Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
Api-Slide-56-3
previous arrow
next arrow

නිසි ආයුර්වේද ප්‍රතිකාර හමුවේ සම්පූර්ණයෙන් සුවකළ හැකි ‘අම්ලපිත්ත’ රෝගය

වර්තමානයේ සමාජය තුළ බහුලව දක්නට ලැබෙන රෝගී අවස්ථාවක් ලෙසට ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය හැඳින්වීමට පුළුවන. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව එය ‘අම්ලපිත්ත’ නම් රෝගයේ එක්තරා අවස්ථාවක් ලෙසට විග්‍රහ කෙරේ. 

අම්ලපිත්ත රෝගය ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රය කොට ගනිමින් හට ගන්නා අතර වයස් භේදයකින් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් හෝ තොරව හට ගනී.

ආයුර්වේද මතානුකූලව පිත දෝෂය ප්‍රමුඛ කොට හටගන්නා රෝග තත්ත්වයක් වුවද අනෙකුත් දෝෂයන් වන වාත දෝෂ හා කඵ දෝෂ වල අනුබන්ධතාවයක්ද අම්ලපිත්ත රෝගී තත්ත්වය හා බැඳේ. 

ආහාර නිසි පරිදි දිරවීමට ශරීරයේ පිත දෝෂය ප්‍රමුඛත්වයක් ගන්නා බැවින් ‘ප්‍රකෘති පිත’ එනම් විකෘති නොවූ පිත් දෝෂය මගින් ආහාර දිරවීම සිදු කෙරේ. නමුත් පිත් දෝෂය විකෘති වූ කල්හි පිතෙහි ආම්ලික බව අධික වීමෙන් අම්ලපිත්ත රෝගය හට ගැනීමට හේතු සැළසේ.

‘විදග්ධ පිත්තං අම්ලපිත්තං’ යන සංස්කෘත අර්ථ දැක්වීමට අනුව විදග්ධ වූ පිත නොහොත් ‘ඇඹුල් පිත’ හටගැනීම ‘අම්ලපිත්ත’ ලෙසට හැඳින්වේ.

ආමාශය තුළ ආහාර ජීර්ණ ක්‍රියාවට උපකාරී වන ‘පාචක පිත’ සමඟ ආහාරය නිසිලෙස නොපැසී පල් වීම නිසා අම්ලපිත්ත රෝගය උපදනා බව සරලව කිව හැක.

රෝගය ඇතිවීමට හේතු කාරණා කල්තියා හඳුනා ගැනීම රෝගය ඇතිවීම වළක්වා ගැනීමේ පළමු පියවරයි.

කුසගිනි දැනෙන අවස්ථාවන්හි ආහාර නොගෙන සිටීමෙන් අමාශය තුළ දිගින් දිගටම ශ්‍රාවය වන ආමාශයික අම්ලය හේතුවෙන් ආමාශයේ අභ්‍යන්තර ශ්ලේෂ්මල පටලයට හානි වීම සිදුවේ. තවද, අමාශය, ගලනාලය, ග්‍රහණිය හා කුඩා අන්ත්‍රය යන ඉන්ද්‍රියයන් මෙමගින් පීඩාවට පත්වේ. ආමාශය තුළ නිපදවෙන මෙම අධික ආම්ලිකතාවය (Hyper acidity) හේතුවෙන් පිළිස්සී තුවාල වූ, අමාශයේ ඇතුල් බිත්ති වල Helicobacter pylori (H pylori) වැනි වූ බැක්ටීරියා ආසාධන ඉතා පහසුවෙන් සිදු වේ.

ගලනාලය පහළ කෙළවර පවතින කපාටයේ ක්‍රියාකාරීත්වයේ හා ව්‍යුහාත්මක වෙනස්කම් ද අම්ලපිත්ත රෝගය ඇති වීමට හේතු වේ. එවැනි වූ අවස්ථාවල දී අමාශය තුළ නිපදවී ඇති අම්ලය ගලනාලය තුළට පහසුවෙන් ඇතුල්වීම සිදුවේ. එවිට ගලනාලයේ ඇතුල් බිත්ති හානි වී ගලනාලය ප්‍රදාහ වීම, උගුර දැවිල්ල, ඔක්කාරය, වමනය ඇති වීම (Gastroesophageal Reflex Disease-GORD) සිදුවිය හැක.

