Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

නැවත නොදකින ඒ ලෝකය – 2024 වසර සඳහා සූදානම් වෙමු


අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝගුණා අනුපුබ්බං ජහන්ති 

ඒතං භයං මරණේ පෙක්ඛමානෝ

පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි

මේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ අච්චෙන්ති සූත්‍රයේදී ජීවිතය ගැන භාග්‍යවතුන්වහන්සේ විසින් අපට දුන් අවවාදයකි. එහි තේරුම නම් ‘කාලය ඉක්ම යයි. හැම රාත්‍රියක්ම අපට හඟවන්නේ අප ජීවිතාවසානයට අප සමීප වූ බවය. අපේ ශක්තිය කෙමෙන් කෙමෙන් අපෙන් ගිලිහේ. එනිසා හිතට සතුට ගෙනෙන යහපත් ක්‍රියාවක නිරත වෙන්න.’

කොරෝනා වසංගතයට පෙර තිබූ ලෝකය ගැන කවුරුත් තවම පසු වන්නේ මහත් විෂාදයක ය. වසංගතය පැමිණ ගොස් බොහෝ රාත්‍රීන් ගත වී තිබේ. එම විෂාදය ඔබේ මානසික සෞඛ්‍යය කෙරෙහි නාස්තිකව බල පා ඇති අන්දම ඔබ දනී. පශ්චාත් කොරෝනා යුගයේ මානසික සුවය සොයන්නන්ගේ ප්‍රමාණය දෙගුණ තෙගුණ වී තිබේ. 2024 වසර සුබ වේවා යි බොහෝ අය ප්‍රාර්ථනා කරති. එම ප්‍රාර්ථනාවේ වරදක් නැත. එහෙත් ඊට වඩා දෙයක් අප කළ යුතුව තිබේ. එනම් යථාර්ථයන් දෙකක් වේදනාවෙන් වුවද පිළිගැනීමයි. පළමුවැන්න නම් කොරෝනා වසංගතයට පෙර තිබූ ලෝකය නැවත කිසිදා නොපැමිණේ. දෙවැන්න නම් තව කාලයක් යනතුරු ඒ වසංගතය නිසාවෙන් ස්වභාවිකව හෝ කෘතිමව ව්‍යාපාරික ලෝකය විසින් පාරිභෝගික ජනතාවට දුන් පීඩනය ඉක්මනින් අවසන් නොවනු ඇත. 

කළයුත්තේ ඉහත බුද්ධාවවාදය තුළ ගම්‍ය වන පරිදි අප 2024 වසරේ සිට ඉදිරියට අපගේ චින්තන රටාව වෙනස් කර ගැනීමය. සතුට ගෙනෙන යහපත් ක්‍රියාවන් සඳහා පෙර මෙන් වියදම් කිරීමට බහුතරයකට නොහැකිය. එහෙත් ඒ සඳහා බුද්ධදේශනාවේ එන සන්තුට්ථි හෙවත් ලද දෙයින් සතුටු වීමේ ප්‍රතිපත්තිය ඔබට උපකාර වේ. මනෝ උපදේශනය පතා එක අයගෙන් 65% ක් පමණ අයගේ ප්‍රශ්නය නම් පසුගිය පශ්චාත් කොරෝනා වසර කීපය තුළදි රාත්‍රි නිදිවර්ජිත වීමයි. වේදනාකාරි යථාර්ථය නම් 2024 වසර ද එතරම් වෙනස් නොවන බවයි. එසේ මනෝ උපදේශනය පැතූ සැමට දුන් අවවාදය නම් අනුන් වියදම් කරනු දැක තමන්ද එසේ වියදම් කිරීමට නොගොස් තමන්ගේ සීමාවන් තුළ ලද දෙයින් සතුටු වීමයි. මෙය ධර්මයේ සඳහන් වන්නේ ජීවන රටාව වෙනස් කිරීම ලෙසයි. 



බුදුදහම මාර්ගයක් මිස ඇදහිල්ලක් නොවේ. එම මාර්ගයෙහි මුල්ම පියවර නම් නිවැරදි, හානිදායක නොවන දර්ශනය යි. එය සම්මා දිට්ඨි නම් වේ. දර්ශනය වැරදි නම් සෙසු පියවරද වැරදීමට ඉඩ තිබේ. පශ්චාත් කොරෝනා යුගයේ ලොව බොහෝ දෙනෙකුට වූයේ එම නිවැරදි දර්ශනය නොලැබීමයි. එහෙත් එයට දොස් නැගීමට නොහැකිය. ඊට හේතුව මිනිසුන් ඇතුළු සියළු ජීවීන්ගේ සතුට හා අනන්‍යතාව රඳා පවතින්නේ ‘ඇලීමේ ස්වභාවය’ හෙවත් ‘සත්ත්ව’ නිසාය. මිනිසාට අන් ජීවීන්ට මෙන් නොව චින්තනය තුළින් සහජ තෘෂ්ණා සහ ආවේග පාලනය කර ගැනීමේ හැකියාව තිබේ. එනිසා අප ‘මනුෂ්‍ය’ නම් වේ. 
සන්තුට්ඨි ප්‍රතිපත්තිය තුළින් සවිගන්වන ලද නව ජීවන රටාවකින් 2024 වසරට මුහුණ දීමට හා රාත්‍රිය සුවයෙන් ගත කිරීමට උපකාර වන දර්ශනය ඔබට ඇතිවේවා! 
තෙරුවන් සරණයි!

ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි
Sign up for our newsletter