2024-07-02

චිත්තධර්ම – 2024

# නිදන්ගත වැරදි පුරුදු (chronic bad habits)

අප සසර පුරා භවයෙන් භවයට ගෙනයන වස්තූන් (properties) තුනක් තිබේ. ඒ කර්ම, මතක සහ පුරුදු ය. ඒ අතරින් පුරුදු අපේ චරිතය කෙරෙහි ඇතිකරන බලපෑම මහත් ය. 

මෙහිදි අප සාකච්ඡා කරන්නේ නිදන්ගත තත්ත්වයට පත්වන නරක පුරුදු ගැනය. තමන්ගේත් අනුන්ගේත් යහපතට හේතුවන චරිතයට හානියක් නොකරන පුරුදු නිදන්ගත වූවාට කම් නැත. එහෙත් බහුලව නිදන්ගත වන්නේ හොඳ පුරුදු නොව නරක පුරුදු ය.

බෞද්ධ මනෝ විශ්ලේෂණයට අනුව පුරුද්දක් යනු යම් කායික හෝ මානසික ආශාවක් නිසා වරක් දෙවරක් කීපවරක් කරන දෙයක් සදා තමන්ට අවශ්‍ය යැයි සිතීමේ ප්‍රවණතාව යි. එම ප්‍රවණතාව ග්ලැසියර (glacial) තත්ත්වයට පත්වීම නිදන්ගත පුරුද්ද ලෙස හැඳින්වේ. 

නිදන්ගත නරක පුරුද්දක් ඇති පුද්ගලයා නිසැකවම මානසික සිපිරිගෙයකට වැටේ. එනම් පුරුද්දෙහි ආදීනව (consequences) දැක දැකත් එයින් මිදීමට දක්වන අකමැත්තයි. නිදන්ගත නරක පුරුද්ද දොරගුළු ලා නැති සිපිරිගෙයක් හෙවත් open cage captivity බඳුය. 

නරක පුරුද්දක් නිදන්ගත වීම සියදිවි හානිකර ගැනීමේ සංකල්පනය (suicidal ideation) දක්වා වර්ධනය විය හැකිය. නිදන්ගත නරක පුරුද්දකින් පෙළෙන කෙනෙකුට උපකාර අවශ්‍ය ය. එවැන්නෙකුට ජීවන රටාවේ වෙනසක් (lifestyle change) අවශ්‍ය බව බුද්ධාවවාදයයි. 

එම වෙනසේදි ජීවත්වන පරිසරය වෙනස් කළ නොහැකිනම් අනිවාර්යයෙන්ම ආශ්‍රය කරන පුද්ගලයන්වත් වෙනස් කළ යුතුය. 

වර්තමානයේ බොහෝ යොවුන් අය තදින්ම පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී තිබේ. එය නිදන්ගත පුරුද්දක් වූ විට එයින් මිදීමට නොහැකිව හෝ අවවාද නොරිස්සීම නිසා ඔවුන්ගෙන් සමහරෙක් සියදිවි හානිකර ගැනීමට පෙළඹේ. ඔවුන්ට සවන්දී ඔවුන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන්ගේ වටිනාකම ඒත්තු ගැන්වීමේ හැකියාව ඇති කළ්‍යාණමිත්‍රයන්ගේ ආශ්‍රය හා අවවාද ඔවුන්ට ලැබිය යුතුය. නිදන්ගත පුරුද්දක් වෙනස් කිරීම දුෂ්කර වුවද එය කළ නොහැක්කක් නොවේ.

වැඩිහිටි බොහෝ අය අතර නිතර දකින්නට ලැබෙන නිදන්ගත පුරුද්දක් නම් අනුන්ගේ සාමයට බාධාවක් වෙමින් ඕපාදූප සෙවීමේ නිරතවීමයි. ඔවුන් නිදන්ගත පුරුද්දක පිළිකා තත්ත්වයි. ඔබේ සමාජය තුළ පවතින එවන් පිළිකා ගැන ඔබ දන්නේ නම් ඔවුන්ගේ ආශ්‍රයෙන් ඈත්වීම තුළින් ඔබ ඒ තත්ත්වයට පත්වීම වළක්වාගත හැකිය. එසේ කිරීමේදි එම පිළිකාකාරකයන් ඔබ සමඟ අමනාප විය හැකිය. එසේ අමනාප වීම ආශිර්වාදයකි. 

ඔබට නිදන්ගත පුරුද්දක් තිබේ නම කළ්‍යාණමිත්‍රයෙකු සමඟ එය සාකච්ඡා කරන්න. 

– ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

24-06-01

චිත්තධර්ම 6

පලායාම සහ මුහුණදීම

මෙවර මෙම මාතෘකාව තෝරාගත්තේ බොහෝ අය වරදවා තේරුම්ගත් ඉගැන්වීමක් පැහැදිලි කිරීමටය. වසර කීපයක සිට බටහිර මනෝ චිකිත්සකයන් නිතර භාවිත කරන වචනයක් තිබේ. එනම් mental toughness හෙවත් මානසික ශක්‍යතාව යි. එය බුදුදහමේ සඳහන් වන්නේ ‘උපෙක්ඛා’/’උපේක්ෂා’ ලෙසය. එය මිනිස් කයක මානසික දිව්‍යමය ජීවිතයක් ගත කිරීමට උපකාරී වන ප්‍රතිපත්ති හතරෙන් එකකි. 

‘පලායාම’සහ ‘මුහුණදීම’ යෙදුම් මෙහිදී භාවිත කරනුයේ එම උපෙක්ඛා පැහැදිලි කිරීමටය. Mental toughness ඉතා සුන්දර වචනයක් වන අතර උපෙක්ඛා සඳහා භාවිත සාම්ප්‍රදායික ඉංග්‍රීසි වචනය නම් equanimity ය. එහි ගම්‍යාර්ථය නම් මුහුණදීමයි. එහෙත් සමහරු උපෙක්ඛා විස්තර කිරීමට indifference යන වචනය භාවිත කරති. බුදුරජාණන්වහන්සේ indifference බැහැර කළ සේක. එහි සවිස්තරාත්මක තේරුම් නම් ජීවිතයේ යථාර්ථයට මුහුණ නොදී මානසිකව පලායාමයි. එසේ පලායාම self-denial හෙවත් ආත්ම නිෂේධයට/තමන්ටම තමන් එපාවීමට හේතු වේ. ඉංග්‍රීසියෙන් එය the tendency to maintain a cold distance from the realities of life ය. එය මානසික රෝගී තත්ත්වයකි. උපෙක්ඛා යනු the tendency to maintain a warm relationship with the realities of life ය. එනම් පැමිණෙන ඕනෑම තත්ත්වයකට සක්‍රීයව මුහුණ දීමේ ප්‍රවණතාවයි. එය පෙර කී පරිදි දිව්‍යමය ප්‍රතිපත්තියකි. 

