Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ධනංජය සිරිවර්ධන

නිරූපණය කරන චරිතයට කඩවසම් බව අවශ්‍ය නම් මට එය හදාගන්න පුලුවන් ඒ වගේම අවශ්‍ය නැතිනම් කඩවසම් බව හංග ගන්නත් මට පුලුවන්.

______________________________________

ඔහු දශක දෙකකට අධික කාලයක් පුරාවට නිර්මාණ සියයකට වැඩි ප්‍රමාණයක් තුලින් පුංචි තිරයේ සොදුරු පෙම්වතාට පමණක් සීමා නොවි විවිධ පරාසවල චරිතාංග රංගනයට උපන් හැකියාවක් ඇති අපට සිටින වටිනා රංගන ශිල්පියෙකු වෙනවා.

මෑතකදී පුංචි තිරයෙන් අපට හමු වු නින්ජා, ඩැනියල් උයන්ගොඩ, දේවින්ද වැනි ප්‍රේක්ෂක සිත් සොරාගත් චරිත මෙන්ම, මෙම දිනවල ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශනය වන “වීදුරු මල්” ටෙලි නිර්මාණයේ ධනුක ඩි අල්විස් වැනි චරිත ඔහුගේ රංගන ප්‍රතිභාවය මනාවට ඔප්පු කරන බව නොරහසකි. ඔහු පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේදීත් ඔහුගේ අනන්‍යතාවය තබමින් අති සාර්ථක ගමනක් යනවා.

ලාංකීය ප්‍රමුඛ පෙලේ රූපවාහිනි නාලිකා තුලින් නිවේදන කලාවෙහිද වෙනත් ස්වරූපයක් සොයාගිය ඔහු ඉදිරිපත් කල වැඩසටහන් ජනතා ආදරයෙන් සම්මාන ලැබුවා.

සම්මානීය රංගන ශිල්පියෙකු, නිවේදයකු පමණක් නොව අති දක්ෂ පිටපත් රචකයෙකුද ඔහු තුල සිටින බව ආදරය, ත්‍රාසය සහ කුතුහලය සපිරි ටෙලි වෘතාන්තයක් වු “Number 9” ටෙලි නිර්මාණ රචනයෙන් නිතර්කයෙන්ම අපට පෙන්වා අවසන්.

“අපි සගරාවෙහි” අපේ සුදානම ධනංජය සිරිවර්ධන නම් වු ඒ නිහතමානී කලකරුවාගේ සොදුරු කැදැල්ලට ගොඩ වන්නටයි…

🔸ඔබේ ආදරය ශෂිනි සහ ඔබේ ජිවිතය මෞර්යා සමග ගත කරන ඔබලාගේ පුංචි කැදැල්ලේ සුන්දර තතු පිළිබදව අපි දැන ගන්න කැමතියි.

මෞර්යා දැන් පහු කරමින් ඉන්නේ හැමදේම තේරෙන්න පටන් ගන්න, අලුත් අලුත් දේවල්වලට කැමති වෙන, හැමදේම ගැන හොයන, දකින දේවල් ගැන ප්‍රශ්න කරන කාලයක්. එයාගේ දගවැඩත් එක්ක ගත කරන මේ කාලය සහ අපිට ලැබෙන අත්දැකම් හරිම සුන්දරයි.

ශෂිනි සුපුරුදු පරිදි “Pink Room Youtube”නාලිකාවේ වැඩත් සමග කාර්යබහුලයි. ශෂිනි මෙම නාලිකාව පවත්වාගෙන ‍යන්නේ වෘත්තීයක් හැටියටම නෙවෙයි. “Pink Room” නාලිකාව හරහා සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දෙන්න පුලුවන් වෙලා තියෙනවා කියලා අපි හිතනවා. ඉතින් ඔය දේවල් එක්ක මේ කාලයේ අපි දෙන්නාම ටිකක් කාර්යබහුලයි.

