නාමික මත්ලෝලීන් ගේ සංසදයට සම්බන්ධව වැඩ කරන කෙනෙක් හැටියට කිසිම විටෙක මම කාටවත් බොන්න එපා කියන්නැහැ. මොකද සමාජයේ කොටස් තුනක් ඉන්නවා. 

* බොන්නෙම නැති අය

* සමාජශීලී  මත්ලෝලීන්

* මතට ඇබ්බැහිවූවන්

තමන්ගේ පමණ ඉක්මවා බොන අය තමයි ඇබ්බැහිවුවන් වෙන්නේ. ඊට පස්සේ ඒ අයට, පවුලේ අයට විවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. මේ අය සමහර විට විවිධ හේතූන් නිසා මතට ඇබ්බැහිවූවන් වෙන්න පුළුවන්.  ආර්ථික ප්‍රශ්න, සම්බන්ධතා බිඳවැටීම් උදාහරණ විදිහට දෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ට ඇහුම්කන් දෙන තේරුම් ගන්න පුළුවන් කෙනෙක් සමග කතා කරන්න. ඇබ්බැහිවීම් වලින් ඇත්තටම මිදෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ශාරීරික මානසික හා අධ්‍යාත්මික ශක්තිමත්භාවයයි. ඇබ්බැහිවීම ක සිටිනවානම්, එහෙම කෙනෙක්, ඒ අයට සමීපතමයෙක්, එහෙමත් නැත්තං ඔබේ පවුලේ කෙනෙක් මිතුරෙක් මිතුරියක් මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටිනවා නම් ,ඔවුන්ට ඇත්තටම ඉන් මිදීමට අවශ්‍ය නම් ” අනේ මට මේක නවත්ත ගන්න බැහැ” කියලා හිතන්න එපා. ඔබට පුළුවන්.. ඔව් ඔබට එය නවත්වන්න පුළුවන්. නිර්නාමික මත්ලෝලීන් ගේ සංසදය සහෝදරත්වයේ දෑත් ඔබ වෙත දිගු කරනවා ඔබ එයින් මුදවා ගැනීමට සහාය වන්නට. 

අවබෝධයෙන් අවධානයෙන් සතුටින් ජීවත් වෙන්න.

ස්තුතියි

පියුමි සිල්වා

Sign up for our newsletter