අම්ලපිත්ත රෝගීන්ගේ බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ ලෙසට ආහාර ගත්පසු බඩ පුරවා දැමීම, කටට තික්ත හෝ අම්ල රස නිතර දැනීම, පපුවේ හෝ උදරයේ වේදනාව, වමනය, ඔක්කාරය, නොදිරවූ ආහාර මල සමග පිටවීම හා මලබද්ධය හැඳින්විය හැක.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඌර්ධවගත අම්ලපිත්ත හා අධෝගත අම්ලපිත්ත ලෙස දෙයාකාරයකි.

ඌර්ධවගත අම්ලපිත්ත රෝගය සඳහා විකෘති වූ පිත හා සෙම සම්බන්ධ වේ. අම්ලපිත්ත රෝගයේ වඩා සුලභ රෝගී අවස්ථාව මෙය වන අතර එය ආමාශය හා ගලනාලයේ පහළ කොටස් කෙරෙහි බලපායි. සෙම සහිත වමනය, ඔක්කාරය සමඟ උගුරට ඒම, බඩ, පපුව හා උගුර දැවිල්ල, තදබල හිසේ වේදනාව හා කල් යාමේදී ආමාශගත තුවාල ඇතිවීම ඌර්ධවගත අම්ලපිත්තයේදී බහුලව දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයකි.

අධෝගත අම්ලපිත්තය එතරම් සුලභ නොවුනද එම රෝගී අවස්ථාවේදී දැවිල්ල, ඔක්කාරය, කුසගිනි අඩු වීම, මල මාර්ගයේ දැවිල්ල හා වේදනාව, මලබද්ධය හා දියරමය මල පිටවීම, මල මාර්ගයේ තුවාල, පැලීම්, බිබිලි හටගැනීම, අරශස්, ගුද මාර්ගය පහත්වීම යන අපහසුතා ඇතිවිය හැක.

නිසිලෙස වෛද්‍ය ප්‍රතිකාර නොකිරීමෙන්, ආමාශ බිත්තියේ ලේ ගැලීම්, තුවාල හටගැනීම් (Peptic ulcer) දක්වා රෝගය උත්සන්න වීම සිදුවිය හැක. 

මෙහිදී, තුවාල වූ ග්‍රහණිය හා අන්ත්‍ර කොටස් මගින් ආහාරයේ පෝෂ්‍ය කොටස් නිසිලෙස උරාගැනීමට නොහැකි වීමෙන් ශරීරයට අවශ්‍ය පෝෂණය නිසිලෙස නොලැබී යාමත්, රුධිර වහනය හේතුවෙන් රක්ත හීනතාවයත් (Anemia) ඇති විය හැක.

මානසික ආතතිය හා චිත්ත ආවේග අධිකව දීර්ඝ කාලයක් පැවතීම, නිසිවේලාවට ආහාර නොගැනීම, සමබල ආහාර වේලක් නොගැනීම, ආහාර දිරවීමට පෙර වරින් වර ආහාරයට පෙළඹීම, ක්ෂ්ණික ආහාර නිතර ගැනීම, අධික මත්පැන් හා මත්ද්‍රව්‍ය ගැනීම, දුම්පානය, විෂ ද්‍රව්‍ය ආහාර මාර්ග ගත වීම, කෘතිම රසකාරක අඩංගු ආහාර හා බීම වර්ග භාවිතය, රාත්‍රී නිදි මැරීම හා දහවල නිදීම, අධික අම්ල, ලවණ හා තීක්ෂණ ආහාර ගැනීම, අධික කුළුබඩු යෙදූ ආහාර, තෙල් බැඳුම් වර්ග නිතර භාවිතය, නරක් වූ පිළුණු ආහාර ගැනීම, තේ, කෝපි නිතර භාවිතය, අධික හිරු එළියට නිරාවරණය වීම, අවශ්‍ය තරම් ජලය පානය නොකිරීම, ඖෂධ වර්ග නිසි වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිතය යන හේතූන් නිසා අම්ලපිත්ත රෝගය පහසුවෙන් හට ගනු ඇත.