🔸”හද්දා ශුද්ධ ප්‍රේමය” ඔබගේ දියණිය වෙනුවෙන් බිරිඳ ශෂිනි ගායනා කල මෙම හැගීම්බර සහ අර්ථානුකුල වචන එකතුව ඔබ අතින් ලියවුනේ කොහොමද? ගීතයේ සංගිතය සහ Music video නිර්මාණය පිළිබදව විස්තර ටිකක් කියමුද?

ඒක ටිකක් විශේෂ කතාවක්. දුව වෙනුවෙන් ගීතයක් ලියන්න ඕනේ කියන බලාපොරොත්තුව මගේ හිතේ

ඇතිවුන කාලයේදී ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා අපි දැනගෙන හිටියේ නැ. ගීතයක් ලියලා දෙන්න කියලා ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ගී පද රචකයෙකුට යෝජනාව කලා. පද රචනය කිරිම සදහා දුවෙක්ද පුතෙක්ද ඇහුවාම මම කිවුවා “තාම දන්නෑ, මම හිතනවා දුවෙක් කියලා. දුවෙක්ට කියලා හිතාගෙන ලියන්න” කියලා. ඒ සදහා ජන ගිතයක් හරහා මම හොයාගත් තනුවකුත් දුන්නා. නමුත් එම ශිල්පියාගෙ අතිශය කාර්යබහුලත්වය නිසා කාලෙත් එක්ක ටිකක් පහුවුනත් හරිම ලස්සන ගීතයක් ලියලා දුන්නා. එය මම බලාපොරොත්තු වුනාට වඩා හරි සංකීර්ණ ගිතයක් වුනා. ඊට වඩා ටිකක් සරල විදියට ගී පද තිබුනා නම් හොදයි කියලා අපිට හිතුන නිසා එය ස්ථිර වුනේ නැ.

ඉතින් ගීතයේ පද පිළිබදව ස්ථිරත්වයක් නැති වුනත් අපේ පවුලේ හිතවතෙක් වන දිනේෂ් සුබසිංහට කතා කරලා තනුව නිර්මාණය කිරිමේ කටයුත්ත භාර දුන්නා. දිනේෂ්ගේ තිබුනු කාර්යබහුලත්වය නිසා අපේ නිර්මාණය නිමාකිරිම ටිකක් පහුවෙලා තිබුනේ. ජුනි මාසයේ අන්තිම හරියෙදි මම දිනේෂ්ට කතා කලා. එදා අපි අතර ඇතිවුනු සුහද මිතුරු කතා බහෙන් පස්සේ දිනේෂ් මට කතා කරලා කීවා. “දැන් කවද්ද හම්බ වෙන්නේ, බොරුවට නේ මාව කලබල කරන්නේ” කියලා . ඒ වෙනකොට දරුවා ලැබෙන්න දවස් 10 ක් වත් තිබුනේ නැ. ඉන් පස්සේ “මම හදලා තියෙන්නේ ඔන්න බලපන්” කියලා Whatsapp මාර්ගයෙන් එවලා තිබ්බා. මගේ හීනවල තිබුන මට දැනුන හැගීම එම සංගිතය තුල ගැබ්වෙලා තිබුනා.

ජයාරූප ගන්න ජුනි මාසේ අන්තිමට දින යොදාගෙන තිබුනේ. “Dark Room”හි දනුකලා යෝජනා කලා පසුවට ගීතය සදහා අවශ්‍ය වුනොත් යොදා ගන්න

ඒ වෙලාවේම රූප රාමු ටිකක් හදලා තියා ගමු කියලා.

ඒ වෙනකොට ගීතයේ වචන ස්ථිර වෙලා නොතිනුන නිසා මම වචන ටිකක් ලියලා ශෂිනිට දිලා කිවුවා “ඔයා මේ විදියට කට හොල්ලන්න”කියලා. ශෂිනි වචන ටික බලලා කිවා “මේ තාත්තමනේ ලියන්නේ, මේකට වෙන කවුරුවත් ඕනේ නැ. අපි මේ වචන ටිකම යොදා ගමු” කියලා.

