Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

තිලෝෂි ප්‍රනාන්දු

තිලෝෂි ප්‍රනාන්දු කියන්නේ කවුද ඔයාගේ වචනයෙන් කිව්වොත්?

මාව නිර්වචනය කරන්න ඇත්තටම දන්නේ නැහැ මම. නමුත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක් කියලා කියන්න පුලුවන්.

තිලෝෂිගේ පවුලෙ විස්තර ගැන ටිකක් කතා කලොත්?

අම්මා සහ මල්ලී ඉන්නවා . දැන් මගේ Husband, පුතා, දුව එක්ක එංගලන්තයේ ජීවත් වෙනවා.

කොහොමද මෙච්චර ලස්සනට වචන ගළපන්නේ, කොයි කාලයේදීද ලියන්න පටන්ගත්තෙ?

ලියන්න පටන් ගත්තේ… ම්.. සාමාන්‍ය පෙළ කරන කාලේ වගේ මම මගෙ හොඳම මිතුරිය නිසදැස් ලියනවා බලලා ආසාවට ලියන්න ගත්තා. ඊට පස්සේ ඒක හරිම naturel දෙයක් උනා. මගේ තාත්තාගෙ පැත්තෙන් ඒක එන්න ඇති කියලා මම හිතනවා. මොකද මගේ නැන්දා ට සහ අයියට හොඳට ලියන්න පුළුවන්. මට ඒ ආභාෂය තියෙනවා කියලා මම හිතනවා . උසස් පෙළ කරන කාලේ කෙටි කතා ලියනවා. අම්මාට තමයි කියවන්න දීලා හොඳ නරක අඩු පාඩු අහ ගන්නේ. ඒ වගේම උසස් පෙළ අවසන් ව්‍යාපෘතිය සඳහා කලෙත් නිසදැස් එකතුවක් . ඉතින් එහෙම ටික ටික ලියන්න පටන් ගත්තා.

ඔබ ආඩම්බර වන  ඔබ ලියා ඇති හොදම නිර්මාණය .

මම ලියපු මුල්ම ලමා කතාව “සිංහ පැංචා” ඒක ලිව්වේ මගේ පුතාගෙ පලමු වන උපන්දිනය වෙනුවෙන්. 

මම හරිම කැමතියි ඒ පුංචි කතාවට.

පොඩි අයට  ලියන්නේ විශේෂයක් තියෙනවද?

මම ප්‍රාථමික අංශයේ ගුරුවරියක්.  කුඩා දරුවන් එක්ක වැඩ කරන්න තියන්නෙ. ගොඩක්ම කියවන්න ලැබෙන්නේ ලමා කතන්දර. ඉතින් මට කිසිම වෙහෙසක් නැතිව ලමා කතා ලියන්න ඉඩ හසර ලැබෙනවා. ඒ වගේම මගේ පුතා, දුව ඉන්න නිසාත් වෙන්න ඇති හරිම ආසාවෙන් ඒ කතා ලියනවා.

පොඩි අයට හොඳ නරක කියලා දෙන්න පුලුවන් හොඳම මාර්ගයක් තමයි ලමා කතන්දර. මේ හැම කතාවක්ම ඉතාම සරලව වගේම හොඳ පුරුදු සහ ගුණ ධර්ම දියුණු කිරීම ගැන ලියන්න මම උත්සාහ කරනවා. කතාව කියවලා, අහලා පුංචි ම හොඳ දෙයක් හරි දරුවන් එයාලගෙ ජිවිතයට එකතු කර ගනීවි

කියලා මම විශ්වාස කරනවා.

ඉදිරියේදී තිලෝෂිගේ අලුත් නිර්මාන වෙනම තැනකට ගේන්න අදහසක් නැත්ද?

ඔව් ඇත්තටම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා ලමා කතන්දර පොතක් එළි දක්වන්න. මේ දවස් වල ඒ ගැන තොරතුරු එකතු කරමින් ඉන්නවා.

මිනිස්සුන්ට කියවීම ලිවීම තව දියුණු කරගන්න ඔයාට දෙන්න පුළුවන් උපදෙස් මොනවද?

