Api-Slide-50-1
Api-Slide-50-2
Api-Slide-50-3
previous arrow
next arrow

නේත්රා – කෙටි කතාව

ගෙවුනු අවුරුදු හැට ගානෙදිම වලව්වේ වත්තට වැහි දාස් ගානක් ඇද හැලුනත් මම ඒ හැම වැස්සක් දිහාම බලාගෙන උන්නේ එකිනෙකට වෙනස් වුනු හිස් හැඟීම් වලින්.පුංචිම පුංචි කාලෙදි මම ඒ වැටුනු වැහි දැක්කේ මල් වැහි වගෙයි. ලොකු අක්කා එක්ක එකතු වෙලා වලව්වේ වත්තේ වැස්සට තෙමෙද්දි අම්මා අපි දෙන්නට මදි නොකියන්න පේර කෝටුවෙන් සංග්‍රහ කලත් , ගුටි කාල කොච්චර ඇඩුවත් ඒ දඩුවම් මතක තිබුනේ ආයෙත් මොර සූරන වැහි වැටෙනකම් විතරයි. කාලය ගෙවෙද්දි ලොකු අක්කයි මමයි පුංචි කාලෙදි වගේ වැස්සෙ තෙමෙන්න නොගියත් අක්ක බැඳලා යනකම් අපි දෙන්නා වැස්ස දිහා බලාගෙන එක එක දේවල් කියෙව්වා.

අක්කා බැන්දේ දුල්ලෑව වලව්වේ ලොකු අයියව. නෑකමට ඇවැස්ස මස්සිනාව. අයියව බැන්දමත් අක්කා වැස්ස දිහා බලන් ඉන්න ඇති. අයියා හින්දා තනි කමක් දැනෙන්න නැතිව ඇති. ඒත් මට එදා ඉදන් දැනුනු තනිකම තාමත් එහෙමමයි. වැස්ස දිහා විතරක් නෙවෙයි අක්කා බැදලා ගිය දවසේ ඉදන් මේ මොහොත වෙන තුරුත් මගේ ජීවිතේ හරි මූසල විදියට පාලුයි.

‘පොඩි මැණිකෙට තේ ගෙනවා.

‘හ්ම්ම්.. තියලා පලයන්. රෑට මොනවද නදී උයන්නේ?

‘රෑට ඉදියාප්ප හදන්න කියලා බැලුවේ පොඩ් මැණිකේ.

‘හ්ම්ම් ඒක හොඳයි.. කොහොමත් හෙට ඉදන් රෑට පිටි කෑම අඩු කරපන්. මගේ ඇඟ හරි බර ගතියයි ඒවා කෑවම..

‘එහෙමයි.. මම රෑට රතු හාල් පිටි වලින් ඉදියාප්ප තම්බන්නම්’

බයාදු විදියට මාත් එක්ක එකඟ වුනු නදී මගේ ළඟින් ඉවත් වුනේ එහෙම කියාගෙන. මම නදී අරන් ආව තේ කෝප්පෙන් උඟුරක් බිව්වා. ඉඟුරු මිශ්‍ර වුනු තේ කෝප්පය ආයෙත් මගේ පරණ මතක අලුත් කලේ කවදාකවත් නැතිව.

‘අප්පච්චි, ඒ මිනිහා මම කවුරු කියලා හිතාගෙනද ඔය යෝජනාව අරන් ආවේ? මම අප්පච්චි නුවර ඉන්න ප්‍රසිද්ධම ලෝයර්.. කුලෙන් අපිට ගැලපුනාට ඔය වතු වවන මිනිහෙක් මගෙ රස්සාවට ගැලපෙනවද? අනික ඒ මිනිහා වපරයි.අප්පච්චි මෙතන නොහිටින්න මම සෙරෙප්පුවෙන් ගහලා එලවන්නේ.

‘හරි හරි පොඩි මැණිකේ.. දැන් වයස තිස් පහත් පැන්න එකේ…

‘ඉතින් මොකද අප්පච්චි? මට නොගැලපෙන මිනිහෙක් එක්ක දීග ගිහින් දොඩන්තැන්න වලව්වේ නම්ඹුව තුට්ටුවට දාන්න බෑ. ඊට හොඳයි මම තනියම ඉන්නවා. අනික ඔය අතින් කටින් දරුවෝ එල්ලන් ඉන්නවට වඩා මට මම වෙනුවෙන් වැඩ කරන්න තියෙනවා.

‘මොනවද නේත්‍රා උඹට ඔය හැටි කරන්න තියෙන වැඩ? දරුවො එපා වුනාට කමක් නෑ මූසල කතා කියන්න එපා. මම අපේ නිළමෙට කිව්වා රට රාජ්ජ වල යවලා උගන්නද්දි ඒ තාලෙට හැදෙයි කියලා..