ජුලි පලවෙනිදා හඬ පටිගත කරන්න යොදාගෙන තිබුනේ. එදා අපිට වෛද්‍ය සායනයට යන්න තිබ්බ දවසක්. හඬ පටිගත කරන වෙලාවෙත් “අද ටිකක් අමාරුයි වගේ” කියලා ශෂිනි කිවුවා. එදා ගීතය පටිගත කරන්න පැය 3 ක් විතර ගියා. ගීතය පටිගත කරලා අපි කෙලින්ම රෝහලට ගියා. එදින දරු ප්‍රසූතිය සදහා සුදුසුයි කියලා අපේ වෛද්‍යවරයා තීරණය කලා. ඉතින් එයා ගීතයත් බොහොම ආදරෙන් ගායනා කරලා ඇවිත් එදා හවසම අපිට දරුවා ලැබුනා.

ඊට දවස් 4 කට විතර පස්සේ Youtube හරහා ගීතය නිකුත් කරන්න අපිට පුලුවන් වුනා. එය අපිට හරිම සුන්දර මතකයක්.

🔸 ඔබගේ දියණිය මෞර්යා පිළිබදව ඔබගේ ආනාගත බලාපොරොත්තු මොනවාද? ඔබගේ පවුල් පසුබිමෙන් පැමිණෙන සංගිතය සහ රංගන කුසලතා ඔබ ඇයගෙන් දකිනවාද?

මෞර්යා “Drama queen” කෙනෙක්. රංගනය ක්ශේත්‍රයේ ඉන්න මටවත් හිතා ගන්න බැ සමහර දේවල්වලට එයා ප්‍රතිචාර දක්වන විදිය. මම හිතන්නේ එයා රගපානවාම නෙවෙයි. ඒක එයාට ස්වභාවයෙන්ම ලැබෙනු දායදයක්.

මෞර්යා හොද පෞර්ෂයක් තියන දරුවෙක්. එයාව කවදාහරි දවසක නිළියක්, ගායිකාවක් හෝ වෙනත් වෘත්තීයක් කරනවා කියන දෙයට වඩා අපේ අරමුණ එයාව සමාජයට හොද පුරවැසියකු කිරිමයි.

🔸විවිධ නිර්මාණ තුලින් එකිනෙකට වෙනස් චරිත නිරූපයෙන් ප්‍රේක්ෂක හිත් ඇද බැද ගැනිමට ඔබට උපන් හැකියාවක් ඇතිබව නොරහසකි. මෑතකදී පණපෙවු නින්ජා, ඩැනියල් උයන්ගොඩ, දේවින්ද වැනි චරිත සහ මෙම දිනවල විකාශනය වන

“වීදුරු මල්” ටෙලි නිර්මාණයේ ධනුකගේ චරිතය පිළිබදව ඔබේ අදහස සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබදව අපිට කියන්න කැමතියිද?

“නින්ජා, ඩැනියල්, දේවින්ද සහ ධනුක” කියන චරිත එකිනෙකට වෙනස් පරාසයන්වල දිවෙන නිසා එම චරිත නිරූපණය කිරිම මට අභියෝගයක් වුනා.

“සිල්ලර සමනල්ලු” හි “නින්ජා” කියන චරිතයෙන් පසු මම මෙගා නාට්‍යයවලට සම්බන්ධ වුනේ නෑ. “නින්ජා” වැනි චරිතයක් රගපෑවට පස්සේ “ඩැනියල් උයන්ගොඩ” වැනි අතිශය සංකිර්ණ චරිතයක් සදහා මාව යෝජනා විමත් ඉතා විශේෂ දෙයක් මොකද ගොඩක් රංගන ශිල්පින්ට ඇතිවෙන අවාසනාවන්ත සිදුවිමක් තමයි එක චරිතයක් කලාට පස්සේ ඒහා සමාන චරිත නැවත නැවත ලැබීම.

