ගෙදර හාල් ඇටයක් නෑ..ළමයගේ පංති ගාස්තු ගෙවාගන්න විධියක් නෑ. මොකද්ද මේ ජීවිතේ ? තමුසෙ ඉතින් උඩ බලාගෙන ඉන්නවා..
කෑ ගහන්න එපා උදේ පාන්දර..මොකක් හරි කරන්නම් ඉන්න..( එසේ කියමින් ව්‍යාකූල මනසින් යුතුව රන්සිරි ගෙදරින් පිටත් විය. )
ආහ්..රන්සිරි..උදේම මොකෝ මේ ?
ගෙදරින් බර බරේ බං..බැරිම තැන එළියට බැස්සා..මුකුත් වාසියක් නැද්ද බං ?
මොන වාසිද බං ? අපේ ගෙදරත් ඕකම තමයි..කණක් ඇහිලා ඉන්න බෑ..
මෙහෙම ගියොත් පාරට බහින්න තමයි වෙන්නේ බං..
මේ ඒක නෙවෙයි, අර වංගුවේ ගෙදරට අළුතෙන් කට්ටියක් ඇවිල්ලා..( බෝක්කුව උඩ සිට කුරුඳු දණ්ඩකින් දත් වහල්ල මදිමින් සිටි ගජනායක කීවේය. )
ඇත්තද ?
ඔව්..දැන් මාසයක් විතර වෙනවා..
පේන්න ගෑනු දෙන්නෙක් විතරයි ඉන්නේ..
එහෙමද ? උඹ කොහොමද දන්නේ ? ( රන්සිරි කුතුහලයෙන් මෙන් ඇසුවේය. )
මම දන්න මගුලක් නෑ බං..ඔය ටික කිව්වෙත් අපේ ගෑනි..සල්ලි බාගෙ එහෙම තියෙනවලු..සුදු පාට ලොකු වාහනයක් දවසගානේ එනවලු ගෙදරට..ගෙදර ලොකු ගෑනු ළමයා බලන්න වෙන්න ඇති..ලස්සන කෙල්ල..පාරේ යන ඕනම කෙනෙක් එක්ක හිනාවෙනවා..සිරියාවන්ත කෙල්ල..
අම්මද බොල..උඹේ ගෑනි ජාතකේම දැනගෙනනේ..
උන්ට වෙන වැඩක් නෑනේ බං..හ් හ් හා..
ඒක ඇත්ත.. ( රන්සිරිගේ සිතේ සල්ලි බාගෙ තියෙනවා කියූ කතාව සහ ගෙදර ඉන්නේ ගෑනු දෙන්නෙක් විතරක් යන කතාව පලපැදියම් විය. )
එදා මොරසූරන වැසි දවසක්..කළු පැහැති ඇඳුමකින් සැරසුණු රන්සිරි කළු පාටින්ම රෙදි කඩක්ද රැගෙන පාන්දර 2.30ට පමණ ගෙදරින් පිටවිය. රන්සිරිගේ බිරිඳ සහ පුතා තද නින්දේ පසුවිය. විටින් විට දැල්වූ ටෝච් එළියේ ආධාරයෙන් රන්සිරි පෙර කී වංඟුවෙ ගෙදරට සේන්ඳු විය.
පිළිකන්න පැත්තෙන් ගෙදරට ගොඩ වෙන්න පුළුවන්ද කියලා බලන්න ඕන ( රන්සිරි සිතන්නට විය. )
තිත්ත කළුවරත්, මහ වරුසාවත් ගෙයක් බිඳින්නටම කියාපු වෙලාවක් සහ අහල පහල කිසිවෙකුට කිසිම සද්දයක් නොඇසෙන නිසාවෙන් රැගෙන ආ රෙදි කඩෙන් මුව බැඳගත් රන්සිරි පිළිකන්නේ දොරට ගැසූ පා පහරින් එතරම්ම ශක්තිමත්ව සකසා නොතිබූ දොර විවර විය.
ඈහ්..තවත් දොරක්..රන්සිරි විස්මිත විය.
