Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

තුමිදු දොඩන්තැන්න

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් උගත් නාට්‍ය හා රංගනය පිළිබඳ අධ්‍යාපනය, රංගන අභ්‍යාස සහ අත්දැකිම් තම රංගන ජිවිතයෙහි ප්‍රායෝගික භාවිතයෙන් ඔහු වේදිකාව, පුංචි තිරය සහ රිදිතිරය එක ලෙස ස්පර්ශ කරමින් නිර්මාණවලට දායකත්වය ලබා දි තිබෙනවා.

පුංචි තිරයෙහි එතෙක් මෙතෙක් විකාශනය වුන ටෙලිනාට්‍යය රාමුන්වලට නව මුහුණුවරක් ගෙන දෙමින් 2017 සහ 2018 වර්ෂයන්වලදි විකාශනය වු විශේෂ නිර්මාණය කුඹියෝ ටෙලිනාට්‍යයෙහි ජෙහාන් ෆනෑන්ඩුගේ චරිතයට පන පොවමින් සුවිශේෂී හැඩයක් එක් කල ඔහුට එහි සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය මෙන්ම සම්මානයන්ගෙන්ද

පිදුම් ලබන්න හැකියාව ලැබෙනවා.

ප්‍රේක්ෂක ජනාදරයට පත් වු දක්ෂ, රුවැති බිරිඳක් සහ පුංචි පුතෙකුගෙන් පරිපුර්ණ වු සුන්දර පවුලක් ලැබිමේ වාසනාවද ඔහුට නොඅඩුව ලැබි තිබෙනවා.

එසේනම් මෙවර අපි Magazine ජනවාරි කලාපය තුලින් අප කතා බහ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යතුමා ඔබ කවුරුත් ආදරය කරන රංගනවේදි තුමිදු දොඩන්තැන්න මහතා සමගයි.

🔸 තුමිදු දොඩන්තැන්න මේ දවස්වල අපිට දකින්න නැත්තේ ඇයි?

මම දැනට එංගලන්තයේ University Of London හි ආචාර්ය උපාධිය (PHD) වෙනුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. මේ සදහා මම අවුරුදු ගානක් තිස්සේ සැලසුම් කරමින් සුදානම් වුනා. එම කාලය ඇතුලත මම ලංකාවේ හිටියත් ගොඩක් අඩුවෙන් නිර්මාණ සදහා සහභාගි වුනේ.

මම පසුගිය කාලයේ ලක්මාල් ධර්මරත්නගේ ච්ත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කරලා තිබුනත් Covid කාල වකවානුවේදි එම චිත්‍රපටයෙහි සහ තව සම්බන්ධ වෙන්න සැලසුම් කරලා තිබුන නිර්මාණවල වැඩ කටයුතු ප්‍රමාද වුනා. ඒ අතරතුරදි මට අධ්‍යාපන කටයුතු සදහා එංගලන්තයට එන්න සිදුවුනා.

මම කතිකාචාරවරයෙක් වශයෙන් කොලඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයෙහි සේවය කරන අතරතුර නිවාඩු ලබා ගෙනයි එංගලන්තයට පැමිණියේ. මම සැලසුම් කරලා තියෙන්නේ අධ්‍යාපන කටයුතු හොදින් අවසන් කරගෙන සුපුරුදු පුරුදු පරිදි නැවත මගේ රැකියා කටයුතු සමග සම්බන්ධ විම සහ කලා කටයුතුවල නියැලිමටයි.

🔸ඔබගේ පවුලේ තොරතුරු, පාසල් ජිවිතය සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබදව විස්තර ටිකක් කියමුද?

මගේ ගම බලංගොඩ. මගේ අම්මාගේ තාත්තාගේ පාර්ශවයේ සියලුම නැදැයන් ඉන්නේ බලංගොඩ නමුත් මම ඉපදෙන්නේ සහ මගේ ළමා කාලය ගත කරන්නේ අනුරාධපුරයේ. ඒකට හේතුව මගේ අම්මායි, තාත්තායි ගුරුවරුපත්විම් ලැබිලා සේවය කලේ අනුරාධපුරයේ වීම. මම ළමා කාලයේදි අනුරාධපුරයේ St. ජෝසප් විදුහලෙන් අධ්‍යාපන ලැබුවා.

