සුන්දර ජීවිතයක් සඳහා නිර්ණායක ත්‍රිත්වයක්:
ධම්මපදය බුද්ධ දේශනාවන්ගෙන් සමන්විත මනරම් ග්රන්ථයක් වන අතර, එය සුන්දර ජීවිතයකට මග පෙන්වයි. ධම්මපදයේ 224 වන ගාථාව තුළින් සුන්දර ජීවිතයක් සඳහා මූලික නිර්ණායක ත්රිත්වයක් දක්වයි:
“සච්චං භණේ, න කුජ්ඣෙය්‍ය, දජ්ජා අප්පම්පි යාචිතො;
ඒතෙහි තීහි ඨානෙහි, ගච්ඡේ දේවාන සන්තිකෙ.”
“සත්යය පවසන්න. තරහවට ඉඩ නොදෙන්න. ඉල්ලූ විට සුළු දෙයක් වුවත් දෙන්න. මේ ත්රිත්වය හරහා, දෙවියන් වෙසෙන ලෝකයකට ඔබට යා හැකිය.”
මෙම වාක්යය තුළ දැක්වෙන සත්යය කතා කිරීම, තරහ නොගැනීම සහ පරිත්යාගය යන අංග තුන, නවීන මනෝවිද්යාවේත් මූලික මට්ටමේ මානසික සෞඛ්යය, සමාජීය හැසිරීම, සහ ආත්ම සංවර්ධනය යන ක්ෂේත්රවලට අදාල වේ. දැන් මේ අංග තුන ගැන වෙන වෙනම විමසා බලමු.
1. “සච්චං භණේ” – සත්යභාවය සහ ආභ්යන්තර ඒකාකාරතාවය
සත්යය පවසීම යනු නීතිමය සහ සදාචාරාත්මක අවශ්යතාවක් පමණක් නොව මනෝවිද්යාත්මකවද අතිශය වැදගත් වේ. Cognitive dissonance (ඥානාත්මක ව්යතිරේකය) නමැති න්යාය අනුව පුද්ගලයෙකුගේ අභ්යන්තර විශ්වාසයන් හා බාහිර හැසිරීම් අතර නොගැලපීමක් පවතින විට, ආතතියක් හා අධෛර්යතාවයක් මතු වේ. බොරුවෙන් ජීවත්වීම කාලයත් සමඟම මානසික ආතතියක් ඇති කරයි.
බුද්ධධර්මයේ, සම්මා වාචා (නිවැරදි වචනය) යනු අෂ්ටාංගික මාර්ගයේ අංගයකි. සත්යය පැවසීම යනු පිරිසිදු ජීවිතයකට මග විවෘත කිරීමකි. සත්‍ය වචන සමාජය තුළ විශ්වාසය සහ නීතිගරුකබව ගොඩනඟයි.
මනෝවිද්යාත්මක වශයෙන් සත්යය පැවසීම ආත්මීය සත්යතාවය (self-authenticity) හා ආත්මීය ප්රත්යක්ෂීකරණය (self-actualization) ඇතිකර මනුෂ්යයෙකුගේ ජීවිතයේ ව්යාකූලතාවය අවම කර සිතේ සමාධිය වැඩි කරයි.
2. “න කුජ්ඣෙය්‍ය” – තරහව පාලනය සහ මානසික නිදහස
තරහව යනු හැම කෙනෙකුම අත්විඳින, නමුත් පාලනය කල යුතු බලවත් ආවේගයකි. නවීන මනෝවිද්යාව අනුව, පාලනය නොකළ ආවේග—විශේෂයෙන්ම තද තරහව—මනෝසික හා ශාරීරික සෞඛ්යයට මහත් සේ හානි කරයි. එය අධික රුධිර පීඩනය, හෘදයාබාධ, සහ සමාජික ගැටුම් වලට හේතු වේ.
බුද්ධ දේශනාව අනුව තරහව යනු අකුසල මූල තුනෙන් එකකට අයත් ය. මෙය පාලනය කිරීම සඳහා මෙත්තා (මිත්රත්ත්වය) සහ උපේක්ෂාව වර්ධනය කළ යුතුය. එසේ නොකළහොත්, මානසික සෞඛ්යය පිරිහෙයි.
Dialectical Behavior Therapy (DBT) (ආචරණ ආවේග විධාන චිකිත්සාව) යන ප්රතිකාර ක්රමය තුළද තරහව පාලනය යනු ප්රධාන අංගයකි. එය න කුජ්ඣෙය්‍ය යන බුදුවදනේ අර්ථය සෘජුවම හුවා දක්වයි.
3. “දජ්ජා අප්පම්පි යාචිතො” – සුළු දානයක් වුවත් දීම සහ ආත්මය හැරීම
දානය හෙවත් දීම යනු බුදු සසුනේ ඉගැන්වෙන මූලික ප්රතිපත්තියකි. වටිනා දෙයක් දීම නොව, පිරිසිදු සිතෙන් දීම මෙහි මුල්ම තේමාවයි. ඉතා සුළු දෙයක් වුවත් පිරිසිදු හා අවංක සිතින් දෙන විට මහත් වටිනාකමක් ඇත.
මනෝවිද්යාවෙහි prosocial behavior හෙවත් සමාජහිතෛෂී හැසිරීම යන සංකල්පය මෙයට සමාන වේ.
නවීන නියුරෝවිද්යාවට අනුවද දානය සතුට ජනනය කරන්නා මෙන්ම brain reward system හෙවත් යම් අරමුණක් මුදුන් පමුණුවා ගැනීමෙන් ලැබෙන සම්මාන දිනාගත්තා යන හැඟීම ගෙන දෙයි. එම නිසා, දානය සිත් සතුට, තෘප්තිය සහ නිකේතන සබඳතාවයක් උදාකරයි.
ඉහත කී නිර්ණායක ත්රිත්වය දෛනික ජීවිතයේදී නොවරදාම සුළු වශයෙන් හෝ පුහුණු කිරීම රාත්රියෙහි සුවදායක නින්දකට සහ අවදිව සිටියදී ජීවිතය සුන්දරයි යන හැඟීම පහසුවෙන් දැනීමට පිටුබලයක් වේ.
ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි