Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

දරු සම්පත් ප්රමාදයට හේතුව සැමියාගේ (ද?)

යුග දිවියට පත් යුවලකගේ ඊළඟ පැතුම නිරෝගී දරු සම්පතක් ලැබීම. විවිධ හේතූන් නිසා දරුවන් බලාපොරොත්තු වීම විවාහ වූ විගස හෝ පසුව හෝ යුවළගේ කැමැත්ත මත සිදුවන්නක්. නමුත් ගැටලුව නම් දරුවන් බලාපොරොත්තු වුවත් දරුඵල ප්‍රමාද වීමයි. අතීතයේ දී පමණක් නොව වර්තමානයේ දී පවා දරුඵල ප්‍රමාද වීමේ දී එයට හේතුව ලෙස බොහෝ විට ඇඟිල්ල දිගු වන්නේ කාන්තාව දෙසටයි. නමුත් බොහෝ දෙනෙකු නොදන්නා කරුණ නම් දරුඵල ප්‍රමාද වීමට හේතුව, බිරිඳට පමණක් ඇති සරුභාවයේ ගැටළුවක් නිසා හෝ සැමියාට පමණක් ඇති සරුභාවයේ ගැටළුවක් නිසා හෝ දෙදෙනාගේම ඇති යම් හේතුවක් නිසා හෝ ඇති විය හැකි බවයි. එනිසා දරුඵල ප්‍රමාදය සඳහා ප්‍රතිකාර ගැනීමට පෙර සැමියා සහ බිරිඳ යන දෙදෙනාම පරීක්ෂාවට බඳුන් වීම වඩාත් සුදුසුයි.

මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන්ම විමසා බලන්නේ පුරුෂයින්ගේ සරු බව අඩු වීම පිළිබඳවයි.

පුරුෂයින්ගේ සරු බව අඩු වීමට බලපාන හේතු විශ්ලේෂණය කර බැලීමේ දී ඒවා ප්‍රධාන අංශ තුනක් යටතේ විස්තර කළ හැකියි.

(1) විවිධ රෝග හා ආබාධ සම්බන්ධ හේතු

(A).පසුගාමී ශුක්‍රාණු පිටවීම:

ශුක්‍ර ශිෂ්ණය කෙළවරින් පිටතට පැමිණීම වෙනුවට ඉහළට ගමන් කර මුත්‍රාශය දක්වා ගලා යාම මෙහි දී සිදු වෙයි. මෙම තත්වය පවතීනම් නිරෝගී ශුක්‍රාණු තිබුණත් ශිෂ්ණය ඔස්සේ පිටතට පැමිණීම අඩු නිසා කාන්තාවගේ ඩිම්බය සංසේචනය වීමට ඇති හැකියාව ඉතාමත් අඩුයි. මධුමේහය, සුෂුම්නාව හානි වීම, මුත්‍රාශය පෞරුෂ ග්‍රන්ථිය මුත්‍රා මාර්ගය ආශ්‍රිත ශල්‍යකර්ම ආදිය මේ සඳහා හේතු වෙයි.

(B).වෘෂණ ආශ්‍රිත වෘද්ධි තත්ත්ව:

වෘෂණ කෝෂ ආශ්‍රිතව පවතින ශිරා ඉදිමීම මෙහි දී සිදු වන අතර පුරුෂයන් අතර සැළකිය යුතු සංඛ්‍යාවක් මෙම තත්වයෙන් පීඩා විඳියි. මෙහි දී වෘෂණ ආශ්‍රිත රුධිර සංසරණයට බාධාවන නිසා ශුක්‍රාණු නිපදවීම අඩු වීම මෙන්ම ශුක්‍රාණුවල නිරෝගීතාව අඩු වීම ද සිදුවිය හැකියි.