මගේ ම රචනාවක් තුල එන “දේවින්ද” කියන චරිතය ප්‍රධාන චරිතයක් නෙවෙයි. නමුත් පසු කාලිනව එය ප්‍රබල චරිතයක් බවට පත් වෙනවා.

“වීදුරු මල්” හි “ධනුක ඩි අල්විස්” කියන චරිතය වර්තමාන දේශපාලනය විසින් ක්‍රියාත්මක වෙන රහස් චරිතයක් හැටියට චාමර ජනරාජ් පීරිස් විසින් රචනා කරලා තියෙන්නේ. චාමර කියන්නේ දේශපාලනික වශයෙන් ලොකු අත්දැකීම් තියන පවුලකින් පැවතගෙන එන, දේශපාලනික දැනුම ගොඩක් තියන, ලෝක දේශපාලනය ගැන වුනත් ගොඩක් දන්න කෙනෙක්.

ඒ නිසා ඔහුට අවශ්‍ය වුනා දේශපාලනයේ සැගවුනු චරිතක් පිළිබදව බොහොම ආදරණීය ලෙස කතා කරන්න. චරිතය නිර්මාණය කිරිම පැත්තෙන් නාට්‍යයේ රචකයා සහ අධක්ෂකවරයා වශයෙන් සම්පුර්ණ ගෞරවය චාමරට හිමිවිය යුතුයි.

ඒවගේම “ධනුක” කියන්නේ ප්‍රේමවන්තයෙක්. ප්‍රේක්ෂකයන් මාව පෙම්වතා හැටියට චරිත සැහෙන ප්‍රාමාණයක දැකලා ඇති. ඒ නිසා මට ඕනේ වුනේ මම රගපෑ චරිතවලින් වෙනස්ම විදියකට “ධනුකව” නිර්මාණය කරන්න. එය රංගන ශිල්පයෙකු හැටියට මට ලොකු අභියෝගයක් වුනා.

ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව මම හිතනවා එම චරිත එකිනෙකට වෙනස් වෙන් වෙන් වශයෙන් පැහැදිලිව හදුනා ගන්න පුලුවන් විදියට මම නිරූපණය කරලා තියනවා කියලා. එම චරිත සදහා මාව යෝජනා කරපු අධක්ෂකවරු, පිටපත් රචකයන් නිසායි මට පුලුවන් වුනේ විවිධ පරාසවලට යන්න. මම ඔවුන් සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.

🔸සාම්ප්‍රදායික ටෙලි කතා සංකල්ප රාමුවෙන් ඔබ්බට යමින් ආදරය, ත්‍රාසය සහ කුතුහලය වැනි අංශයන් සුක්ෂම ලෙස ස්පර්ශ කරමින් ඉතාමත් ජනප්‍රියත්වයට පත්වු “Number 9” ටෙලි නාට්‍යය රචනා කරමින් ඔබ තිර පිටපත් රචනයට අවතීර්ණ වුනා. ඒ පිලිබඳව විස්තර ටිකක් කියමුද?

විදේශීය චිත්‍රපටයක සංකල්පයක් අරගෙන ලංකාවට ගැලපෙන විදියට පර්යේෂණ කරමින් රචනා කල මගේ පළවෙනි ප්‍රාසාංගීය පිටපත තමයි “Number 9”

මම පිටපත ලියන්න පටන් ගන්න කොටම මහේන්ද්‍ර පෙරේරාට කතා කරලා කිවුවා “මහේන්ද්‍ර අයියේ වැඩක් තියනවා. මම ඔයාව ඔලුවේ තියාගෙනමයි මේක ලියන්නේ” කියලා.

