Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

නෙත්මි සංජනා

මාව රංගන ක්ෂේත්‍රයට හදුන්වා දිම පිළිබදව සුරාජ් මාපා අයියාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා

මෙම දිනවල ස්වර්ණවාහිණි නාලිකාවෙහි ඉතා සාර්ථක ලෙස විකාශනය වන “නොනිමි” ටෙලිනාට්‍යය තුලින් ටෙලි තරු පිරිවරට අලුත් රුවැත්තියක් හදුන්වා දුන්නා.

නොනිමි ටෙලිනාට්‍යයෙහි ශෙනාලි සමරසිංහගේ චරිතය ඇයගේ කුළුදුල් නිර්මාණය ලෙස ප්‍රේක්ෂක අපට නොදැනෙන්නේ ඇයගේ රංගන කුසලතාවය සහ එම චරිතය සදහා ඇය ලබා දෙන අති සාර්ථක දායකත්වය නිසාවෙන් බව නොරහසකි.

ශෙනාලි සමරසිංහගේ චරිතයෙන් ඇයව දකින ප්‍රේක්ෂක ඔබගේ හිතේ “රංගන දක්ෂතාවයෙන් පරිපුර්ණ වු රුවැති ඇය කවුරුන්ද, ඇය කොහොමද නොනිමි ටෙලිනාට්‍යය කණ්ඩායම සමග සම්බන්ධ වුනේ ” වැනි ප්‍රශ්නාර්ථයන් නැගෙනවා ඇති නේද?

ඇයට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ඇයගේ වතගොත ඔබට දැන ගන්නට අපි මෙවර සම්බන්ධ කර ගන්නේ කන්ද උඩරටින් ටෙලි තරු අඹරට පායා ආ රුවැත්තිය නෙත්මි සංජනාවයි.

▪️ස්වර්ණවාහිනි නාලිකාවෙහි මෙම දිනවල සාර්ථක ලෙස විකාශනය වන නොනිමි ඔබගේ ප්‍රථම ටෙලිනාට්‍යය සමග ඔබ සම්බන්ධ වුනේ කොහොමද?

පොඩිකාලේ ඉදලාම මට ලොකු ආසාවක් තිබුනා කලා ක්ෂේත්‍රය සමග සම්බන්ධ වෙන්න. සුරාජ් අයියා අලුත් ටෙලිනාට්‍යයක් සදහා ගැහැණු ළමයෙක් හොයනවා කියලා මගේ යෙහෙළියෙකු මාර්ගයෙන් මට ආරංචි වෙනවා. මම රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන මුලින්ම මගේ අම්මිගෙයි තාත්තිගෙයි වැඩි කැමත්තක් නොතිබුනත් පසුව එයාලගේ අවසරය ඇතුව මගේ යෙහෙළිය චවිනි මාර්ගයයෙන් සුරාජ් අයියාව හදුනා ගෙන සම්මුඛ පරික්ෂණයකට සහභාගිවිමෙන් පස්සේ නොනිමි ටෙලිනාට්‍යයේ ශෙනාලි සමරසිංහගේ චරිතය නිරූපණය සදහා මට අවස්ථාව ලැබෙනවා. නොනිමි ටෙලිනාට්‍යය සමග සම්බන්ධ කර ගනිමින් මාව රංගන ක්ෂේත්‍රයට හදුන්වා දිම පිළිබදව සුරාජ් මාපා අයියාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

▪️සුරාජ් මාපා, දිල්හානි ඒකනායක වැනි ප්‍රවීන රංගන ශිල්ප ශිල්පිනියන් සමග රංගනයේදි ලැබුනු සහයෝගය සහ අත්දැකිම් මොනවාද?

සුරාජ් අයියා නොනිමි ටෙලිනාට්‍යය අධක්ෂණය කරමින් එහි ප්‍රධාන චරිතය වන නිමිනාදගේ චරිතයටද පණ පොවනවා. “ඕවා නංගි කට පාඩම් කරන්න එපා. ඔයා මේ විදියට කරන්න. මෙහෙම කරොත් හොදයි” වැනි උපදෙස් නිරන්තරයෙන්ම ලබා දෙමින් මගේ චරිතය ගොඩ නගා ගන්න ඔහු මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

ඒවගේම දිල්හානි අශෝකමාලා මහත්මිය හොද ගතිගුණවලින් පරිපුර්ණ වු නිහතමානි රංගන ශිල්පිනියක්. ඇය මට මගේ අම්මා හා සමානයි. ඇයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

එමෙන්ම නොනිමි නාට්‍යයේ සම අධක්ෂකතුමා චන්දන ජයසිංහ මහතා ඇතුලු නොනිමි කණ්ඩායමේ සියලුම දෙනාව මම ආදරයෙන් මතක් කරන්න ඕනේ. මම ක්ෂේත්‍රයට ආදුනික කෙනෙක් වුවත් ඔවුන් සියලු දෙනාම ඉතාමත් සුහදශිලිව මගේ චරිතය ගොඩ නගා ගන්න මට විශාල සහයෝගයක් ලබා දෙනවා.

