Api-Slide-53-1
Api-Slide-53-2
previous arrow
next arrow

ජීවිතාවර්ජනය

අපේ ජීවිතවලට අභියෝග විවිධාකාරයි. අභියෝග, ප්‍රශ්න, හිත් රිදීම් වගේම සතුටු මොහත වල් ජීවිතය ජීවත් කරවනවා. ජීවිත වර්ජනය තුළින් සමාජයෙන් මගහැර මාතෘකාවක් පිළිබඳව මම ඔබ හමුවට ගෙන එන ලබනවා. කාලකන්නි ජීවිත ගත කරමින් සිට ජීවිතයේ සැබෑ අරුත වටහා ගත් මිනිස් ජීවිතවල පසුවිපරම් ඒ.

අද කතාව ඔබ මෙතෙක් කියපු සත්‍ය කතාවන්ට වඩා වෙනස්. පවුල් සංස්ථාව බිඳ වට්ටමින් සමාජයේ වියරුවක් ව ඇති මත් ද්‍රව්‍ය,  මත්පැන් මිනිස් ජීවිතවලට කරන විනාසය ඔබ මම හිතනවට වඩා අතිශය භයානක බව අද ඔබට වැටහේවි.

අද කතා නායකයා මා මේ අකුරු කරන මොහොත වන විට පනස් පස් වසරක් ජීවත් වී තම  දිවිගමනට සමු දී අවසන්. අතිශය කඩවසම් පුරුෂ දේහයකින් හෙබි ඔහු ජාලිය ලෙස මම හඳුන්වමි.

ජාලිය පිළිගත් සමාජ හා ආර්ථික පසුබිමකින් යුත් පවුලක එකම පිරිමි දරුවායි. ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සහ බාල සහෝදරියන් දෙදෙනෙක් සිටී. 

ජාලිය  මොනාටද addict  වෙලා හිටියේ?

මත්පැන් වලට 

කොච්චර කල් ඉදලා ද? කොහොමද ඒක වුණේ?

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ  මම කායවර්ධන ශූරිය ලෙස එක්තරා තරඟයකින් තේරී පත්වුනා. ඊට පස්සේ මම කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියා. ගොඩක් ළමයි මගේ ජිම් එකට ආවා.  මං සුවපහසු ජීවිතයක් ගත කළා.  ඒත් මගේ ආසාව තිබ්බේ වෙන දෙයක්. මම ලංකාවේ ආරක්ෂක අංශයට බැදුනා. මම යුද්ධයටත් ගිය කෙනෙක්. එහි සිදුවන යම් යම් ක්‍රියාකාරකම් මට ආතතිය ඇති කළා. ඒත් සමගම මම ටිකින් ටික මත්පැන් ම බොන්න පටන් ගත්තා. මට depression ඇති වුණ නිසා මගේ දෙමව්පියෝ එතනින් මාව අයින් කර ගත්තා. ඊට පස්සේ මම රැකියාව සඳහා ගියේ රටේ පිළිගත් ප්‍රධාන පෙළේ ආයතනයකට. මම හොඳ නිලයක් දරපු නිසා සැලකිය යුතු වැටුපක් ලැබුණා. ඒ ස්ථානය නිසා මට නිතර නිතර මත්පැන් ඇස ගැටුනා. නොදැනීම මම මත්පැන් වලට ඇබ්බැහි වුණා. මේ වෙනකොට මම විවාහ වෙලා සිටියෙ.

ජාලිය පුනරුත්ථාපනය වුන කෙනෙක් ඒ අත්දැකීම් අපිට කියන්න.

බීමත්කම නිසා ගෙදර හරියට ගැටුම් ඇති වුණා. මේ වෙනකොට මට පුතෙක් හිටියා. 

ගෙදර ප්‍රශ්න නිසා මගේ දෙමව්පියන් හිතවතකුගේ මාර්ගයෙන් නිර්නාමික මත්ලෝලීන් ගේ සංසදයට මාව යොමුකලා.  එතන හිටපු සහෝදරයෙක් මාව මඩකලපුවේ තියෙන පුනරුත්ථාපන කඳවුරට ගෙන ගියා. මම එතැනට කැමැත්තෙන් ගියත් ඒ යනකොටත් මම බෝතලයක් විතර බීල ඉඳල තියෙන්නෙ. එතන මාස තුනක් ඉඳලා ආවත් , මට බීම නවත්වන්න බැරි වුණා. ඇතුලෙ ඉදිද්දි නොබී හිටියට එලියට ආවම මට ආයෙත් බොන්න ඕන වුණා. මේක මහා  කරුම ඇබ්බැහිවීමක්. පුනරුත්ථාපනය වෙන්න මගේ රැකියා ස්ථානයෙන් මට නිවාඩු ලබා දුන්නා. ඒ ඇවිත් නැවත මම රැකියාවට ගියා. 

ජාලිය ගේ බිරිඳ දරුවා මොන වගේ තත්ත්වයකට මුහුණ දුන්නේ ?

මගේ බීමත්කම නිසා අපිට තිබුණු දෙමහල් නිවසත් විකුණන්න සිද්ධ වුණා. මගේ පුතාට මාව පෙන්නන්න බැරි වුණා. ඒත් මගේ බිරිඳ මාව කවදාවත් දාලා ගියේ නැහැ. මම එයාට අදටත් ණයගැතියි. පුදුම ඉවසීමක් එයාට තියෙන්න ඇත්තේ. දවසක් මං හොඳටම බීලා ඇවිත් බිරිඳගෙ කකුල් දෙකට කඩුවෙන් කෙටුවා. වාසනාවට මම එදා කොටලා තියෙන්නේ මුවහත් පැත්තෙන් නෙවෙයි. ඒත් අවුරුදු ගානක් එයාට බෙහෙත් කරන්න වුණා. 