පසු කාලෙක මගේ තාත්තාට ජාතික අධ්‍යාපන ආයතනයේ පත්විමක් ලැබුන නිසා අපි කොළඹ පදිංචියට ආවා. ඉන්පසු මම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ උසස්පෙළ දක්වා ඉගෙනුම ලබා කැලණි විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙනවා. එහිදි මම

නාට්‍යය හා රංග කලාව පිළිබදව special degree සහ Masters, MPhil උපාධි හදාරනවා. ඒ සමගම මට කැලණි විශ්වවිද්‍යායේ තාවකාලික කතිකාචාරවරයෙකු වශයෙන් වැඩ කරන්න අවස්ථාව ලැබුනා. පසුව මම කතිකාචාරවරයෙකු වශයෙන් කොලඹ විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වෙනවා.

මගේ පවුලේ ඉන්නේ තාත්තයි, අම්මයි, අයියයි, නංගියි. මගේ තාත්තා 2012 දි අප අතරින් සමු ගත්තා. අම්මා අපිත් එක්ක ජිවත් වෙනවා. ඔබ කවුරුත් දන්නා කුඹියෝ ටෙලිනාට්‍යය නිෂ්පාදකවරයා මගේ අයියා පදිංචි වෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවෙහි. නංගි මේ දවස්වල අයර්ලන්තයේ එයාගේ ආචාර්ය උපාධිය සදහා අධ්‍යාපනය ලබනවා.

🔸ඔබගේ ආදරණීය බිරිඳ අපි කවුරුත් ආදරය කරන ආදරණීය කලණිව හමු වුනේ කොහොමද?

මම රංගනයෙන් දායක වුන නාට්‍යයක් බලන්න කලණි ඇවිත් තිබුනා. නාට්‍යය අවසානයේදි එයා මට සුභ පතන්න කතා කලා. එතනදි දැන ඇදින ගෙන කාලයත් සමග අපේ කතා බහ ආදර සම්බන්ධයක් බවට පත්වුනා.

කලණි චිත්‍ර ශිල්පිනියක්. ඇය උපාධිය හැදැරුවෙත් ඒ සම්බන්ධවමයි. එමෙන්ම ඇය Art therapy කියන විෂයත් ඉගෙන ගත්තා. දැන් ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ දියගම පීඨයෙහි වෘත්තීය උපදේශකවරියක් ලෙස සේවය කරනවා.

අවුරුදු 3ක් විතර කාලයක් ආශ්‍රය කරලා 2014 දි අපි විවාහ වුනා. අපිට දැන් අවුරුදු 4ක විතර පුංචි පුතෙක් ඉන්නවා. මම දැනට එංගලන්තයෙහි ජිවත් වන නිසා මගේ අම්මා, කලණි සහ පුතා ලග නැති අඩුව මට සැහෙන්න දැනෙනවා. ඉදිරි කාලයේදි කලණි සහ අපේ පුතා අපූර්ව එංගලන්තයට ගෙන්න ගන්න මම සැලසුම් කරලා තියනවා.

🔸ඔබගේ නම කියු සැනින් අපට සිහියට නැගෙන ඔබ සම්මානයට පාත්‍රවූ කුඹියෝ ටෙලිනාට්‍යය සමග සම්බන්ධ වුනේ කොහොමද? ඔබට ලැබුනු ප්‍රතිචාර සහ කුඹියෝ 2 එනකම් බලන්න ඉන්න ප්‍රේක්ෂකයන්ට දෙන පණිවිඩය මොකක්ද?

කුඹියෝ ටෙලිනාට්‍යය මගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් වෙනවා මොකද මාව ගොඩක් අය දැන ගත්තේ කුඹියෝ ටෙලිනාට්‍යයෙන් පස්සේ. රංගන ශිල්පියෙකු විදියට ප්‍රේක්ෂකයන් අපිව දැන ගන්න එක ලොකුම ජයග්‍රහණයක් කියලා මම හිතනවා.

කුඹියෝ ටෙලිනාට්‍යය සදහා ලක්මාල් ධර්මරත්න මට කතා කරන කාලයේදි මම පශ්චාත් උපාධිය සදහා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කෙටි කාලයකට ඔස්ට්‍රේලියාවට යන්න සුදානම් වෙමින් හිටියේ. ලක්මාල් කතා කරපු ගමන් මම කිවේ “Sorry ලක්මාල් මට එන්න බැහැ. මම ලොකු වැඩක් එක්ක ඉන්නේ. මට studies එක්ක දෙකක් කරන්න බැහැ. ඒ හින්දා ඔයා වෙන actor කෙනෙක් ගන්න මේ වැඩේට මට රගපාන්න බැහැ” කියලා.