▪️නෙත්ම් සැබෑ ජිවිතයේත් නොනිමි හි ශෙනාලි වගේ අහිංසක තරුණියක් ද?

මමත් ශෙනාලි වගේම ආදරයට ආදරය කරන සංවේදි කෙනෙක් කියලා කියන්න පුලුවන්. හැබැයි මම ශෙනාලි වගේ මුරංඩු වැඩ එහෙම කරනවා ගොඩක් අඩුයි. මම අම්මියි තාත්තියි කියන දේ අහන එයාලගේ විශ්වාසය බිදෙන දේවල්, එයාලට දුක හිතෙන දේවල් කරන්න අකමැති කෙනෙක්. මම නිදහසේ ඉන්න ගොඩක් කැමතියි ඒවගේම විවේකයක් ලැබුන වෙලාවට ගීත ගායනය, නර්තනය සහ පොත් කියවන්න මම හරිම කැමතියි.

▪️අපි කැමතියි දැන ගන්න ශෙනාලිගේ පවුලේ විස්තර, පාසල් කාලය පිළිබදව සහ උසස් අධ්‍යාපන කාල සමය පිළිබදව තොරතුරු ටිකක්…

මගේ ගම මහනුවර. මගේ පවුලේ ඉන්නේ අම්මියි, තාත්තියි, මල්ලියි, මමයි. මගේ අම්මි ගෘහණියක්, තාත්ති රජයේ රැකියාවක නියැලෙනවා. මගේ මල්ලි මෙම දිනවල සාමාන්‍ය පෙළ විභාගය සදහා සුදානම් වෙනවා.

මම ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගන්නේ Tiny tots පෙර පාසලෙනුයි. ඉන්පසු මහනුවර Hillwood College හි පළමු වසරේ සිට උසස්පෙළ දක්වා ඉගෙනුම ලබනවා. මේ වනවිට මම කැලණිය විශ්වවිද්‍යාලයෙහි Bachelor of arts උපාධිය සදහා අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

විශේෂයෙන්ම මගේ අම්මියි තාත්තියි ගැන කියන්න ඕනේ. “පුතේ ඔයා බය වෙන්න එපා. ඕන දේකට අපි ඉන්නවා” කියලා හැම දේකටම මගෙ ලගින් ඉදලා එයාලා මාව දිරි ගන්වනවා. ඉතින් මේ අවස්ථාවේදි මගේ අම්මියි තාත්තියි ආදරයෙන් මතක් කරන්න ඕනේ.

▪️නෙත්මි “ශෙනාලි වගේම ආදරයට ආදරය කරන කෙනෙක්” කිවුව නිසා අහන්න හිතුවේ, නෙත්මි පෙම්වතියක්ද? නෙත්මි බලාපොරොත්තු වෙන අනාගත සහකරුවා කොයි වගේ කෙනෙක්ද?

මම තවම පෙම්වතියක් නෙවෙයි. මම බලාපොරොත්තු වෙන්නේ මාව හොදින් තේරුම් ගන්න පුලුවන්, හොද විශ්වාසයක් තියන, තමන් ආදරය කරන තමන්ගේ පවුල වෙනුවෙන් කාලය වෙන් කරන්න පුලුවන්, මට වගේම මගේ දෙමාපියන්ටත් ආදරය කරන කෙනෙක්වයි.

▪ඉදිරියේදි ශෙනාලිව අපිට දකින්නට ලැබෙන නිර්මාණය මොනවාද? ඔබ රංගනයෙන් දායකවන්නට වඩාත් ප්‍රිය කරන චරිතයක් තියනවාද?

මම නවක රංගන ශිල්පිනීයක්. මාව තාම ලොකු පිරිසක් දන්නේ නැහැ. මම සමාජ මාධ්‍ය භාවිතය පටන් ගෙනත් වැඩි කාලයක් නැහැ.

මම විවිධ චරිත රගපාන්න ලැබෙනවා නම් කැමතියි. විශේෂයෙන් කටකාර චරිතයකට රංගනයෙන් දායක වෙන්න ලැබෙනවා නම් මම හරිම කැමතියි. මට දැනට නිර්මාණයක් සදහා සහ Music videos කිපයක් සදහා ආරාධනා ලැබිලා තියනවා.

ඉදිරියේදි මට ආරාධනා ලැබෙන නිර්මාණ සදහා සාර්ථකව දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම මට අවස්ථාවක් ලැබුනොත් නිවේදන කටයුතු සමග සම්බන්ධ වෙන්නත් ආසාවෙන් බලන් ඉන්නවා.

අමා නාකන්දලගේ

Sign up for our newsletter