තාවකාලිකව ඉදිකර තිබූ කුස්සිය ගෙදරට සම්බන්ධ කර තනා තිබූ නිසා එම කුස්සියෙන් ඇතුළත් වූ අයෙකු තවත් දොරක් විවර කරගෙන ගෘහයට ඇතුළත් විය යුතුය.
මේක නම් අරින එක ලේසි නෑ..වහලේ උළු දෙක තුනක් බාගැනීම නුවණට හුරු යැයි සිතා කුස්සියේ දුම් කවුළුව දිගේ උඩට යෑමට තැත් කරනවාත් සමඟම..
ක්‍රෑස්…ක්‍රෑස්… දොර විවර වන ශබ්දය රන්සිරිට ඇසිණි.
ලලයි ලිලයි ලයි..සිසිලයි..සුළඟයි..ලලයි ලිලයි ලයි සිසිළයි..සුළඟයි..
මේ රෑ දෙගොඩහරියේ සින්ඳු මුමුණන්නේ කවුද යකෝ ? ඒකත් ගෑනු කෙනෙක්..( රන්සිරි දුම් කවුළුවේ බිත්ති හතරේ නිසොල්මන්ව රැඳී සිටිමින් ඇහුම්කන් දුන්නේය..)
දුහුල් සළුවකින් සැරසී සිටි ඉටි රූපයක් බඳු ලලනාවකගේ ඡායාව ජනේලය මතින් වැටෙන හඳ එළිය තුළින් රන්සිරි දුටුවේය. ඇය හරිම සැහැල්ලු මනසකින් සිටින වගද පෙනෙන්නට විය.
කූල් පෙට්ටිය ඇර ජෑම් බෝතලයක් සහ පෙති කපන ලද පාන් ගෙඩියක් ගත් ඈ පාන් පෙති දෙකක ජෑම් තවරනු රන්සිරි බලා සිටියේය. ඒ සමඟම..
ස්‍රාස්..දඩං…#%***€€£|%]£]£!\££**..
දුම් කවුළුවේ අසීරුවෙන් රැඳී සිටි රන්සිරි එකවරම රූටාගෙන වැටිණ. හට්ටි මුට්ටි පෙරළගෙන බිමටම ඇද වැටුණි..
හ් හ් හා..හ් හා හා….හ් හ් හා හා.. මහ හයියෙන් සිනාවකි..
රන්සිරිට සිදුවූයේ කුමක්දැයි අදහාගත නොහැකි විය. වැටුණ එකටත් වඩා හිනාව ගැනය.
මම දැනගත්තා එයි කියලා..නරක සොරා..
මො..මො..මොකද්ද නෝනා..?
නෝනා නෙවෙයි අනේ මම ඔයාගේ ශෝනා..
පිටිපස්සෙන් ආවේ ඇයි අනේ ඉස්සරහෙන් එන්න තිබ්බනේ..ලැජ්ජයි නේ ? මමී ඉන්න නිසා..මම මමීට කිව්වා ඔයා කොයි වෙලාවේ හරි එනවා කියලා.
හෑ..මො..මො..ම..මම..මම එනවා කියලා..?
( වඳින්න ගිය දේවාලේ ඉහේ කඩං වැටුණාක් මෙන් රන්සිරිට හැඟෙන්නට විය. )
ඔව් අනේ..හරි හරි එන්න මම ඔයාට ජෑම් එක්ක පාන් කවන්නම්..
ඔයා ස්ට්‍රෝබෙරි ජෑම් කන්න ආසයිනේ..මම දන්නවා..
මම..මේ..මේ..මම..( මොන ජෑමක්ද හත්තිලව්වේ..අපි කන හැටි ලිපා දනී.. රන්සිරි තමාටම කියාගත්තේය..)
මෙන්න මෙහෙ එනවා නරක සොරා..( බිම වැතිර හිඳගෙන සිටි ශෝනා හිල් කරන ලද පොල් කට්ටකින් පොඩි එකෙකුව හරහට දා නාවන්නාක් මෙන් රන්සිරිව තමා වෙත ඇද හිස උකුළෙහි හොවාගෙන ජෑම් තැවරූ පාන් පෙත්තක් කවන්නට වූවාය.