රෝග ලක්ෂණ හටගත් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී නිවැරදි රෝග විනිශ්චය සිදුකොට වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතුය.

හෘදයාබාධ, ආමාශයේ තුවාල හෝ ව්‍රණ, ආමාශයේ පිළිකා, අග්න්‍යාශ ප්‍රදාහ යන වෙනත් රෝගී අවස්ථාවන්හිදීද මෙම රෝග ලක්ෂණයන්ට සමාන ලක්ෂණ හටගන්නා බැවින් කල්තියා නිවැරදි රෝග විනිශ්චය සිදු කිරීම අතිශය වැදගත් වේ.

අම්ලපිත්ත රෝගීන් පත්‍ය අපත්‍ය ආහාර හා විහරණයන් කෙරෙහි සැළකිලිමත් වීම අනිවාර්‍ය වේ. ආහාර වේල් නිසි වේලාවට ගැනීම, ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම, තෙල් අඩු, අධික ලෙස මිරිස් තුනපහ නොයෙදූ ආහාර ගැනීම, තේ, කෝපි වැනි පානයන් වෙනුවට පලතුරු යුෂ, ඔසු පැන්, කොත්තමල්ලි පානය කිරීම නිතර පුහුණු කිරීම කළ යුතුය.

නිවුඩු හාල් බත්, පලා වර්ග, කැකිරි, පිපිඤ්ඤා, පුහුල්, වැටකොළු, බණ්ඩක්කා, බතල, කොහිල, කෙහෙල්මුව, නෙළුම් අල, තැඹිලි, කුරුම්බා, සව්, බාර්ලි, කව්පි, මුං ඇට, අනෝදා, කොමඩු, ගොටුකොළ, මුකුණුවැන්න, හාතවාරිය, පොල්පලා, ඉරමුසු, බෙලිමල්, විෂ්ණුක්‍රාන්ති, කෝමාරිකා, ඉදුණු බෙලි, දෙළුම් වැනි ආහාර අම්ලපිත්ත රෝගීන් සඳහා ඉතා යෝග්‍ය වේ.

තවද, දියබත් සාදා නිතර අනුභවයෙන් ආමාශගත තුවාල සුව වීම් සිදුවේ.

තක්කාලි, අන්නාසි, ඉස්සන්, දැල්ලන්, බල මාළු, හරක් මස්, ඌරු මස්, දෙල්, මුරුංගා, අඹ, ඇඹරැල්ලා, අබ, විනාකිරි, අච්චාරු, මාළුමිරිස්, ලුණු මිරිස්, කොච්චි මිරිස්, කරවල, පාන්පිටි ආහාර, ජාඩි, චොක්ලට් වර්ග ආහාරයට ගැනීම අහිතකර වේ.

මනස විවේකීව තබා ගැනීම, යෝග ව්‍යායාම් වල නිරත වීම, රාත්‍රී නිදිමැරීම හා දිවා නිද්‍රාව සිදු නොකිරීම යන විහරණයන් පුරුදු කිරීමද හිතකර වේ.

රෝගියා විසින් අහිතකර ආහාර විහරණයන්ගෙන් ඈත්ව, හිතකර ආහාර විහරණයන් කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම තුළින් ගැස්ට්‍රයිටිස් රෝගය නැවත ඇතිවීම වළක්වා ගත හැකි අතර නිසි ආයුර්වේද ප්‍රතිකාර හමුවේ අම්ලපිත්ත රෝගී තත්ත්වය ප්‍රත්‍යක්ෂ ලෙස සුව කළ හැකි රෝගයකි.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS (Colombo)