විවිධ හේතුන් මත තමන් සහ සමාජය සමඟ අමනාප වී සිටින බොහෝ අය අපට පවසා ඇත්තේ ඔවුන් උපේක්ෂාවෙන් හෙවත් යථාර්ථයට මුහුණදෙමින් ජීවත්වන බවය. එහෙත් එය යථාර්ථයට මුහුණදීමක් නොව පලායාමක් බව පැහැදිලි කරදුන් විට පිළිගත් හ. මනෝවිශ්ලේෂණය තුළින් බැලූවිට පලායාම සහ මුහුණදීම වෙන්වන්නේ සියුම් රේඛාවකිනි. එනිසා තමන් සහ ලෝකය සමඟ අමනාප වී සිටින අය තමන් උපේක්ෂාවෙන් ජීවත් වෙතැයි වරදවා වටහා ගැනීම පුදුමයක් නොවේ. මුහුණදීම skill/competence හෙවත් කුසලයකි/හැකියාවකි. පලායාම incompetence හෙවත් අකුසලයකි/අසමත්වීමකි. භික්ෂුභික්ෂුණීන් සදාකාලිකව වනගතව හෝ සමාජයෙන් ඈත් වී සිටිය යුතු යැයි නීතියක් පනවන ලෙසට දේවදත්ත ඉල්ලා සිටිවිට බුදුරජාණන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළේ ප්‍රශ්නයට හේතුව සමාජය හෝ ලෝකය නොව සිත බව නිසාය. ගිහි වුවද පැවිදි වුවද අප කාගේත් ශක්‍යතාව විය යුත්තේ ලෝකය සමඟ හැකිතරම් දුරට නොගැටෙමින් ලෝකයේ ජීවත්වීමය. පසුගිය කලාපයේ ඔබ කියවූ wish fantasies පිළිබඳ ලිපියෙහි කරුණු මෙහිලා අදාළ කරගන්න. 

ලෝකය/සමාජය පිළිබඳ බෞද්ධ නිර්වචනය නම් ‘ලුජ්ජති පලුජ්ජතී’ති ලෝකෝ’ ය. එනම් මොහොතක් තුළ කැඩී බිඳී සුණුවිසුණු වී යන දෙය ලෝකයයි. බුද්ධ දේශනාව අනුව ලෝකය යනු භෞතික ලෝකය නොව එම භෞතික ලෝකය මත පදනම් ද අප සංකල්ප තුළින් මවා ගත් අපේම මානසික ලෝකයයි.

අප විසින්ම ගොඩ නගාගත් දෙයක වින්දිතයන් නොවී විඳවීම නවතා විඳිමු.

– ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

24-05-04

දශක දෙකකට උරුමකම් කියන ලෙච්වර්ත් පන්සල

ජීවිතේ සැළසුමක් ඇතුව බොහෝ දේ කරන කියන අපි එක්තරා සැළසුමක ප්‍රතිඵලයක් විදියට එක්සත්

රාජධානියේ පය තියනවා. මේ එක්සත් රාජධානියේ වෙසෙන තවත් පිරිසකගේ සැළසුමකට අනුව

ඩිජිටල් මාධ්‍යකරණයේ ප්‍රතිඵලයක් විදියට අපි මැගසිනය ඉදිරියේ මේ විදියට ඔබත් මමත් මුණ

ගැහෙනවා, ගොඩක් සැළසුම් සාර්ථක වෙනවා තවත් සැළසුම් අසාර්ථක වෙලා ජීවිතේ අලුත්

සැළසුමකට පාර කපනවා. ඒකත් එතැන් පටන් තවත් එක් සැළසුමක් , නමුත් මේ විදියට ගෙවෙන

ජීවිතේ කිසිම විදියකට සැළසුම් කර ගන්නට බැරි ගමනක් ඔබටත් මටත් දවසක මුණගැහෙනවා,ඒ බව

අපි කවුරුත් හොඳටම දන්නවා. නමුත් කණගාටුවට කරුණ නම් සෑම සියලු දේම සැළසුම් කරන ඔබට

මට මේ යන්න තියෙන ගමන අමතක වෙන එක. මේ ගමන යන්න කොයිතරම් දුරට අපි සූදානම්ද

කියලා එක නිමේෂයක නැවතිලා හිතන්න අපිට අතපසු වෙන එක. ශ්‍රී ලාංකික බෞද්ධ පිරිසට නිතර

දෙවේලේ දකින්න ලැබෙන වෙහෙර විහාර කන ගැටෙන පිරිත් සූත්‍ර දාන ගෙවල් ධර්ම දේශනා අපිට

අතපසු වෙන්නේ ඔබත් මමත් අපේ මව්බිමෙන් එන්නට තීරණය කරමින් ගත් සැළසුමේ ප්‍රතිඵලයක්

විදියට. නමුත් ආගම දහමින් තොරව ගෙවන ජීවිතය තුළ ඔබ ලබන තාවකාලික සතුට ඔබේ මුදල්

පසුම්බියට නෙමෙයි මනසට කොතරම් දුරට සහනයක්ද කියලා හිතන්න එක ලොකු හුස්මක් ඉහළට

අරං පහළට දාන වෙලාවත් ප්‍රමාණවත්.

ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව වෙනුවෙන් සුවිශාල සේවයක් කෙරෙන වසර විසි හතරක

ඉතිහාසයකට උරුමකම් කියන ලෙච්වර්ත් පන්සල එදා ආරම්භයේ පටන් අද වන තුරුත් බොහෝ

වැඩසටහන් සංවිධානය කරමින් තරුණ මහළු ලොකු කුඩා සියලු බොදු ලක් වැසියන්ට ඉමහත්

සේවයක් සළසනවා.ලෙච්වර්ත් පන්සල ගැන තවත් අසා දැනගන්නට අවැසි වූ අපි මැගසිනයට

මෙලෙස අදහස් දැක්වූයේ විහාරාධිකාරි විශ්ව දහම්පාසලේ ප්‍රධාන ආචාර්ය පූජ්‍යපාද සූරියවැව

කුසල හිමි.

අවසරයි ස්වාමීන්වහන්ස, ලෙච්වර්ත් පන්සල ආරම්භය ගැන අපි මතක් කරොත්?

බෞද්ධ ප්‍රජා මධ්‍යස්ථානයක් විදියට Letchworth පන්සල 2001 ජූලි 29 වන දින ආරම්භ කරල

තියෙනවා. එංගලන්ත සහ වේල්ස් පුණ්‍යායතන කොමිෂන් සභාවේ ලියාපදිංචි කරලා තියෙන

පුණ්‍යායතනයක් විදියට තමයි අපේ පන්සල මෙහෙ ලියාපදිංචි කරලා තියෙන්නෙ. පුණ්‍යායතනයක්

කියන්නේ ලාභ නොලබන ආයතනයක්,

අද වෙද්දි එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවුල් 500කට අධික පිරිසක් එක තැනකට

එකතු කරගෙන ක්‍රියාකාරී පන්සලක් විදියට දියුණු වෙලා තියෙනවා. අපේ දැක්ම තමයි එක්සත්

රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට සහ දේශීය පාසල් ඇතුළු ප්‍රාදේශීය ප්‍රජාවට ආගමික,

භක්තිමත් සහ සංස්කෘතික ක්‍රියාකාරකම් සමඟින් සේවය කරන්න.

වැඩිහිටි බැතිමතුන් වගේම කුඩා දරුවන් අරමුණු කරගෙන මේ වෙද්දි මොනාද පන්සල මගින්

පැවැත්වෙන වැඩසටහන් ?

අපේ ආගමික හා භක්ති කටයුතු සිදු කරනු ලබන්නේ නේවාසික භික්ෂූන් වහන්සේලා විසින්. නායක

හාමුදුරුවෝ තමයි දෙදියවල විමල හාමුදුරුවෝ . විශ්ව දහම්පාසල් ප්‍රධාන ආචාර්ය විදියට මම

කටයුතු කරනවා. නේවාසික භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා පරිදි කළමනාකරණ කමිටුව මගින්

සංස්කෘතික කටයුතු සංවිධානය කරනවා.