(C).ආසාදන තත්ත්ව:

සමහර ආසාදන තත්ත්ව නිසා ශුක්‍රාණු නිපදවීම අඩු වීම, ශුක්‍රාණුවල නිරෝගීතාව අඩු වීම මෙන්ම ශුක්‍ර ගමන් කරන නාල අවහිර වීම ද සිදුවිය හැකියි. ගොනෝරිය, HIV වැනි ලිංගාශ්‍රිත රෝග මෙන්ම වෘෂණ කෝෂවලට බලපෑ හැකි කම්මුල්ගාය වැනි ආසාදන ද මේ සඳහා හේතු විය හැකියි.

(D).අර්බුධ, පිළිකා වැනි වර්ධන:

පිළිකා හෝ පිළිකා නොවන ගැටිති, අර්බුධ ආදිය නිසා පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියා අඩාල විය හැකියි. එමෙන්ම සමහර අවස්ථාවල දී මෙම අර්බුධ ආදිය ශල්‍යකර්ම මගින් ඉවත් කිරීම, විකිරණ හෝ ඖෂධ ප්‍රතිකාර නිසා ද පුරුෂයින්ගේ සරු බව අඩු විය හැකියි.

(E).ශරීරයේ සෑදෙන ප්‍රතිදේහ ශුක්‍රාණුවලට ප්‍රහාර එල්ල කිරීම:

ඇතැම් අවස්ථාවල දී ශරීරයේ නිපදවන ඇතැම් ප්‍රතිදේහ, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වරදවා වටහා ගැනීම හේතුවෙන් ශුක්‍රාණුවලට පහර දී විනාශ කරයි.

(F).වෘෂණ, වෘෂණ කෝෂ දක්වා පැමිණ නොතිබීම:

මෙය කලාතුරකින් දක්නට ලැබෙන තත්වයකි. පුරුෂ කළලයක වෘෂණ ශරීරය තුළ පවතින අතර ඒවා ශරීරයෙන් පිටතට පැමිණීම සිදුවන්නේ දරු උපතට පෙර අවසන් මාස කිහිපයේදීයි. බොහෝවිට නොමේරු දරු උපත්වල දී වෘෂණ ශරීරයෙන් පිටතට පැමිණීම සිදු නොවී පවතින අතර ඉපදී මාස කිහිපයක් තුළ වෘෂණ යථා තත්වයට පත් නොවුවහොත් එය සරු බවට බලපෑ හැකියි.

(G).හෝමෝන අසමතුලිතතාවය:

වෘෂණ මගින් ස්රාවය කරන හෝමෝන මෙන්ම හයිපොතැලමස, පිටියුටරිය, තයිරොයිඩ් ග්‍රන්ථිය, අධිවෘක්ක ග්‍රන්ථිය ආදියෙන් ස්රාවය කරන හෝමෝනවල අසමතුලිතතාවය ද බලපෑ හැකියි.

(H).ශුක්‍ර පරිවහනය කරන නාල ආශ්‍රිත ආබාධ:

ශුක්‍රාණු නිපදවීමේ සිට පිට වීම දක්වා ගමන් කරන ඕනෑම නාලයක් ආශ්‍රිතව සිදුවන අවහිර වීමක් හෝ දුර්වල වීමක් එනම් ශල්‍යකර්මවල දී සිදුවන අත්වැරදීම්, ආසාදන, අර්බුධ, පිළිකා ආදිය මෙයට හේතු වෙයි.

(I).ක්‍රෝමසෝම සම්බන්ධ ගැටළු:

ඩවුන් සින්ඩ්‍රෝමය, ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝමය වැනි ප්‍රවේණික ආබාධ ද දරුඵල ලැබීමට බාධා පමුණුවයි.

(J).ලිංගික එක් වීමේ දී ඇති ගැටළු:

ලිංගය ඍජු වීමේ ගැටළු, ක්‍ෂණික මෝචනය, මානසික අසමතුලිතතාවය, බිරිඳ සමඟ මනා අවබෝධයකින් යුක්ත සම්බන්දතාවක් නොමැතිවීම වැනි තත්ත්ව මෙහි දී බලපෑ හැකියි.

(K).ඖෂධ වර්ග:

වෙනත් රෝග තත්ත්ව සඳහා ලබා ගන්නා සමහර ඖෂධ නිසා ද ශුක්‍රාණු නිපදවීමේ හා ශුක්‍රාණුවල ප්‍රමිතියේ විෂමතා ඇතිවිය හැකියි. නිදසුන් ලෙස සන්ධි ආශ්‍රිත රෝග, විශාදය වැනි මානසික රෝග, ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග, විවිධ ආසාදන, අධිරුධිර පීඩනය, පිළිකා වැනි රෝග සඳහා ලබා ගන්නා සමහර ඖෂධ මෙවැනි විෂමතා ඇති කරයි.

(2) පාරිසරික හේතු

(A).වෘෂණ අධික උෂ්ණත්වයට නිරාවරණය වීම :

වෘෂණ අධික උෂ්ණත්වයට නිරාවරණය වූවිට ශුක්‍රාණු නිපදවීමට හා ශුක්‍රාණුවල ක්‍රියාකාරිත්වයට හානි පැමිණෙයි. නිතරම උණුසුම් ජලය ස්නානය, උණුසුම් ජල බේසම්වල ගිලී සිටීම, උෂ්ණත්වය හොඳින් පිට නොවන තද ඇඳුම් ඇඳීම, වැඩි වේලාවක් වාඩි වී සිටීම, ලැප්ටොප් පරිගණක වැනි රත්වන උපකරණ උකුළ මත තබා ක්‍රියා කරවීම ආදියේ දී ශුක්‍රාණු වැඩි උෂ්ණත්වයට නිරාවරණය වෙයි.

(B).විකිරණවලට නිරාවරණය වීම:

එක්ස් කිරණ වැනි විකිරණවලට නිරාවරණය වීම ශුක්‍රාණු නිපදවීම සඳහා බලපායි.

(D).විවිධ විෂ රසායන ද්‍රව්‍ය:

කෘමිනාශක, වල්නාශක, තීන්ත හා ආලේප වර්ග වැනි විෂ රසායන ද්‍රව්‍යවලට දීර්ඝකාලීනව නිරාවරණය වීම ශුක්‍රාණු සඳහා අහිතකරව බලපායි.

(C).බැර ලෝහ:

ඊයම් වැනි බැර ලෝහ දීර්ඝකාලීනව ශරීරගත වීම ශුක්‍රාණුවල නිරෝගීතාව අඩු කරයි.

(3) අහිතකර ජීවන රටාව

(A).අහිතකර ආහාර පාන:

වර්තමාන සමාජයේ ඇති කාර්යබහුලත්වය නිසාම බොහෝදෙනෙකු කෙටි ආහාර, කෘත්‍රිම ආහාරපාන ආදිය ගැනීම බහුලව සිදු කරයි. එසේම වගාවන් සඳහා කෘමිනාශක වල්නාශක අධිකව යෙදූ ආහාර ලබා ගැනීම ද ශුක්‍රාණුවල නිරෝගීතාව අඩු වීමට හේතු වෙයි.

(B).අධික ස්ථුලතාවය:

අධික ස්ථුලතාවය මගින් සෘජුවම හා හෝමෝන අසමතුලිතතාව ඔස්සේ වක්‍රව ශුක්‍රාණු සම්බන්ධ දුර්වලතා ඇති කරයි.

(C).සුව නින්දක් නොමැති වීම:

කාර්යබහුලත්වය, මානසික ආතතිය, දුරකතනයට හා අන්තර්ජාලයට ඇබ්බැහි වීම වැනි හේතු නිසා සුව නින්දක් නොලැබීම සිදු වෙයි. මෙය හෝමෝන අසමතුලිතතාව හා ශුක්‍රාණුවල නිරෝගිතාවට බලපායි.