ලක්මාල් කියන්නේ එහෙම වචනෙන් බැහැ කිවාට ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයි. ඒක ඇත්තටම මම පස්සේ තමයි දැන ගත්තේ. එතන ලක්මාල් සහ දමිත් චන්ද්‍රසිරි දෙදෙනාම හිටියා. මට කිවා පිටපත කියවලා බලන්න කියලා. ඉතින් මම කිවා “කිසිම හේතුවක් නිසා මට පිටපත එවන්න එපා. මොකද මම දන්නවා ඔයගොල්ලෝ ලියන ඒවා මාර රහයි කියලා. පිටපත කියෙවුවොත් මට ඕක කරන්න ආස හිතෙනවා” කියලා.

දවසක මගේ facebook massenger එකට ලිපි

ගොනු වගයක් එවලා තිබ්බා. මම දැනගෙන හිටියේ නැහැ කවුද එවලා තියෙන්නේ කියලා. මම බැලුවම පිටු 300 ගානක පිටපතක්. මම ඒ වෙලාවෙම පිටපත කියවන්න පටන් ගත්තා. ඇත්තටම නවත්තන්න හිතුනේ නැ. පැය කිපයක් ඇතුලත පිටු 300 ගානම කියවලා ඉවර කලා. එතනදි තමයි ලක්මාල්ගේ ගේම් එකට මම අහු වුනේ. ඉතින් ඒ විදියට තමයි මම කුඹියෝ ටෙලිනාට්‍යය සමග සම්බන්ධ වුනේ.

ඔය අතරතුරේ දි මට අධ්‍යාපන කටයුතු සදහා මාස 6 කට ඔස්ට්‍රේලියාවට යන්න වුනා. ඒ අවස්ථාවෙත් මම ලක්මාල්ට කිවා වෙන රංගන ශිල්පියෙකු හොයා ගන්න කියලා. ඒත් ලක්මාල් මම එනකම් හිටියා. නමුත් මම ආපහු එනකොට නිශ්පාදකවරයා අයින් වෙලා තිබුනා. ඒ නිසා තමයි මම මගේ අයියාට අරාධනා කලේ ටෙලිනාට්‍යයෙහි නිශ්පාදන කටයුතු සමග සම්බන්ධ වෙන්න.

ලක්මාල්, දමිත, කලණ ඇතුලු කුඹියෝ කණ්ඩායම එක්ක වැඩ කරපු වකවානුව හරිම රසවත්, මිත්‍රශිලි, සුන්දර කාලයක්. කුඹියෝ නිසා මට ජනප්‍රියම නළුවා සම්මානය සහ හොදම නළුවා සම්මාන දෙවතාවක් ලැබුනා. කුඹියෝ ටෙලිනාට්‍යය නිසා මට ලැබුන හැමදේටම මම කුඹියෝ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා.

කුඹියෝ 2 එනවා. ඇත්තටම කුඹියෝ 2 ක මීට ගොඩ කාලයකට කලින් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න තිබුනා.

කුඹියෝ 2 හි වැඩ පටන් ගන්න කලින් අපේ කණ්ඩායම සැලසුම් කරලා තිබ්බේ ච්ත්‍රපටයක් කරන්න. එම ච්ත්‍රපටයේ වැඩ COVID වසංගතය නිසා ප්‍රමාද වුනා නමුත් මේ වනවිට ච්ත්‍රපටයෙහි වැඩ අවසන් කරගෙන යනවා. ඊට පස්සේ අපි කුඹියෝ 2 රූපගත කිරිම් පටන් ගන්නවා. ඇත්තටම ලක්මාල් මේ වනවිට පිටපතෙහි සෑහෙන ප්‍රමාණයක් ලියලා තියෙන්නේ. ලක්මාල් හිතන විදිය ගැන මට අදහසක් තියන නිසා මම හිතනවා කුඹියෝ 1 ටෙලිනාට්‍යය වගේම කුඹියෝ 2 ටෙලිනාට්‍යයත් සාර්ථක වෙයි කියලා. එමෙන්ම ප්‍රේක්ෂකයන් ආදරය කරයි කියලා. කුඹියෝ 2 රූපගත කිරිම් සදහා මම ලංකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

🔸 ඔබේ රංගනය ජිවිතයේ ආරම්භය පිළිබදව සහ එතෙක් මෙතෙක් රංගනයෙන් දායක වුන වේදිකා නාට්‍යය, ටෙලිනාට්‍යය සහ චිත්‍රපට පිළිබදව කිවුවොත්..