අවුරුද්ද පුරාම සතියේ දින හතේම උදේ 7.00 සිට රාත්‍රී 9.00 දක්වා මහජනතාවට විවෘතයි. උදේ

ආහාරය සහ දිවා ආහාරය ඇතුළු ආහාර පිරිනැමීමට සැදැහැවතුන් භික්ෂූන් වහන්සේ වෙත පැමිණෙන

අතර භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේට පුද පූජා පවත්වමින් බැතිමතුන්ට පින් අනුමෝදන්

කරනවා. වරින් වර, ප්‍රාදේශීය පාසල්වල ගුරුවරුන් පන්තිය සමඟ චාරිකා සංවිධානය කරගෙන

එනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනි කුඩා දරුවන් වෙනුවෙන් වයස අනුව බෙදා වෙන් කරපු පන්ති

පැවැත්වෙනවා. මේ දරුවන්ට දහම අවබෝධ කර දෙන්න අපි ඒ ඒ දරුවන් ගේ වයසට ගැළපෙන

පන්තියට යොමු කරනවා. උපරිම සරල තැනේ පටන් සංකීර්ණ දහම් කරුණු අවබෝධ කර ගන්න

පුළුවන් විදියට දරුවන්ව ඒ ඒ පන්ති වලට යොමු කරනවා. ඒ වගේම zoom තාක්ෂණයත් එක්ක

පවත්වන විශේෂ දේශනයට දරුවන් ඉතාම කැමැත්තෙන් සහභාගී වෙනවා. මේ දේශනයේදී එක් එක්

මාතෘකාවට අදාල කරුණු සාකච්ඡා කරන්නට ඒ ගැන විශේෂ දැනුමක් ඇති ආරාධිත දේශකයන් සහභාගි

වෙනවා.

බෞද්ධ හා සංස්කෘතික ඉගැන්වීම් ඉගෙන ගැනීමට දරුවන්ට හෝ බෞද්ධ පිළිවෙත පිළිබඳ දේශන

පැවැත්වීමට භික්ෂූන් වහන්සේලාට පාසල්වලට ආරාධනා කරනවා. මගේ ප්‍රධානත්වයෙන් මාසයේ

සෑම ඉරිදා දිනවල දහම් පාසල පැවැත්වෙනවා. මේ දහම්පාසලට අමතරව සිංහල භාෂාව ඉගැන්වීමේ

පන්තියක්ද දරුවන් වෙනුවෙන් පවත්වනවා. දහම්පාසල උදෑසන 8 සිට 10 දක්වාත් සිංහල පන්තිය

සවස 5 සිට 6 දක්වා පැවැත්වෙනවා. දහම්පාසලත් සිංහල පන්තියත් මාර්ගගත ක්‍රමයට

පැවැත්වෙන නිසාම සෑම දරුවෙක්ටම ඉතාම පහසුවෙන් සම්බන්ධවීමේ හැකියාව තියෙනවා.

සෑම වර්ෂයක් පාසාම මැයි, ජුනි සහ ඔක්තෝබර් මාසවල ප්‍රධාන ආගමික උත්සව තුනක් තියෙනවා.

මේවා ලෙච්වර්ත් පල්ලියේ ශාලා වලත් පාසල් වල ප්‍රධාන ශාලාවන් වල පැවැත්වෙනවා.

සාමාන්‍යයෙන් පන්සීය ඉක්මවා විශාල පිරිසක් අපිත් එක්ක මේ දේවල් වලට එකතු වෙනවා.

සංස්කෘතික උත්සව විදියට පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකා නිදහස් දිනය සහ අප්‍රේල් මාසයේ

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අපි සමරනවා. භික්ෂූන් වහන්සේ විසින් සතිපතා භාවනා සැසි

පවත්වමින් ධර්මය හා යහපත් ජීවිතයක් ගත කිරීමට මගපෙන්වීම ලබා දෙනවා. මේ වැඩසටහන්

සියල්ල ඔබ සැමට විවෘතයි.

මාසික පෝය අරමුණු කරගෙන ආසන්නම සෙනසුරාදා දිනය අපි සීල භාවනා වැඩසටහන්

පැවැත්වෙනවා.

විශේෂයෙන් මතක් කරන්න ඕනි දරුවන්ගේ විභාග කාලවකවානු වලදී ඔවුන්ට අවශ්‍ය මානසික සුවය

සළසාලමින් ඔවුන්ගේ මානසික ආතතියෙන් ඔවුන් මුදවා ගන්නට ඔවුන්ගේ මානසික ශක්තිය වර්ධනය

කර ගන්නට බෞද්ධ භාවනා ක්‍රම උපයෝගී කරගනිමින් මේ වැඩසටහන් සිදු කරනවා.

පන්සලේ බැතිමතුන්ගෙන් ලැබෙන සහයෝගයත් ඉදිරියේදී පන්සලේ කටයුතු පිළිබඳ මොනවගේ

සැළසුම්ද තියෙන්නේ කියලා මතක් කරොත්?

අපේ පන්සලේ ඉතිහාසයේ ඉදන් බලපුවම මේ රටේ විතරක් නෙමෙයි අපි ලංකාවේ නොයෙක් ආපදා

තත්ව හමුවේ අපේම ජනතාවට සහන සළසන්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපිට හැකි පමණින්

ඔවුන්ට උදව් උපකාර කරන්නට පෙළඹුණ ඉතිහාසයක් අපිට තියෙනවා. ඉදිරියටත් ඕනෑන අවස්ථාවක

එවැනි සත්ක්‍රියාවන් වෙනුවෙන් අපි සැදී පැහැදී ඉන්නවා.

විහාරස්ථානයේ කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන් ලොකු කාර්යභාරයක් කරන්නේ අපේ

බැතිමතුන් ,අපිත් පන්සලේ සියලු කටයුතුත් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ පන්සලට අනුබද්ධ

බැතිමතුන් ඔවුන්ගේ බැංකු හරහා මාසිකව ලබා දෙන දායක මුදල් මත. ඉඳහිට, සමහර බැතිමතුන්

පන්සල් බැංකු ගිණුමට අරමුදල් මාරු කිරීම හෝ වියදම් පියවා ගැනීම සඳහා Buddhist

Commiunity Center Letchworth වෙත ගෙවිය යුතු චෙක්පත් මගින් අරමුදල් පරිත්‍යාග කරනවා.

මීට අමතරව, සංවිධානය කරනු ලබන ආගමික හා සංස්කෘතික උත්සව සඳහා වසර තුළ අරමුදල් රැස්

කරනවා.අපිට කළමනාකරණ කමිටුවක් ඉන්නවා. මේ සාමාජිකයින් විසින් සෑම වසර තුනකට වරක්

මහා සභා රැස්වීමේදී කමිටුවේ සාමාජිකයින් පත් කර ගන්නවා. විහාරස්ථානයේ එදිනෙදා නඩත්තු

කටයුතු, ආදායම් වියදම් කළමනාකරණය සහ වාර්ෂිකව පුණ්‍යාධාර කොමිෂන් සභාවට වාර්තා කිරීම

කමිටු සාමාජිකයින්ගේ වගකීම. මේ කරගෙන යන වැඩසටහන් ඒ විදියටම දිගටම ලාංකික බෞද්ධ

ජනතාව වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඔබ වහන්සේට මොනවගේ පණිවිඩයක්ද අපිත් එක්ක එකතිවෙලා ඉන්න පිරිසට අවසාන වශයෙන්

මතක් කරන්න තියෙන්නෙ?