මෙය චිත්‍රපටයක් සදහා අදහස් කරගෙනයි මම ලිවුවේ. ඒ පිළිබදව මුලිකවටයේ සාකච්ඡා පැවැත්වුවා නමුත් Covid සමයේ සිනමාව සම්බන්ධව තිබුනු විශ්වාසය යම්කිසි මට්ටමක අඩාල වෙලා තිබුන කාලයක චරිත් අබේසිංහගේ යෝජනාවකට අනුව එම පිටපත “Number 9” ටෙලි නිර්මාණය සදහා යොදා ගන්නවා.

කණගාටුදායක සිදුවිම තමයි මගේ අතින් ලියවුනු ආරම්භය සහ අවසානය නෙවෙයි ඔබ නරඹපු ටෙලිනාට්‍යයේ පළමුවෙනි සහ අවසාන දර්ශනවල තිබුනේ. නමුත් අධක්ෂකවරයාට පූර්ණ අයිතිවාසිකම තියනවා එය වෙනස් කරන්න.

මම ලියපු “Number 9” බොහෝම ඉක්මනට පාඨක ඔබට කියවන්න අවස්ථාව ලැබෙයි.

🔸”Number 9” වැනි විශිෂ්ඨ ගණයේ නිර්මාණය බිහි කරමින් කලාකෙත පෝෂණය කරන්න ඔබ අතින් ලියවුනු සහ ලියවෙන නිර්මාණ පිළිබදව ඔබේ ප්‍රේක්ෂකයන් වන අප දැන ගන්න කැමතියි…

මම රචනා කල පිටපතක් ඇසුරෙන් සිනමා පටයක් නිර්මාණය කිරිමට සියල්ල සුදානම් වෙලා තියෙනවා. මෙය ලංකාවේ මෙතෙක් බිහි වෙලා නැති සිනමාවට වඩාත්ම උචිත භාෂාවකින් ලියවුනු වෙනස්ම ආරයක නිර්මාණයක්. චිත්‍රපටය සම්බන්ධව මුලික සාකච්ඡාවලදී මෙහි විශේෂත්වය මේ පිළිබදව අහපු බලපු ක්ශේත්‍රයේ මාත් සමග චිත්‍රපටයේ එකට වැඩ කරන්න නියමිත පිරිස අතර කතා බහට ලක්වුනා.

ඉතින් මේ කාළයේ දී චිත්‍රපටය සදහා නිෂ්පාදකවරයෙකු මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. බොහෝ දුරට මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් එය ඉටුකර ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.

🔸ලංකාවේ ප්‍රමුඛ පෙලේ රූපවාහිනි නාලිකා තුලින් විකාශය වු “Tone Poem” සහ “Chat & Music” වැනි වැඩසහන් ඔබ දක්ශ ලෙස ඉදිරිපත් කලා. ඔබ සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නිවේදනයක් කිවොත් මම නිවැරැදිද? ඔබව ඉදිරියේදීත් නිවේදනයකු ලෙස අපට දැක ගන්නට ලැබේවිද?

නිවේදන කියන්නේ වෙනස්ම වු විෂයක්. එම විෂය ඇතුලේ මම තාමත් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. මම නිවේදනයකු හැටියට මුලින්ම සම්බන්ධ වුයේ රූපවාහිනි සංස්ථාවෙහි “ඉරිදා ආයුබෝවන්” වැඩසටහන සමගයි. ඉන්පසු “Sri Lankan Life, Feeling Of Youth, Tone poem” වැනි වැඩසටහන් ඉදිරිපත් කිරිමට මට අවස්ථාව ලැබෙනවා.

මම ඉදිරිපත් කල වැඩසටහන් අතුරින් රංග ප්‍රේමරත්න සහ සුනේත්‍රා කුමාරි විසින් නිෂ්පාදනය කෙරුනු “Tone poem” වැඩසටහන වැඩිම සම්මාන ප්‍රමාණයක් ලැබුවා.