පුනරුත්ථාපනය වුනත් ඔබ ඇබ්බැහි වීමෙන්  සම්පූර්ණයෙන් සුව වුණු කෙනෙක් නොවෙයි. මොකක්ද ඒකට හේතුව?

රැකියා කරන ස්ථානයෙන් තුන් වතාවක් මට අවවාද කරලා අවසානයේ මාව රැකියාවෙන් ඉවත් කළා. නැවතත් මගේ  සහෝදරියෝ එකතු වෙලා මාව එඩේරමුල්ල පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කළා. ඒ වෙනකොට මම පවුලට, නෑදෑයන්ට ලොකු කරදරයක් වෙලා තිබුනේ. මධ්‍යස්ථානය ඇතුලේ ඉන්නකම් මට නොබී ඉන්න පුළුවන්. ඔවුන් අපිට කෙටි නිවාඩු ලබා දෙනවා. අපේ ස්වයං විනය පරික්ෂා කරන්න. ඒත් ඒ එක දවසක වත් මට නොබී ඉන්න  බැරි වුණා. මම සෙන්ටර් එකේ ඉදලා ගෙදර යන්න බීලා. මට මගේ හිත පාලනය කරගන්න බෑ. ආසාව එලියට එනවා. ඊට පස්සේ මම එතන පාලනාධිකාරියට කියලා  දිගටම එතන ඉන්න තීරණය කළා. එහෙම ඉන්නකොට මගේ දරුවත් බිරිඳක් සතුටින් කාලය ගත කලා. මාව ඉන් පස්සේ එතන කාර්ය මණ්ඩලයට  බඳවා ගත්තා. මම හොඳින් වැඩ කළා. එළියට ගියාමයි මට පරීක්ෂාව ඇතිවෙන්නෙ. ඒ නිසා මම ගෙදර යන එක නතර කළා. ඒත් මම සෙන්ටර් එකේ ඉන්නකොට අසනීප වුණා. පසුව දැන ගත්තා මං මම ලියුකේමියා රෝගයෙන් පෙළෙන බව. 

එතැනදී නැවතත් මගේ ජීවිතේ කඩාගෙන වැටුනා. නිතරම මම සෙන්ටර් එකෙන් එළියට ආව බෙහෙත් ගන්න. දවසක් එහෙම එළියට ආපු මම ආයෙත් සෙන්ටර් එකට ගියේ නැහැ. මට දැන් ජීවත් වෙන්න බලාපොරොත්තුවක්   නැහැ. තව ටික දවසකින් මම මැරෙනවා. ඒ නිසා මොකටද නොබී ඉන්න කියලා මම ආයෙත් බොන්න පටන් ගත්තා. මේ කරුණු ඇබ්බැහිවීමෙන් මට මිදෙන්න බැරි වුණා. මගේ පවුලත් එක්ක සතුටින් ජීවත් වෙන්න මට බැරි වුණා. මගේ හිතේ තියෙන්නෙ ලොකු පසුතැවිල්ලක් විතරයි. දැන් මගේ පවුලෙ අයට මං බිවුවත් එකයි නැතත් එකයි ගානයි. එයාලා මං වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කලා. මටයි හැදෙන්න බැරි වුනේ. පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකේදීම අපිට හැදෙන්න පුළුවන් හොඳම විදිහට අපව හැඩ ගස්සනවා. හැදෙන්න අපිටත් කැපවීමක් උත්සාහයක් තියෙන්න ඕන. ඒ වගේ ලැබෙන අවස්ථාවක් මම වගේ ඇබ්බැහි ඉන්නා අය කිසිම දවසක මග ඇර ගන්න එපා. ඒ තමයි අපිට අපේ ජීවිත හදාගන්න ලැබෙන හොඳම අවස්ථාවක්.  මට ඒ අවස්ථාවේ නිසි ප්‍රයෝජන ගන්න බැරි වුනා. 

මගේ පුතා දැන් කඩවසම් තරුණයෙක්. හොඳ රැකියාවක නිරත වෙනවා. එයා  මාත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ දරුවා සාධාරණයි මම ඒ අයට දුන්නු වද වලට.. එයා සතුටින් ජීවත් වෙනවා. ටික දවසකින් මැරෙන්න ඉන්න මට ඒ හොඳටම ඇති.

මම තරුණ දරුවන්ට කියන්නේ අද වෙනකොට හැම තැනම මේ මත්පැන් මත්ද්‍රව්‍ය. මිනිස්සු පුදුම විදිහට අසරණ වෙලා. මේ මත්ද්‍රව්‍ය මත්පැන් වලට ජීවිත බිලි දෙන්න එපා. ඇබ්බැහි උනත් අනේ එකෙන් ගැලවෙන්න උත්සාහ කරන්න. මං වගේ කාලකන්නියෙක් නම් වෙන්න එපා.  පුනරුත්ථාපනය වුන හැම කෙනෙකුටම එයින් සම්පූර්ණයෙන්ම සුවය ලබන්න නම් ස්වඋත්සාහයෙන්, ආත්ම දමනය කින්, පරීක්ෂාවට ලක් නොවී ඉන්න හිතට ගන්න. එතකොට ජීවිතය විඳවන්නෙ නැතුව විඳින්න පුළුවන් වෙයි. 

                          ස්තුතියි

                     පියුමි සිල්වා

Sign up for our newsletter