අපි මේ පන්සල් වලින් සංවිධානය කරන වැඩසටහන් වලට සහභාගී වෙලා තමන්ගේ දරුවන්වත්

සහභාගී කරවමින් යහපත් මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය මානසික සුවය සළසා ගන්න කියලා

මතක් කරන්න කැමතී. අපිට අවශ්‍ය දැනුම ආකල්ප කුසලතා යන සියල්ලෙන්ම පරිපූර්ණ ගුණගරුක

දරුකැලක් නිර්මාණය කරලා සමාජයට දායාද කරන්න.මේ සෑම වැඩසටහනක්ම සංවිධානය කරන්න ඒ

අය වෙනුවෙන්.

මේ වර්ෂයේදීත් අපි සංවිධානය කළ අවුරුදු උත්සවය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අති

සාර්ථකව නිම කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් සමග සියලු

දෙනාටම එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.

අපි මැගසින් එක ගැන ඔබ වහන්සේට මොනවගේ අදහසක්ද තියෙන්නේ?

ලංකාවේ ගොඩක් දෙනෙක් දැං මෙහෙට ඇටිත් ඉන්නවා. ඩිජිටල් මාධ්‍ය හරහා මේ අය එක තැනකට

එකතු කර ගන්න එක තොරතුරු සන්නිවේදනයට ඉතාම හොඳ මාධ්‍යක් විදියට මම දකිනවා.

හැමෝටම පහසුවෙන් බලන්න පුළුවන් අලුත් දේවල් දැනගන්න ලැබෙන ඉතාම හොඳ කටයුත්තක් තමයි

ඔයාලා එකතුවෙලා කරන්නේ. ඉදිරියටත් කරගෙන යන්න අපි ආශිර්වාද කරනවා.

කේෂි රාජපක්ෂ .

24-05-02

චිත්තධර්ම 2024 

රෝගයක අනවශ්‍ය වේදනාව නසන අයුරු:

(How to remove the unnecessary pain of a disease)

මෙම මනෝ විග්‍රහය කිරීමට තීරණය කළේ රටවල් ගණනාවක විවිධ රෝගීන්ට ලබාදුන් බෞද්ධ සාර්ව මනෝවිද්‍යාත්මක විසඳුම් (Buddhist holistic psychological remedies) පාදක කරගෙන ය. රෝගය කුමක් වුවත් එය ඇතිබව පිළිගැනීම බුදුදහම ලබාදෙන විසඳුමේ මුල්ම පියවරයි. එය self-acceptance හෙවත් තමන්ගේ පවතින තත්ත්වයෙහි ස්වභාවය පිළිගැනීමයි.   තව දුරටත් පැහැදිලි කරන්නේ නම් එය පාලි භාෂාවෙන් ‘අභිණ්හ පච්චවෙක්ඛණ’ හෙවත් ‘නිරන්තර ආත්ම ආවර්ජනය’ (constant self-reflection) ලෙස හැඳින්වේ. 

රෝගයක අනවශ්‍ය වේදනාව යනුවෙන් දෙයක් නැතිබව කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් සැබවින්ම එබන්දක් තිබේ. අපට ස්වභායෙන්ම උරුම වූ මගේ යැයි අල්ලාගැනීමේ සහජ ප්‍රවණතාව (innate subjective tendency) නිසා අප කරන්නේ සුන්දර දේ මෙන්ම අසුන්දර දේ ද මුලින්ම අල්ලා ගැනීමයි. උදෑසනම අසූචි ගොඩක් දුටුවිට දවස පුරාම ඒ ගැන සිතන්නේ දොස් නගන්නේ අසුන්දර දේ සම්බන්ධයෙන්ද මුලින්ම සිදුකරන්නේ අල්ලා ගැනීම නිසාය. අල්ලා ගත්විට එයින් මිදීමට අමාරුය. රෝග ගැනද කිවයුත්තේ එයයි.

ලෙඩවීම ස්වභාවිකය. එහෙත් තමන් කෙරෙහි තමන් තුළ ඇති ගැඹුරු බැඳීම නිසා ලෙඩ වුවද ලෙඩක් නැතිබව අනුන්ට මෙන්ම තමන්ටද ඒත්තු ගැන්වීමට බොහෝදෙනා උත්සාහ කරති. එම උත්සාහය තමන් තුළ ප්‍රතිරෝධයක් හෙවත් self-resistance (ආත්ම ප්‍රතිරෝධය) නිර්මාණය කරයි. මුලින් කී self-acceptance බුදුරජාණන්වහන්සේ විසින් අනුදැන වදාළේ ඒ තුළින් ආත්ම ප්‍රතිරෝධය බිඳ දැමිය හැකි නිසාය. තමන්ට අසනීපයක් වූ විට මුලින්ම ඇතිවන්නේ බියකි. දෙවනුව තරහකි. බිය සහ තරහ දෙකම අපේ සිතේ එක් මූලයක් (drive) වන ද්වේෂ මූලය (drive of anger) තුළින් හටගනී. බිය සහ තරහව තම රෝගය ගැන වේදනාවක් ඇතිකරයි. එම වේදනාව සැබෑ රෝගයේ කොටසක් නොව චිත්තවේගාත්මක එකතුකිරීමක් හෙවත් emotional addition ය. මාතෘකාවේදී අනවශ්‍ය වේදනාව යනුවෙන් අප අදහස් කළේ එම චිත්තවේගාත්මක එකතුකිරීමයි. 

කෙලෙස් සපුරා ස්ථිරවම නැති කළ බුදු, පසේබුදු, මහ රහතුන්ගේ කය ලෙඩ වේ. ඒ ලෙඩ නිසා වේදනාව දැනේ. එහෙත් උන්වහන්සේලා ඒ පිළිබඳව සිදුකරන ප්‍රකාශය ඉතා සුන්දරය. එනම් ‘කය දුකෙහි ය, හිත සමාධියෙහි ය (The body is suffering, but the mind is at peace). ඒ උන්වහන්සේලා සැබෑ රෝගයද සිතින් අල්ලා නොගත් නිසාය. එනිසා අප මෙහි සඳහන් කරන emotional addition උන්වහන්සේලාට අදාළම නොවේ. සැබෑ රෝගයේ වේදනාව උන්වහන්සේලාගේ සමාධියට සමාන්තරව පවතින අතර එයින් සමාධියට බාධා නොවේ. 

පෘථග්ජන අපට පෙර කී emotional addition වළක්වා ගැනීමට ලොකු ආධ්‍යාත්මික ශක්තියක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ලෙඩ වූ විට ලෙඩ බව පිළිගෙන එයට පිළියම් කිරීමය. රෝගය සම්පූර්ණයෙන්ම සුව වුවද තවමත් ඒ ගැන හිතෙන් දුක්වන බොහෝ අය මට හමුවී තිබේ. එහිදි එය සැබෑ රෝගයක් නොව සුවවූ රෝගය පදනම් කරගෙන මනෝමය ලෙස ඇතිකර ගත් අනවශ්‍ය දෙයකි. රෝගයක් පවතින අවස්ථාවේදීත් එය සුවවූ පසුවත් චිත්තවේගාත්මකම ඒ පිළිබඳව දොම්නස් වීම අනවශ්‍ය බැඳීම් ය. 

ඉහත කී ආත්ම ප්‍රතිරෝධය පාලි භාෂාවෙන් ‘පටිඝ,’ ‘පටිඝ සඤ්ඤා’ ලෙස හැඳින්වේ. එය තරහවේ සියුම්ම ප්‍රභේදයයි. බොහෝ අය ජීවිතයේ ප්‍රතිපත්තිය කරගෙන ඇත්තේ පටිඝය යි.

ලෙඩ වූ විට ඒ බව පිළිගන්න. සුවපත් වෙන්න. සියල්ලම අස්ථිර බව දැනගෙන සතුටින් ජීවත් වෙන්න.

-ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

චිත්තධර්ම 2024 

චිත්තධර්ම 2024 

ප්‍රාර්ථනීය මනඃකල්පිතයේ උගුල

(toil of wish fantasies) 

ආත්මාවබෝධය (self-realization) බුදුදහමේ පර්මාර්ථයයි. එය ආධ්‍යාත්මික වචනයෙන් ‘නිබ්බාණ/නිර්වාණ’ ලෙස හැඳින්වේ. සරල සිංහලෙන් එය ‘නිවීම’ යි. එම පරමාර්ථය දුෂ්කර වන්නේ නිතර අපේ සන්තානය (psyche) පරිළාහ/පරිදාහ තත්ත්වයට ලක්වන නිසාය. ‘පරි’ යනු හාත්පසින්ම හෙවත් all possible ways ය. ‘දාහ/ළාහ’ යනු දැවීම/පිච්චීම හෙවත් burning ය. සමස්ථ වචනයේ සරල තේරුම හාත්පසින්ම ජීවිතය පිච්චෙන්නාක් මෙන් දැනීමය. 

එම දැවීමට එක ප්‍රබල හේතුවක් නම් wish fantasies හෙවත් ප්‍රාර්ථනා මත මවාගත් කල්පිත ය. Wish fantasies පිළිබඳව සවිස්තරව ඉගැන්වෙන්නේ පාලි (ථේරවාද) සූත්‍ර පිටකයේ සච්චවිභංග සූත්‍රයේ ය. උපත, ලෙඩ රෝග, වයසට යාම, ආදරණීයයන් අහිමි වීම, අප්‍රිය අය සමඟ විසීමට සිදුවීම ආදි හේතු නිසා මිනිසා අපේක්ෂා භංගත්වයට පත් වේ. පෙනෙන දැනෙන ලෝකය තුළ එම අපේක්ෂා භංගත්වයට විසඳුමක් නොපෙනෙන විට මිනිසා සිතින් මවාගත් කල්පිතය හෙවත් fantasy තුළ ජීවත්වීමට පෙළඹේ. එම කල්පිත පවතින්නේ ප්‍රාර්ථනා නිසාය. එනිසා ය එම මනෝභාව wish fantasies ලෙස හැඳින්වෙන්නේ. 

මහා ජයමංගල ගාථාවන්හි තථාගත ශ්‍රී සද්ධර්මය හැඳිවෙන්නේ ‘පරිළාවූපසමනං ධම්මතේජේන සොත්ථිනා’ ලෙසය. එනම් පෙර කී දැවීමට විසඳුම වන්නේ ධම්ම/ධර්ම ය. ධර්මය විපත වලක්වා ජීවිතය තේජස්වී හෙවත් අලංකාර (glorify) කරයි.

කෙසේවුවද සච්චවිභංග සූත්‍රයේ ඉගැන්වෙන පරිදි wish fantasies විසඳුමක් නොව උගුලක් බව තේරුමගත යුතුය. සච්චවිභංග සූත්‍රයේ සවිස්තරව ඉගැන්වෙන්නේ බුදුරජාණන්වහන්සේගේ මුල්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රයේ කෙටියෙන් කළ  චතුරාර්‍ය සත්‍යය ය. සත්‍යය එකකි. එහෙත් එය හතරක් ලෙස දැක්වේ. එනම් දුක, එහි හේතුව හෙවත් පිපාසය (thirst, තෘෂ්ණා), විසඳුම හෙවත් පූර්ණ නිවීම/නිර්වාණ සහ එම පූර්ණ නිවීමට මඟ ය. සත්‍යය හතරක් ලෙස දැක්වෙන්නේ සැබවින්ම එය දෙකක් වන නිසාය. එනම් ප්‍රශ්නය (problem) සහ විසඳුම (solution) ය. ප්‍රශ්නයට හේතුව ප්‍රශ්නයේම කොටසකි. එ නිසා දෙකම ප්‍රශ්නය පිළිබඳවය. විසඳුමට මඟ විසඳුමේම කොටසකි. ඒ අනුව ප්‍රශ්නය සහ ඒ පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍ය ය. 

බොහෝ අය ප්‍රශ්නයට මුහුණදීමට බියක් දක්වති. Wish fantasies ප්‍රශ්නය තවත් අවුල් කරවයි. එය විශාදය (depression) ආදි මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ලැබිය යුතු මට්ටම දක්වා තීව්‍ර විය හැකිය. විෂාදය ඇති තැනැත්තා එය අස්වැසිල්ල (solace) ලෙස දකියි. එ නිසාම එය උගුල බවට පත් වේ. බුද්ධ දේශනාවට අනුව සර්වශුභවාදය (optimism) තාවකාලික අස්වැසිල්ලක් ගෙනෙන අතර දීර්ඝකාලීනව උගුල කි. සර්වාශුභවාදයෙන් (pessimism) මිදීමට පමණක් එය උපකාරී වේ. කල් නොයවා එම සර්වශුභවාදය යථාර්ථවාදයට හෙවත් realism බවට හරවා ගත යුතුය. 

තමන්ට එය තනියම කරගැනීමට අපහසු නම් කළ්‍යාණමිත්‍රයෙකුගේ හෙවත් කාරුණික සවන්දෙන අයෙකුගේ ආශ්‍රය අවශ්‍ය ය. මුලින්ම කී රෝග, වයසට යාම, ආදරණීයයන් අහිමි වීම ආදිය නොවැළක්විය හැකි ජීවිත යථාර්ථයන් නම් ඒ දේ ප්‍රාර්ථනාවෙන් විසඳිය නොහැකිය. යථාර්ථවාදී වීම තිත්ත කසායක් බඳු වුවද එය දීර්ඝකාලීනව ප්‍රශ්නයට විසඳුම ගෙනෙයි. 

ජීවිතය අමිල, සුන්දර ත්‍යාගයකි. Wish fantasies නිසා එය උගුලට හසු නොකරන්න.

-ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

චිත්තධර්ම

තණබිම සහ විලෝපියා pasture and predator)

මෙවර චිත්තධර්ම විග්‍රහය සඳහා අප යොදාගන්නා ප්‍රධාන වචනය ‘ගෝචර’ ය. යමක් ගෝචර වෙනවා යනු යමක් අල්ලා ගැනීමයි. තවත් සරලව කිවහොත් තේරුම් ගැනීමයි. ‘ගෝ’ යනු ගවයා ය. ‘චර’ යනු හැසිරීමයි. ගවයාගේ හැසිරීම ගෝචර වේ. ගවයා හැසිරෙන්නේ තමන්ට ආහාර හෙවත් තණකොළ තියෙන තැනක ය. ඒ අනුව ගෝචර යන්නෙහි සරල තේරුම ගවයාගේ තණබිම හෙවත් cow’s grazing හෙවත් pasture ය. ගෝචර සිංහලෙන් ‘ගොදුර’ ය. 

ගෝචර බුද්ධ ධර්මයෙහි නිතර භාවිත වේ. ඒ අප අත්දකින දේවල්වලට ඇලීම හෙවත් ඇසින් කණින් නාසයෙන් දිවෙන් හා හමෙන් (සිරුරෙන්) අත්දකින රූප ශබ්ද ගන්ධ රස සහ පහස යන පංච කාම සම්පතට ඇලීමයි. ගෝචර සඳහා සරල ඉංග්‍රීසි වචනයක් නම් grasping ය. 