රන්සිරිට බිව් රන් කිරි සිහි විය. ජෑම් සමග පාන් කනවාට වඩා රන්සිරිට ඇගේ දුහුල් සළුවේ සුසුනිඳු බව දැනෙන්නට විය. මොර සූරන වැස්සක, තිත්ත කළුවරක, හඳ එළියක, හිරි ගඩු පිපෙන සීතලක, සුන්දර ලඳකගේ ඔඩොක්කුවේ හිස තබාගෙන ස්ට්‍රෝබෙරි ජෑම් තැවරූ පාන් කෑල්ලක් කන්න ලැබෙන එක සොරකම් කර ලැබෙන සොච්චමට වඩා කෙතරම් අගනේද යන්න රන්සිරිගේ යටි හිත කියයි.
තව ඕනද වස්තුවේ ?
ආහ්…ආහ්.. හා හා තව කෑල්ලක් කමු එහෙනම්..
අන්න මගේ හොඳම නරක සොරා.. ඉන්න මම ජෑම් ගාන්නම්..
පසුදා උදෑසන..
රන්සිරියා අද මොකද නැත්තේ..? ( ගජනායක මුමුණන්නට විය..)
අපි යමු උගෙ ගෙවල් පැත්තට..
ඔව් යමු..
රන්සිරි…රන්සිරි..
ආහ්හ්.. එයා නිදි.. ඉන්න මම ඇහැරවන්නම්..
ආහ්..ගජේ..මොකද මේ ? රන්සිරි එළියට විත්..
නෑ ඉතින් උඹ අද ඒ පැත්තට ආවේ නැති නිසා අපි ආවේ..මොකෝ ඔය මූණේ දැලි ගෑවිලා..?
දැලි..? ( ක්ෂණයෙන් මුහුණ පිසදා ගනිමින්..) නෑ නෑ ඊයේ නින්ද ගියේ නෑ බං..එළිවෙන ජාමේ තමයි නින්ද ගියේ..
මේ ඒක නෙවෙයි…අද පාන්දර එක විජ්ජුම්බරයයි අර වංඟුවෙ ගෙදර..
ඈහ්…ඇයි මොකද ?
අපේ ගෑනි ඉතින් ඇහැ ගහගෙනනේ ඉන්නේ ඒ පැත්ත දිහා..
රන්සිරි ඇස් ලොකු කරගෙන කෙළ ගිල්ලේය.
මො..මොකද වෙලා තියෙන්නේ ?
ඊයේ ඒ ගෙදරට හොරෙක් පැනලා..
හො..හො..හොරෙක් ?
ඔව් ඔව් හොරෙක්..
ඉ..ඉ..ඉතිං ?
ඒ ගෙදර ලොකු කෙල්ල..අර මං කිව්වේ සීදේවි කෙල්ල..
ඔව් ඔව් මං දන්නවා ( එකවරම රන්සිරිට කියැවිණ..)
උඹ දන්නවද ?
නෑ නෑ මම දන්නේ නෑ..උඹනෙ එදා මට කිව්වේ..
ආහ් ඔව් ඔව්.. ඒ කෙල්ලට ඔල්මාදෙලු..අර සුදු වාහනයක් නිතරම එන්නේ දොස්තර මහත්තයෙක් ඇවිත් බෙහෙත් කරනවලු. අද පාන්දර ඔල්මාදෙ හොඳටම තද වෙලාලු.. නරක සොරා මට ඕන..නරක සොරා මට ඕන කිය කිය බෙරිහන් දෙනවලු.. වත්ත වටේ දුවනවලු.. එහා ගමටත් දුවලා අද උදේ..මේ පැත්තටත් එන්න බැරි නෑ..
ඈහ්..මේ පැත්තට ? ගජේ මට හරි නිදි මතයි..හවස හම්බවෙමුද ?
ආහ්..හරි හරි..අරකි මේ පැත්තට ආවොත් කෝල් එකක් ගහපන් හරිද ?
ආහ් හරි හරි..මම කියන්නම්..
මේ රන්සිරි හොඳම එක කියන්න බැරි වුණානේ..
මොකද්ද ?
අර ආපු හොරා ඒකිත් එක්ක ජෑමුයි පානුයි කාලා ගිහින් තියෙන්නේ..
චරියාගේ පන්හිඳ