(D).මානසික ආතතිය

කාර්යබහුලත්වය, ආර්ථික ගැටළු පමණක් නොව දරු සම්පත් ප්‍රමාද වීම නිසා පව්ලෙන් හා සමාජයෙන් එල්ලවන පීඩනය නිසා පවා බොහෝදෙනෙකු පසුවන්නේ අධික මානසික ආතතියෙනි. මෙය ශරීරයේ හෝමෝන අසමතුලිතතාවට බලපෑම ඔස්සේ සරු බවට ද අහිතකරව බලපායි.

(E).දුම් පානය

සෘජුවම දුම් පානය කරන පුද්ගලයින්ට මෙන්ම ඔහුගේ ආශ්‍රිතයින්ට ද මෙය අහිතකර ලෙස බලපානු ලබන අතර ශුක්‍රාණු ප්‍රමාණය හා ශුක්‍රාණුවල නිරෝගිතාව අඩු වෙයි.

(F).මත්ද්‍රව්‍ය  භාවිතය

කොකේන්, මරිජුවානා වැනි මත්ද්‍රව්‍ය භාවිතය නිසා ශුක්‍රාණු ප්‍රමාණය හා ඒවායේ නිරෝගීතාව අඩු වෙයි.

(G).මද්‍යසාර භාවිතය

මද්‍යසාර පානය මගින් දේහයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පහත හෙලීම, ශිෂ්ණය සෘජු වීමේ ආබාධ, ශුක්‍රාණු නිපදවීම අඩු වීම සිදු වෙයි.

– පුරුෂයින්ගේ සරු බව අඩු වීම නිසා මුහුණපාන්නට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් මොනවාදැයි ඊළඟට සලකා බලමු. ප්‍රධාන වශයෙන්ම දරුඵල ප්‍රමාද වීම නිසා මානසික අසහනය මෙන්ම බිරිඳ සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වා ගෙන යාමේ ගැටළු ද ඇතිවන්නට පුළුවන්. මිට අමතරව වෘෂණ කෝෂ ආශ්‍රිත පිළිකා, පෞරුෂ ග්‍රන්ථි පිළිකා වැනි සංකුලතා පවා ඇති වීමේ අවධානමක් පවතියි.

ඔබ මෙවැනි ගැටළුවකට මුහුණ දෙන්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම ඉතා වැදගත්. යුවලකට දරු සම්පත් ප්‍රමාදයි නම් සැමියා සහ බිරිඳ යන දෙදෙනාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් අවශ්‍යයි. මෙහි දී වෛද්‍යවරයා විසින් ප්‍රශ්න ඇසීම හා විවිධ පරික්ෂා කිරීම් ඔස්සේ පවතින තත්වයන් පිළිබඳව හොඳින් අවබෝධ කරගන්නා අතර අවශ්‍යතාවය මත ශුක්‍රතරලය විශ්ලේෂණය කිරීම, හෝමෝන පරීක්ෂා , ස්කෑන් ආදී පරීක්ෂණ සඳහා යොමු කරනු ඇත. පුරුෂයින්ගේ ප්‍රජනක පද්ධතිය, සරු බව ආශ්‍රිත ගැටළු බොහෝමයකට සාර්ථක ප්‍රතිකාර ඇති බැවින් අනවශ්‍ය බියක් හෝ ආතතියක් ඇති නොකර ගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමු වීම සිදු කළ යුතුයි.

පුරුෂයින්ගේ සරු බව වැඩි කර ගැනීමට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් පරිදි අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාදැයි දැන් සලකාබලමු.

සුදුසු ආහාරපාන –

සමබල ආහාර වේලක් නියමිත වෙලාවට ලබා ගත යුතුයි. විශේෂයෙන්ම විෂ රසායන නොයෙදූ නැවුම් එළවලු පළතුරු පලාවර්ග ආදිය, තම ගෙවත්තේම වගා කළ ඒවා ආහාරයට ගත හැකිනම් වඩාත් හොඳයි. නමුත් අහිතකර රසායනික ද්‍රව්‍ය නොයෙදූ නිශ්පාදන ලබා ගැනීමට සැළකිලිමත් විය යුතුයි.