එදා මගෙ අම්මා, දොඩන්තැන්න වලව්වේ මහ කුමාරිහාරි රවලා ගිය හැටි තාමත් මතකයි. අම්මා මොනතරම් දේවල් එදා කිව්වත් මම ඒ වචන තඹේකට මායිම් කලේ නෑ. ඒත් මගේ අප්පච්චි වුනු දොඩන්තැන්න වලව්වේ ලොකු නිළමේ මම වෙනුවෙන් මනමාලයෝ හොයන එක නැවැත්තුවේ නෑ.

‘නේත්‍රා.. මේ දරුවා නම් ඔයාට හැම අතින්ම ගැලපෙනවා…’

මෙහෙම කිය කිය අප්පච්චි මනමාලයෝ කීදෙනෙක්ගේ රූප මට ගෙනත් දෙන්න ඇතිද? ඒත් මම කාලයක් ආදරේ කරපු කෙනාව හිතින් සදහටම අමතක කරලා වෙන කෙනෙක් ළඟ ආයෙත් ජීවිතයක් පටන්ගන්න බැරි තත්වෙකයි මම උන්නේ. කායිකව අපි අතර කිසිම සම්බන්ධයක් නොවුනත් මට ආයෙත් ආදරේ කරනන පුලුවන් මානසික මට්ටමක මම උන්නෙ නෑ..

ඒ දවස් වල මම නීතීඥවරියක් වුනු අලුතමයි. මගේම කියලා කාර්‍යාලයක් පටන් ගන්න කලින් අප්පච්චි මාව අදුන්වලා දුන්නේ නීතීඥ හස්ථ ගංගොඩවිලට. හස්ථ මට වඩා අවුරුදු දහයක් වැඩිමහල් වුනත් ඒ හැටි වයසක් නොපෙනුනේ පරම්පරාවෙන් උරුම වුනු ජාන නිසාද, එහෙමත් නැත්නම් පෙර පිං නිසාද කියලා හස්ථව දකින සැරේට මට හිතුනා. ඒ හින්දමද කොහෙද දැකපු පළවෙනිම දවසේ ඉදන් මම හස්ථට පුදුම විදියට ලං වුනා. හිතුවට වඩා කාලයක් මම හස්ථ ළඟට ගියේ මට නඬු කතා කරන්න බැරි නිසා නෙවෙයි මම හස්ථ ළඟට වෙලා ඉන්න ආස කරපු නිසයි.

එක දවසක් අපි දෙන්නා කාර්‍යාලයේ තනි වුනු වෙලාවක මගේ හිතේ දහසක් බලාපොරොත්තු ඇති කරමින් හස්ථ මට ආදරෙයි කිව්වා. එදා මට දැනුනේ මම මේ ලෝකේ ජීවත් වෙන වාසනාවතම ගෑණි කියලයි. ඕනම කෙල්ලෙක් හිතින් ආදරේ කරන කෙනාව ලැබෙද්දී ඒක වචනයෙන් කියන්න බැරි සැනසීමක්. මටත් එහෙමමයි. මම ඒ දවසේ ඉදන් හස්ථට පුදුම විදියට ආදරේ කලා. හස්ථ ලෝබ නැතිව හැමදේම මට උගන්වපු නිසා මට හස්ථටත් වඩා දක්ෂ නීතීඥවරියක් වෙන්න පුලුවන් වුනා.

ඒත්, හැමදේම නැති වෙන්න මහා කාලයක් ගියේ නෑ. හරියටම අපි ආදරේ කරන්න අරන් දෙවනි අවුරුද්දේ හස්ථ මාව හමුවෙන්න ආවේ කඳුලු පිරුණු ඇස් වලින්.

‘මට සමාවෙන්න නේත්‍රා.. මේක ගොඩාක් කලින් කතා කරපු මඟුලක්.. මට නීලියාව බදින්නම වෙනවා.. එහෙම නැත්නම් අපි දෙන්නා මේ රටින් පැනලා යමු.මට කරන්න ඕනි දේ කියන්න නේත්‍රා…

‘ඇයි ඔයා මම ගැන ඔයාගේ අප්පච්චිට නොකිව්වේ? මොන ලැජ්ජා නැති කමක්ද හස්ථ රටින් පැනලා යන එක? අනික ඔයාලගේ පවුල වගේම මගේ පවුලත් මේ මැද මහනුවර නොදන්න කෙනෙක් නෑ..

‘මම ඔයාලා ගැන කිව්වා නේත්‍රා… අප්පච්චි මේ ප්‍රශ්නෙදි අසරණයි.. මෙතන මේ කලින් කතා කරගත්ත දෙයක් තියෙන්නේ..