සුදත් රෝහණයන්ගේ ආරාධනයෙන් ස්වාධීන රූපවාහිනියේ “Chat & music” වැඩසටහනට ඉදිරිපත් කිරිමට මට අවස්ථාව ලැබෙනවා. එතුමාගේ අදහස වුයේ “විනෝදය වගේම සාරවත්බවක් තිබෙන අයුරින් සමබරව වැඩසටහන කරගෙන යන්න පුලුවන් නම් ඉතා හොදයි” කියලා.

වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වැඩසටහනට සහභාගි වන අපේ රටේ ඉතාමත් සාර්ථක නිර්මාණකරුවන් පිරිසට නිසි වටිනාකමක්, ඇගයීම දෙන්න ඕනේ.

වතගොතක් වුවත් අවසානයේ අපිට හමුවෙන කතාව ඵලදායි වෙන්න ඕනේ. එතකොට අපිට පුලුවන් රසවින්දනය සමග යම්කිසි දැනුමක් එකතු කර ගන්න. පෞද්ගලික වතගොත කියන්නේ කෑමක ලුණු, ඇඹුල් වගෙයි. ඒවා වැඩසටහන තුල තියෙන්න ඕනේ. නමුත් ලුණු විතරක් කෑවොත් මොකද වෙන්නේ? අන්න ඒ තත්වය මග හැරෙන අයුරින් සාකච්ඡාව පවත්වාගෙන ‍යන්න ඕනේ.

සාකච්ඡාවේදී එක ප්‍රශ්නයක් කෙලවර වෙන තැන අනික් කෙනාගේ ප්‍රශ්නය නිර්මාණය වෙන විදියට පෙළගැස්ම සදහා මම පෙර සතියේ සිටම සුදානම් කරගෙන යනවා. ඊට අමතරව වැඩසටහන අතරතුරේ හිතලා අහන ප්‍රශ්නත් තියනවා.

අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් මම “Chat & music” වැඩසහනක ඉදිරිපත් කලා. මාව වැඩසටහනෙන් ඉවත් කරන තුරු කරපු අවසාන වැඩසටහන දක්වා පුලුවන් උපරිම වශයෙන් මම දායක වුනා. අද නෙවෙයි සමහර විට “අනාගතයේ දවසක වුනත් ප්‍රේක්ෂකයන්ට නැරඹීමට පුලුවන් මට්ටමක මම වැඩසටහන ඉදිරිපත් කලා” කියලා මට සතුටක් තියනවා.

“Chat & music” වැඩසටහනනින් පස්සේ මට බොහෝ අවස්ථාවන් ලැබුනත්, එම වැඩසටහනෙන් මාව ඉවත් කිරිමට හේතුව කුමක්ද? මගේ අතින් වැඩසටහනට වුන වැරැද්ද මොකක්ද? කියලා මම තාම හිතනවා. ඒ පිළිබදව මට ලොකු කණගාටුවක් තියනවා.

🔸කලා ක්ශේත්‍රයේ දකින්නට ලැබෙන කඩවසම් රංගන ශිල්පින් පෙළ අතර ඔබේ නමත් ඉහළින්ම සටගන් කල හැකියි. ඔබගේ බාහිර පෙනුම පිළිබදව ඔබ සැලකිලිමත් වෙනවාද? ආහාර රටාවන් සහ ව්‍යායාම කාලසටහනක් අනුගමනය කරනවාද?

සාර්ථක රංගන ශිල්පියෙකුට තමන්ගේ ශරීරයේ හොද පාලනයක් තිබිම වගේම ශරීරයේ නම්‍යශීලී බව අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා. කදු නගින්න, දුවන්න, බයිසිකලයක් පදින්න වගේ විවිධ ක්‍රියාකාරකම් කරන්න මම හරිම කැමතියි.