උපදෙස් දෙන්න තරම් ලොකු දැනුමක් නම් නැ මට නමුත්, අපි කැමති දෙයක් ටික ටික ලියන්න කියවන්න පුරුදු උනා නම් හොඳයි. අපි අපේ කැමති අංශයන් මොනාද කියලා හඳුනාගෙන

ඒ අනුව ඊට අදාල පොත් පත් කියවන්න පටන් ගන්න පුළුවන්. තමන් කැමති දේ මූලින් ම කියවන්න ලියන්න. එක පිටුවක් දවසට කියවන්න පුරුදු උනා නම්, ක්‍රමානුකූලව කියවන්න ඉබේම පුරුදු වෙනවා. අපිට හිතෙන සහ දැනෙන දෙයක් ලියන්න පටන් ගත්තා නම් ඒකත් එහෙමයි. හරිම නිදහසක් සැනසීමක් දැනෙනවා කියවීම ලිවීම තුළින්.

පොඩි අයට කියවීමට පුරුදු කරවන්න  තිලෝෂි ළඟ තියෙන tricks මොනවද?

හොඳ ප්‍රශ්නයක්. මම දැනට කරන සහ සාර්ථක උන trick එකක්‌ කියන්නම්.

කතාව කියවද්දී ඒ චරිතයට අදාළව හඬ වෙනස් කරමින් කතාව කියලා දෙන විට ඒක හරිම රසවත් වෙනවා කුඩා දරුවන්ට. එයාල හරිම කැමැත්තෙන් සහ උනන්දුවෙන් අහන් ඉන්නවා.

ඒ වගේම අපිට පුලුවන් කතන්දරයට අදාළව එහි ඉන්න චරිත අත් මේස් සහ සමාන්‍ය මේස් යොදා ගෙන නිර්මාණය කරන්න.මේස් puppet එකක් හදා ගන්න පුළුවන්. පොඩි අයට කියලම පාට කරලා හෝ ඇස් දෙකක් කටක් මේස් එකේ අලවන්න කියලා එය තවත් විනෝදය පිරි ක්‍රියාකාරකමක් කර ගන්න පුළුවන්. අත් මේස් එකෙන් ඇඟිලි පහට එක එක චරිත අපට අවශ්‍ය ආකාරයට නිර්මාණය කරන්න පුළුවන්. කුඩා දරුවන් හරිම ආසාවෙන් එය රස විඳිනවා නොඅනුමානයි.

අපි Magazine එකට සම්බන්ධ වීම ගැන අද දැනෙන දේ කිව්වොත්.:

ඇත්තටම ඒක අහම්බයක්. මට හරිම සතුටු හිතුනා එංගලන්තයේ මෙහෙම සිංහල මැගසින් එකක් දකිද්දි. ගයාන් සහෝදරයා මට මේ අවස්ථාව දීපු එක මම ගොඩක් අගය කරනවා හැම විටම. මොකද මුලින්ම කතා කරලා මැගසින් එකට ලමා පිටුවක් හදමු කියලා යෝජනා කරද්දී මම එකම එක ලමා කතාවක් විතරයි ලියලා තිබ්බේ. ඉතින් අපි මැගසින් එකට ලියන්න ආසාවෙන් එකතු උන නිසාම මට පුංචි සරල ලමා කතා ලියන්න හුරු උනා. එ හැම කතාවක්ම කියවද්දි මම පුදුම ආත්ම තෘප්තියක් ලබනවා. ඉතින් මම හිතන්නේ මගේ වාසනාවට මට අපි මැගසින් එකට එකතු වෙන්න පුළුවන් උනේ කියලා. මොකද හරිම ලස්සනට ලිපි,නවකතා ,කෙටි කතා , සහ කාලීන මාතෘකා ලියන ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ ලේඛකයන් ඉන්න Team එකකට එකතු වෙන්න ලැබුන එක හරිම භාග්‍යයක්.බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තාට.

හරිම ආදරෙන් සුබ පතනවා අපි මැගසින් එකට සහ ප්‍රධාන කර්තෘ ගයාන් කරුණාරත්න සොයුරාට ඉතාමත් හොඳින් අපි මැගසින් එක කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.

Sign up for our newsletter