එළු මස්, වටු බිත්තර ද ගුණදායක වෙයි.

ඉහත ආහාර සුදුසු පරිදි කැඳ, සිසිල් බීම, සැලඩ් ආදී ලෙස සකසා ආහාරයට ගත හැකියි.

නුසුදුසු ආහාරපාන –

අළු පුහුල්, අළු කෙසෙල් වැනි ආහාර නිතරම ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ. එසේම කෘත්‍රිම ආහාරපාන, විෂ රසායනික ද්‍රව්‍ය එකතු කළ ආහාරපානවලින් වැළකිය යුතුයි.

සුදුසු විහරණ –

මානසික ආතතියට පත් වීම අඩු කරගැනීම, සුව නින්දක් ලැබීම, භාවනා කිරීම, පව්ලේ සාමාජිකයින් සමඟ එකට කටයුතු කිරීම හා ඔවුන් සමඟ විනෝද ගමන් යාම, ආගමික කටයුතුවල නිරත වීම මානසික සුවය ලබා දෙයි.

ව්‍යායාම සිදු කිරීම හොඳ ප්‍රතිඵල ලබාදෙයි. එසේම සිසිල් ජලය දිනපතා ස්නානය කිරීම, පිරිසිදු බව පවත්වා ගැනීම, පිරිසිදු මෙන්ම හොඳින් වාතාශ්‍රය ලැබෙන උෂ්ණ නොවන ඇඳුම් පැළඳුම් භාවිතය සිදු කළ යුතුයි.

සැමියා සහ බිරිඳ හොඳින් කතාබහ කර දෙදෙනා අතර මනා අවබෝධයක් තිබීමත් ඉතාම වැදගත්.

නුසුදුසු විහරණ –

උෂ්ණ සහ හිර ඇඳුම් පැළඳුම් භාවිතය,  තද උණුවතුරෙන් ඇඟ සේදීම හෝ ස්නානය, ලැප්ටොප් හෝ වෙනත් රත්වන උපකරණ උකුළ උඩ තබාගෙන ක්‍රියාකරවීම ශුක්‍රාණු නිපදවීමේ ක්‍රියාවලිය අඩපන කරයි. එසේම එක්ස් කිරණ වැනි විකිරණවලට නිතර නිතර නිරාවරණය වීම, ජංගම දුරකතන ආදිය නිතරම කලිසම් සාක්කු තුළ තබා ගැනීම අඩු කළ යුතුයි. තවද මද්‍යසාර, දුම්වැටි හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය සුදුසු නැත.

එමෙන්ම තමන්ගේ සරු බව පිලිබඳ ගැටළු, වෛද්‍යරුන් වැනි සුදුසු පුද්ගලයින් හැර යහළුවන් හෝ වෙනත් පුද්ගලයින් සමඟ අනවශ්‍ය ලෙස සංසන්දනාත්මකව කතාබහ කිරීමෙන් වළකින්න. මන්ද යත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් අතිශයෝක්තියෙන් පවසන කරුණු නිසා තමන් තව තවත් මානසිකව ආතතියට පත් වීමට වැඩි ඉඩකඩක් ඇති නිසාවෙනි.

නිසි ප්‍රතිකාර ලබා ගැනීමට අමතරව ආහාරපාන හා විහරණ පිළිබඳවත් සැළකිලිමත් විය යුතුයි. එසේනම් මව්පියන් වීමට බලාපොරොත්තු වන ඔබට ඉතාමත් ඉක්මනින් නිරෝගී දරු සම්පතක් ලැබේවා! යන්න මගේ පැතුමයි.

වෛද්‍ය චන්දි රාජපක්ෂ

M. Sc. (Peradeniya), BAMS (Colombo),

B Sc (USA)

+94776585821

Sign up for our newsletter