රූගත කිරිම්වලට ගියාම සමහර වෙලාවට පාන්දර වෙනකම් එක දිගට වැඩ කරන්න වෙනවා. සමහර විට එකම දර්ශනය සෑහෙන වතාවක් රූගත කරපු අවස්ථාව තියනවා. ඒ නිසා ශරීරයේ යෝග්‍යතා මට්ටම හොදින් පවත්වාගෙන යෑම ඉතාම වැදගත් වෙනවා.

නිරූපණය කරන චරිතයට කඩවසම් බව අවශ්‍ය නම් මට එය හදාගන්න පුලුවන් ඒ වගේම අවශ්‍ය නැතිනම් කඩවසම් භාවය හංග ගන්නත් මට පුලුවන්.

🔸රංගනය සදහා අවතීර්ණ වන්නට බලාගෙන

ඉන්න නවක පිරිසට මගගු අත්වැලක් වන “ප්‍රාණ පාඨමාලාවට” සම්බන්ධ විය හැකි ආකාරය පිළිබදව පැවසුවොත්…

මමයි සම්පත් ජයවීරයි එකතුවෙලා “ප්‍රාණ වැඩසටහන” ආරම්භ කලේ. අපි මෙය කරගෙන යන්නේ ආදායම් ලබා ගැනිමේ ව්‍යාපාරයක් හැටියට නෙවෙයි.

රංගනයේදී වෙනත් කෙනෙකු බවට පත්විම කියන්නේ ඉතාම සංකීර්ණ කොටසක්. එය වචනවලින් විග්‍රහ කරන්න අසීරුයි. විෂය කරුණු සහ ප්‍රායෝගිකව පුහුණුව රංගනය සදහා අත්‍යාවශ්‍යයි.

අපි ආරාධනා කරනවා “රංගනය හොයන්න අපිත් එකක් එකතු වෙන්න” කියලා.

“ප්‍රාණ” සමග සම්බන්ධ වුනු පහුගිය කණ්ඩායම් සහ අලුතින් සම්බන්ධ වන කණ්ඩායම් සමග ප්‍රායෝගිකව එකතුවි ව්‍යාපෘතියක් කරන්න සුදානමින් ඉන්නවා. අපේ නිෂ්පාදනවලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න පිරිසට “ප්‍රාණ” whatsapp

අංකය හරහා අප සමග සම්බන්ධ විය හැකිය.

Whatsapp: 0094(0)764500305

🔸ධනංජය සිරිවර්ධන නම් චරිතාංග රංගන ශිල්පියාව අපට ඉදිරියේදි දැක ගන්නට ලැබෙන ටෙලි නාට්‍යයන් සහ සිනමා නිර්මාණ පිළිබදව විස්තර දැන ගන්න පුලුවන්ද?

ඒ නමට බොහෝම ස්තුතියි. මට හැමදාමත් උවමනාව වුනේ එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරමින් චරිතාංග රංගන ශිල්පියකු වන්න.

එක පෙළට මගේ නිර්මාණය බොහෝමයක් නම් ඔබට දැක ගන්න ලැබෙන්නේ නැතිවේවි. නමුත් රගපාන නිර්මාණය කීපය තුල මාව වෙනස් කරමින් විවිධ චරිත තුලින් ප්‍රේක්ෂකයා හමුවට ඉදිරියේදීත් එන්න මම උත්සාහ කරනවා.

මට ජිවිතයේ ගොඩක් දේවල් ලැබෙන්න මගේ ප්‍රේක්ෂකයන් නිසා. ඒ ආදරයට, විශ්වාසයට මම ගෞරවය කරනවා. දශක දෙකක් තිස්සේ මා ගැන විශ්වාසය තියපු ප්‍රේක්ෂකයන්ව ඉදිරියේදීත් වෙනස් වු චරිත නිරූපණ තුලින් හමුවීම මගේ පොරොන්දුවයි.

අමා නාකන්දලගේ

Sign up for our newsletter