‘ඉතින් මොකද්ද ප්‍රශ්නේ?

‘අපි පැනලා නොගියොත් මට අප්පච්චි කියන දේ කරන්න වෙනවා නේත්‍රා…

‘යන්න හස්ථ, ඔයා වගේ කොන්ද පණ නැති මිනිහෙක් මගේ ගෙදර වත්තේ හතර මායිමට වත් එපා.. අපරාදේ මගේ ගෙවිච්ච අවුරුදු දෙක…

එදා මම තවත් මොනවදෝ කියලා හස්ථට බනිද්දි පුරුදු විදියටම මගේ වාහනෙන් බැහැලා ඔහු නිහඪවම ඔහු ඔහුගේ වාහනයට නැග්ගා. මම එකම එක කඳුලු බිංඳුවක් වත් මගේ නැති වුනු ආදරේ වෙනුවෙන් හෙලුවේ නෑ. මම ඒක දැක්කේ නිවට කමක් විදියට. මම හරි ඉක්මනින් හස්ථව අමතක කලා කියලා පෙන්වන්න උත්සහ කලත්, අදටත් මේ පාලුවේ වැස්සක් දිහා බලන් ඉද්දී මට ඔහුවම මතක් වෙන්නේ ඇයිදැයි කියන්න මම දන්නේ නෑ. සමහර විට මගේ දරඳඩු හිතේ කොණක තාමත් හස්ථ ඇති.

හස්ථගෙයි මගෙයි සම්බන්ධේ නැති වුනාට පස්සේ මම මගේ වෘතීය වෙනුවෙන් සෑහෙන්න කැප වුනා. හස්ථගෙන් පස්සෙ පිරිමි ගැන මට තිබුනෙ ධනත් නැති ඍනත් නැති ආකල්පයක්. කොටින්ම සම්බන්ධකම්, බැදීම් කැඩෙන හැටි දැකලාම මට මගේ ජීවිතේට බැදීම් එකතු කරගන්න උවමනාවක් නොතිබුනු තරම්. ඒ නිසාමද කොහෙදෝ අප්පච්චි හොයන මනමාලයෝ මට වදයක් වුනා.අනික් පැත්තෙන් ලොකු අක්කා වගේම දුල්ලෑවේ ලොකු අයියත් මට මනමාලයෝ හෙව්වා. මට මතකයි අන්තිමට ගෙදරට ආව මනමාලයට බලන්න මාව ලෑස්ති කරපු ගෑණු ළමයා සෑහෙන්න මහන්සි වුනා මගේ සුදු වුනු කෙස් වහන්න. එදා ඔහුටත් අකමැති වුනාම පවුලේ හැමෝටම මනමාලයෝ හොයලම හති වැටෙන්න ඇති. එදායින් පස්සෙ ආයෙත මේ ගෙදරට දොඩන්තැන්න පොඩි මැණිකෙව කැන්දන් යන්න මනමාලයො ආවෙ නෑ.

කාලය ගෙවිලා ගියා.. අප්පච්චියි අම්මයි මාව දාලා ගියේ උපරීම ආයුෂ අරන් ජීවිතය විදලයි. අක්කා දැන් අත්තමා කෙනෙක් වෙලා. දුල්ලෑවේ ලොකු අයියා හදිස්සි හ්ෘද්‍යාබාධයකින් නැති වුනාට පස්සේ අක්කගේ ලොකු පුතා කැනඩාවට එයාව ගෙන්න ගත්තා. මමත් අක්කා එක්ක කැනඩාවට ගියත් දෙසතියකට වඩා මට එහෙ ඉන්න බැරි වුනා. දොඩන්තැන්න වලව්ව මතක් වෙද්දී එහේ උන්නු සති දෙක ඇතුලදි සිය වතවක් මම හිතෙන් දුවගෙන එන්න ඇති.

අන්තිමට මම තීරණය කලා. මේ වලව්ව ඇතුලෙම කවදා හරි අන්තිම හුස්ම හෙලන්න. ඒත්, සමහර වෙලාවට මට පාළුයි. මගේ කියලා කෙනෙක් උන්නා නම් කියලා හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි. දරුවෝ එපා කිව්ව මට අද දරුවෙක් උන්නා නම් කියලා නොහිතෙනවා නෙවෙයි. ඒත්, දරුවෝ දෙමව්පියො බලු කූඩු වල දාලා ඉන්න හැටි, මහ පාරේ දාල යන හැටි දකිද්දී මට හිතෙනවා මම ගත්තේ හරිම තීරණය කියලා.