මට රගපෑම ගැන ආසාවක් ඇතිවුනේ ධර්මපාල විද්‍යාලයට ආවාට පස්සේ. අපේ පාසලේ තිබුනා වාර්ෂික නාට්‍යය තරඟයක්. මම යාළුවන් එක්ක එකතු වෙලා වාර්ෂික නාට්‍යය තරගයට නාට්‍යයක් ඉදිරිපත් කලා. එය එතරම් සාර්ථක වුනේ නැහැ හැබැයි මට ඊට පස්සේ අදහසක් ආවා ඒ පිළිබදව ඉගෙන ගන්න. ඊට පස්සේ මම පාසලේ හැදෙන නාට්‍යයවලට සම්බන්ධ වෙලා රංගන පිළිබදව ටික ටික ඉගෙන ගත්තා.

උසස්පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න කලින් අවුරුදු 2ක විතර කාලයක් මට ගෙදර ඉන්න සිද්ධ වුනා. එම කාලයේදි මම ටවර් හෝල් රඟහල පදනම සමග සම්බන්ධ වෙලා අවුරුද්දක පමණ පාඨමාලාවක් හැදැරුවා. එහිදි ඒ වෙනකොට ලංකාවේ හිටපු මහා නාට්‍යයකරුවන්ගෙන් ගුරුහරුකම් ලබා ගන්න මට අවස්ථාව ලැබුනා.

පිටපත් රචනය, අධක්ෂණය සහ මගේ තාත්තාගේ උදව්වෙන් නිශ්පාදනයද කරමින් මම 1999 දි අරුන්දති නමින් මගේ ප්‍රථම නාට්‍යය නිර්මාණය කලා. අරුන්දති නාට්‍යය සදහා සම්මාන කිපයක්ම ලබා ගන්නටත් මට පුලුවන් වුනා.

හෙන්ඩ්‍රි ජයසේන මහතාගේ හුනු වටයේ කතාව, අපට පුතේ මගක් නැතේ, බන්දුල ජයවර්ධන මහතාගේ බෙර හඩ, ලුෂන් බුලත්සිංහල නාට්‍යයකරුවාගේ තාරාවෝ ඉගිලෙති, රතු හැට්ටකාරි වැනි ඒ වෙනකොටත් ඉතාමත් ජනප්‍රිය නාට්‍යයන්ගේ අලුත් නිෂ්පානයන්වල මට රංගනයෙන් දායක වෙන්න ලැබිම මගේ ජිවිතයේ මට ලැබුන ලොකු අවස්ථාවන් කියලා මම හිතනවා.

ඒ වගේම රාජිත දිසානායක, අතුල පතිරණ, ප්‍රියංකර රත්නායක වැනි නාට්‍යයකරුවන් බොහෝමයක් සමග මට වැඩ කරන්න අවස්ථාව ලැබුනා. වේදිකාවෙන් ලැබුන අත්දැකිම් නම් මට අමතක වෙන්නේ නැහැ.

ප්‍රසන්න ජයකොඩිගේ සංකාර ච්ත්‍රපටයෙන් මට ප්‍රථම වරට රිදි තිරයෙහි රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉන්පසු බුඩි කිර්තිසේනගේ මාතා, අනුර ජයවර්ධනගේ නිකිණි වැස්ස, සුමිත්‍රා පිරිස්ගේ වෛෂ්ණාවී, චන්න දේශප්‍රියගේ U Turn වැනි ච්ත්‍රපට කිපයකම රංගනයෙන් දායක වෙන්න මට හැකියාව ලැබුනා.

ප්‍රේම කුමාර ජයවර්ධනගේ දිය මත රුව, නමවෙනි කඩුල්ල, පිනිබර යාමය වැනි ටෙලිනාට්‍යය කිපයකම රංගනයෙන් දායකත්වය ලබා දෙන්න මට හැකි වුනා.

ඒ අතරතුර තමයි මට කුඹියෝ ටෙලිනාට්‍යය සදහා ආරාධනාව ලැබෙන්නේ. ඒවගේම මමයි කලණියි අපි දෙන්නම නාමල් ජයසිංහගේ සහෝදරයා ටෙලිනාට්‍යයට දායක වුනා. ඊට අමතරව මම කරපු කෙටි චිත්‍රපට කිපයකුත් තියනවා.

🔸 ඔබව පුංචි තිරයේ සහ රිදි තිරයේ ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට ලැබෙන නිර්මාණ මොනවාද?

මම කලින් කියපු විදියට මගේ ආචාර්ය උපාධිය සදහා සුදානම් වුන නිසා සහ දැනට එංගලන්තයෙහි ජිවත් වන නිසා මගේ නිර්මාණ ගොඩක් නම් ඉදිරියේදි දකින්නට නැති වෙයි. මම රංගනයෙන් දායක වෙන ලක්මාල් ධර්මරත්නගේ ච්ත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදි මාව දකින්නට ලැබේවි.

අමා නාකන්දලගේ

Sign up for our newsletter