ගවයෙක් රස තණකොළ ඇති බිමක් හමුවූ විට එයට වශී වේ. ගතවන කාලය ගැන නොතකා ස්වභාවයෙන්ම ලැබුණු විනාශ නොවී ජීවත්වීම සඳහා සහජයෙන් ලැබුනු බුද්ධිය හෙවත් natural instincts of survival භාවිත කිරීම අමතක වන තරමට ගවයා තණකොළට වශීවූ විට වන ලැහැබක සැඟවී ගවයා මරා කෑමට මාන බලන කොටියෙකු සිංහයෙකු වැනි විලෝපියෙකු (predator) ගැන ඌට ඉව අමතක වී එම විලෝපියාගේ ගොදුර (prey) බවට ගවයා පත්වේ. ගොදුරු සොයා යන ගවයා ගොදුරක් බවට පත්වේ.

සෑම මොහොතකම අප ඇසෙන් කණින් නාසයෙන් දිවෙන් හා හමෙන් කරන්නේ ගොදුරු හෙවත් ගෝචර සෙවීමය. බොහෝ දෙනා එම ගොදුරු සෙවීමේදී තවත් පුද්ගලයෙකු ගේ හෝ සමූහයකගේ හෝ ආයතනයක/පද්ධතියක ගොදුරක් බවට පත්වේ. 

පැවැත්මේදී තිරිසන් සතුන් නිතර භාවිත කරන්නේ සහජ බුද්ධිය (natural instincts) සහ තරමක් දුරට මතකයේ රැඳුනු පෙර අත්දැකීම් (prior experience) වුවත් මානව සත්ත්වයාට ඒ දෙකට අමතරව වෙනස් සතුන්ට නැති හැකියාවක් වන අපෝහන ශක්තිය (power of reasoning) තිබේ. අප ‘මනුස්ස’ නමින් හැඳින්වෙන්නේ මෙම අපෝහන ශක්තිය නිසාය. 

එහෙත් ගොදුරු සොයන්නට ගොස් ගොදුරක් වී පැවැත්මේ නාමයෙන් විනාශ වන මිනිසුන් බොහෝ ඇත. එම විනාශයෙන් බේරීමට නම් අප අපගේ චර්‍යාවේදී ඥානාන්විත විය යුතුය. බුද්ධ දේශනාවේ එම ඥානය හැඳින්වෙන්නේ ‘ගෝචර ඤාණ’ ලෙසය. එය සාමාන්‍ය දෛනික ජීවිතයේදී මෙන්ම ආධ්‍යාත්මික ජීවිතයේදී ද අපට අවශ්‍ය ය. ඒ විනාශය සඳහා ගතවන්නේ මොහොතක් පමණ නිසාය. නිවන් දකින මොහොත දක්වාම ගෝචර ඤාණ අපට අවශ්‍යය. 

ප්‍රේම සබඳතා, විවාහ තීරණ, ව්‍යාපාරික ආයෝජන, දේපළ විකිණීම් හා මිලට ගැනීම්, අධ්‍යාපන ඉලක්ක ආදි ජීවිතයේ සියළු ආකාරයේ ගෝචර සපුරාගැනීමේදී අප තව කෙනෙකුගේ හෝ දෙයක ගෝචරයක් (ගොදුරක්) වේ දැයි කල්පනාකාරී විය යුතුය.  

ආශාවන් ස්වභාවික ය. එහෙත් ආශා සන්තර්පණයේදී තණකොළට වශීවූ ගවයෙකු මෙන් නොවිය යුතුය.

ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

2024-Feb-03

චිත්තධර්ම-2024 #2 – නොහික්මුණු අශ්වාරෝහකයා – (Undisciplined charioteer)

ක්ෂණික කෝපය නිසා තත්ත්වයෙන් පිරිහුනු ලෝක නායකයක් ආගමික නායකයන් සමාජ ක්‍රියාකාරීන් ව්‍යාපාරිකයන් මව්පියන් ආදි විවිධ පුද්ගලයන් ගැන ඔබ අසා ඇත. කෙනෙකු ඒ තත්ත්වයට පත් වන්නේ තිබිය යුතුම දෙයක් නොතිබීම නිසාය. එනම් තරහව පාලනය කර ගැනීමේ හැකියාවයි. එය සුවිශේෂී කුසලතාවක් (extraordinary skill) ලෙස ධර්මයේ ඉගැන්වේ. 

තරහව විවිධ ප්‍රභේදවලින් යුක්තය. ඒ සියළු ප්‍රභේද ඇතිවන්නේ අප උපතින්ම උරුම කරගත් හෙවත් සහජ නාස්තික මානසික ප්‍රවණතා ඇති කරන මූල (innate drives of negative mental mental tendencies) තුනෙන් එකක් වන දෝසමූල (drive of anger) තුළිනි. තමන්ටත් තේරුම්ගත නොහැකි තරමට සියුම් තරහව පටිඝ සඤ්ඤා (sense of resistance) ලෙස හැඳින්වේ. සාමාන්‍ය තරහව ( normal anger) දෛනික ජීවිතයේදී කාටත් ඇතිවිය හැකිය. වෛරය (hatred) සසර බොහෝ කාලයක් සතුරන් සම්බන්ධයෙන් පවතින තරහව යි. අනුන් විනාශ වේවා යැයි පැතීම ව්‍යාපාද (ill-will) ය. මේ හැම තරහ ප්‍රභේදයකටම වඩා විනාශකාරි වන්නේ කෝධ/ක්‍රෝධ හෙවත් ක්ෂණිකව ඇතිවන තරහව (sudden burst of anger) ය. 

බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයේ 222 වෙනි ගාථාවට අනුව සමාජශීලී සත්ත්වයන් වන අප වඩාත්ම කල්පනාකාරී විය යුත්තේ ක්‍රෝධය පිළිබඳවය. ක්‍රෝධය එම ගාථාවේදි බුදුරජාණන්වහන්සේ සසඳන්නේ අශ්වාරෝහකයෙකුටය. එම ගාථාව මෙසේය.

යෝ වේ උප්පතිතං කෝධං

රථං භන්තං ව ධාරයේ

තම’හං සාරථිං බෲමි

රස්මිග්ගහො ඉතරෝ ජනෝ

අශ්ව කරත්තයේ වේගය සහ සමබරතාව පාලනය කරගැනිමට සමත් අශ්වාරෝහකයා (සාරථී) සැබෑ දක්ෂයෙකි. ක්‍රෝධය පාලනය කරගැනීමට සමත් පුද්ගලයා එවන් අශ්වාරෝහකයෙක් වැනිය. කරත්තයේ තත්ත්වය සහ අශ්වයාගේ තත්ත්වය මැනවින් තේරුම් ගෙන ධාවනය කිරීම දක්ෂ අශ්වාරෝහකයාගේ ලක්ෂණයි. එය ඔහුට ලැබෙන්නේ හික්මීම (training) තුළිනි. හික්මීම නොලැබූ අශ්වාරෝහකයන් හුදෙක් තෝන් ලනුව (reins) අල්ලාවෙන සිටීමට පමණක් දන්නා අය වේ. නොහික්මුණු අශ්වාරෝහකයා නිසා තමන්ද අශ්වයාද කරත්තයද විනාශය කරා ගෙනයාමට ඉඩ තිබේ. මෙම අශ්වාරෝහක උපමිතිය (charioteer analogy) අප ජීවන ගමන තුළ තිබිය යුතු සමබරතාවට හානි කරන ක්‍රෝධය ගැන ය. 