ඒත්, දොඩන්තැන්න වලව්ව පාලුයි. වලව්වේ පාලුවට වඩා මගේ හිත පාලුයි. මට කතා කරන්න ඉන්නේ නදී විතරයි. ලංකාවෙත් දැන් මට ලේ නෑකම් කියන්න කෙනෙක් නෑ. අක්කගේ දරුවන්ට ආයෙත් ලංකාවට පදිංචියට එන්න හිතක් නෑ. ඉතින් මම හැමෝගෙන්ම අහලා අන්තිම තීරණයක් ගත්තා..

‘දොඩන්තැන්න වලව්වට අයිති මගෙ නමින් තියෙන සියලු ඉඩ කඩම් , වලව්වත් ඇතුලුව නදීගේ නමට පවරන්න…’

මේ තීරණේ ගැන මම දස දහස් වතාවක් හිතුවා. අක්කාගෙනුත් සිය වතාවක් ඇහුවා. ඒ අතරෙදි අක්කා මට හොද උත්තරයක් දුන්නා.

‘මේ අපි තමයි නංගි වලව් මාන්නේ කරේ තියන් ඉන්නේ. මේ රටවල මිනිස්සු හරි සතුටින් ජීවත් වෙන්නේ.. ඔන්න ඕවා ඔය අහිංසක කෙල්ලට පවරන්න. ඒ ළමයා ඔයාට කවදවත් නරකක් කරන්නේ නෑ…

අක්කා තාමත් මම ගැනවත් හස්ථ ගැනවත් දන්නේ නෑ. එයා හිතන්නෙ මම නොබැන්දේ මගේ මාන්නය නිසා කියලයි. ඒ රහස් ඒ විදියටම තියෙන්න ඇරලා මම මගේ අන්තිම තීරණය ඊයේ හවස මගේ පෞද්ගලික නීතීඥවරයට දැනුම් දුන්නා.

‘මම මැරුණම මේ හැමදේම මේ කෙල්ලට අයිති වෙන්න ඕනි. ඒ දවසට මේ ළමයා ඒ ගැන දැනගත්තම ඇති දැන්මම මම වුනත් කට හොල්ලන්නෙ නෑ…

මම ඊයේ ඒ හැම ලියකියවිල්ලක්ටම අත්සන් කලා. කාලෙකින් නොදැනුනු සතුටක් හිත පුරා දුවන්නට වුනා. ඒ මොහොත මතක් වෙද්දි මටත් නොදැනීම මගේ හිත සතුටින් පිරිලා යනවා.

‘පොඩ් මැණිකේ මේ බෙහෙත් බොන්න.. ඉක්මනට රෑ කෑම හදන්නම්.. දොස්තර මහත්තයා කිව්වේ හවස හතට කලින් පොඩි මැණිකෙට කන්න දෙන්න කියලා..

‘අනේ උඹ හෙමින් වැඩ කරපන්. දොස්තරු නම් කියයි. ඕවා හදන කෙනානේ ඒවාට යන වෙලාව දන්නේ..

‘එහෙම බෑනේ පොඩි මැණිකේ. පොඩි මැණිකේ නොහිටින්න අර මිනිහා මාව නොමරා මරනවා.මම හැමදාටම පොඩි මැණිකෙට ණයයි. අම්මාපල් මගේ ඇඟෙන් කොටසක් දෙන්න වුනොත් මම ඒකත් පොඩි මැණිකෙට දෙනවා. ඒ තරම් මට පොඩි මැණිකේ වටිනවා..

මේ කතාව නදී මට දස දහස් වතාවක් කියලා ඇති. නීතීඥ ගාස්තු නොගෙන මම කතා කරපු අන්තිම නඩුවෙන් තමයි නදීව මට මුණගැහෙන්නේ. දික්කසාදෙත් අරගෙන එදා මගේ වාහනේට නැඟපු කෙල්ල එදා උන්නාට වඩා අද සැනසීමෙන්.. මම බීලා ඉවර කරපු තේ කෝප්පෙත් අරගෙන නදී මගේ ළඟින් ගියේ ඇස් වල කඳුලු ගවුම් කරින් පිස දමමින්. මම බෙහෙත් පෙති දෙකත් බීල ආයෙත් වලව්ව වත්ත දිහා බැලුවා. නුවරට වැටෙන මේ වැස්ස තව පැයකට වත් නවතින්නෙ නෑ.නදී වෙනුවෙන් මම ගත්ත තීරණය හරිම තීරණය වග මගේ හිත ආයෙත් කියන්න වුනා. මොර සූරන වැස්ස මම දැක්කේ පොඩි කාලේ මට පෙනුනු මල් වැස්සක් වගෙයි. මම වැස්ස දිහා බලාගෙන හරි සැහැල්ලුවෙන් හිනා වුනා.

තක්ෂිලා ඒකනායක.

Sign up for our newsletter