ලොව පුරා සිදුවන අපරාධ බොහෝමයක් ක්‍රෝධය මුල් වීමෙනි. කොතරම් කාර්‍යබහුල වුවත් තමන්ගේ සිතේ සාමය වෙනුවෙන් දෛනිකව කාලය වෙන් කරගෙන සමාධිගත වීම සහ කතාව අඩුකර තමන් ආශ්‍රය කරන්නවුන්ට සවන් දීමට ඉගෙන ගැනීම ඔබව දක්ෂ අශ්වාරෝහකයකු බවට පත් කරයි.

-ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

2024 – Jan – 02

චිත්තධර්ම

විස පෙවූ හීය (poisoned arrow):

ඔබත් ප්‍රායෝගික ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් සෙවීම පසෙක තබා දාර්ශනික තර්ක විතර්කවල යෙදෙන අයෙක් ද? ඔබ එසේ නොවුනත් එසේ හැසිරෙන අය පිළිබඳව ඔබ දන්නවා වෙන්නට පුළුවන. මෙම විස පෙවූ හීය පිළිබඳ බෞද්ධ මනෝ විශ්ලේෂණය එවන් හැසිරීම සහිත අය වෙනුවෙනි. 

විස පෙවූ හීය පිළිබඳව උපදේශ කථාව සඳහන් වන්නේ මජ්ඣිම නිකායේ චූල මාලුන්ක්‍ය සූත්‍රයේ ය. ඒ සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ වදාළේ ජීවිත ගැටළු සඳහා ගතයුතු ප්‍රවේශය විය යුත්තේ  ප්‍රායෝගික ප්‍රවේශය (pragmatic approach) මිස පාරභෞතික හෙවත් ලොවෙත් නැති ප්‍රවේශය (metaphysical approach) නොවිය යුතු බවයි.

බුදුරදුන් හමුවට පැමිණි මාලුන්ක්‍ය නම් භික්ෂුවක් තමන්ට තිබූ පාරභෞතික ප්‍රශ්න (metaphysical questions) 14 ක් සඳහා පිළිතුරු ඉල්ලා සිටිවිට උන්වහන්සේ නිහඬ වූහ. එම ප්‍රශ්න 14 ම මෙලොවට සම්බන්ධ නැති එහෙත් විශ්වය, මරණින් පසු බුදුරදුන්ගේ ආත්මභාවයට කුමක් වේද ආදි පාරභෞතික කරුණු පිළිබඳව ය. බුරුරදුන් උත්තර නොදී දිගටම නිහඬ වන්නේ නම් තමන් ධර්මය අත් හැර සිවුරද හැර යන බව මාලුන්ක්‍ය භික්ඛුව පැවසීය. 

එවිට බුදුරජාණන්වහන්සේ විස පෙවූ හීතලය පිළිබඳ උපදේශ කථාව පැවසූහ. 

‘වරක් පුද්ගලයෙකුට හීතලයක් වැදී එය ඔහුගේ සිරුර පසාරු කරගෙන ගියේය. එය ඔහුගේ නෑයන් සහ අවට සිටි අය වහාම වෛද්‍යවරයෙකු ගෙනවිත් ප්‍රතිකාර ලබා දීමට සැලැස්සුවත් රෝගියා එයට බාධා කරමින් ” මේ හීතලය ගලවන්න කලින් මට දැනගන්න ඕනෑ ඊතලය විද්දේ යුධ භටයෙක්ද පූජකයෙක්ද වංශවතෙක්ද මෙහෙකරුවෙක්ද කියලා. මට ඔහුගේ කුලය, වංශය, පරම්පරාව වගේම ඔහු උසද මිටිද ආදි ශරීර ස්වභාවය ගැන. ඒ වගේම දුනු මිට හදලා තියෙන්නේ මොන ලෝහ වර්ගයෙන්ද කියලා. එසේම දුනු ලණුව හදලා තියෙන්නේ උණ, ගස් පොතු ආදී මොන ද්‍රව්‍යයකින්ද කියලා….” ආදි මෙහි සඳහන් කිරීමට අපහසු තරම් දිග ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළේය. 

මෙම උපදේශ කථාවට අනුව රෝගියා තම මතවාදී මුරණ්ඩුකම (ideological stubbornness) නිසා හීතලය ගැලවීමට ඉඩ නොදුන්නේ නම් එනිසා ඔහුගේ ජීවිතය විනාශ වෙන්නට ඉඩකඩ තිබුණ. වෛද්‍යවරයාගේ සහ අවට සිටි අයගේ කාරුණික උපදේශ පිළිපැද්දේ නම් ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබිණ.

ඇතැම් අය තමන්ගේ ශාස්ත්‍රීය දැනුම, ආගමික දැනුම පාවිච්චි කරනුයේ අනුන්ගේ යහපත කෙසේ වෙතත් තමන්ගේ යහපතටද විනාශකාරී බාධාවක් ලෙසටය. වියලි පාරභෞතික මතවාදී මුරණ්ඩුකම නිසා තම විවාහ ජීවිතය අසාර්ථක කරගත්, රැකියාව අහිමි කරගත්, සිරගත වූ, සමාජයෙන් සහ පවුල් හිතමිතුරන්ගෙන් කොන්වුනු, රුධිර පාරවිලයනය සහ ඉන්ද්‍රීය හෝ පටක බද්ධය පාරභෞතික ආගමික විශ්වාස නිසා රෝග පීඩාවෙන් මරණයට පත්වුනු අය බොහෝය. 

බුදුරජාණන්වහන්සේ පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ උත්තර නොදන්නා නිසා නොව මාලුන්ක්‍ය භික්ෂුවගේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවට එම වියලි පාරභෞතික කාරණාවලින් ප්‍රයෝජනයක් නොවන නිසාය. උන්වහන්සේ ධර්මාවබෝධය අතක්කාවචර හෙවත් තර්කයෙන් දැනගත නොහැකි (not graspable by logic) බව දේශනා කළේ එයින් ඇතිවන්නේ මතවාදි මත්වීමක් (ideological infatuation) පමණක් නිසාය. 

අද ආගමේ නාමයෙන් ජනතාව මුලා කරන බොහෝ විනාශකාරී පාරභෞතික මතවාද බිහිවී තිබේ. බුදුරජාණන්වහන්සේගේ ධර්මය පාරභෞතික නොව මෙලොව නිවැරදිව ජීවිත්වීම පිළිබඳව උගන්වන මාර්ගයකි. මාර්ගය නිවැරදි නම් මරණින් පසු යන තැන පිළිබඳව සැළසුම් කරන්නට අවශ්‍ය නැත. ප්‍රායෝගික නොවන සිතක ධර්මය ද නැත.

ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

බරණ දැකපු අපි නොදැකපු බුදුන්

ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නෙළීමේ ආරම්භය පිළිබදව  පැහැදිලි සාක්ෂි නොමැති වූවද ඉතිහාසය සහ වංශ කතාවලට අනුව නම් ක්‍රි.පූ. තුන්වන සියවසේදී දෙවන පෑතිස් රජතුමා ථූපාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කළ බව සදහන් වෙනවා. අනුරාධපුර යුගය ශ්‍රී ලංකාවේ දැවැන්ත කලා නිර්මාණ බිහිවූ කාල පරිච්ඡේදය ලෙස නම් කිරීම නිවැරදි යැයි හැගෙන්නේ  

ක්‍රි.ව. 5 වන සියවසේ රජකල ධාතුසේන රජතුමන්ගේ (ක්‍රි. ව. 459 – 477)  නිර්මාණයක් ලෙස සැලකෙන අවුකන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වීම නිසාමය. අවුකන බුදුපිළිමයෙන් පිළිබිඹු කරනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේ නොව දීපංකර බුදුරජාණන් වහන්සේ බව බොහෝ වියතුන් විශ්වාස කරනවා. සාමාණ්‍ය බුදු පිළිමයක උස දහ අට රියනක් වූවත් අවුකන පිළිමය ඊට වඩා උසින් යුක්තවීම එයට හේතුව විදියට සදහන් කිරීමට හැකි බවත් අනෙක් අතට මෙමගින් අභය මුද්‍රාව නිරූපනය කරන බැවින් එමගින්ද පිළිබිඹු කරනුයේ දීපංකර බුදුරදුන් බවත් විද්වතුන්ගේ මතයයි.

බුදුන් වහන්සේගේ දස බලධරී ගුණයත්, නොසැලෙන ගුණයත් අකම්පිත ගුණයත්, කරුණා ගුණයත් මහා කලු ගලකින් මතු කරගත් බරණ නම්වූ මූර්ති ශිල්පියාට කොයි තරම් නම් ඉවසීමක් තිබෙන්නට ඇත්ද. බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂනත්, උත්තුංග දේහ විලාසයත් එකට කැටි කොට කළු ගලක ජීවමාන අයුරින් වැඩ සිටින බුදුන් නිර්මාණය කරන්න ඔහු බුදුන් දකින්න ඇති. අවුකන පිළිමයේ ඉතා පුදුමසහගත කාරණය නම් නාසයට වැටෙන ජල බිංදු පා දෙකට හරි මැදින් වැටීමයි. මෙහි විශිෂ්ටත්වය පිළිබිඹු කෙරෙන අනෙක් කාරණා නම් සිවුරේ රැළිවල දක්නට ඇති සමාන්තරත්වය සහ කළු ගලක් තුළන් ඇගිලිවල නියපොතු පවා දක්වා ඇති ආකාරයයි.  

උස අඟල් 108ක් හෙවත් තාල නවයක් වන අවුකන පිළිමය සමභංග ක්‍රමයට තනා තිබේ. එනම් ශරිරයේ බර දෙපා වලට සම සමව බෙදී යනසේ ශරිරය කෙලින් තබාගෙන සිටින ලෙස නිර්මාණය කර තිබීමයි. දකුණු අතින් අභය මුද්‍රාවත් වම් අතින් සිවුර අල්ලාගෙන ඉන්නා ආකාරය දැක්වෙන කටක මුද්‍රාවෙන් යුක්ත වන නිසා මෙය අභයගිරි කලා සම්ප්‍රදායට අයත් ලක්ෂණයක් යැයි වියතුන් සදහන් කරයි. බුදුන්වහන්සේගේ ‍ලෝකෝත්තරත්වය මැනවින් පිළිඹිඹු වන ලෙස අවුකන ප්‍රතිමාව නිර්මාණය කර ඇත. 

ගුරුගෝල ද්වන්ධ සටනක නිරත වෙමින් නිර්මාණය ප්‍රථමයෙන්ම අවසන් කරන ගෝලයාවූ බරණ අවුකන පිළිමයද ගුරා රැස්වෙහෙර පිළිමයද ඉදිකල බව ජනප්‍රවාදයේ ඇත. රැස්වෙහෙර පිහිටා ඇත්තේ අවුකන ප්‍රතිමාවට කිලෝමීටර 16 දුරින්ය. තම ගෝලයාට තමා පරාජයට පත්වූ බව හැගී එම සිත් තැවුලෙන්ම  බරණගේ ගුරුවරයා රැස්වෙහෙර පිලිමය නෙලමින් සිටි පර්වතයෙන්ම පැන සියදිවි නසා ගත් බවත් ජනප්‍රවාදයේ ඇත. බ්‍රිතාන්‍ය ජාතික බ්‍රෝහියර් නැමති මිනින්දෝරුවා අවුකන ප්‍රතිමාව හදුන්වන්නේ “ලොව මිනිස් අතකින් නිර්මාණය කළ විශිෂ්ඨ කලා නිර්මාණය” ලෙසයි.

අවුකන ප්‍රතිමාවට සිවුරු පූජා කල යුතුද ? 

අවුකන බුද්ධ ප්‍රතිමාවට සුවිශේෂීවු සිවුරක් බරණ විසින් පූජාකර ඇති බව දෑස් විවර කර බලන ඕනෑම අයෙකුට දැකගත හැකියි. තවද  ඉතා සියුම්ව පොරවා ඇති චීවරය තුළින් ශරීරාංග මනා ලෙස ඉස්මතු කොට දක්වා ඇත. සිවුර ඒකාංශ කොට පොරවා ඇත. වම් අතින් සිවුරේ රැල්ල අල්ලා සිටී. මේ ආකාරයට අවුකන බුදු රුවට ගලින් කරන ලද සිවුර පූජා කරන්න බරණ විසින් කොයිතරම් නම් වෙහෙසක් දරන්න ඇත්ද. විශ්මිතවූ නිර්මාණයක් කල ඔහු අද සිටියා නම් මේ සිවුරු ඇන්දීම දැක ඔහු වස පානය කරනවා නොවනුමානයි. 

සංචාරක කර්මාන්තයේ අවසානයේ ආරම්භයද ?

විවිධ රටවල මිනිසුන් රටකට ඇදී එන්නේ ලෝකයේ ඇති විශ්මිත නිර්මාණයන් දැක බලා ගැනීමටය. ඒ අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ අනුරාධපුරයේ අවුකන, සමාධි ප්‍රතිමා සහ දැවැන්ත ස්තූප පොළොන්නරු ගල් විහාරය, ලංකාතිලක පිළිම ගෙය, වටදාගෙය, සීගිරිය වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණයන් දැක ගැනීමටය. අප මේ පිළිම වලට සිවුරු පූජා කිරීමට ගියහොත් එක් පැත්තකින් සංචාරක කර්මාන්තය බිද වැටීමට තිබෙන ඉඩකඩ වැඩිය. ඒ සිව්රු වලින් බුදු පිළිමය වැසීයන හෙයින් සංචාරකයා එය දැකබලා ගැනීමට නොහැකි වේයැයි දෙවරක් සිතන නිසාය. තවත් පැත්තකින් මෙසේ සිවුරු පූජා කිරීම දිගින් දිගටම සිදු වුවහොත් ඒ ලෝක උරුමයට කිසියම් හෝ හානියක් සිදු උවහොත් එහි වගකීම බාරගන්නේ කව්රුන් විසින්ද යන්නයි. 

විශිෂ්ට ප්‍රතිභාපුර්ණ නිර්මාණශිලිත්වය පිළිඹිඹු කරන අවුකන ප්‍රතිමාව සෞන්දර්යාත්මක නිර්මාණයක් ලෙසට ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදෙස් රට වල පවා අවදානය යොමුවී ඇති හෙයින් බුද්ධ ශාසන අමාත්‍යාංශයට සහ පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවට ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයක්වූ මෙය ආරක්ෂා කිරීමට මීට වඩා වගකීමක් තිබිය යුතු බවයි මාගේ පෞද්ගලික මතය. 

මහගම සේකරයන් දුටු අවුකන 

ඉහල නිල්වන් අහස ‍විනිවිද…නැගෙන ඔබගේ යෝධ බුදු බණ

මගේ නෙත සිත මෝහනය කර…මගේ කුදුබ‍ව පසක් කර ඇත

අපි පුද පූජා පවත්වමු, කඨිණ පිංකම් පවත්වමු නමුත් අපේ ශ්‍රේෂ්ඨ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමු. 

තුෂාර පෙරේරා